2015 දෙසැම්බර් 10වන දින ශ්‍රී ලංකාව විසින් බලහත්කාරී අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන ලද අතර 2016 මැයි 25වන දින එය රජය විසින් අපරානුමත කරන ලදී.
ශ්‍රී ලංකාව තුළ මෙම සම්මුතියට නෛතික වලංගුභාවය ලබාදීම සඳහා අදාළ පනත් කෙටුම්පත 2017 මැයි 09 වැනි දින ගැසට් කර පසුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකිරීමට තීරණය කරනු ලැබීය.
මෙම පනත් කෙටුම්පත 2017.07.05 දින පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය තිබූ නමුත් එදිනම අල්ලස් පනත සම්බන්ධයෙන් විවාදයක් ද පැවැත්වීමට නියමිතව තිබුණි. මෙම පනත් දෙක සඳහාම කතිකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත්ව සිටීම හේතුවෙන් ඉතාමත් කාලෝචිත වූ අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉදිරි දිනයක විවාදයට ගැනීමට තීන්දු කරන ලදී.
මෙවැනි පනතක් සාධාරණ, නිදහස් සහ ශිෂ්ටසම්පන්න සමාජයක සෑම පුරවැසියකුම හිමි මානව අයිතිවාසිකමකි.
මෙම පනතේ මූලික අරමුණවුයේ ශ්‍රී ලංකාවේ උපදින, ජීවත්වන සෑම මනුස්සයකුටම බලහත්කාරී පැහැර ගැනීමකට, අතුරුදන් කිරීමකට මෙන්ම අයුතු සිරගත කිරීමකට ගොදුරු නොවී ජීවත්වීමේ නිදහස ස්ථාපිත කිරීමයි.
මෙවැනි පනතක් හරහා සුදුවෑන් සංස්කෘතියටත් රාජ්‍ය අනුග්‍රහයෙන් විරුද්ධවාදීන් අතුරුදන් කිරීමේ, පැහැරගැනීමේ කලාවටත් සදහටම නැවතීමේ තිත තැබීමේ ක්‍රියාදාමය පිළිබඳ මේ රටේ සියලු පුරවැසියන් සතුටු විය යුතුය.
නමුත් එදා සුදුවෑන් සංස්කෘතිය අප රටට හඳුන්වා දුන් දේශපාලන අවතාර සුපුරුදු පරිදි අද මේ රටේ ජනතාව නොමග යැවීමේ උත්සාහයේ නිරතව සිටීයි. බලලෝභී චේතනාවෙන් කරනු ලබන එවැනි බොරු බේගල් සමාජගත කිරීමේ නින්දිත උත්සාහයන් අප පිළිකුලෙන් යුතුව හෙළාදකින්නෙමු.
මෙම පනත අනාගතයට පමණක් බලපාන පනත් කෙටුම්පතක් වන බවත් අතීතයට කිසිදු අකාරයක බලපෑමක් සිදු නොකරන බවත් සඳහන් කරමු. එමෙන්ම මෙම පනතින් අනාගතයේ මේ මහපොළොවේ උපදින දූදරුවන්ට පසුගිය යුගයේ සිදු වූවාක්මෙන් ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු නොවීමට වගබලා ගනු ඇත.
එමෙන්ම සුදුවෑන් සංස්කෘතිය සදහටම මේ රටින් තුරන් කර දැමීම, මිනිසත්කමේ ගඳසුවඳ හඳුනන කිසිවකුට හෝ ප්‍රශ්නයක් දැයි අප අසන්නට කැමැත්තෙමු. මෙම පනතට විරුද්ධ වන අය නොකියා කියා සිටින්නේ, අනාගතයේදී පවා මේ රටේ තරුණ ජීවිත අමු අමුවේ බිලිගැනීමට, විනාශ කිරීමට අවස්ථාව තිබිය යුතු බව නොවේද?
එපමණක් නොව මේ පනත තුළින් රණවිරුවන්ට හානියක් සිදුවනවා යැයි පසුගියදා රාජපක්ෂවාදීන් මාධ්‍ය හමුවේ පවසා තිබීම තුළින් ඔවුන් මුළු ලෝකයා හමුවේ කියා සිටින්නේ, ඔවුන්ගේ පාලන කාලයේ දී සිදුකළ අතුරුදන් කිරීම්, පැහැරගැනීම් හා අයුතු ඝාතනයන් සියල්ලට මේ රටේ ආරක්ෂක හමුදාව වගකිවයුතු බව නොවේද? ඒ හරහා රණවිරුවා යුද අපරාදකරුවකු ලෙස හංවඩුගැසීමක් නොවේද? මෙවැනි ජුගුප්සාජනක ක්‍රියා තුළින් මහින්ද රජපක්ෂ මන්ත්‍රීවරයා, ඔහුගේ දෙබිඩි පිළිවෙත නැවත වතාවක් මේ රට හමුවේ හෙළිදරව් කරමින් සිටින අතර සියතින්ම සමාජය ඉදිරියේ නිරුවත් වෙමින්ද සිටීයි.
මෙහි විහිලුසහගත තත්ත්වය වන්නේ බලහත්කාරයෙන් හෝ නොසැලකිලිමත් අතුරුදහන් වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර ඉල්ලමින් මෙම සම්මුතිය පිළිබඳව මුල්වතාවට අප රටේ අවධානය යොමුකරවන ලද්දේ 1989 දෙසැම්බර් 04 වැනි දින පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින්මය. එසේ මානව හිතවාදීව එදා කටයුතු කළ රාජපක්ෂ මන්ත්‍රීවරයා අද තමන්ගේම අතීතය අමතක කිරීම පිළිබඳ පුදුම විය යුතු නැත. මක්නිසාද යත් දේශපාලන බලලෝභීකමින් මත්වූ ඔහු දේශපාලන දෙබිඩ්ඩෙකු බවට පත්වී ඇති නිසාවෙනි. මෙවැනි දේශපාලන දෙපිටකාට්ටුවන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන තලයෙන් අතුගා දැමීමේ කාලය එළඹ ඇති බව අවසාන වශයෙන් සටහන් කරමු.
No comments:
Post a Comment