20 July 2017

ජයලලිතාගේ ගෝලයෙකුට හිරගෙදරින් කාමර පහක බංගලාවක් - ඉන්දියාවම කළඹමින් වීඩියෝවක් ලීක් වෙයි | VIDEO

තමිල්නාඩුවේ හිටපු මහඇමතිනී සහ ජයලලිතාගේ ඥාතියෙකු වූ සසිකලා මහා පරිමාණ දූෂණ චෝදනාවකට වරදකාරිය වී පසුගිය පෙබරවාරි මාසයේ බන්ධනාගාර ගත කළ විට එය සැලකුණේ සකල ප්‍රජාතන්ත්‍රවාදයේම ජයග්‍රහණයක් ලෙස ය.

නමුත් මේ වන විට ඉන්දියානු මාධ්‍ය විසින් වාර්තා කරමින් සිටින්නේ බැංගලෝර් මධ්‍යම බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින සසිකලා සහ ඇගේ සහචරයන් වෙනුවෙන් අසාමාන්‍ය ඉඳුම් හිටුම් පහසුකම් සපයා තිබෙන බව ය.

ඡායාරූප වාර්තාවන්ගෙන් හෙළිවන ආකාරයට සසිකලාට වායු සමනය කළ කාමර සපයා නැතත්, සාමාන්‍ය ඉඩකඩක් හා පහසුකම් සහිත කාමර 5 ක් වෙනම මුළුතැන්ගෙයක් බලධාරීන් විසින් සපයා දී තිබේ.

එයින් එක කාමරයක් සම්පූර්ණයෙන්ම පාවිච්චි වන්නේ ඇගේ යෝගා ව්‍යායාම කටයුතු සඳහා ය. මුළුතැන්ගෙය ඇය වෙනුවෙන් පමණක් ආහාර පිසීම සඳහා ය. ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ සසිකලා විසින් ඇගේ කෝටි ගණනක වත්කම් මගින් බැංගලෝර් මධ්‍යම බන්ධනාගාරය තරු පහේ හෝටලයක් බවට පත්කර ගනිමින් සිටින බවය.

නිරන්තරයෙන් ඇගේ සුවදුක් විමසීමට පැමිණෙන අමුත්තන්ගෙන් ලැබෙන තෑගි භෝගද මෙම කාමරවල ගොඩගසා ඇති බව කියයි. එසේ පැමිණෙන අමුත්තන් අතර දැනට බලයේ සිටින තමිල්නාඩුවේ ඇමතිවරුද වෙති.

සසිකාගේ දූෂණ හෙළිකිරීමට මුල් වී කටයුතු කළ රූපා නමැති නිර්භීත පොලිස් නිලධාරියාට හට ද කර්ණාටක ආණ්ඩුව විසින් මේ වන විට ස්ථාන මාරුවක් ලබාදී ඇත.

 VIDEO

කැළි කසළින් විදුලිය එන බලාගාර 3ක්

 කැළිකසළ භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික අදියරේ කටයුතු ලබන මස 10 වැනිදා වනවිට ආරම්භකරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ කසළ භාවිතයෙන් විදුලිය නිපදවන විදුලි බලාගාර 03ක් ඉදිකිරීමට නියමිත අතර, කොළඹ, ගම්පහ, කරදියාන ප්‍රදේශයන්හි එම බලාගාර ආරම්භකිරීමට සැලසුම්කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම බලාගාර තුන සඳහා කසළ ටොන් 1500ක් භාවිත කර විදුලිය ජනනය කිරීමේ හැකියව ඇති අතර, කොළඹ කසළ ගැටලුව විසඳීමට මෙයට යම් ආකාරයක සහනයක් වනු ඇති බවදඅමාත්‍යවරයා පැවසීය.

විදුලි බලාගාර තුනෙහි සියලුම ඉංජිනේරු කටයුතු සහ භෞතික කටයුතු අවසන් කර ඇති අතර, අගෝස්තු 10 සිට මූලික අදියරේ වැඩකටයුතු ආරම්භකිරීමටදඅමාත්‍යවරයා අපේක්ෂා කරයි.

මෙම විදුලි බලාගාර තුන සඳහා ටෙන්ඩර් කැඳවීමේදී විවිධ ආයතන දෙක තුනක් ඉල්ලුම්කළ බවට වූ ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බවත් ඒ සඳහා ලෝකය පුරා විවිධ ආයතන 194ක් ඉල්ලුම් කර තිබූ බවත් ඉන් වඩාත් සුදුසු ආයතන 03ක්තෝරාගත් බවත්අමාත්‍යවරයා සඳහන් කළේය.

රුසියාව සමග යුද අභ්‍යාසයට ගිය චීන නෞකා පසුපස ආරක්ෂකයන්

 රුසියාව සමග යුද අභ්‍යාසයක් සඳහා බෝල්ටික් මුහුද වෙත පැමිණෙමින් සිටි චීන යුද නෞකා ත්‍රිත්වයක් බ්‍රිතාන්‍ය, නෙදර්ලන්ත හා ඩෙන්මාර්ක යුද නෞකා විසින් පිරිවරා ගමන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

"චීන ආරක්ෂක නෞකාවක්, සැපයුම් නෞකාවක් සහ යුද නෞකාවක් ඩෙන්මාර්ක සාගර කලාපය ආසන්නයෙන් ගමන් කරමින් සිටිනවා. අපගේ සාගර කලාපයේදී සිදුකෙරන සුපුරුදු ආරක්ෂක පියවරක් ලෙස එම නෞකා පෙළ පිරිවරමින් අප නෞකා ගමන් කිරීමක් සිදුකරනවා" යැයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඩෙන්මාර්ක ආරක්ෂක අංශ පවසා තිබේ.

කෙසේ වෙතත්, එම ඩෙන්මාර්ක ආරක්ෂක අංහ විසින් අදාළ නෞකා ගමන් කරමින් තිබූ සාගරය කලාපය නිශ්චිතව දක්වා නොතිබූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

බෝල්ටික් සාගර කලාපයේදී චීන හා රුසියානු යුද නෞකා හෙට (21දා) දිනයේදී එකිනෙකා හමුවීමට නියමිත අතර, ඒ සඳහා රුසියානු නෞකා රැසක්ද එක්වීමට නියමිත බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම, ඔවුන් දෙපාර්ශවය අතර යුද අභ්‍යාස ජූලි 24 සිට 27 දක්වා කාලය තුළ සිදුකෙරෙනු ඇති බවද සඳහන් වෙයි.

එමෙන්ම, චීන - රුසියානු යුද අභ්‍යාසයන් හි දෙවැනි පියවර එළඹෙන සැප්තැම්බර් මාසයේදී ජපාන මුහුදේදී සිදුකෙරෙනු ඇති බවද සඳහන් වෙයි.

කටාර් වෙත ශ්‍රමිකයන් යැවීම සාමාන්‍ය පරිදි

 කටාර් රාජ්‍යයට පනවා තිබෙන සම්බාධක ඉවත් නොවුණද කටාර් රාජ්‍යය ස්ථාවර වී තිබෙන නිසා ශ්‍රීලංකා ශ්‍රමිකයන් යැවීම මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු කරන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

කටාර් රාජ්‍යය ශක්තිමත් රාජ්‍යයක් නිසා පැවැති ආහාර අර්බුදය මේ වනවිට විසඳාගෙන තිබෙන බවත්, මේ නිසා එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට හෝ මෙරටින් යන ශ්‍රමිකයන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් ඔහු පවසා සිටියේය.

ඊයේ (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කටාර් රාජ්‍යය තුළ පැවැති ගුවන් ගමන් අර්බුදයද මේ වනවිට විසඳී තිබෙන බවයි.

මේ නිසා ශ්‍රමිකයන් යැවීම සාමාන්‍ය පරිදි ආරම්භ වී තිබෙන බවද හෙතෙම කියා සිටියේය. 

රියදුරු ප්‍රායෝගික පරීක්ෂණ ඒකාධිකාරිය අහෝසි කිරීමට අවධානය

රියදුරු බලපත්‍ර  නිකුත් කිරීමේදී ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම ඒකාධිකාරය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒකාධිකාරීය හෙතුවෙන් අක්‍රමිකතා සිදු වන බවට මහජන විවේචන එල්ල වී තිබීම මේ සඳහා හේතුවයි.

මෙය විනයගරුක රියදුරන් බිහි කිරීමට බාධාවක් වී ඇති බවත්  දැනට සිදු වන මාර්ග අනතුරු වැඩිවීමටද හේතුවක් වී තිබේ.

මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන්ට අමතරව සුදුසුකම් සහිත වෙනත් පාර්ශව හඳුනාගැනීමට රජය අවධානය යොමුකර ඇත.

ලබන 2දාට පසු උ/පෙළ ටියුෂන් සම්මන්ත්‍රණ තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයට අදාළ සියලු ආකාරයේ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ ඇතුළු ක්‍රියාකාරකම් ලබන 2 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක්‌ තහනම් කෙරේ.ජාතික විභාග ආරම්භ කිරීමට දින පහකට පෙර සියලු උපකාරක කටයුතු තහනම් කිරීමට අදාළ ගැසට්‌ නිවේදනයට අනුව පැවරී ඇති බලතල මත විභාග දෙපාර්තමේන්තුව මෙම තහනම ක්‍රියාත්මක කරන අතර තහනම කඩකරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා මාධ්‍යට ඊයේ (19 වැනිදා) පැවැසීය.

එම ගැසට්‌ නිවේදනයට අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදාහැරීම, අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම ඇතුළු කටයුතු සපුරා තහනම් වෙයි.

තහනම කඩකරන්නන් සම්බන්ධයෙන් පොලිස්‌ මූලස්‌ථානයට (0112421111) විභාග දෙපාර්තමේන්තුවට (0112785211, 0112785212, 1911) හෝ ළඟම ඇති පොලිස්‌ ස්‌ථානයට පැමිණිලි කළ හැකිය.

උසස්‌ පෙළ විභාගය අගෝස්‌තු මස 8 වැනිදා ආරම්භ කෙරේ.

රුධිර පරීක්ෂණ වාර්තා කඩිනම් කිරීමට අගමැතිගෙන් උපදෙස්

ඩෙංගු රෝගය සඳහා සිදුකරන රුධිර පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. පුද්ගලික රෝහල්වලට සහ රසායනාගාරවලට උපදෙස් ලබාදී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඊයේ(19) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

ඩෙංගු රෝගය සඳහා සිදුකරන රුධිර පරීක්ෂණ වාර්තා ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වන බව වාර්තා වෙයි.

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පැය දෙකක පමණ කාලයක් තුළ අදාළ රුධිර පරීක්ෂණ වාර්තාව ලබාදීමට කටයුතු කරන ලෙස අගමැතිවරයා පුද්ගලික රෝහල්වලට සහ රසානයාගාරවලට මෙහිදී උපදෙස් ලබාදී ඇත.

මේ අතර ධීවර වරාය පරිශ්‍රවල ඩෙංගු මර්ධන වැඩපිළිවෙල අද(20) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ධීවර වරාය සංවර්ධන නීතීගත සංස්ථාව මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දිවයිනේ ධීවර වරාය පරිශ්‍ර 20ක මෙම වැඩපිළිවෙල අද දිනයේ ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර කොළඹ නගරය තුළ ස්ථාපිත සියලු රාජ්‍ය හා පුද්ගලික ආයතන පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද දිනයේ සිදුකිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඩ්‍රෝන යානාවලටත් රෙගුලාසි

රූගත කිරීම් සඳහා ගුවන්ගත කරන සෑම ඩ්‍රෝන යානාවක්‌ම සහ ඒවා ක්‍රියාත්මක කරන්නන්ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය කෙරෙන නීති හා රෙගුලාසි ඉදිරියේදී පාර්ලිමේන්තුවට පනතක්‌ මගින් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

දැනට මෙම ඩ්‍රෝන යානා අක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කෙරෙන බවද එනිසා ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචිය හා අවසරය පමණක්‌ නොව ඊට අමතරව ආරක්‍ෂක අමාත්‍යාංශයේද අදාළ ප්‍රදේශයේ සංස්‌කෘතික, පුරාවිද්‍යා, වාරිමාර්ග හා බලශක්‌ති අධිකාරිවලද, පොලිස්‌ ස්‌ථානයේද අවසරය ලබාගැනීම සඳහා නීති සකසන බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඩ්‍රෝන යානා නිසා ගුවන් යානාවලටද අනතුරු සිදුවීමේ අවදානමක්‌ ඇතැයි කී ඇමැතිවරයා නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා යෑවීම ජාතික ආරක්‍ෂාවටද තර්ජනයක්‌ බවද කීවේය.

කෙසේ වෙතත් විනෝදාංශයක්‌ හා අධ්‍යාපනික අරමුණු වෙනුවෙන් ග්‍රෑම් 200 ට අඩු බරකින් යුත්, කැමරාවක්‌ හෝ රූගත කිරීමේ උපකරණ සවිකර නැති ඩ්‍රෝන යානාවක්‌ ගෙවත්තේ සිට අඩි 150 කට අඩු ගුවන් පරාසයක්‌ තුළ ගුවන් ගතකිරීම සඳහා ඉහත ලියාපදිංචිය අවශ්‍ය නොවන බවද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.

ඇතැම් පිරිස්‌ ඩ්‍රෝන කැමරා අවභාවිත කරමින් අනවශ්‍ය දර්ශන රූගත කරන බවද පෞද්ගලික දේපළ හා නිවාස, ආසන්නයේ වීඩියෝ දර්ශන පවා ලබාගන්නා බවට පැමිණිලි රැසක්‌ ලැබී ඇතැයිද ඇමැතිවරයා කීවේය.

ඩෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳ නීති පද්ධතියක්‌ සැකසීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පැවැත්වූ වැඩමුළුවකට එක්‌වෙමින් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.

තැන් දහනවයක් පසු කර අසේල එක්වරම පැමිණි තැන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු අසේල ගුණරත්න ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ දී ස්ථාන 19ක් එකවර පසුකිරීමට සමත්ව තිබෙනවා.

ඔහු නවතම ශ්‍රේණිගත කිරීමේ දී පසුවන්නේ 79 වන ස්ථානයේ.

සිම්බාබ්වේ ටෙස්ට් තරගයේදී ඔහු පළමු ඉනිමේදී ලකුණු 45ක් ලැබූ අතර දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 80ක් රැස් කළා.

ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලේඛණය පහතින් දැක්වෙනවා.


සැබෑ යාචකයින් 660කට අමතරව කොළඹ වෘත්තීය යාචකයින් 4000ක්

කොළඹ නගරයේ වෘත්තිමය යාචකයන් 4000ක් සිටින බවට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයකින්අනාවරණය වී තිබේ.

කොළඹ නගරයේ සැබෑ යාචකයන් සිටිනුයේ 660ක් වන අතර, වෘත්තීමය යාචකයන් හේතුවෙන් ඔවුන්ද දැඩි අපහසුතාවට පත්ව ඇතැයි සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන තිබේ.

සිය රැකියාව ලෙස යාචක වෘත්තියේ යෙදෙන පිරිස් කොළඹ නගරයෙන් පිටත ජීවත් වන අතර, ඇතැම් විට ඔවුන් මෙහෙයවන පිරිස් ඇති බවත්, වෘත්තිමය යාචකයන් කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වන බවත් හෙළිව තිබේ.

මෙම වෘත්තිමය යාචකයන් අතරින් ඇතැමුන් යාචකයන් ලෙස පෙනී සිටිමින් මුදල් මංකොල්ලකෑමේ කටයුතු මෙන්න විවිධ සොරකම් සිදුකරන බවටද තොරතුරු වාර්තාවී තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් අදාළ අංශ කඩිනම් පියවර ගැනීම වැදගත් බවද හෙළිවී තිබේ.

ලන්ච් ෂීට්වලට ආදේශකයක්

ලන්ච් ෂීටවලට කදිම ආදේශකයක් ලෙස කෙසෙල් කොළ පදම් කර කල් තබා ගැනීමෙන් ප‍්‍රයෝජන ගත හැකි තාක්‍ෂණයක් පිළිබද මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ හම්බන්තොට වැලිගත්ත ග‍්‍රාමීය තාක්‍ෂණ විද්‍යා ආයතනය විසින් මේ පිළිබඳ පරීක්‍ෂණයක්ද සිදුකළා.

ඒ පිළිබඳව අදහස් දක්වන එහි ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුජාතා වීරසිංහ සඳහන් කළේ මෙම ක්‍රමවේදය ඉතා සරල වුවද ඒ සඳහා යොමු වන්නන් අඩු බවයි. කෙසේවෙතත් පොලිතීන් තහනමත් සමග මෙම ක්‍රමය ප්‍රචලිත කිරීමෙන් පරිසරයට ආරක්ෂාවක් මෙන්ම ජනතාවට ආදායම් මාර්ගයක්ද සැකසෙන බව සඳහන් කළා.

කෙසෙල් කොළ කල් තබා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය සිය තාක්‍ෂණ විද්‍යා ආයතනය මගින් ලබාදීමට සූදානම් බවද මෙහිදී සඳහන් කළා.