24 March 2017

කතානායකගෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක්



පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කිරීමේදී එම කතාව විශය පථයට සීමා විය යුතු බවත් කවර මන්ත්‍රීවරයෙකුට හෝ අපහාස වන අයුරින්. කතා නොකළ යතු බවත් කතානායක කරු ජයසූරිය මහතා අද (24දා) පාර්ලිමේන්තුවට පැවැසීය.

ආණ්ඩු පක්ෂයේ හෝ වේවා විපක්ෂයේ හෝ වේවා ඕනෑම මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකගේ ගරුත්වය ආරක්ෂා වන අයුරින් හැසිරිය යුතු බවත් කතානායකවරයා පැවැසීය.

මන්ත්‍රීවරයෙකු පිළිබඳව විරෝධතාවක් ඇත්නම් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නැයිද කතානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.

කතානායකගේ නිවේදනය


"මන්ත්‍රීවරුනී, සෑම මන්ත්‍රීවරයෙකුම ස්වකීය කථාව සාකච්ඡාවට භාජනය වෙමින් පවතින විෂයයට පමණක් සීමා කළ යුතු බවටත්, කවර මන්ත්‍රීවරයෙකු විසින් හෝ වෙන මන්ත්‍රීවරයෙකු නමින් සඳහන් නොකළ යුතු බවටත්, කවර මන්ත්‍රීවරයෙකු විසින් හෝ අන්‍ය මන්ත්‍රීවරයෙකුට අයුතු චේතනා ආරෝපණය කරමින් කථා නොකළ යුතු බවටත්, යනාදී වශයෙන් පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ කථා කිරීමේදී ගරු මන්ත්‍රීවරුන් විසින් පිළිපැදිය යුතු රීති පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල ඉතාමත් පැහැදිලිව සඳහන් කර තිබෙන බව මේ අවස්ථාවේදී මෙම ගරු සභාවේ සියලුම ගරු මන්ත්‍රීවරුන්ගේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.
එහෙත්, 2017 මාර්තු මස 22 වැනි දින සභා ගර්භය තුළ ගරු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් මෙම උත්තරීතර සභාවේ ගෞරවයට හා කීර්තියට ඉතාමත් හානිකර අයුරින් ගරු අග්‍රාමාත්‍යතුමාට සහ වෙනත් මන්ත්‍රීවරුන්ට අසාධාරණ, අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඉතාමත් අශෝභන අයුරින් අපහාස වන ආකාරයට දිගින් දිගටම කථා කළ බව එම අවස්ථාවට අදාළ හැන්සාඩ් වාර්තා උද්ධෘත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මා විසින් නිරීක්ෂණය කරන ලද අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හිතාමතාම උල්ලංඝනය  කර ඇති බව ඉතාමත් කනගාටුවෙන් ප්‍රකාශ කරමි.වැනි ක්‍රියාවන්වල තිබෙන බරපතල බව මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හානි වීමෙන් සිදුවන අහිතකර බලපෑම පිළිබඳව දැනටමත් එම මන්ත්‍රීවරුන්ව  දැනුම්වත් කළ බවද දන්වනු කැමැත්තෙමි.

ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර තෝතැන්න වන ව්‍යවස්ථාදායකය තුළදීම මන්ත්‍රීවරුන්ගේ ගෞරවණීයභාවය කෙලෙසන අන්දමින් ක්‍රියා කිරීම පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක සිට පැවත එන සම්ප්‍රදායන්, පරිචයන් සහ ස්ථාවර නියෝගවල විධිවිධානයන්ට අනුකූල නොවන බව සියලුම ගරු මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානය යොමු කරවීමට කැමැත්තෙමි.

කිසියම් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් විරෝධතාවයක් තිබේ නම් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව ක්‍රියා කිරීමට හැකි බවද සඳහන් කරමි.

ආණ්ඩු පාර්ශ්වයේ සහ විරුද්ධ පාර්ශ්වයේ සියලුම ගරු මන්ත්‍රීවරුන් මේ උත්තරීතර සභා ගර්භයේදී සෑම මන්ත්‍රීවරයෙකුගේම ගෞරවය ආරක්ෂා වන අයුරින් එකිනෙකාට අයුතු ලෙස චෝදනා කිරීමෙන්, අපහාස කිරීමෙන් වැළකෙමින්, වාද විවාදවලට මනා සංයමයකින් යුතුව සහභාගි  වීමට වග බලාගත යුතු බවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් විධිවිධානයන්ට සහ සම්ප්‍රදායන්ට අනුකූලව මෙම උත්තරීතර සභාවේදී කටයුතු කළ යුතු බවටත්,මම අවධාරණය කරමි.

No comments:

Post a Comment