01 June 2017

ප්‍රේක්ෂකයා ගැන බෙහෙවින් සැලකිලිමත් වූ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්


විසිවැනි සියවසේදී ලොව බිහිවූ විශිෂ්ටයන් අතරට ජර්මානු නාට්‍යවේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ද අයත් ය. බ්‍රෙෂ්ට් කවියකු ලෙස ද ප්‍රකට විණි. සම්පූර්ණ නම ඉයුජින් බර්තෝල්ද් ෆ්‍රෙඩ්රිඩ් බ්‍රෙෂ්ට් වුව ද ඔහු ප්‍රකට වූයේ බරටෝල්ට් බ්‍රෙෂ්ට් යනුවෙනි. ළමා වියේදී බොහෝ අය ඔහු ඇමතුවේ ඉයුජින් යන නමිනි.

පළමු ලෝක යුද්ධය සමයේ නව යොවුන් වියේ සිටි බ්‍රෙෂ්ට්ට යුද හමුදාවට එක්වීමට බලවත් ආසාවක් ඇති විය. එසේ වුව ද යුද්ධයෙන් සිය පාසල් මිතුරන් එකිනෙකා අහිමි වන අයුරු දුටු ඔහු කෙරෙන් එකී ආසාව පහව ගියේ ය.

බ්‍රෙෂ්ට්ගේ පියාට අවශ්‍ය වූයේ ඔහු වෛද්‍යවරයකු කිරීමට ය. ඒ සඳහා ඔහු මියුනිච් සරසවියට ඇතුළත් කෙරිණි. එහිදී සිදුවූයේ අනෙකකි. බ්‍රෙෂ්ට් ඇදී ගියේ නාට්‍යවේදය හැදෑරීම දෙසට ය. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඉඳහිට දේශනවලට සහභාගි වූ ඔහු ආතර් කුෂර් නම් ආචාර්යවරයාගේ මඟ පෙන්වීම යටතේ නාට්‍යවේදය හැදෑරීය. බ්‍රෙෂ්ට්ගේ පළමු කවිය ප්‍රකාශයට පත්වූයේ 1914 දී ය. ඒ වනවිට ඔහු 16 හැවිරිදි වියේ පසුවිණි. ඔහු පුවත්පතකට ලියූ පළමු ලිපිය පළ වූයේ බර්ට් බ්‍රෙෂ්ට් යන නමිනි. ඔහු සිය පළමු නාට්‍ය ‘බාල්’ රචනා කර නිම කළේ 1918 දී ය. එය අරමුණක් නැති තාරුණ්‍ය පිළිබඳව ‘බාල්’ වේදිකාගත වූයේ 1923 දී ය. බ්‍රෙෂ්ට් ගේ දෙවැනි නාට්‍ය ‘ඩ්‍රම්ස් ඉන් ද නයිට්’ 1919 දී රචනා කළ අතර පළමු නාට්‍යයට පෙර එනම්, 1922 දී වේදිකාගත විය. එවක ප්‍රකට නාට්‍ය රචකයකු මෙන් ම නවකතාකරුවකු ද වූ උයන් ෆියුට්වැන්ගර් 1919 දී හඳුනාගැනීමත් සමඟ එක්ව නිර්මාණකරණයේ යෙදීමට ඔවුන් දෙදෙනා අතර 1924 දී එකඟතාවක් ද ඇති විණි.

වර්ෂ 1923 දී බ්‍රෙෂ්ට්, ‘මිස්චීරියස් ඔෆ් අ බාබර් ෂොප්’ නම් චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ ය. එවක එය සාර්ථක වූයේ නැත. එසේ වුව ද පසුකාලීනව එය ජර්මානු සිනමා ඉතිහාසයේ බිහි වූ වඩාත් වැදගත් සිනමා නිර්මාණ කිහිපය අතරට ඇතුළත් විය. පළමු ලෝක යුද්ධයේ අත්දැකීම්වලින් කම්පිතව සිටි බ්‍රෙෂ්ට් යුද්ධය සහ මනුෂ්‍යත්වය තේමා කොට ගනිමින් ‘මෑන්’ ඊක්වල්ස් මෑන්’ නාට්‍ය රචනා කළේ 1926 දී ය. ඉන් පසු ‘ද ත්‍රී පෙනි’, ‘රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද සිටි ඔෆ් වහාගොනි’ වැනි ඔපෙරා නිර්මාණයේදී ඔහුට කර්ට් වේල්, කැස්පර් දෝහා වැනි නිර්මාණකරුවන්ගේ ද දායකත්වය ලැබිණි. ‘ත්‍රී පෙනි’ ඔපෙරාව භාෂා 18 කට පරිවර්තනය විය. වසර 1933 වනවිට එය යුරෝපය පුරා දස දහස් වතාවක් වේදිකාගත වී තිබිණි. වර්ෂ 1937 – 1939 වකවානුවේ ඔහු, ‘ලයිෆ්’ ඔෆ් ගැලීලියෝ’ නාට්‍ය රචනා කළේ ඉතාලියානු දාර්ශනික හා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලිගේ ජීවිතයේ අවසන් වසර කිහිපය ඇසුරිනි. එම ඓතිහාසික නාට්‍යය 1940 ගණන්වල මැද භාගයේ වේදිකාගත විය. බ්‍රෙෂ්ට්ගේ එකම හොලිවුඩ් තිර පිටපත ‘හැංග්මන් ඕල් සෝ’ මයි’ ය. එය රෙජන්හාඩ් හේම්රිච්ගේ මරණය ඇසුරු කොට ගත් නිර්මාණයකි. හේඩ්රිච් ප්‍රකටව සිටියේ ‘ප්‍රාග්’ හි අළුගෝසුවා’ ලෙස ය. බ්‍රෙෂ්ට්, ‘ද කොකේෂියන් චෝක් සර්කල්’ ලීවේ 1944 දී වුව ද වේදිකාගත වූයේ 1944 දී ය. බ්‍රෙෂ්ට් සහ මාග්‍රට් ස්ටෙෆින් එක්ව වර්ෂ 1939 දී රචනා කළ ‘මදර් කරේජ් ඇන්ඩ් හා චිල්රන්’ විසි වැනි සියවසේදී නිර්මාණය වූ විශිෂ්ටම වේදිකා නාට්‍ය බව ඇතැම් විචාරකයන්ගේ අදහස ය‍. බ්‍රෙෂ්ට්ගේ මරණයෙන් වසර කිහිපයකට පසු එය සිනමාවට ද නැඟිණි.

බ්‍රෙෂ්ට් සිය ප්‍රේක්ෂාගාරය ගැන බෙහෙවින් සැලැකිලිමත් වූ නිර්මාණකරුවෙකි‍. නාට්‍යයක සෑම චරිතයක් ගැන ම වෙන් වෙන් වශයෙන් ප්‍රේක්ෂකයා දරන අදහස දැන ගැනීමට ඔහු වගබලා ගත්තේ ය.

බ්‍රෙෂ්ට්ගේ පළමු බිරිඳ මැරියන් සොෆ් ය. ඇය ඔස්ට්‍රියානු ඔපෙරා ගායිකාවකි. මේ විවාහයෙන් ඔවුන් දෙපළට දියණියක ලැබිණි. ඇය ජර්මානු සිනමා නිළි හැන් හියොබ් ය. සරසවි සමයේදී පෝලා වැන් හොලිෂර් නම් යුවතියක සමඟ බ්‍රෙෂ්ට් ප්‍රේමයෙන් වෙළී සිටියේ ය. ඔවුන් දෙදෙනාට ෆ්‍රෑන්ක් නමින් පුතකු ද ලැබිණි. බ්‍රෙෂ්ට්ගේ දෙවැනි බිරිඳ හෙලන් වේගල් ය. නෙක් සිටී. හෙලන්ගෙන් ඔහුගේ නිර්මාණ කාර්යයන්ට ලැබුණේ නොමඳ සහායකි. ඔවුන් දෙදෙනා එක්ව නාට්‍ය නිෂ්පාදන සමාගමක් ද ඇරැඹීය.

තමන් සිය නිර්මාණ හරියට ම තේරුම් ගත්තේ මාක්ස්ගේ ‘ප්‍රාග්ධනය’ කියැවූ පසුව බව බ්‍රෙෂ්ට් කියා තිබේ. බ්‍රෙෂ්ට් ජීවිත කාලය පුරා ම මාක්ස්වාදියකු ලෙස කටයුතු කළේ ය.

වර්ෂ 1925 දී බ්‍රෙෂ්ට්ට චාලි චැප්ලින් ගේ The Gold Rush සහ Eisenstein’s Bettle ship potemtein චිත්‍රපට දෙක නැරැඹීමට ලැබිණි. එය ඔහුට‍ විශාල නිර්මාණාත්මක බලපෑමක් ඇති කළේ ය.‍ එවක් පටන් බ්‍රෙෂ්ට් සහ චැප්ලින් අවස්ථා කිහිපයකදීම ඇමෙරිකාවේ දී මුණ ගැසී තිබේ. චැප්ලින් ගේ Monsieur verdoux ගැන දෙදෙනා අතර පුළුල් ව සංවාදයට ලක් වූ අතර එය සාර්ථක වීමට බ්‍රෙෂ්ට්ගේ බලපෑම විශාල ලෙස අදාළ විය.

ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ බලයට පත්වීමත් සමඟ 1933 දී බ්‍රෙෂ්ට් රටින් පිට විය. උග්‍ර ෆැසිස්ට් විරෝධියකු වූ ඔහු එහි සිටියේ නම් වධහිංසනයට ලක්වීමට නිසැකවම ඉඩ තිබිණි. රටින් පිටවූ පසු පැරිසියේද මඳ කලක් ගත කළ බ්‍රෙෂ්ට් පවුල ඉන් පසු මාධ්‍ය මිතුරකු මෙන් ම ලේඛකයකු වූ කරීන් වයික්ලිස්ගේ ඇරියුමෙන් ඩෙන්මාර්කයට ගියහ. වසර ගණනාවක් ම ඔවුන් ජීවත්වූයේ එහි ය.

මේ වකවානුවේදී බ්‍රෙෂ්ට් කෝපන්හේගන්, පැරිසිය, මොස්කව්, ලන්ඩන්, නිව්යෝර්ක් වැනි නගර ගණනාවකම චාරිකා කළේ විවිධ කාර්යයන්ට දායකත්වය ලබාදෙමිනි. හිට්ලර් ඩෙන්මාර්කය ආක්‍රමණය කිරීමත් සමඟ ඔවුහු නැවකින් පලා ගියහ. මෙවර ඔවුන් නතර වූයේ පින්ලන්තයේ හෙල්සින්කි නුවර ය. එහි සිටි දෙවසරක කාලය තුළ ඔහු ‘පුන්තිලා’ නාට්‍ය රචනා කළේ ය.

සීතල යුද සමයේදී හොලිවුඩය විසින් බ්‍රෙෂ්ට් සහ තවත් නිර්මාණකරුවන් 40 කට පමණ තහංචි පැනවිණි. ඔවුන්ගේ නිර්මාණ අසාදු ලේඛනගත කළ බව සඳහන් විය. ඇමෙරිකානු නොවන ක්‍රියාකාරකම් කමිටුවට ඔවුන් කැඳවුණේ ප්‍රශ්න කිරීමට ය. බ්‍රෙෂ්ට් ඇතුළු 19 දෙනකු එහි පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ ද පසුව නීති උපදෙස් මත ඔහු එහි පෙනී සිටියේ ය. තමා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු නොවන බව එහිදී ඔහු තහවුරු කළේ ය.

නැ‍ඟෙනහිර බර්ලිනයේ ගත කළ ජීවිතයේ අවසන් සමයේදී ඔහු අතින් රචනා වූයේ නාට්‍ය අතළොස්සකි. ඒ කිසිවක් ඉන් පෙර නිර්මාණ තරම් සාර්ථක නොවී ය. එසේ වුව ද ඔහුගේ විශිෂ්ට කාව්‍ය නිර්මාණයක් වන Buckow Elegies ලියැවුණේ මේ වකවානුවේදී ය.

1956 අගෝස්තු 14 වැනිදා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ජීවිතයෙන් සමුගත්තේ හෘදයාබාධයකිනි. මෙතෙක් අප්‍රකාශිත ඔහුගේ ලේඛන හා වෛද්‍ය වාර්තා අධ්‍යයනය කළ ස්ටෙපාන් පාර්කර් පවසන පරිදි බ්‍රෙෂ්ට්ට ළමා වියේ දී රූමැටික උණ වැලැඳී තිබේ. ඔහුගේ හදවත රෝගී වීමට බලපෑවේ එයයි.

No comments:

Post a Comment