01 June 2017

ගංවතුර වළක්වාගන්න තිබෙන සැලැස්ම දශක 5ක් පරණයි : ජනාධිපති

 ‘‘ තමන්ට ලැබෙන මනාප ගැන බලාගෙන මහජන නියෝජිතයන් තීන්දු තීරණ ගන්නවා. රජයක් ගෙන එන සංවර්ධන යෝජනා ක්‍රමවලට විරුද්ධ වෙනවා. ගංවතුර වළක්වා ගන්න අවුරුදු 50ට පෙර හදපු සැලසුම තවමත් ක්‍රියාත්ක කරන්න බැරිවෙලා තියෙනවා. මේවාට විරුද්ධ වෙන අය පස්සේ ස්වභාවික ආපදා සිදුවන විට නැවත කෑ ගහනවා. මේ ක්‍රමය දැන්වත් නවත්තන්න. දේශපාලන බේදයකින් තොරව මේ සංවර්ධන වැඩවලට එකතු වෙන්න“ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

 ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (01)  පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දන්වමින් ජනාධිපතිවරයා මේබව පවසා  සිටියේය.

ඉදිරි ගංවතුරකදී ගාල්ල දිස්ත්‍රික්කයට හානි සිදුවීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේදී  අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද පැවසීය.

"මේ ව්‍යාපෘති වාර්තාව සකස් කර තියෙන්නේ 1969 දී. එහි දැක්වෙනවා ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවලට ඇතිවන වර්ෂාවන් ගැන. මේ වර්ෂාව ඇතිවුණාම සිදුවන හානිය දැක්වෙනවා. මේ හානිය වළක්වාගන්න කරන්න ඕන වැඩ මොනවා ද කියලත් එහි දක්වා තිබෙනවා. සල්ලි වියදම් කරලා විදේශීය විශේෂඥයන් ගෙන්වලා අපේ ඉංජිනේරුවන් ද තම අත්දැකීම් ඔවුන් සමග බෙදාහදාගෙන සකස් කළ මේ වාර්තාවේ සඳහන් කාර්යයන් ඉටුකරන්න පත්වූ රජයන් රැසක් කටයුතු කළත් අද වනතුරු මේවා ක්‍රියාත්ක කරන්න බැරිවුණා.

එසේ සිද්ධවෙන්නේ අපේ දේශපාලකයන්ගේ වරදින්. තමන්ට ලැබෙන ඡන්ද, තමන්ගේ මනාප, තමන්ට සමීප අයගේ අදහස් නිසා මේ පොදු සංවර්ධන ව්‍යාපෘතිවලට අපේ මහජන නියෝජිතයන් විරුද්ධ වෙනවා. අවසානයේ සිදුවන්නේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නොහැකි වීමයි. ඉතින් ස්වාභාවික ආපදා වළක්වාගන්නේ කොහොම ද ? අන්තිමේදී මිනිසුන් මියගියාම, ඔවුන් විපතට පත්වෙලා උන්හිටිතැන් අහිමි වුණාම කඳුළු වගුරුවනවා. මේ අවස්ථාවේදී වත් සිදුවිය හැකි විනාශය තේරුම් ගන්න.

මේක ඉතාමත් භයානක තත්ත්වයක්. මෙයින් වැළකී සිටීමට නම් මේ ව්‍යාපෘති දේශපාලන භේද නොතකා සාමූහිකව එකතුවෙලා ක්‍රියාත්ක කරන්න ඕන. අපි රජයක් හැටියට මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. විදේශ ආධාර ලැබෙනවා. මේවාටත් උදවු ගන්න පුළුවන්. මේ වාර්තා නිකමට හදපු දේවල් නොවෙයි.අඩුම තරමේ මේ වාර්තා සකස් කිරීම 1966 වසරේදීවත් පටන් ගන්න ඇති. දේශපාලකයන්ගේත් පොදු මහජනතාවගේත් ආධාර ලැබුණොත් අනාගතයේදී මේවා වළක්වාගත හැකියි. රත්නපුර දිස්ත්‍රික්කයේ සිට මේ ව්‍යාපෘති ක්‍රියාත්ක කරන්න අපි කටයුතු කරමු. “

No comments:

Post a Comment