05 June 2017

සතොසේ සහල් ගැන ඇත්තේ වැරදි මතයක්

 පාකිස්ථානයෙන් ගෙන්වන ලද බාස්මතී සහල් විශේෂයක් සම්බන්ධයෙන් ඒවා පරිභෝජනයට නුසුදුසු යැයි පවසමින්, "ප්ලාස්ටික් සහල්" ලෙස පවසමින් වැරදි මතයක් සමාජය තුළ ඇති කිරීමට කිසියම් පිරිසක් සමාජ ජාලා වෙබ් අඩවි තුළින් උත්සාහ කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා සතොස සඳහන් කර සිටිති.

මෙම වසරේ (2017) මැයි මස 15 වෙනිදින මෙට්‍රික් ටොන් 20ක ප්‍රමාණයකින් යුතු මෙම බාස්මතී සහල් තොගය පාකිස්ථානයේ සිට මෙරටට ආනයනය කර ඇති අතර, මෙරටට ආනයනය කරනු ලබන අනෙක් සහල් මෙන්ම මෙම සහල් තොගයද නියමිත ක්‍රමවේදයට අනුව තත්ත්ව පරීක්ෂාවට ලක්කර මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා සතොස අලෙවිසැල් වෙත නිකුත්කර තිබේ.

සමාජ ජාලා වෙබ් අඩවි මගින් මෙම සහල් පිළිබඳ වැරදි මතයක් ප්‍රචාරය වීමත් සමග එම සහල් ආහාර තාක්ෂණවේදියෙකු මගින් පරීක්ෂණාගාරයක් තුළ පිසීමට ලක්කර ඇති අතර, එහිදීද මෙම සහල් මිනිස් පරිභෝජනයට සුදුසු බවට යළිත් තහවුරු වී තිබේ.

මෙහි  කිසිදු ආකාරයක ප්ලාස්ටික් අංශු මාත්‍රයක් හෝ අන්තර්ගත නොවන බවද එහිදී තහවුරු වී ඇත.

එබැවින් මෙම අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත්, සතොස මගින් අඩු මිලට හොඳම තත්ත්වයේ භාණ්ඩ නිරතුරුව ජනතාවට ලබාදෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කර සිටිති.  

No comments:

Post a Comment