06 June 2017

එළිපිටම ලිංගිකත්වය ගැන කතා කරන ‘28′ ගැන ප්‍රසන්න ජයකොඩි කියන කතාව | VIDEO


ප්‍රතිභාපූර්ණ තරුණ සිනමාකරුවකු වන ප්‍රසන්න ජයකොඩිගේ තෙවැනි සිනමා අත්දැකීම 28 මේ වනවිට ලාංකීය ප්‍රේක්‌ෂක වින්දනයට මුදාහැර තිබෙනවා. 28 හරහා ප්‍රසන්න ලාංකීය සමාජ වපසරියෙහි විවෘත කතාබහකට නොඑළැඹෙන ලිංගිකත්වය තුළ පවතින අව්‍යාජත්වය හිංසනය හා කාන්තාවගේ පීඩනයන් පිළිබඳ විවෘත කතාබහකට එළැඹෙනවා. මියගිය ගැහැනියක ප්‍රධාන චරිතය ලෙස ගැනෙන මෙම චිත්‍රපටය අකෘතිකමය සිනමා අත්හදා බැලීමක්‌ වන අතරම ලාංකීය සමාජය අනිවාර්යෙන් දැකගත යුතු සිනමාපටයක්‌ ලෙස 28 හඳුන්වාදිය හැකියි. මෙම නිර්මාණය පිළිබඳ එහි නිර්මාණාත්මක හිමිකරු වන ප්‍රසන්න ජයකොඩි සමග මීවිත පැවැත්වූ කතාබහයි මේ.

ප්‍රසන්න ඔබගේ 28 හරහා කරන සිනමාත්මක වෙනස්‌කම් මොනවද ?

මම කරපු අනිත් චිත්‍රපටවලට වඩා 28 වෙනස්‌ අත්දැකීමක්‌ කරා ගිය නිර්මාණයක්‌. මෙය ලංකාවේ ප්‍රේක්‌ෂකයන්ට පෙන්විය යුතුම කතාවක්‌ විදිහටයි මම දකින්නේ. ලාංකීය සමාජය තුළ තවමත් විවෘතව කතා නොකරන ප්‍රශ්නයක්‌ වන ලිංගිකත්වය කෙරෙහි පවතින විචිකිච්ඡාව බය හා පවතින අර්බුද කාන්තා හිංසනය හා ව්‍යාජත්වය අනාවරණය කරනවා. ලිංගිකත්වය පිළිබඳ අප විසින්ම හදාගත්ත සීමා මායිම් හේතුවෙන් අපි අතරම තියෙන අපිම කතා නොකරන ප්‍රශ්න ටික අපේම චරිත ඇසුරෙන් කතා කරන්න පුළුවන් තැනක ඉඳන් හැම කෙනෙක්‌ එක්‌කම ගනුදෙනුවක යෙදෙන්නයි මම මේ නිර්මාණය තුළින් වෑයම් කරන්නේ.

පොදුවේ සියලුම තලයන්වල හිඳිsන සිනමාව රස විඳින ප්‍රේක්‌ෂකයාටද ඔබ පිළිගන්වන්නේ ?

පැහැදිලිවම. මෙම නිර්මාණය තල තුනක්‌ තුළ දිගහැරෙනවා. නමුත් චිත්‍රපටයේ සමස්‌තයම කැටි කරගන්න බැරි කෙනාටත් ගොනුකරගන්න දෙයක්‌ මෙහි තියෙනවා. අපි කතා කරන ප්‍රශ්නය හැමෝටම දැනෙන දෙයක්‌. හැමෝගෙම බුද්ධි මට්‌ටම තුළ ගනුදෙනුවක්‌ කරන්න පුළුවන් තැනකයි මේ නිර්මාණය තියෙන්නේ. මොකද එහෙම විඳගන්න බැරි වුණොත් මෙම වෑයමෙහි ප්‍රතිඵලයක්‌ නොවන නිසා. ලිංගිකත්වය කියන්නෙ කුණුහරුපයක්‌ හෝ විකෘතියක්‌ නෙවෙයි. මෙය ලෝකයේ පැවැත්ම වෙනුවෙන් සකස්‌ වීවී ඇති ක්‍රියාදාමය කියන යථාර්ථයේ ප්‍රේක්‌ෂකයාට පසිඳවීමයි මෙහිදී කෙරෙන්නේ.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සුද්දි මළමිනියක්‌ විදිහටයි නිර්මාණයේ අප දකින්නේ ?

මළමිනියක්‌ වුණාට එය චරිතයක්‌ ලෙසයි නිර්මාණය තුළ විකාශනය වෙන්නේ. සමාජ සංස්‌කෘතික වටපිටාව විසින් වසා තියෙන කාන්තාවගේ කට සුද්දි නමැති චරිතය විසින් විවර කරනවා. ඇය කියන්නේ අපේ රටේ ඇත්ත කතා කරන්න නම් පණ තියෙන ගැහැනියකට බැහැ කියන එකයි. මෙම කාන්තා චරිතය එක්‌තරා ගැහැනියක්‌ නෙවෙයි අපේ රටේ ජීවත්වන සමස්‌ත කාන්තාවගේ ඇතුළාන්තයයි නියෝජනය කරනු ලබන්නේ.

මෙම චිත්‍රපටයේ ආකෘතිය පවතින සම්ප්‍රදායෙන් එහාට රැගෙන යන්න උත්සාහ කරන අවස්‌ථාවක්‌ නේද ?

ආකෘතියේ වෙනසක්‌ තියෙනවා. ගමනක්‌ යන අතරෙයි සමස්‌ත කතාවම දිගහැරෙන්නේ. ඒ වගේම මෙම චිත්‍රපටයේ තියෙන්නේ චරිත තුනයි. එයින් ප්‍රධාන කාන්තා චරිතය මියගිය ගැහැණියක්‌.

ප්‍රදර්ශනය වන බවට පූර්ව ප්‍රකාශ නිකුත් වී වසරකට පසුවයි අප මෙය දකින්නේ. මේ තත්ත්වයට බලපෑ හේතු මොනවාද ?

චිත්‍රපට කරනවාට වඩා එම නිර්මාණය ප්‍රේක්‌ෂකයන් අතරට ගෙනයනවා කියන එක අසීරු දෙයක්‌ බවට පත්වෙලා. මේ දවස්‌වල චිත්‍රපට හැදෙන ප්‍රමාණයට අනුව මේ පවතින ප්‍රදර්ශන ආකෘතිය ඇතුළේ ප්‍රේක්‌ෂකයන්ට පෙන්නන්නේ කොහොමද කියන එක විශාල ගැටලුවක්‌. මම මේ චිත්‍රපටය හදල අවුරුදු හතරක්‌ වෙනවා ප්‍රදර්ශන මණ්‌ඩල අනුමැතිය ලැබිලා. ප්‍රදර්ශනයට නියමිත වෙලා තිබුණේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අවස්‌ථාව ලැබෙන්නේ ඊටත් වසරකට පස්‌සේ. අවුරුදු හතරක්‌ චිත්‍රපටය පරණ වෙනවා කියන්නේ ප්‍රේක්‌ෂකයාට මෙන්ම නිර්මාණකරුවාටත් සිදුවන අසාධාරණයක්‌. ඕනෑම දෙයක්‌ කාලීනයි. නිර්මාණකරුවාගේ ගමනේදී ඔහුට එම ප්‍රකාශනය කරන්න ඕනෑ අවස්‌ථාවයි එය ප්‍රේක්‌ෂකයා දකින අවස්‌ථාවයි අතර ලොකු කාල පරතරයක්‌ නිර්මාණය වෙලා. මෙය යහපත් තත්ත්වයක්‌ නෙවෙයි.

ලංකාවේ චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනය විම කෙරෙහි සකස්‌ වී තිබෙන යාන්ත්‍රණය හා නීතිරීතිවල ගැටලූ ඇති බවද ඔබ පවසන්නේ ?

දැනට ඇත්තටම හරි ක්‍රමවේදයක්‌ අපි දකින්නේ නැහැ. ලංකාවේ කොතරම් ක්‍රමවේද හා නීති රීති තිබුණත් ඒවා අභිබවා වෙනස්‌කම් සිදු වෙනවා.

මෙම සිනමා පටය ජාත්‍යන්තරයේදී ඇගයීමට ලක්‌වුණා නේද ?

මෙය ජාත්‍යන්තර සම්මාන බලාපොරොත්තුවෙන් කළ නිර්මාණයක්‌ නෙවෙයි. විශේෂයෙන්ම මගේ අරමුණ වුණේ ලාංකීය ප්‍රේක්‌ෂකයන්. නමුත් අපි ජාත්‍යන්තර සිනමා උළෙලවල්වලටත් ගියා.







No comments:

Post a Comment