28 July 2017

උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල නාය යෑමේ අවදානමක

මාස ගණනාවක් පැවැති නියං තත්වයෙන් පසුව අද (27) පස්වරුවේ පැය එකහමාරකට වැඩි වේලාවක් බණ්ඩාරවෙල ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණු අතර බහු විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගිලා බැසීමට හා පුපුරා ඇති කඳු කිහිපයක් දැඩි නාය යෑමේ අවධානමක පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

උමා ඔය ව්‍යාපෘතියෙන් විනාශයට පත්ව ඇති දික්අරාව ප්‍රදේශයේ නිවාස හා ස්ථාන පරීක්ෂා කිරීම සඳහා අද පස්වරුවේ එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහි සංවිධානයේ පිරිසක් සහභාගී වෙමින් සිටින අවස්ථාවේදී දැඩි වර්ෂාවක් එම ප්‍රදේශයට ඇද හැළී තිබේ. දික්අරාව  කන්ද මීට සති දෙකකට පමණ පෙර ස්ථාන රැසකින් පුපුරා ගොස් ඇති බවත් අද ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවේ ජලය පුපුරා ඇති විවර තුළින් කඳු අභ්‍යන්තරයට ගමන් කළ ආකාරය තමන් ඇතුළු පිරිස සියැසින් දුටු බවත් සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ල දිස්ත්‍රීක් ආපදා කළමණාකරන අධ්‍යක්ෂකවරයා, බදුල්ල දිස්ත්‍රීක් ලේකම්වරයා, පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා යන නිලධාරීන්ද මහින්ද අමරවීර අමාත්‍යවරයාටද මෙම අවධානම පිළිබඳව දැනුවත් කළ බවත් ඇමතිවරයා ඉතා ඉක්මනින් මේ පිළිබඳව සොයා බලා මැදිහත්වන බවත් පවසා තිබේ.

දික්අරාව කන්ද පහළ බෑවුමේ නිවාස 200ක් පමණත් ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමාණයක්ද පවතින බැවින් ඔවුන්ගේ ජීවිත අවධානම ගැන සැළකිල්ලට ලක් කර ඉතා ඉක්මනින් ඔවුන් ගලවාගැනීම සඳහා මැදිහත් විය යුතු බව සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. මේ වනවිට පහළ ප්‍රදේශයේ පදිංචි ජනතාවට එම ස්ථාන වලින් ඉවත් වන ලෙස දැනුවත් කරමින් සිටින බවයි.

දික්අරාව කන්ද පහළ බෑවුමේ පිහිටි නිවාසයක ටයිල් කරන ලද ගෙබිමේ පුපුරා ඇති ස්ථානයකින් විශාල ජල පහරක් මතුපිටට ගලා ආ බවත් වර්ෂාව නැවතීමත් සමග එම ජල පහර ගලා යෑමද නතර වී ඇති බවයි. මේ තත්වය පිළිබඳව සමන්ත විද්‍යාරත්න මහතා  භූ ගර්භ විද්‍යාඥයින්ද දැනුවත් කළ බවත් ඔවුන්ද පවසා සිටියේ මේ තත්වය දැඩි නාය යෑම් අවධානමක ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය හේතුවෙන් දික්අරාව කඳුවැටිය පමණක් නොව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කීනගම, වලස්බැද්ද කන්දත් පුපුරා ගොස් දැඩි අවධානමක ලකුණු පහළ කර ඇති බව සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

No comments:

Post a Comment