16 July 2017
දඹුලු විහාරය ලෝක උරුමයෙන් ඉවතට
අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන්ගේ පෙලඹවීම මත ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාරයේ භාරකාර හිමියන් ඇතුළු චීවරධාරීන් පිරිසක් දඹුල් විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් ලෝක උරුමයක් ලෙස නම්කර ඇති රංගිරි දඹුල්ල රජමහා විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් මතුව පවතී.
චීවරධාරීන් කණ්ඩායමක් සහ ඇතැම් මාධ්‍ය ආයතන විසින් ගෙනයනු ලැබූ අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර දඹුලුලෙන් විහාරය තවදුරටත් ලෝක උරුම ලැයිස්තුවේ පවත්වාගෙන යන්නේදැයි යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ලබන දෙසැම්බර් පළමුවන දිනට පෙර දැනුම් දෙන ලෙස එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ලිපියක් යොමු කරමින් යුනෙස්කෝ සංවිධානය මෙම දැනුම් දීම කර ඇත. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංස්කෘතික අරමුදලේ (යුනිසෙෆ්) ශ්‍රී ලංකා නියෝජිත වෙත විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව දැනුම් දිය යුතුව ඇත.
ආසියා ශාන්තිකර කලාපයේ සංස්කෘතික උරුම ආරක්ෂා කිරීමේ පදනම මත රංගිරි දඹුල්ල රජමහා විහාරය ලෝක උරුමයක් ලෙස නම් කෙරෙන්නේ 1991 වසරේදීය. ඊට අනුමැතිය හිමිව ඇත්තේ එක්සත් ජාතීන්ගේ 15 වන සැසි වාරයේදීය.
1996 වනතෙක් දඹුලුවිහාරය නැරඹීමට පැමිණි පිරිස් සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම සිදුකර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල විසිනි. ඉන් ලැබෙන ප්‍රතිපාදන මත දඹුල්ල විහාරයේ සංරක්ෂණ කටයුතු කෙරී ඇත. 1996 න් පසුව ප්‍රවේශ පත්‍ර අලෙවිය විහාරාධිපති හිමියන් පවරාගෙන ඇති අතර දඹුලුවිහාරස්ථානයේ පිං කැටවලට ලැබෙන මුදල් ද විහාර සංරක්ෂණය සඳහා යොදවනු වෙනුවට පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇත. මේ තත්ත්වය හමුවේ වසර විස්සක් පුරා රුපියල් කෝටි දහසකට අධික මුදලක් කොල්ල කෑ නමුත් දඹුලුවිහාරයේ පුරාවස්තු සංරක්ෂණය කිරීමට සත පහක මුදලක් වෙන් කළේ නැතැයිද ඒවා විනාශ වෙමින් පවතින බව ද වහාම ඒවා රැකගන්නට පෙරමුණ ගන්නැයිද පළමුවෙන්ම ලිඛිතව රජයෙන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ වත්මන් භාරකාර මංගල හිමියන්ය. ඒ වන විට විහාරාධිපති ධුරය දැරුවේ ඉනාමලුවේ සුමංගල හිමියන්ය. පසුව මංගල හිමියන් විහාරාධිපති ධුරයට පත්වූ අතර ඉන්පසුව දඹුල්ල විහාරයට ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් උන්වහන්සේගේ කැමැත්තට අනුව පරිහරණය කිරීම ආරම්භ කර තිබිණි. මේ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව දඹුලුවිහාරයේ කටයුතු නිරීක්ෂණය කිරීම, සංරක්ෂණය කිරීම මංගල හිමියන්ගේ උදහසට ලක්වූවේ මේ හේතුවෙනි. එබැවින් ඇතැම් මාධ්‍ය ආයතන ද සම්බන්ධ කරගෙන ඉකුත් සති කිහිපය තුළ මෙරට ජනතාව නොමඟ යැවීමට චීවරධාරීන් කණ්ඩායමක් ක්‍රියා කළේය. අර්බුදකාරී තත්ත්වය හමුවේ ජුනි මස 26 වන දින දඹුලුවිහාරයේ සංරක්ෂණ කටයුතු නතර කරන ලෙස ද විහාරාධිපති හිමියන් දැනුම් දී ඇත.
මේ තීරණය හේතුවෙන් යුනෙස්කෝ සංවිධානයේ නිර්ණායකවලට අනුව ලෝක උරුම පුදබිම සංරක්ෂණය කිරීම ප්‍රමාද වෙමින් පවතී. එම සංවිධානය රජයට දැනුම් දී ඇත්තේ දඹුලුරජමහා විහාරයේ සංරක්ෂණ කටයුතු ලබන දෙසැම්බර් මස පළමු දිනට පෙර අවසන් කළ යුතු බවය. දඹුලුවිහාරය ලෝක උරුමයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව එය ජාත්‍යන්තර අවධානයට ලක් විය. එමෙන්ම සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝක සංචාරක ලැයිස්තුවට ද එක් විය. මෙරට සංචාරක කර්මාන්තය කෙරෙහි සාධනීය වෙනසක් ඇති කිරීමටද එම තත්ත්වය හේතු වී ඇත. කෙසේ වෙතත් චීවරධාරින් ඇතුළු කඩාකප්පල්කාරීන්ගේ මෙහෙයවීම මත රංගිරි දඹුල්ල සහ ඒ අවට ජනතාවට මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයටත් සෙසු ලෝක උරුම ස්ථානවලටත් අහිතකර තත්ත්වයක් උදා කරනු ඇත.
රංගිරි දඹුල්ල ලෙන් විහාරය සංරක්ෂණය කළ යුතු බවට නිර්දේශ කරන ලද්දේ පුරාවිද්‍යා උපදේශන මණ්ඩලයක් විසිනි. ඊට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය දඹර අමිල හිමි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් ද සිල්වා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, වාස්තු විද්‍යා මහාචාර්ය වෙරන්ජන් කුරුකුලසූරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ උපාලි රත්නායක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල, යුනෙස්කෝ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ කරුණාරත්න හේරත් යන පිරිස ඇතුළත්ය. මෙම පිරිස අදාළ විෂය සම්බන්ධයෙන් මේ රටේ සිටින විද්වත්ම පිරිස බවත් ඔවුන් දේශද්‍රෝහීන් නොවන බවත් ඕනෑම අයෙකුට අවිවාදයෙන් පිළිගැනීමට හැකිය. උපදේශක මණ්ඩලය ජූලි මස 10 වන දින පස්වරුවේ විෂය භාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පවත්වමින් මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් දියත් කර ඇති ව්‍යාපෘති සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. ඒ අනුව දැඩි ලෙසින් විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇති දඹුලුලෙන් විහාරය කඩිනමින් සංරක්ෂණය කළ යුතු බවටත් සංරක්ෂණ කටයුතු සඳහා නැවත දැනුම් දෙන තුරු දඹුලුවිහාරය තාවකාලිකව වසා දැමීමටත් තීරණය කර ඇත. මීට අමතරව රංගිරි දඹුලුලෙන් විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගෙන් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ කටයුත්ත පුරාවිද්‍යා ආඥා පනත සහ විහාර දේවාලගම් ආඥා පනත ප්‍රකාරව පැවරී ඇති නෛතික බලතල උපයෝගි කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදු කිරීමටත් පුරාවිද්‍යා උපදේශන සභාව ඒකමතිකව තීරණය කර තිබිණි.
දයා නෙත්තසිංහ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment