19 May 2017

ළමා හෘද අායතනයට මිලියන 2000 ක් නොදුන් ආණ්ඩුව සැප වාහන සඳහා මිලියන 2960ක්



ළමා හෘද ආයතනයට රුපියල් මිලියන 2000 ක්‌ නොදුන් ආණ්‌ඩුව මැති ඇමැතිවරුන්ට සැප වාහන ගෙන්වීම සඳහා රුපියල් මිලියන 2960 ක්‌ වැය කර ඇතැයි වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසීය.

පුරවැසි සංවිධාන එකමුතුව මඟින් මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (18 දා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් එසේ කී චමීර පෙරේරා මහතා මෙසේ ද සඳහන් කළේය.

මාධ්‍යවලින් පසුගිය කාලය පුරා අපි දැක්‌කා ළමා හෘද රෝහල වෙනුවෙන් රුපියල් මිලියන 2000 ක්‌ අවශ්‍යයි කියලා. ඒ සඳහා ජනතාව එකතු වුණා. විවිධ ආයතන පුද්ගලයන් උදව් කළා. ඒ සඳහා රටේ ජනතාව බරපතළ සටනක නිරත වුණා. නමුත් ආණ්‌ඩුව රාජ්‍ය වියදම් ගැන කතා කරනවා. එහෙම තිබියදී මැති ඇමැතිවරුන්ගේ වරදාන වෙනුවෙන් පසුගිය අවුරුදු 2 1/2 ක කාලය තුළ ආණ්‌ඩුව රුපියල් කෝටි 269 ක්‌ ලබාදී තිබෙනවා. එහි කනගාටුදායක තත්ත්වය නම් තම වාහන බලපත්‍ර විකිණීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කගේ පමණ නම් ප්‍රසිද්ධියේ හෙළි වුණා. එමගින් රජයට අහිමි වූ බදු මුදල රුපියල් බිලියන 25 ක්‌. මේක බරපතළ අපරාධයක්‌, වංචාවක්‌. මේ වාහන ගෙන්වන්නේ ජනතාවට සේවය කරන්නයි. නමුත් රාජ්‍ය දේපළ පුද්ගලික ධනය සොයා ගැනීමේ අරමුණින් විකුණනවා. රාජ්‍ය නීතියට පටහැනි ක්‍රියාවක්‌. දේශපාලනඥයන්ගේ ආචාර ධර්ම පද්ධතියට පටහැනියි. ආණ්‌ඩුවට මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැහැ. නමුත් කිහිපදෙනකුගේ වරදාන වෙනුවෙන් මුදල් වියදම් කරනවා. හිස්‌ ගොඩනැඟිලිවලට රුපියල් මිලියන 2300 ක්‌ වියදම් කරනවා. රජයක ප්‍රමුඛතාව මේවාද? ජනවාරි 8 ව්‍යාපාරයට සහාය දැක්‌වූ අපි මේවාට විරුද්ධයි. පුද්ගලික වුවමනාවන්ට වඩා මහජන සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමයි රජය ප්‍රමුඛතාව විය යුත්තේ.

දැන් අපිට බලු කබරයෙක්‌ ගැන අසන්නට ලැබෙනවා. බස්‌නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයෙන් තමයි ඒ බලු කබරාව අහන්න ලැබෙන්නේ. අපි රටක්‌ සංවර්ධනය කළ යුත්තේ අපේ ආචාර්ධර්ම පද්ධතියට අනුකූලවයි. තම බලය ලබා ගන්න ඇඟට බෞද්ධ සළුව පොරවා ගත්තා. අද ඒ බෞද්ධ සළුව ගලවලා නග්න මානසිකත්වයෙන් කටයුතු කරනවා. අද ඔවුන් බල්ලන්ගෙන් පටන් ගෙන අවසන් කරන්නේ අපෙන්. දුර්වලයන්ගෙන් පටන් ගෙන ඔවුන්ට එරෙහි වන්නන්ගෙන් අවසන් කරනවා.

මොවුන් ජනවාරි 8 ව්‍යාපාරයට පස්‌ස දොරෙන් ආපු අයයි. එහෙම ඇවිත් දේශපාලන ආචාරධර්ම පද්ධතිය විනාශ කරනවා. ජනවාරි 8 පරිවර්තනයට දායකත්වය දුන් සියලු දෙනාම මේවාට එරෙහි විය යුතුයි. අපි රජයෙන් ඉල්ලා සිටිනවා දේශපාලන ආචාර ධර්ම පද්ධතිය ආරක්‍ෂා කරමින් කටයුතු කරන ලෙසට.

එසේම අද ලක්‍ෂ 62 කගේ වුවමනාවන් ඉටුවෙනවාද කියා සැකයක්‌ තිබෙනවා. ලක්‍ෂ 58 කගේ වුවමනාවන් තමයි අද ඉටු වෙමින් තිබෙන්නේ. යුක්‌තිය සාධාරණත්වය ඉටු නොවන්නේ නම් තිබෙන්නේ අසමත් යහපාලනයක්‌.

No comments:

Post a Comment