24 March 2017

සුදුවෑන් පැහැරගැනීම් ගැන පරීක්ෂණවලට නාවික හමුදාපති හරස් කපයි



2009 වසරේදී සුදු වෑන් යොදාගෙන කළබව කියන පැහැරගැනීම් දෙකක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා සහයෝගය දෙන්නැයි අධිකරණය දුන් නියෝගවලට එරෙහිව වර්තමාන නාවික හමුදාපතිවරයා කටයුතු කරන බවත් එම පරීක්ෂණවලට නාවික හමුදාපතිවරයා සහය නොදෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව  (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු උප පරීක්ෂක විජේසිංහ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ හා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත  තමන් සැකසූ රහස්‍ය වාර්තාව එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දුන් බවත් විජේසිංහ මහතාගේ ප්‍රකාශ කර ඇති බවත් අධිකරණයේදී අනාවරණය වී ඇත.

ඉන්පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට එම වාර්තාව සම්බන්ධයෙන් කිසිවක් නොකරන ලෙසත් එය දින කිහිපයක් තබාගන්නා ලෙසත් ප්‍රකාශ කළ බවද කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු උප පරීක්ෂක විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

තමන් සැකසූ එම වාර්තාව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඉදිරිපත් කර තිබු බවත් එය වෙනස් කර තිබෙනු දක්නට ලැබුණු බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොස්කි මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීවරයා ලබන අප්‍රේල් 06 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව තැබීටත් එදිනට නඩුව නැවත කැඳවීමටත් නියෝග කර තිබේ.

No comments:

Post a Comment