25 April 2017

යෝධ විදේශ ණය කන්දරාව ශ්‍රී ලංකාව ණය උගුලක සිර කරවයි - නිමල් සඳරත්න



ණය වාරික සහ පොලී වාරික ගෙවීම බරපතල ප්‍රශ්නයක් බවට පත් කරන තරමට ශ්‍රී ලංකාවේ විදේශ ණය එකතුව ඔරොත්තු නොදෙන මට්ටමක පැමිණ තිබේ. විශේෂයෙන් පසුගිය දශකයක කාලය තුළ එක්කාසු වී, අතීතයේ සිට ගොඩගැසෙමින් පැවත විත්, අද වන විට ඩොලර් බිලියන 47 ක් පමණ වන යෝධ විදේශ ණය කන්දරාවේ වාරික සහ පොලිය ගෙවීම සඳහාමත් නැවත ණය ලබා ගැනීමට අපට සිදුව තිබේ. ණය වාරික සහ පොලී වාරික ගෙවීම සඳහා නැවත ණය ලබා ගැනීමට සිදු වීම හැඳින්විය හැක්කේ ණය උගුලක් වශයෙන්ම ය.

ණය සහ පොලී ගෙවීම්

ණය සේවා වියදම වශයෙන් හැඳින්වෙන, වාර්ෂික ණය සහ පොලී වාරික ගෙවීමේ ප්‍රමාණය, 2015 දී ඩොලර් බිලියන 1.8 ක් විය. මෙය ගිය වසර වන විට ඩොලර් බිලියන 2.4 දක්වා වර්ධනය වුණි. මේ ප්‍රමාණය මේ වසරේදී තරමක අඩුවක් පෙන්නුම් කළත්, මෑත අනාගතයේදී නොදැරිය හැකි ආකාරයෙන් එම ප්‍රමාණයන් ඉහළ යාමට ඉඩ තිබේ. උදාහරණයක් වශයෙන් 2018-19 වන විට එම ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි දැනට ගණන් බලා තිබේ. ණය සහ පොලී වාරික මෙතරම් විශාල මට්ටමකට වැඩි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ, ලබාගෙන ඇති ණයවලින් විශාල ප්‍රමාණයක්, අධික වියදම්කාරී සහ ඵලදායීතාවෙන් හීන, නිෂ්පාදනයක් වර්ධනය නොකෙරෙන යටිතල ව්‍යාපෘති සඳහා පාවිච්චි කොට තිබීමයි.

විදේශ ණය ප්‍රමාණයේ වර්ධනය


2000-2009 අතර කාලයේ විදේශ ණය ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි විය. 2000 දී ඩොලර් බිලියන 9 ක් වූ එම ප්‍රමාණය 2009 වන විට ඩොලර් බිලියන 18.6 ක් දක්වා වැඩි විය. ඉන් පසුව ගත වු පස් වසර තුළ එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වූ අතර, 2014 වන විට ඩොලර් බිලියන 42.9 ක් දක්වා වැඩි වී තිබුණි. එය, අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට සියයට 53.6 කි.

අලුත් ආණ්ඩුව යටතේ, ගත වු වසර දෙකේදීත් විදේශ ණය ප්‍රමාණය එක දිගටම වැඩි විය. 2015 අවසන් වන විට එම ප්‍රමාණය ඩොලර් බිලියන 44.8 ක් හෙවත් අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 54.4 ක් දක්වා වර්ධනය වී තිබුණු අතර, 2016 ජුලි මාසය වන විට ඩොලර් බිලියන 47.4 ක් දක්වා වැඩි වී තිබුණි. කෙසේ වෙතත්, 2016 ජනවාරි අවසානය වන විට මෙය ඩොලර් බිලියන 46.6 ක් දක්වා සුළු වශයෙන් පහළ ගියේය. අද වන විට විදේශ ණය ප්‍රමාණය, අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 55 ක් පමණ වන්නේ යැයි ගණන් බලා තිබේ.

පසුගිය දෙවසරක කාලය තුළ අපේ ණය ප්‍රමාණය වැඩි වීමට මුලික හේතුවක් වුණේ, තිබුණු ණය සහ පොලී ගෙවා දැමීම සඳහා නැවත ණය ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වීම නිසා වුවත්, එසේ වැඩි වැඩියෙන් ණය ලබා ගැනීමට හේතු වූ තවත් කාරණයක් වුණේ, ජාතික ආණ්ඩුව ගෙන ගිය ආර්ථික පිළිවත් ය. රජයේ මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති නිසා විදේශ වෙළඳ ශේෂයේ හිඟය වැඩි වීමෙන් ප්‍රශ්නය තවත් උග්‍ර වුණි.

විදේශ ණය ගැනීමේ වාසි

විදේශ ණයවල ජන්ම වරදක් නැත. ඇත්ත වශයෙන්ම එසේ විදේශයන්ගෙන් ණය ලබා ගැනීම, රටක ආයෝජන සඳහා අවශ්‍ය දේශීය ඉතිරි කිරීම් ප්‍රමාණවත් නොවන අවස්ථාවක එම අඩුව පිරිමසා ගැනීමට ප්‍රයෝජනවත් වන්නේය. එසේම දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධනයකට රුකුලක් විය හැකි මහ පරිමාණ යටිතල ව්‍යාපෘති ගොඩනැගීම සඳහා ද එවැනි ණය ප්‍රයෝජනවත් වන්නේය. රටක සංවර්ධනය සඳහා අවශ්‍ය කරන විදේශ සම්පත් හිඟ අවස්ථාවක විදේශ ණය ලබා ගැනීම ඊට පිළියමකි. එසේම, ගෙවුම් ශේෂ හිඟයේ තාවකාලික ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහාත් විදේශ ණය ප්‍රයෝජනවත් වෙයි. කෙටියෙන් කිවහොත්, ආර්ථිකයක් ඉහළ තලයකට නංවාලන ආර්ථික වර්ධනයේ ඉහළ මට්ටමකට ළඟා වීම සඳහා තල්ලුවක් වීමට දේශීය ධනය සහ සම්පත් ප්‍රමාණවත් නොවන අවස්ථාවක විදේශ ණය රටකට ප්‍රයෝජනවත් වන්නේය.

කෙසේ වෙතත්, කොතරම් ප්‍රමාණයක් ණය ලබා ගන්නේ ද යන්න, ඒ සඳහා ගෙවිය යුතු පොලී අනුපාතිකයන් කොපමණ ද යන්න, ඒ ණය ලබා ගන්නේ කුමන කොන්දේසි යටතේ ද යන්න සහ ඒ සියල්ලටමත් වඩා, ලබා ගන්නා ණය යොදා ගන්නේ කුමන කාර්යයක් සඳහා ද යන්න මත, විදේශ ණය ලබා ගැනීම කෙරෙහි සීමාවන් පනවා ගත යුතුව පවතී. ආපසු එම ණය සහ පොලී ප්‍රමාණයන් ගෙවා ගත හැකි ආකාරයෙන් එම ණය ලබා ගත යුතුව ඇති බව එහි අදහසයි. 

ඒ අනුව, ලබා ගන්නා විදේශ ණය, රටේ දීර්ඝ කාලීන ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය කෙරෙහි විටෙක යහපතක් සේම විටෙක අයහපතක් ද විය හැකිය. මේ නිසා රටක ආර්ථික ස්ථාවර භාවය සහ සංවර්ධනය සඳහා, ණය සහ පොලිය ආපසු ගෙවීමේ හැකියාව වඩවා ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය. විශේෂයෙන්, ආනයන-අපනයන වෙළඳාම මත රඳා පවතින ආර්ථිකයක් ණය උගුලකට හසු නොවී සිටීමට නම් ඒ කාරණා සැලකිල්ලට ගත යුතුව තිබේ. එසේ තිබියදී, වර්තමානයේ අප පත්ව ඇති ණය ප්‍රශ්නයට, බලයේ සිටි දේශපාලනික නායකත්වයේ සේම, වර්තමාන නායකත්වයේ ද ආර්ථික අවකළමණාකරණය හේතු වී ඇති බව කිව යුතුය.

විදේශ අරමුදල් පාවිච්චියට ගැනීම

විදේශ ණය ප්‍රශ්නයේ අරටුවේ ස්වභාවය තීරණය වන්නේ, ලබා ගන්නා විදේශ ණය පාවිච්චි කරන්නේ කෙසේද යන්නත්, ලබා ගන්නා ණය ප්‍රමාණයේ පොලී අනුපාතිකයන් කවරේද යන්නත්, ආපසු ණය ගෙවීමේ කාල පරාසය කොපමණ වේද යන්නත් මත ය. ණය ආපසු ගෙවා දැමීම රටේ ආර්ථිකයට බරක් නොවීමට නම්, ඉහත කී කාරණා පිළිබඳ සැලකිලිමත් විය යුතුව තිබේ. මෑත කාලයක රටේ විදේශ ණය කන්දරාව ඉහළ යාම දරාගත නොහැකි මට්ටමක් බවට පත්ව ඇත්තේ, ලබා ගත් ණය ගෙවා දැමීමට තරම් ප්‍රතිපාදන නොනිපදවන මහ පරිමාණ යටිතල සංවර්ධන ව්‍යාපෘති සඳහා එම ණය පාවිච්චි කොට තිබීම නිසා ය. එය තවත් උග්‍ර කෙරී ඇත්තේ, විදේශ වෙළඳ ශේෂයේ හිඟය වැඩි වන ආකාරයේ මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා ය.

විදේශ ණය නඩත්තු කළ නොහැකි වීමේ ප්‍රශ්නය

ලංකාවට තිබෙන්නේ, නඩත්තු කළ හැකි විදේශ ණය ප්‍රමාණයක් ද? ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ‘නඩත්තු කළ හැකි විදේශ ණය’ යනු කුමක්ද යන්න, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්වචනය කරන්නේ, “රටක වර්තමාන සහ අනාගත විදේශ ණය ප්‍රමාණය, කල් දැමීමකින් හෝ වෙනත් ආකාරයකින් මගහැර නොයමින් ද, එක දිගට ගොඩ ගැසීමට ඉඩ නොදෙමින් ද, රටේ සංවර්ධනයට බාධාවක් කර නොගනිමින් ද, අදාළ ණය වාරික සහ පොලී වාරිකයන් මුළුමණින් ගෙවා දැමීමට ශක්තියක් තිබීම” යනුවෙනි. මේ නිර්වචනයට අනුව, ශ්‍රී ලංකාවේ ණය කන්දරාව දරා ගත හැකි එකක් නොවේ. පැහැදිළිවම අප සිටින්නේ ණය උගුලකයි.

නිගමනය

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 47 හෙවත් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 55 ක් වන ණය කන්දරාව, අවුරුදු පතා කොටස් වශයෙන් සහ පොලිය වශයෙන් ගෙවා දැමීම සඳහා තව තවත් ණය ගැනීමට සිදුව තිබේ. මෙසේ ණය වාරික සහ පොලිය ගෙවීම සඳහා වසරක් පාසා තව තවත් ණය ගැනීමට සිදු වීමෙන් පෙනී යන්නේ අප ණය උගුලක හිර වී ඇති බවයි.

දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපේ විදේශ ණය ප්‍රමාණයේ ප්‍රතිශතය, වෙනත් රටවල එවැනි ප්‍රතිශතයන් සමග සැසඳීමේ තේරුමක් නැත. මන්ද යත්, එවැනි බොහෝ රටවල අපගේ මෙන් බරපතල ගෙවුම් ශේෂ අර්බුද නැති බැවිනි. අපේ ප්‍රශ්නය වන්නේ, ලබා ගත් ණය ගෙවා ගත නොහැකි ආකාරයෙන් පාවිච්චි කොට තිබීමයි. ණය ගෙවීමේ ප්‍රමාණය මේ වසරේ අඩු වී තිබීම, 2018-2019 වසරවල ණය ගෙවීම සඳහා වන ශක්තිය වැඩි දියුණු කර ගැනීම සඳහා අවස්ථාවක් කර ගත යුතුව තිබේ. හෙවත්, ණය නඩත්තු කිරීමේ හැකියාව අප ඇති කර ගත යුතුව තිබේ. විදේශ ආදායම් අර්බුදකාරී මට්ටමකට යාමට නොදී කළමණාකරනය කළ යුතුව තිබේ. ඒ සඳහා නිසි මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති අනුගමනය කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ කරා යොමු විය යුතුව තිබේ. ණය බර අඩු කර ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සහ පුද්ගලීකරණය කිරීමයි. දේශපාලනික වශයෙන් ජනප්‍රිය නොවන තීන්දු එහිදී ගත යුතුව තිබේ.

විදේශ ණය ගෙවීමේ ප්‍රමාණයන් පිළිබඳ සංඛ්‍යා ලේඛන වෙනස් පිළිවන. රටේ සැබෑ ණයගැති භාවයේ තරම ඉහත කී සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරනවාට වඩා බරපතල වීමට ඉඩ තිබේ. මන්ද යත්, ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන පදනම්ව ඇත්තේ, ආණ්ඩුවේ ව්‍යාපෘති ණය ප්‍රමාණයන් සහ ජාත්‍යන්තර බැඳුම්කර ණය ප්‍රමාණයන් මත පමණක් වන බැවිනි. මේ අංශයන්ට පිටස්තරව ලබාගෙන ඇති වෙනත් ණය ප්‍රමාණයන් ද එක් කළ විට, රටේ සැබෑ ණය බර මීටත් වඩා වැඩි විය හැකිය.

2017 අප්‍රේල් 23 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ  Sri Lanka's Massive Foreign Debt Generates A Debt Trap නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

No comments:

Post a Comment