27 April 2017

ශිෂ්‍ය ව්‍යාපාරය ඇත්තටම සටන් කරන්නේ පීඩිත මිනිසුන්ගේ අයිතීන් දිනා ගැනීමටයි

  
විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සම්බන්ධයෙන් මෙරට පවතින්නේ නොනවතින කතාබහකි. සිසු අරගල, නවකවදය යන කාරණා සරසවි සිසුවා ගැන කතා කරන විට නිරතුරුවම මතුව එයි. පසුගිය දිනවල විශ්වවිද්‍යාල පද්ධතියේ මතුවූ ඇතැම් නොසන්සුන්කාරී සිදුවීම් හමුවේ, සරසවි සිසුන් පිළිබඳව මහජනතාවට යම් අප්‍රසාදයක් ගොඩනැගුණි. අප ඔබ නොදකින මෙම සිදුවීම් පිළිබඳව ඔවුන් කියන කතාව ගැන මේ සංවාදය ගොඩනැගෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපති රොෂාන් ප්‍රියසංජන සමගයි.

Q විශ්වවිද්‍යාලයකට එන ළමයෙක් තවත් කෙනෙක්ට අමානුෂික විදියට නවකවදය දෙන්න පෙළඹෙන්නේ ඇයි?
 
ඇත්තටම මේක විශ්වවිද්‍යාලය තුළ නිරතුරුවම කතා කරන කාරණයක්. උපාධියක් ගන්න විශ්වවිද්‍යාලයට එන ළමයින්ගෙන් බොහොම කිහිපදෙනෙක් තමයි මීට යොමු වෙන්නේ. මේ විභාග ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය තුළ විශ්වවිද්‍යාලයට එන බහුතරයක් පිරිස ආත්මාර්ථකාමී බවෙන්, හීනමානයෙන්, සමාජ ආශ්‍රයක් නොමැතිව හැදුණු අය.

අපි දැක්ක දේ තමයි ඒ ඔස්සේ පෞරුෂ දුර්වලතා තිබෙන, සමාජ ඇසුර අහිමි වුණ, නායකත්ව ලක්‍ෂණ නිරායාසයෙන් මතු නොවුණු සහ සම වයස් කණ්ඩායම් අතර පිළිගැනීමක් තොතිබුණු ඉතා සුළු පිරිසක් තමයි මේ නවකවද සිදුවීම් වලට මූලික වෙලා තිබෙන්නේ. ඒ වගේ පිරිස් තමන්ට පිළිගැනීමක් නිර්මාණය කරගන්න, අනන්‍යතාවයක් ගොඩනගා ගන්න මෙවැනි දේට යොමු වෙනවා.

Q නවකවදය ගැන ශිෂ්‍ය සංගම්වල මතය මොකක්ද?
 
පොදුවේ ගත්තාම සියලුම ශිෂ්‍ය සංගම් නවකවදයට විරුද්ධයි. විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ බහුතරයක් දෙනා නියෝජනය කරන මතය තමයි ඒක. නමුත් කිහිපදෙනෙක් විශ්වවිද්‍යාල තුළ තිබෙන නිදහස් පරිසරයත්, නවකවදය කියන දේ ඉස්සර විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබුණ නිසාත් නවක සිසුන්ට හිරිහැර කරන්න යොමු වෙනවා.

Q නවකවද චෝදනාවන්ට ලක්වන අය වෙනුවෙන් ශිෂ්‍ය සංගම් ඉදිරිපත් වෙනවාද?
 
කිසිසේත්ම එවැනි පිරිස් වෙනුවෙන් ශිෂ්‍ය සංගම් පෙනී සිටින්නේ නැහැ.

Q පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවුණ නවක වද සිදුවීම ගැන මොකද හිතෙන්නේ?
 
පේරාදෙණිය සිදුවීමෙන් පැහැදිලි වෙන්නේ තවමත් නවකවදය අනුමත කරන සුළු පිරිසක් ඉන්නවා කියලා. නමුත් කවුරුත් කතා කරන්නේ නැහැ ඇයි ඒ ළමයින්ට විශ්වවිද්‍යාලයේ නැතුව ඉන් පිටතට අරන් ගියේ කියලා. සමහර පිරිස් ඒ නිවස වධකාගාරයක් කියලා හැඳින්වුවාට ඇත්තටම ඒක වධ දෙන්න ගත්තු නිවසක් නෙවෙයි. චෝදනා ලබපු සිසුන් ලැඟුම් ගෙන හිටියේ ඒ නිවසේ.

විශ්වවිද්‍යාලය තුළ නවකවදය අනුමත නොකරන නිසාත්, බහුතරය ඊට විරුද්ධ  නිසාත් තමයි අර සිසුන්ට මේ පිරිසට හොර රහසේ පිටතට ගෙන්න ගන්න සිදුවුණේ. ශිෂ්‍ය සංගම් වගේම අන්තරය පවා නවකවදයට විරුද්ධයි. නමුත් එහෙමයි කියලා අපිට අත පිහගන්න බැහැ. අපි කණගාටු වෙනවා මේ සිද්ධිය ගැන.



Q විශ්වවිද්‍යාලයේ බොහෝදෙනා 'රැග්' එක අනුමත කරන්නේ ඇයි?
 
එතන තිබෙන්නේ මේ වගේ දෙයක්. ඇත්තටම පිටත සමාජය හඳුන්වන 'නවක වදයත්', විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ තිබෙන 'රැග්' එකත් කාරණා දෙකක් බවට පත්වෙලා තිබෙනවා. පිටත සමාජය නවකවදය කියන්නේ හිරිහැර කිරීමට. නමුත් විශ්වවිද්‍යාල පුරාම 'රැග්' එක කියලා හඳුන්වන්නේ නවකයන්ට පළමු වසර කාලයේදී මුහුණදෙන විනෝදයක් ගෙන දෙන අත්දැකීම් රැසක් සහ පද්ධතිය පවරාදීම එහෙමත් නැත්තම් සංස්කෘතිය පවරාදීම කියන ක්‍රියාවලියට. ඒ නිසයි බහුතරයක් දෙනා රැග් එක ඕන කියලා කියන්නේ.

Q මොකද්ද ඒ උප සංස්කෘතිය පවරාදීම කියන්නේ? ඒක සිද්ධ වෙන්නේ කොයි විදියටද?
 
පි- වසර 13ක කාලයක් තරඟකාරී අධ්‍යාපන ක්‍රමයකට මුහුණදීලා ආත්මාර්ථකාමී බව, හීනමානය, තරගකාරීබව කියන දේ වලින් පිරිලා විශ්වවිද්‍යාලයට එන මේ නවක ශිෂ්‍යයා, සංවේදී හදවතක් තියෙන, පාරාර්ථකාමී, සහෝදරත්වයෙන් යුතු සමාජශීලී පුද්ගලයෙක් බවට පත්කරන ක්‍රියාවලිය තමයි මේ උප සංස්කෘතිය පවරාදීම හෙවත් පද්ධතිය පවරාදීම කියන්නේ.

මෙතනදී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ නවකයන්ට නිතරම කියන දෙයක් තමයි 'උඹලා ඔක්කොම ආවේ එකට, ඩිග්‍රිය නැතුව එකෙක්ටවත් එළියට යන්න බැහැ. උඹලගෙන් කාටහරි ඩිග්‍රිය නැති වුණොත් හැමෝම ඒකට වගකියන්න  ඕන.' කියන දේ. එතනදී තමයි විෂය කරුණු අමාරු අයට පුළුවන් අය උදව් කරන්නේ, සටහන් ගෙනත් දෙන්නේ ඒ ආදී වශයෙන් එකිනෙකා අධ්‍යයන කටයුතු වලට උදව් කරගන්නේ. සාමාන්‍යයෙන් නිවසේ ඉඳලා විශ්වවිද්‍යාලයට එන්නේ බොහොම සුළු පිරිසක්.

ඉතිරි බහුතරය විශ්වවිද්‍යාල නේවාසිකාගාර හෝ ඒ අවට තාවකාලිකව පදිංචිවෙලා ඉන්නවා. ඒ කාලය ඇතුළේ යම් සිසුවෙක්ට අසනීපයක් වුණොත් ඔහුගේ සියලු කටයුතු සිද්ධ කරන්නේ, ඔහු වෙනුවෙන් දේශනවලට සහභාගී වෙලා සටහන් සකසලා දෙන්නේ මේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඒ සහෝදරත්වය ඇති කිරීමයි මේ ක්‍රියාවලියේදී වෙන්නේ. මේ නවක කාල සීමාව තුළ නවක ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය තුළින් බිහිවූ කවි, නාට්‍ය ආදිය ඉදිරිපත් කරනවා.

ශිෂ්‍ය වීරයන් ගැන කියලා දෙනවා. විශ්වවිද්‍යාලයේ තිබෙන ගොඩනැගිලි, ස්ථාන වලට අප විසින් නිර්මාණය කරගත් නම් ගැන දැනුවත් කරනවා. ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය, විශ්වවිද්‍යාල භාෂාව උගන්වනවා. මේ උප සංස්කෘතීන් විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙනවා. මාස කිහිපයකින් පස්සේ පද්ධතිය පැවරීම අවසන් වෙනවා. ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ වියදමින් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශාල උත්සවයක් පවත්වලා ඔවුන්ව නිල වශයෙන් විශ්වවිද්‍යාල සංස්කෘතියකට පිළිගන්නවා.



Q පිටත සමාජය නොදකින විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් සිදුකරන සමාජ සත්කාර රැසක් තිබෙනවා නේද?
 
නවක වදය කතා කරන තරමට කවුරුවත් මේ ගැන කතා කරන්නේ නැහැ. ඇත්තටම විශාල වශයෙන් සමාජ සත්කාර සිදුකරනවා. විශ්වවිද්‍යාල මගින් අධ්‍යයනාංශ වශයෙනුත් ශිෂ්‍ය සංගම් මගිනුත් බොහෝ සමාජ සත්කාර වසරකට සිද්ධ කරනවා. උදාහරණයක් විදියට ගත්තොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සෑම වසරකම පුස්තකාලයක් ඉදිකරනවා.

තවත් කියනවා නම් යම් ස්වාභාවික ආපදාවකදී අපි ආධාර එකතු කරලා, අධ්‍යාපනය ලබන ළමයින්ට පොත්පත් එකතු කරලා බෙදා දෙනවා. මේ වගේ විශාල වැඩ කොටසක් විශ්වවිද්‍යාලයක්ම සිදුකරනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 'සහෘද යාත්‍රා' වැඩසටහනින් සෑම අවුරුද්දකම දුෂ්කර පාසලක් තෝරාගෙන ඒ පාසලට ලක්‍ෂ විස්සක පමණ පුස්තකාලයක් හදනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයෙනුත් එවැනි ව්‍යාපෘතියක් සිදුකරනවා. ඒ වගේම අ.පො.ස උසස් පෙළ විභාගය වෙනුවෙන් සම්මන්ත්‍රණ සංවිධානය කරනවා. ඒ වගේම 'පූජිත පුජා' වැඩසටහනින් පාසලක අඩුපාඩු සොයලා ඒ සියලු අඩුපාඩු අපි හදනවා.

Q විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනය කරමින් ජනතාවට දෙන්න පණිවුඩයක් තියෙනවාද?
 
ශිෂ්‍ය ව්‍යාපාර ඇත්තටම සටන් කරන්නේ ශිෂ්‍යයන්ගේ අයිතීන් දිනාගන්න විතරක් නෙවෙයි. අපි සංවිධානය වෙන්නේ පීඩිත මිනිසුන්ගේ අයිතීන් දිනා ගැනීමත් එක්ක. අපිට තිබෙන්නේ සුළුතරයක් වූ ධනපති පංතිය තමන්ගේ ලාභය ගැන පමණක් තකා සමාජයේ අනෙකුත් පංති සහ පාර්ශ්ව පීඩාවට ලක්කරමින් පාලනය කරනු ලබන සමාජ ක්‍රමයක්.

මේ පීඩාවට පත්වන පාර්ශ්වයන්ට තිබෙන විසඳුම තව තවත් මේ දේශපාලනඥයන් පාර්ලිමේන්තු යැවීමවත්, මේක අපේ කරුමය කියලා හිත හදාගැනීමවත් නෙවෙයි. අප කළ යුත්තේ සමාජයේ පීඩාවට පත්වන මේ සියලු පිරිස් එකට එකතුවෙලා එකමුතුව සිදුකරන ශක්තිමත් අරගලයකින් මේ අසාධාරණ සමාජය ක්‍රමය වෙනස් කිරීම. මිනිස්සුන්ට කියන්නේ තමන්ට පීඩාවක් දැනෙන්නේ කොතැනද, ඊට එරෙහිව හුදකලා වන්න නෙවෙයි. හොඳින් සංවිධානය වෙලා නොබියව සටන් වදින්න කියලා.

|නඳුන් ශ්‍යාමාල්

No comments:

Post a Comment