23 March 2017

ජනපති-පුටින් අතර ද්වී පාර්ශික සාකච්ඡා

රුසියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර ද්වී පාර්ශික. සාකච්ඡා අද(23) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.



අද(23) දහවල් මොස්කවු නගරයේ ක්‍රෙමිරින් මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊයේ (22)පස්වරුවේ මොස්කව් නගරයට ළඟා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස රුසියානු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වන අතර වසර 43කට පසුව ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් එරට රජයේ ඉහළම ගෞරවය පිළිගැන්වීමට රුසියානු ජනාධිපතිවරයා සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දෙරටේ නායකයින් අතර නිල හමුවෙන් අනතුරුව ආර්ථික, වෙළෙඳ, දේශපාලනික හා සංස්කෘතික සබඳතා ශක්තිමක් කරන අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(23) පස්වරුවේ සහභාගීවීමට නියමිතය.

දෙරට අතර වෙළෙඳ හා ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා – රුසියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධානය කරන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්වන අතර රුසියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ද හමුවීමට සැළසුම් කර තිබේ.

No comments:

Post a Comment