අංගොඩ ලොක්කා සහ ලඩියා අත්අඩංගුවට පත්වීම ද සැළැස්මක් වීමට ඉඩ ඇතැයි වාර්තා වනවා.
සති අන්ත පුවත්පතක මේ සම්බන්ධයෙන් පළ වූ තොරතුරුවලින් කියවුණේ මෙය මධුෂ්ගේ සැලැස්මක් විය හැකි බවයි.
එම තොරතුරු මෙසේයි.
ශිවෂංකර් පොට්ටු අම්මාන් කොළඹ ප්‍රහාර සඳහා කළු කොටි සාමාජිකයන් එව්වේ එක් සාමාජිකයකු අත්අඩංගුවට පත් වුවහොත් අනිකා අසු නොවන අන්දමට සැලසුම් සකස් කරමිනි.
ප්‍රහාරය සිදුවන තුරුත් ප්‍රහාරයෙන් පසුවත් ප්‍රහාරයට එක්වන එක් අයකුට අනිකා හඳුනාගන්නට පොට්ටු අම්මාන් ඉඩ තැබුවේ ද නැත. ප්‍රහාරයන් සියල්ල වන්නියේ සිට සැලසුම් කළේත් මෙහෙයවූයේත් පොට්ටු අම්මාන් නිසා කොටි ඔත්තු සේවාවේ මෙහෙයුම් රැසක් සාර්ථක වූයේය.
මේ දිනවල ඩුබායිවල සිටින මාකඳුරේ මධුෂ් ද සිය ඩුබායිහි සිට පාතාල මෙහෙයුම් සිදු කරන්නේ ඉහත කී පොට්ටු අම්මාන්ගේ ක්‍රමයටය.
මධුෂ් අංගොඩ ලොක්කා යොදවා කඩුවෙල පාතාල නායක සමයං ඝාතනය කළේත් මෙම පොට්ටු අම්මාන් ක්‍රමයටමය.
“උඹලා කවදාවත් මාට්ටු වෙන්නේ නැහැ. මම මාස්ටර් ගේමක් ගහන්නේ.” මේ මධුෂ් කඩුවෙල සමයං ඝාතනයට පෙර සිය කණ්ඩායමට කී කතාවය.
නමුත් ඒ හීන සියල්ල කනපිට කැරකුණේ ප්‍රහාරයේ ප්‍රධාන සෙබළුන් දෙදෙනා වූ අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේ දී කොටුවීමත් සමගය.
දකුණු ඉන්දියාවේ සිට චෙන්නායිවලින් ඩුබායි බලා යාමට ගිය අංගොඩ ලොක්කා හා ලඩියා කොටුවන මෙහෙයුමක් මධුෂ්ගේ සැලැස්මක් ද යන්න ගැන මේ වනවිට සැක පහළ වී ඇත.
මධුෂ්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ තමාට අභියෝගයක් වූ කඩුවෙල සමයං සටන් බිමෙන් ඉවත් කිරීමය.
එයින් පසුව තමාගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ බෝට්ටු යොදාගෙන ලොක්කා සහ ලඩියා ඉන්දියාවට ගෙන්වා ගන්නට හැකි වූ මේ දෙදෙනා ආරක්ෂිතව ඩුබායිවලට ගෙන්වා ගැනීමට නොහැකි වූයේ ඇයිදැයි මේ වනවිට ප්‍රශ්නයක් වී ඇත්තේය. මධුෂ් මොවුන්ව ඩුබායිවලට ගෙන්වාගෙන වියදම් කළ යුතු නිසා මධුෂ් විසින්ම අතරමං කළා ද යන්න පාතාල මර්දන කණ්ඩායම්වලට ද සැකයක් මතු වී ඇත්තේය.
මොවුන්ට ඉන්දියාවේ දී ඉන්දියානු හොර ගුවන්ගමන් බලපත්‍ර සකස් කළ ද, දෙමළ කතා කළ නොහැකි නිසා ශ්‍රී ලංකාවෙන් හැදූ හොර පාස්‍පෝට් මගින් ඩුබායි බලා යෑමට උත්සාහ කර තිබුණේය.
අංගොඩ ලොක්කා මීට පෙර තම සගයන්ට හා පොලිස් නිලධාරීන්ට කතාකර තමන් ඉන්දුනීසියාවේ සිටින බව අහඟවා තිබුණේ ද ඉන්දියාවේ සිට බවට දැන් සැක පහළ වී ඇත. අංගොඩ ලොක්කා හා ලඩියා යළි මෙරටට පැමිණ තම සගයන්ට නායකත්වය දෙන්නට උත්සාහ කළේත් සමයංගේ තැන ගන්නට ඌරුජුවා හා කළු සාගර තම විරුද්ධවාදීන් ඝාතනය කරන්නට වීමත් සමගය.
තමන්ට භාර වෙන්නට මගක් නොවුණ තැන ඩුබායි බලා යාමට උත්සාහ ගනිද්දී අංගොඩ ලොක්කා කොටුවන්නේය.
ඉන්දියානු බලධාරීන් සමග ඇති කරගත් එකඟතාව මත අංගොඩ ලොක්කා හා ලඩියා තවත් සති කිහිපයකින් මෙරටට ගෙන ඒමට පුළුවන්කම ලැබි තිබේ. අංගොඩ ලොක්කා යළි මෙරටට පැමිණීම හරහා කඩුවෙල පාතාල කිරුළ ගන්නට යන සමයංගේ ගෝලයන්ට අභියෝගයක් ද විය හැකිය. රඟදක්වන්නට සැරසුණ පාතාලයේ සටන් නාඩගම යළි මේ හරහා ද්විත්ව නාඩගමක් විය හැක්කේය.
පාතාල ලොව ලෙයට ලෙයින් පළිගන්නා සටනේ දරුණුම අවස්ථාවේ දී අංගොඩ ලොක්කා සමයංව හිරගෙදර දී ඝාතනය කරන්නටත් උත්සාහ කළේය.
බන්ධනාගාර බස් රථයක් මෙන් බස් රථයක් වර්ණගන්වා දෙසැම්බර් 31 දා රාත්‍රියේ දී අවුරුදු උදාවන අතරේ බන්ධනාගාරයට කඩාවැදී සමයං ඇතුළු කල්ලිය ඝාතනය කිරීමේ සැලසුමක් ද මෙම කල්ලිය සතු විය. අවසානයේ එම සැලසුම වෙනස් කර කළුතර එතනමඩල දී සමයං ඝාතනය කරන්නට අංගොඩ ලොක්කා සැලසුම් සකස් කරන්නේය.
පාතාල ලෝකයේ අරංචි මාර්ගවලින් අනාවරණය වී තිබුණේ අංගොඩ ලොක්කා තමාට හිසරදයක් වූ සමයං ඇතුළු කල්ලිය අහවර කර ආයුධත් සමග පොලිසියට භාරවන්නට සැලසුම් කර තිබුණු බවය.
මෙකී ප්‍රහාරයේ වෙඩි වැදී බන්ධනාගාර ජේලර්වරයකු හා නියාමකයකු මියගොස් නියාමකවරයකුගේ පාදයක් කපන්නට සිදුවීමත් සමග ප්‍රහාරයෙන් පසු එක්වරම පොලිසියට භාරවෙන අරමුණ පසෙකට දමා ඇති වග කියවෙන්නේය. ඒ මෙකී සිද්ධිය නිසා බන්ධනාගාරයට ගියහොත් අංගොඩ ලොක්කාගේ කල්ලියට විසුමක් නොවන වග තේරුණු නිසා විය හැකිය.
සමයං ඇතුළු හත් දෙනකු වෙඩි තබා ඝාතනය කළ සන්නද්ධ පිරිස පලාගිය වෑන් රථය මොරගහහේන පොලිස් වසමෙන් හමුවීමෙන් පසුව ලබාගත් වෑන් රථයේ වූ ඇඟිලි සලකුණු විසිහතක් අතුරින් අංගොඩ ලොක්කාගේ ඇඟිලි සලකුණු ද මතුවී තිබිණි.
මේ අයුරින් පාතාල ලොව කැලඹවූ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා අංගොඩ, කැලණිමුල්‍ලේ පදිංචි තිස්දෙහැවිරිදි අයෙකි. උසස් පෙළ විභාගයෙන් පසු බන්ධනාගාර නියාමකයකු වන්නට සුදුසුකම් ලබා රැකියාව ලබා ගන්නට සතියකට පෙර අංගොඩ මෝචා නමැති ප්‍රදේශයට කරදරයක් වූ පාතාල ප්‍රබලයා අවසන් ගමන් යවා පාතාලයට රිංගන්නේය.
අංගොඩ මෝචා පාතාලයට මෙන්ම හෙරොයින් ජාවාරමටද පණ දෙමින් අංගොඩ පෙරළියක් කළ පාතාලයකු ලෙස ප්‍රකටව සිටි අතර මෝචාට එරෙහිව කරළියට එන ලොක්කා ඉතාලි චමින්ද, රත්තරන් චීටි යන කණ්ඩායම සමග එක්වී ඝාතනය කරන්නේ බැරිම තැනදීය.
ඒ සමගම බන්ධනාගාරයට නිලධාරියකු ලෙස යන්නට සිටි ලොක්කා අංගොඩ ලොක්කා ලෙස කරළියට පැමිණ සිරගත වන්නේ අපරාධකරුවකු ලෙස බන්ධනාගාරයේදි අපරාධ විද්‍යාව හදාරන්නටය.
අරුණ උදයන්ත හෙවත් සමයං ද අපරාධකරුවෙක් ලෙස කරළියට එන්නේ සුළු වරදකට සිරදඬුවම් ලබා සිරගතවී සිරගෙදරදී විවිධ අපරාධකරුවන් ඇසුරේ කල්ගත කළ නිසාය.
අංගොඩ මෝචාගෙන් තමාගේ ළඟම මිතුරා වූ රත්තරන්ගේ අයියා වූ ඉතාලි චමින්දට කරදර වන්නට වූ නිසා ලොක්කා රත්තරන් ඇතුළු කණ්ඩායම මෝචාව මරා දමන්නේ අභියෝගයක් කර මතට ගෙනය. එවකට අංගොඩ මෝචාට පාතාලයට පණදුන් ප්‍රබල දේශපාලනඥයකුගේ සහාය ද ලැබුණේය. නීතිය ක්‍රියාත්මක වූයේද මෝචාගේ පැත්තට සහාය ලැබෙන අයුරින්ය.
අංගොඩ මෝචාගේ අතිජාත මිත්‍රයා වූ මෝල් අසංක මෝචාගේ මරණයෙන් උරණවී ලොක්කාගේ කණ්ඩායමට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේය.
මෝචාගේ ඝාතනයෙන් පසු කරළියට එන අංගොඩ ලොක්කාට එරෙහිව මෝල් අසංකත් රණාලේ සමයනුත් එක්ව යුද ප්‍රකාශ කරන අතරේ අපරාධ විද්‍යාව බන්ධනාගාරයේ අපරාධකරුවන් අතරෙන් හදාරා සමයං මෝල් අසංකවත් පරයා ඉහළට එන්නේ පිරිස් බලය නිසාය.
ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීම පිළිබඳව 2011 ජනවාරි 18 දා අංගොඩ ලොක්කාව රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය. ඉන් පසුව සිරගත වී යළිත් කරළියට එන ලොක්කාට මුල්‍ලේරියාවේදී මල්පුර ශාන්ත නමැත්තාගේ ඝාතනයට කොටුවන්නේ 2014 අපේරල් 17දාය. 2014 මැයි 06 දා යළිත් ඇපමත සිටියදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට අංගොඩ ලොක්කා කොටු වන්නේ වෙනත් අපරාධයකටය.
අංගොඩ ලොක්කා අන්තිමට අවි ආයුධ සමග කොටුවන්නේ 2015 මැයි 26 දාය. පැලවත්ත සුරාබදු ඒකකයෙන් මත්ද්‍රව්‍ය පිළිබඳ ලද ඔත්තුවකට අංගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් කරද්දී දෙමහල් නිවසක උඩ තට්ටුවේ බෑගයක් රැගෙන සැකකටයුතු පුද්ගලයකු ගමන් ගන්නා අයුරු දැක පරීක්ෂා කෙරේ. ඒ පුද්ගලයා අංගොඩ ලොක්කාය. බෑගයේ ටී-56 අවියක් හා මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයකි. මත්ද්‍රව්‍ය සොයා පැමිණි සුරාබදු නිලධාරීන් අවසානයේ ලොක්කාව අවි ආයුධ සමග අල්ලා මුල්‍ලේරියාව පොලිසියට භාර දෙන්නේය.
අංගොඩ ලොක්කා වටා එක්වන කණ්ඩායම් නඩත්තු වන්නේ අංගොඩ, මුල්‍ලේරියාව, හංවැල්ල ප්‍රදේශවල පස් හා වැලි ජාවාරම්වල නිරතවූවන්ගෙන් ලැබෙන සහායෙනි. පස් කපන ජාවාරම පිළිබඳ ඇතිවූ ආරවුලක් මත අංගොඩ රනිල්ව හිරගෙදර සිට කොන්ත්‍රාත්තුවක් දී මරා දැමූ බවට ලොක්කාට වරදක් පැටවිණි.
ලොක්කා අතේ වූ අංගොඩ, මුල්‍ලේරියාව ප්‍රදේශවල බලයත්, බාල්දි ප්‍රියන්ත සතුවූ අතුරුගිරියේ බලයත් ගන්නට සමයං වලිකන්නේ මේ අතරය. සමයංට වුවමනා කරන්නේ කඩුවෙල සිට අවිස්සාවේල්ලට පැවති තම බලය අංගොඩ, මුල්‍ලේරියාව, අතුරුගිරිය දක්වා ව්‍යාප්ත කරන්නටය.
එවකට නවගමුව පොලිසියේ සිටි නිලධාරින්ගේද සහාය සමයංට ලැබුණු නිසා මීට පෙර හිටපු පොලිස් ලොක්කන්ද අවැඩක් නොවන්නට සමයං වග බලාගත්තේය. තම ප්‍රතිවාදියා වූ බාල්දි ප්‍රියන්තත්, එම කල්ලියේ දෙවැනියා වූ ලඩියාත් මඟුල් ගෙදරක ගොස් එන අතරේ හඹාගොස් වෙඩි තියන්නේ අතුරුගිරිය පොලිස් වසමට ඇතුල්වූ පසුවය.
ඒ සමයං තමාට සහාය පළකරන පොලිස් ලොක්කාගේ බල ප්‍රදේශයේ අපරාධයක් වුවහොත් පොලිස් ලොක්කාට මාරුවීම ලැබිමට ඉඩ ඇති නිසා ඔහුගේ පුටුව රැකදෙන්නට යෙදූ උපක්‍රමයක්ය.
වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පසුව බාල්දි ප්‍රියන්ත තවදුරටත් සමයංගේ කල්ලියෙන් විසුමක් නැති නිසා ඔස්ට්‍රේයාවට පැන යන්නේ ලඩියා ඉතුරු කරය.
ප්‍රියන්ත වෙනුවට තනිවම සටනක් කළ අංගොඩ ලොක්කා පසුපස හඹායන සමයංට ලොක්කා වෙනුවට ලොක්කාගේ මහ ගෝලයා මෙන් සිටි රත්තරන්ව අංගොඩදීත්, බණ්ඩාව අතුරුගිරියේ කොණ්ඩා කපන තැනකදීත් අහවර කරන්නේය.
අතුරුගිරිය අල්විස්වත්තේ සිටි සමයංගේ සගයන්ගේ සහාය ඇතිව බංඩා මරන්නේ කොණඩා කපන තැනින් ලද ඔත්තුවකටය. අවසානයේ එකී කොණ්ඩා කැපූ තැන හිමිකාරියද අත්අඩංගුවට ගැනෙන අතර එම කොණ්ඩා කපන තැනට බංඩාගේ හිතුමිතුරෝ ගිනි තැබූහ.
මෙකී ඝාතනවලට පැමිණි වෙඩික්කරුවා වූ සමයං කල්ලියේ ආමි අසංක (අමිල) හා මද්දාව පිස්තෝලයක් සමග මිරිහාන විශේෂ ඒකයෙන් අල්ලා ගත්තේ පසුගිය සතියේය.
බංඩාගේ හා රත්තරන්ගේ ඝාතනවලින් පසුව හිරගෙදර සිට සමයං අමතා ‘අඩෝ පුළුවන්නම් මාව මරපන්, කෙළින් ඇවිල්ලා හැප්පියන්, වටේ ඉන්න අහිංසකයෝ මරන්න එපා” යැයි සමයංට අභියෝග කර ඇත්තේද අංගොඩ ලොක්කාය. පාතාල කල්ලිවලින් බුද්ධි අංශ හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව අංගොඩ ලොක්කා සමයංට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ අභියෝගයක්ද දෙමින්ය.
ලොක්කාගේ කල්ලියේ පෙතියාගොඩ සංඛ හා රෙටුඹ අමිල යොදවා යුද හමුදා නිල ඇඳුම් අන්දවා ප්‍රහාරයක් සැලසුම් කළ ද සංක නිල ඇඳුම්ද සමගින් මුල්‍ලේරියාවේදී මිරිහාන ඒකකයට අසුවන්නේය.
අවසානයේ මතෛක් පාතාල ඝාතන රැල්‍ලේ නොසිතූ අයුරින් චිකාගෝ ක්‍රමයේ ප්‍රහාරයක් එල්ල කරමින් ලොක්කා තම සටන කෙළවර කරයි.
මෙයට පෙර චමී නමැති හිටපු හමුදා සෙබළා යොදවා කඩුවෙල උසාවියේදී සමයංට වෙඩි තැබූ මොහොතේ සමයං තුවාල ලබා බේරෙන්නේ ප්‍රහාරයට ලොක්කා යැවූ මයික්‍රෝ පිස්තෝලය හිරවීමෙනි. එහෙත් මෙවර ප්‍රහාරය ටී. 56 තුවක්කු හයකට වඩා යොදා ප්‍රහාරය සඳහාත් පුහුණුව ලත් පැනගිය සෙබළුන් යොදා ගත් වග කියන්නේ සමයංගේ පණ හයිය බව පාතාලයන්ද දන්නා නිසාය.
සමයංගේ පණ පොඩ්ඩක් හෝ ඉතිරි වුවහොත් යළිත් සරණක් නොවන වග දන්නා නිසාම ලොක්කා පොලිස් පරීක්ෂක නිල ඇඳුමෙන්ම ප්‍රහාරය අතරේ බන්ධනාගාර බස් රථයට නැග සමයංග් මුහුණ රැලිවනතුරු වෙඩි තබා සමයංගේ සිරුර ඇදගෙන විත් වෛරයේ තරම පෙන්වන්නටය. ප්‍රහාරය සැලසුම් කළ අයුරෙන්ම එය ක්‍රියාත්මක විය.
අංගොඩ ලොක්කා සමයංට එරෙහිව යුද ප්‍රකාශ කර සිටියදී බන්ධනාගාරයෙන් ඇප ලබා නිදහස්ව යන දිනයේ ලොක්කාව රැගෙන යාමට ආ අය අතරේ අතුරුගිරියේ බණ්ඩා සහ බත්තරමුල්‍ලේ බන්ටි ද සිටියෝය.
අතුරුගිරියේ ලඩියාගේ උපන්දිනය වෙනුවෙන් අතුරුගිරිය හෝටලයක ඩී. ජේ. කණ්ඩායම් හතරක් යොදා පැවැත් වූ සාදයට ලොක්කා ඇතුළු සියලුදෙනා පැමිණියහ. නළු නිළියන්ද එක් වූ මෙම සාදයේදී ඔටුන්නක හැඩයට සෑදූ උපන් දින කේක් එකක් ලඩියා වෙනුවෙන්ම සකසා තිබුණේය.
අතුරුගිරියේ කල්ලියේ විශේෂත්වය වූයේ හෙරොයින්, ගංජා පානය කරන පිරිස් යහමගට ගැනීමටත්, එවැනි පුරුදුවලට යොමු වූවන් ඉවත් කිරීමත්ය.
ජයටම පැවතුණ ලඩියාගේ සාදය ගැන හිරගෙදර සිටි සමයං දැනගෙන වියරු වැටුණේය. “මුන් කොහොමද මම ඉන්දැද්දී කේක් කපන්නේ” යැයි තම සගයන්ට දැන්වූ සමයං එහි වාඩුව ගන්නට අතුරුගිරියේ බණ්ඩා ඝාතනය කරන්නට සැලසුම් කළේ ය.
අතුරුගිරියේ මහජන බැංකු උඩුමහලේ ඇති රූපලාවණ්‍යාගාරයක මුහුණ පේෂල් කරන්නට ගිය බංඩාව සමයං කල්ලියේ ආමි අමිල හෙවත් ගොත් අසංක පැමිණ ජනවාරි 17 දා ඝාතනය කර යන්නේ ඒ වාඩුව ගන්නටය.
අනිල් බංඩාර නොහොත් බංඩාගේ මරණයෙන් අතුරුගිරියේ තරුණ කණ්ඩායම් සමයං කල්ලියට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේය. කාගේත් මිතුරා ලෙස සිටි බංඩාගේ මරණය නිසා සතියක් පුරා එම සාමාජිකයෝ හඬා වැටුණහ.
බංඩා ඝාතනය කර දවස් දෙකකින් කඩුවෙල හෝටලයකදී සමයංගේ කල්ලිය ලඩියාගේ උපන්දින පාටිය මෙන් පාටියක් දැම්මේය. සමයං බන්ධනාගාරයේ සිට තම ත්‍රී.ජී. දුරකථනයෙන් කඩුවෙල හෝටලයේ බංඩා ඝාතනය කර සමරන පාටිය නරඹා තිබුණේය.
අතුරුගිරියේ බාල්දි ප්‍රියන්ත හා ලඩියාට අරංගලදී 2015 දෙසැම්බර් 17 දා වෙඩි තබා ඝාතනය කරන්නට සමයං සැලසුම් කළද එය ව්‍යර්ථ වන්නේ දෙදෙනා තුවාල ලබා බේරුණ නිසාය. සමයංගෙන් බේරෙන්නට බැරි තැන බාල්දි ප්‍රියන්ත ඔස්ට්‍රේලියාවට පැනගත් පසු ඔහුගේ කණ්ඩායමට නායකත්වය දෙන්නේ අතුරුගිරියේ ලඩියාය.
මෙම කල්ලියේ දකුණු අත මෙන් වූ බංඩාගේ මරණය සමයං අවසන් ගමන යවන සැලසුම ඉක්මන් කරන්නට හේතු විය.
අංගොඩ ලොක්කාගේ ළඟම සාමාජිකයකු වූ සුරංග හෙවත් රත්තරන්ව ජනවාරි 05 දා වෙඩි තබා ඝාතනය කර තිබුණේද සමයංගේ කල්ලියේ ගොත අසංකගේ මෙහෙයවීමෙන්ය. අංගොඩ ලොක්කාවද දිගින් දිගටම මරන්නට ගත් උත්සාහයන් වැරදුණ තැන ලොක්කා එළියට ගන්නට රත්තරන්ට වෙඩි තබන සමයං තව සතියකින් උඹටත් ගහනවා යැයි ලොක්කාටද දුරකථනයට කතා කර අනතුරු හැඟෙව්වේය.
මේ නිසා ලොක්කාගේ කල්ලිය සමයංට කලින් ඉස්සරවීමට සැලසුම් කළේ ය.
මෙයට මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය එකතු වන්නේද ලොක්කාට තිබූ ආකාරයේම පළියක් ගන්නටය.
මාකඳුරේ මධුෂ්ගේ හිතවත් කණ්ඩායමක් වූ අංගොඩ ලොක්කාගේ කල්ලිය සමයංව මීට පෙර මරන්නට උත්සාහ කළේ කඩුවෙල උසාවියේදීය.ඒ 2015 සැප්තැම්බර් 23 දාය. චමින්ද සඳමාල් එදිරිසුරිය හෙවත් චමී නමැති සමයංට එරෙහිව හිරගෙදරදී සටනක් කළ අයකු මෙයට යොදා ගත්තේය. මොහු කලින් යුද හමුදාවේ සිටි රටේ නමගිය ජාතික පාපැදි ශූරයකු ද විය.
චමියාට කඩුවෙල උසාවියේ දී සමයං ඝාතනය කරන්නට මාකඳුරේ මධුෂ්ගේ ළඟම සාමාජිකයා වූ කඹුරුපිටියේ හර්ෂ උදව් කළ බව සමයං දැන ගන්නේ ප්‍රහාරයෙන් තුවාල ලබා බේරුණ පසුවය.හිරගෙදරදී එකට සිටි කඹුරුපිටියේ හර්ෂ හා සමයං උරණ වන්නේ සමයංගේ කීමට කඩුවෙල චරා ඝාතනය කරන්නට කළ කොන්ත්‍රාත් ඝාතනයට පොරොන්දු වූ මුදල සමයං ගෙවීම පැහැර හැරි නිසාය. මාකඳුරේ මධුෂ්ගේ ළඟම සාමාජිකයා වූ හර්ෂ එයින් උරණ වී සමයංව හිරගෙදරදී දණගස්වා තිබුණේය.
සමයං මේ සිද්ධි දෙකටම පළිගන්නට හර්ෂව 2016 මාර්තු 03 දා රාජගිරිය ඔබේසේකරපුරදී ඝාතනය කරන්නේය. හර්ෂගේ ඝාතනයෙන් මාකඳුරේ මධුෂ් වියරු වැටී සිටියේ ය. දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ව සිටි ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයට මාකඳුරේ මධුෂ් සමග ගිය සගයා ලෙස චෝදනා එල්ල වූයේ ද හර්ෂටය.
අවසානයේ හර්ෂගේ ඝාතනයේ පළිය ගන්නට මධුෂ් කරළියට එන්නේ අංගොඩ ලොක්කා කල්ලිය රත්තරන්ගේ වාඩු ගන්නටත්, අතුරුගිරියේ ලඩියාගේ කල්ලිය බංඩාගේ ඝාතනයේ පළිය ගන්නටත් සූදානම් වෙද්දීය.
උපුටාගැනීම
No comments:
Post a Comment