09 May 2017

කොළඹ අහසේ වෙසක් දින රාත්‍රියේ මැවෙන ලොව ප්‍රථම ලේසර් තොරණ | PHOTOS



වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය බෞද්ධ සංගමය එක්ව සංවිධාන කරණු ලබන කොළොම්තොට වෙසක් කලාපය සිව්වන වරට මෙවරත් පැවැත්වෙනවා. ඒ කොළඹ ගාලු මුවදොරපිටිය සහ වරාය පරිශ්‍ර‍ය කේන්ද්‍ර කරගනිමින්.

එහි ප්‍ර‍ධානතම අංගය වන්නේ ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණය. එහි උස අඩි 60 ක් සහ පළල අඩි 40ක් වේ.

දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුව වනවා.

ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණේ නිර්මාතෘ වන්නේ ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතාය.

පසුබිම් සංගීතය විමලජීව දොඹවත්ත මහතාද, කතා වස්තුව දිමුතු චින්තක මහතාද ඉදිරිපත් කරනවා. රාත්‍රී කාලයේ අහසේ සිතුවම් වන මෙම තොරණ දෙස් විදෙස් බැතිමතුන්ගේ සුවිශේෂී අවධානයට යොමු වනු ඇතැයි ආචාර්ය ආචාර්ය ප්‍ර‍භාත් චන්දිම උක්වත්ත මහතා පවසනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ උක්වත්ත මහතා පැවසුවේ,
"ලේසර්වල තියෙනවා විවිධ තාක්ෂණ ක්‍ර‍ම. වෛද්‍ය විද්‍යාවේ ලේසර් භාවිත කරනවා. ඒ වගේම යුද කටයුතු සඳහාත්, මැනීම් කටයුතු හා ඉංජිනේරු විද්‍යාවටත් ලේසර් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ වගේම විශාල වශයෙන් විනෝදාස්වාදය සඳහාත් යොදාගන්නවා. එහිදී අපි භාවිත කරන්නේ විනෝදාත්මකව යොදාගන්නා ලේසර් කිරණ වර්ගයක්. එහි කිසිම ශරීර හානියක් නැහැ.

මේ නිර්මාණය කරන්න අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි විනෝදාස්වාදය සඳහා යොදාගන්න ලේසර් කිරණ නැතහොත් ලේසර් කලාව බුද්ධ චරිතය සම්බන්ධ කරමින් ශ්‍ර‍ද්ධාව ඇතිකිරීම සඳහා යොදාගැනීම. නමුත් අපි ඒ අභියෝගය ජයගත්තා කියලා මම හිතනවා." යනුවෙන්.





No comments:

Post a Comment