28 July 2017

තාජුඩීන් ගමන්ගත් රථය පිටුපස ගමන් ගත් රථයක් පිළිබඳ පරීක්ෂණ

 සිය මෝටර් රථය තුළ අබිරහස් අන්දමින් පිළිස්සී මියගොස් සිටි හිටපු රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් නමැත්තාගේ මරණය සිදුවීමට පෙර ඔහු ගමන්ගත් මොටර් රථයට පිටුපසින් ගමන් කළ මෝටර් රථයක ගමන් කළ බව කියන පුද්ගලයන්ගේ ඡායාරූප රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමුකොට වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා රහස් පොලීසියට නියම කළේය.

ඒ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල  (27දා) කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීමකට අවසර දෙමින් මහේස්ත‍්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙහි සැකකරුවන් ලෙස නම් කරි සිටින දැනට ඇප මත මුදාහැර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙන්ම නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් නිශ්ශංක මහතා අධිකරණයේ පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කරුණු ඉදිරිපත් කරමින් වසීම් තාජුඩීන් නමැත්තාගේ මෘත ශරීරයෙන් ඉවත් කළ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්‍ෂණයෙන් අනතුරුව නිකුත් කරන ලද පරීක්‍ෂණ වාර්තාව මේ වනවිට මෙම අධිකරණයට බාරදී ඇතැයි දැනුම් දුන්නේය.

ඉදිරිපත් වු සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කළ අතර, මෙම පැමිණිල්ල ලබන මස 24 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

මෙම සී.ඩී. තැටි කැනඩාවට රැගෙන යෑමට අවසර දෙන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත‍්‍රාත්වරයා ඊට අවසර ලබා දුන්නේය.

මෙම සී.ඩී. තැටි මගින් විසඳාගත යුතු ප‍්‍රශ්න 36ක් අඩංගු වාර්තාවක්ද ඉදිරිපත් කරන බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

No comments:

Post a Comment