25 April 2017

ලාංකේය සිනමාවේ වාම ලකුණ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ චිත්‍රපට හතක්




01) අහස් ගව්ව

පතිරාජයන්ගේ පළමු සිනමා නිර්මාණය වන අහස් ගව්ව තිරගත වූයේ 1974 වසරේදීය. 

වික්‍රම බෝගොඩ, විමල් කුමාර ද කොස්තා, විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, අමරසිරි කලන්සූරිය ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූ මෙය ආදායම් අතරින් එතරම් සාර්ථක නොවූවවද, සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට 10 අතරින් එකක් ලෙස සැලකෙයි.

කෙසේ වෙතත් මේ චිත්‍රපටයේ රඟපෑ චරිතය වෙනුවෙන් අමරසිරි කලංසූරියට එම වසරේ හොඳම රංගන ශිල්පියාට හිමි විචාරක සම්මානයද හිමි විය.

02) එයා දැන් ලොකු ළමයෙක්

1977 දී තිරගත වූ එයා දැන් ළොකු ළමයෙක් චිත්‍රපටයද සම්මානිත චිත්‍රපටයකි. මාලනී ෆොන්සේකා ඉහළ රසික ආකර්ෂණයක් හිමි කරගත් සුසිලා චරිතය රඟපාන්නේ මෙම චිත්‍රපටයේය.

ඇය එම චිත්‍රපයේ රංගනය වෙනුවෙන් 1977 සිග්නිස් සම්මාන උලෙළෙහිදී නිර්මාණශීලී රංග කුසලතා සම්මානයටද හිමිකම් කීවාය.

මාලනී සමග එම චිත්‍රපටයේ විමල් කුමාර ද කොස්තා, විජය කුමාරතුංග, දයා තෙන්නකෝන්, සිරිල් වික්‍රමගේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූහ.

03) පොන්මණී

මෙතෙක් බිහි වූ ලාංකේය දෙමළ භාෂිත චිත්‍රපට අතරින් වඩාත්ම විචාරක අවධානයට ලක්වූ චිත්‍රපටය ලෙස පොන්මණි’ හැඳින්විය හැකිය.

1977 වසරේ තිරගත වන මෙය සිංහල අධ්‍යක්ෂවරයෙකු දෙමළ භාෂා චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ පළමු අවස්ථාව ලෙසද සැලකෙයි. වික්‍රම බෝගොඩ, අමරසිරි කලංසූරිය ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වූහ.

04) බඹරු ඇවිත්

1978 අගෝස්තු 11 වැනිදා තිරගත වූ බඹරු ඇවිත් චිත්‍රපටය ලාංකේය සිනමාවේ මෙන්ම පතිරාජයන්ගේද විශිෂ්ටතම චිත්‍රපට අතරින් එකක් වෙයි.

1979 වසරේ දී පවත්වන ලද සිග්නිස් උත්තමාචාර උලෙළේදී අධ්‍යක්‍ෂණය කුසලතා සහතිකය, නිර්මාණශීලී තිර රචනය, නිර්මාණශීලී රංග කුසලතා ඇතුළු සම්මාන රැසක් දිනාගත් එය, එම වසරේ පැවැති ප්‍රථම ජනාධිපති සම්මාන උලෙළේ දී හොඳම අධ්‍යක්‍ෂණය ඇතුළු සම්මාන රැසක් දිනාගැනීමටද සමත් විය.

සෙන්රිටෝ, බර්ගමෝ, මොස්කව්, ලන්ඩන්, මදුරාසි ලොස් ඇන්ජලීස් ආදී විදේශ චිත්‍රපට උලෙළ රැසක් නියෝජනය කරන්නටද බඹරු ඇවිත් චිත්‍රපටය සමත් විය.

05) පාර දිගේ

1980 ඔක්තෝබර් මස 24 වැනිදා තිරගත වූ පාර දිගේ චිත්‍රපටය සරසි චිත්‍රපට වෙනුවෙන් ඇල්බට් ගොඩමාන්නගේ නිෂ්පාදනයකි.

මේ චිත්‍රපටයේ එන චන්දරේ චරිතය වාණිජ චිත්‍රපටවලට කොටු වී සිටි විජය කුමාරතුංග අතිදක්ෂ චරිතාංග නළුවෙකු බව ඔප්පු කළේය. විනාඩ් 123 ක් පුරා දිවෙන මේ ච්ත්‍රපටය විශිෂ්ට නිර්මාණයක් වුවද එය බොහෝ ඉක්මනින්ම සිනමාහල්වලින් ගැලවී ගියේය.

06) සොල්දාදු උන්නැහේ

1981 වසරේ අප්‍රේල් 10 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම, මාලනී ෆොන්සේකා, හෙන්රි ජයසේන ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූහ.

08 වැනි ඉන්දීය සිනමා උලෙළද නියෝජනය කළ මෙම චිත්‍රපටය එම වසරේම හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිරරචනය සඳහා වන ජනාධිපති සම්මානද දිනාගත්තේය. එමෙන්ම සිග්නිස් සම්මාන උලෙළෙහිදී හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය යන සම්මානවලින්ද පිදුම් ලැබීය.

එමෙන්ම 1990 වසරේ සිග්නිස් සම්මාන උලෙළ තුළදී 80-90 දශකයේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටයට හිමි සම්මානයද මේ සඳහා හිමි විය.

07) මතු යම් දවස
2001 වසරේ නිකුත් වූ මෙම චිත්‍රපටය පතිරාජයන්ගේම නිෂ්පාදනයකි. 80 දශකයේ පැවැති භීෂණ සමයේ කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටය විචාරකයන්ගේ නිර්දය විවේචනයට ලක් වූ අතර, සෞම්‍ය ලියනගේ, රාධා ද මැල්, ඩී.බී. ගංගොඩතැන්න ආදීහු එහි රංගනයෙන් දායක වූහ.

කෙසේ වෙතත් මෙහි ජාත්‍යන්තර එළිදැක්ම 2002 වසරේදී සිංගප්පූරුවේදී සිදු කෙරුණු අතර, එම වසරේම නවදිල්ලියේ පැවැති සිනෙෆෑන් සිනමා උලෙළද නියෝජනය කළේය.

සමිත් බෝධිපක්ෂ

No comments:

Post a Comment