07 April 2017

සමාජ ව්‍යාපාර වැරදි ගොඩක් කළාට සමාජවාදය හැදෙන්නේ නෑ – පුබුදු ජයගොඩ




සමාජ ව්‍යාපාර වැරදි ගොඩක් කළාට සමාජවාදය බිහි නොවන බව අවිස්සාවේල්ල නගර ශාලාවේ පැවැති 46 වැනි අපේ‍්‍රල් විරුසමරුවේ ප‍්‍රධාන දේශනය පවත්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ ප‍්‍රකාශ කළේය.

71 අරගලයට බලපෑ හේතු අදත් වෙනස් වී නැති බවත් එදා ජනතාව මුහුණ දුන් පීඩනයට අදත් ජනතාව මුහුණ දෙන බවත් ඔහු පැවසීය.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් මෙසේද පැවසීය.

මීට අවුරුදු 46කට පෙර සිදු වුණු අපේ‍්‍රල් අරගලය ගැන වර්ග දෙකක කතා අප අහන්න ලැබෙනවා. එකක් තමයි, අප්‍රේල් අරගලයට සම්බන්ධ වූ අය වීරයන් කරලා, ලොකු ස්මාරක හදලා ඒ ස්මාරක පිටුපස තමන්ගේ ප‍්‍රතිසංස්කරණවාදය, පාවාදීම්, ඞීල් හංගන්න ගන්න උත්සාහය. අනෙක් පැත්තෙන් අපි දකිනවා අරගලය පාවාදීලා පලා ගිය අය තමන්ගේ පාවාදීම සාධාරණිකකරණය කරන්න අපේ‍්‍රල් අරගලය සම්බන්ධයෙන් අවලාද නගන, ඒක අත්වැරැුද්දක්, අහම්බයක් කියලා කියන්න දරන උත්සාහය. මේ දෙකෙන්ම අරගලයටවත්, ඉතිහාසයටවත් සාධාරණයක් වෙන්නේ නෑ. ඒ වගේම වර්තමානයටවත් අනාගතයටවත් සාධාරණයක් ඉටු වෙන්නේ නෑ.

1965 ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙන මොහොත වෙද්දී කම්කරුවන්, ග‍්‍රාමීය ගොවීන්, විශේෂයෙන්ම හේන් ගොවීන්, රැුකියාවිරහිත තරුණයන්, ශිෂ්‍යයන් පීඩාවට පත් වෙලා හිටියේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි මාරුවෙන් මාරුවට බලයට ගේනවා හැර ඔවුන්ට වෙන විකල්පයක් ඒ වෙද්දී තිබුණේ නෑ. ඉතාම වේගයෙන් ණය බර ඉහළ යමින් තිබුණා. ලංකාවේ වතුවලින් 35%ක අයිතිය තිබුණේ බි‍්‍රතාන්‍ය සමාගම්වලට. විරැුකියාව ඉහළ ගොස් තිබුණා. සමුපකාර ශාඛාවලින් තුනෙන් එකක් වහලා දාලා තිබුණා. ආර්ථිකය වේගයෙන් අධිරාජ්‍යවාදය එක්ක ගැට ගැහෙමින් තිබුණා. අද වගේම තත්වයක් තමයි එදාත් තිබුණේ.

අද තත්වය මොකක්ද? ඒ අරගලයට අවුරුදු 46ක් ගත වෙන මේ මොහොතේ ධනවාදයේ න්‍යායාචාර්යවරුම කියමින් ඉන්නවා නවලිබරල් ධනවාදය අසාර්ථකයි කියලා. අධ්‍යාපනය, සෞඛ්‍ය වෙළෙඳ භාණ්ඩ බවට පත් කරලා එහි වගකීමෙන් රජය ඉවත් වෙමින් ඉන්නවා. ඒක තමයි නව ලිබරල් ප‍්‍රතිපත්තිය. නව ලිබරල් ධනවාදයට විරුද්ධව තමයි ඔවුන් අරගල කළේ. ලංකාවේ මෑත කාලයේ විශාලම ජනතා සහයෝගය ලැබුණු අරගල දෙක අරගෙන බලන්න. එකක් සයිටම් විරෝධී අරගලය. අනෙක් එක ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ගේ සටන. මේ අරගල දෙකම ගත්තොත් ඒවා නවලිබරල් ධනවාදයට එරෙහි අරගල. 71 අරගලය අහම්බයක්ය කියලා කියන අයට, මේ අරගලත් ඒ වගේ අහම්බයන් කියලා කියන්න පුළුවන්ද දන්නේ නෑ.
1978 සිට ලංකාවේ ආර්ථිකයේ ප‍්‍රධාන උපාය මාර්ගය විදේශ ආයෝජන. නමුත් දළ ජාතික නිෂ්පාදනයෙන් 0.1%ට වඩා විදේශ ආයෝජන ඉහළ ගිහින් නෑ. 2015 ජනවාරි වෙද්දි සුරැුකුම්පත්වල විදේශිකයන් ආයෝජනය කළ මුදල රුපියල් බිලියන 493ක්. නමුත් 2017 ජනවාරි වෙද්දී ඒකෙන් බිලියන 257ක් ඉවත් කර ගෙන තිබෙනවා. පසුගිය මාසයේ ජනාධිපතිවරයා ආර්ථික විශේෂඥයන් ජනාධිපති මන්දරයට කැඳවලා, මේ ප‍්‍රශ්නයට විසඳුම මොකක්ද කියලා ඇහුවා. ආර්ථික විශේෂඥයන් කියලා තියෙන්නේ කිසිම විසඳුමක් නෑ කියලා. මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගිය සතියේ කිව්වා ලංකාවේ ආර්ථිකය රෝහල්ගත වෙලා කියලා.

වමේ ව්‍යාපාරයේ තත්වය මොකක්ද? සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය පිරිහීමට ලක් වෙලා තිබුණා. ඒ පිරිහීමට විරුද්ධවයි ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගුවේ. නමුත් අද ඒ ව්‍යාපාර ප‍්‍රතිසංස්කරණවාදයටත් ලිබරල්වාදයටත් ගිහින්. 1889 හේමාකට් චතුරශ‍්‍රයේ කම්කරුවන්ගේ ලෙයින් රතු වුණු රතු කොඩිය අගමැති මන්දිරයේ ජනාධිපති මන්දිරයේ වළං අල්ලන රෙදි කෑල්ලක් බවට පත් කරමින් ඉන්නවා.

ඉල්ලීම් 21 ව්‍යාපාරයේ ඉල්ලීම් දිහා බලන්න. ඒ සමහර ඉල්ලීම් ආර්ථික ඉල්ලීම් තමයි. නමුත් අදත් ඒ ඉල්ලීම් එහෙමම තියෙනවා. එක ඉල්ලීමක් තමයි දිනක වැටුප රුපියලකින් වැඩි කරන්න කියන එක. අදත් මුදල වෙනස් වෙමින් ඒ ඉල්ලීම ඉදිරිපත් වෙනවා.
තවත් ඉල්ලීමක් තමයි ස්ථිර මාසික වැටුපක් දෙන්න කියන එක. අදත් වතුකම්කරුවන්ගේ ප‍්‍රධානම ඉල්ලීමක් වෙලා තිබෙන්නේ ඒක.

තවත් ඉල්ලීමක් තමයි අර්ථසාධයට, විශ‍්‍රාම වැටුපට බදු ගහන්න එපා කියලා. පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තිබෙනවා, අර්ථසාධක අරමුදලට ගහපු 10% බද්ද 14% දක්වා වැඩි කරන්න. ඒ විතරක් නොවෙයි, වෘත්තීය සමිතිවලට ගෙවන සමාජික මුදල්වලිනුත් බදු අයකරන්න තීරණය කර තිබෙනවා. ඒ වගේම වැඩිහිටි සුබසාධනය කියලා විශ‍්‍රාම වැටුපක් නැති වෙනත් ආදායමක් නැති අය වෙනුවෙන් රුපියල් 2000ක දීමනාවක් දුන්නා. දැන් තීරණය කරලා තිබෙනවා, ඒකෙනුත් රුපියල් 100ක් කපා ගන්න. රුපියල් 2000 වෙනුවට දෙන්නේ 1900යි. ඒ වගේම පවුලේ දරුවන් ඇතුළු සියලූම දෙනාගේ ආදායම රුපියල් 3000ට අඩු නම් විතරයි ඒක ගෙවන්නේ කියලා තීරණයක් අරගෙන තිබෙනවා. එහෙම අය ඉන්නවා නම් දැන් කුස ගින්නේ මිය ගිහින් ඉන්න ඕන.

71 අරගලකරුවන්ට ධනපති ආණ්ඩුව නැගූ එක් චෝදනාවක් තමයි සමාජවාදය යටතේ අවුරුදු 65ට වැඩි අය මරනවා කියලා. නමුත් ඇත්තටම වැඩිහිටියන් මරන්නේ කවුද? මුදල් ඇමැතිවරයා අයවැය ඉදිරිපත් කරමින් කියනවා, වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා, ඒක හරියට පුපුරන්න නියමිත කාලබෝම්බයක් වගේ කියලා. ඒ කියන්නේ ඒක නිශ්ක‍්‍රිය කරන්න ඕන කියලා. ඒකට වැඩිහිටියන් මරන්න ඕන. වැඩිහිටියන් මරන විදිය තමයි මේ යෝජනා කරලා තිබෙන්නේ.

ඉල්ලීම් 21 ව්‍යාපාරයේ තවත් ඉල්ලීමක් තමයි වෘත්තීය සමිතිවල වැඩ කිරීම නිසා සේවයෙන් ඉවත් කිරීම නතර කරන්න කියලා. අදත් ඒ ඉල්ලීම එහෙමම තියෙනවා.

මේ ඉල්ලීම් 21 ව්‍යාපාරය පාවා දෙන්න වමේ ව්‍යාපාරය කටයුතු කළා. රෝහණ විජේවීර සහෝදරයා කියනවා, ඊනියා වම රජගෙදරට බඩ ගෑ විට නව වමේ ව්‍යාපාරයක අවශ්‍යතාව ඇති වුණා, ඒ අවශ්‍යතාව පුරවන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ බිහි වුණේ කියලා.

බි‍්‍රතාන්‍යයේ සමීක්ෂණ වාර්තාවකට අනුව ලෝකයේ සිටුවරුන් වේගයෙන් වර්ධනය වෙන නගර අතර දෙවැනි තැන තිබෙන්නේ කොළඹ නගරය. ඩොලර් මිලියන 30ට වැඩි අය මේ වෙද්දී 70ක් කොළඹ ඉන්නවා. තවත් අවුරුදු 10කින් මේ ගණන 182ක් දක්වා වර්ධනය වෙනවා කියලා ඔවුන් කියනවා. ධනය වේගයෙන් එක තැනකට ගොඩ ගැහෙමින් තිබෙනවා. ඉන්දියාවේ හයිඩ‍්‍රාබාද් නගරයේ මිලියනපතියන්ගේ වර්ධනය 150%යි. ඒ නගරයේම තමයි පහුගිය දවසක ගොවීන් මී කුණු කටින් අරගෙන තමන්ට කන්න නෑ, මී කුණු තමයිකන්න වෙන්නේක ියලා උද්ඝෝෂණය කළේ. කොළඹ නගරයේ නිර්ධනීන් ලක්ෂ හතක් පිටමං කරන්න කටයුතු කරමින් ඉන්නවා.

සධාරණ සමාජයක් කියන සටන් පාඨය අද අවලංගුද? නෑ. ඒක අදටත් වළංගුයි. යුක්තිගරුකෙ ද්ශයක් කියන සටන් පාඨය අද අවලංගුද? නෑ. ඒක අදත් වලංගුයි. නිවහල් මිනිසෙක් කියන සටන් පාඨය අද අවලංගුද? නෑ. අදත් ඒක වලංගුයි. එදා සටන් පාඨ අදත් වලංගුයි. එදා සමාජය මුහුණ දීලා තිබුණු තත්වය අදත් වෙනස් වෙලා නෑ.

නමුත් ඒ ආකෘතියේ අඩුපාඩුකම් තිබෙනවා. ව්‍යාපාරය ගොඩනැගුවේ රහසිගතව. ජනතාවගෙන් බහුතරයක් ව්‍යාපාරය ගැන දැන ගත්තේ අරගලයෙන් පස්සේ. ලෙනින් කියනවා, කැරලි ගසා නැගී සිටීමට හේතු තිබුණත් එය පදනම් විය යුත්තේ ජනතාව මත කියලා. 71 කැරලි ගසා නැගී සිටින්න තත්වයක් තිබුණා. නමුත් ඒක පුුළුල් විප්ලවීය බහුජන ව්‍යාපාරයක් මත පදනම් වුණේ නෑ.

අරගලයට තවත් හේතු ගොඩක් තිබුණා. සමහරු කියනවා අරගලය විසින් මර්දනය කැඳවා ගත්තා කියලා. නමුත් මර්දනය තමයි අරගලය ආවේ. බි‍්‍රගේඩියර්වරයෙක් වොෂිංටන් පෝස්ට් පත්තරේට කියලා තිබුණා, මීට කලින් හමුදාව පුහුණු වුණේ පඹයන්ට වෙඩි තියලා. දැන් ඇත්තටම යුද්ධයක් ඇවිත් තියෙනවා කියලා. මේක කියන්නේ අපේ‍්‍රල් නැගිටීමට කලින්. ඒ වගේම මළ සිරුරු මරණ පරීක්ෂණයකින් තොරව අවසන් කටයුතු කරන්න නීති ගෙනාවේ අරගලයට කලින්. සිය ගණනින් තරුණ තරුණියන් අත්අඩංගුවට ගත්තේ අරගලයට කලින්.

අරගල ආකෘතියේ ප‍්‍රශ්නයක් තිබුණත් දණ නැවීම, වරද පිළිගැනීම ඔවුන් ප‍්‍රතික්ෂේප කළා. අරගලය පාවා දුන් කිහිප දෙනෙක් හැර බහුතරයක් කැරලි ගැහුවා කියලා පිළිගත්තත් ඒක වැරැුද්දක් කියලා පිළිගත්තේ නෑ. සම්මුති ගැහුවේ නෑ. නමුත් අද ඉතාම සරල කරුණුවලටත් සම්මුති ගහන තත්වයට පත් වෙලා. ප‍්‍රායෝගික තත්වයන්ට අනුගත වෙනවාට වඩා 71 පරම්පරාවේ අනුරාගය ධනාත්මකයි. ඒකට අපි ආචාර කරනවා.

පොලිසියට පහරදීම තමයි ඔවුන් තෝරා ගෙන තිබුණේ. රජය කියන්නේ පොලිසිද වගේ ප‍්‍රශ්න නැගෙනවා. නමුත් ගුවන් විදුලිය අල්ල ගන්න, රොස්මිඞ් වටලන්න වගේ තීරණත් තිබුණා. කොහොම වුණත් ප‍්‍රධාන ඉලක්කය වෙලා තිබුණේ පොලිසිවලට පහරදීම. ඒකේ ප‍්‍රශ්නයක් තිබෙනවා. නමුත් පොලිස්පතිවරයා එක්ක ගිහින් පීත්තපටි කපලා පොලිසි විවෘත කරනවාට වඩා ඒක ප‍්‍රගතිශීලියි. රජය කියන්නේ අපේ හතුරෙක්, ඒකත් එක්ක සටන් කරන්න ඕන කියන දැක්ම තිබුණා. ඒක ලොකු දැක්මක්.

ඒ විතරක් නොවෙයි. රාජ්‍ය ආයතන අල්ලන එක විතරක් නොවෙයි, තමන්ගේ ජීවිතත් වෙනස් කර ගන්න එක තමයි විප්ලවය කියන්නේ කියලා ඔවුන් විශ්වාස කළා. ඒ සංස්කෘතිය ගැන විශාල ප‍්‍රසාදයක් ගොඩනැගිලා තිබුණේ ඒ නිසා. ප‍්‍රායෝගිකවාදයට වැටිලා, ජනතාව ඉන්න තැනම වැටිලා ඉන්නේ නැතිව පෙරටුගාමී කාර්යභාරයක් තියෙනවා, වේලාසනින් අවදි වෙන්න ඕන කියලා පෙන්නුවා. 71 අරගලය කියන්නේ කියවා අවසන් කළ නොහැකි පාඩම් පොතක්.

කසල තමයි පොහොර වෙලා මල්ගස්වලට, ලොකු වෘක්ෂවලට පොහොර දෙන්නේ. වැරදිවලින් තමයි ඉගෙන ගන්නේ. නමුත් කසල ගොඩ ගැහුවාට පොහොර හැදෙන්නේ නෑ. ව්‍යාපාර වැරදි ගොඩක් කළාට සමාජවාදය හැදෙන්නේ නෑ. ඒ සාකච්ඡාව ගොඩනගන්නයි අපි අපේ‍්‍රල් සමරුව යොදා ගන්නේ.

No comments:

Post a Comment