පසුගිය මැයි 25, 26, 27 දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවේ අවසන් ප්‍රතිඵලය ඉතාම ඛේදජනක විය. නමුත් ඉන්පසුව ‘සැනසුම් සමයක්’ උද්ගත වී ඇතැයි බොහෝ දෙනෙක් සිතති. එහෙත් කාලගුණය සම්බන්ධයෙන් එවැනි ලඝු තීරණවලට එළැබීම අතිශය අවදානම් සහිතය.ඒ එක් කාලගුණික විපතක අවසානයත් සමඟම ඊට වඩා බිහිසුණු කාලගුණික විපතක් යළි පැමිණිය හැකි බැවිනි.
නමුදු මැයි මහා ආපදාව මේ යුගයේ අවසන් ස්වභාවික ආපදාව ලෙස සළකමින් බොහෝ අය කටයුතු කරන බව පැහැදිලිව පෙනේ. නමුත් මේ 2017 නිරිතදිග මෝසම් සමය ආරම්භ වූවා පමණි. සාමාන්‍ය පාරිසරික තත්ත්වයන් යටතේ මෙම මෝසම් සමය සැප්තැම්බර් මස මැද කාලය වනතෙක් අප දිවයිනට බලපානු ඇත. එසේනම් ඉදිරියටත් සුළං සහ වර්ෂාවෙන් ආපදා ඇතිවීමේ ඉඩකඩ නැතිවා නොවේ.
මෙම මෝසම් කාලයේ බෙන්ගාල බොක්ක සමුදුර ප්‍රදේශයේ වර්ධනය වන, අඩු පීඩන ප්‍රදේශ (Low Pressure Area) සහ පීඩන අවපාත (Depression) වැනි කාලගුණ පද්ධතිවල බලපෑම් යටතේ දිවයිනේ ආසන්න කාලගුණ තත්ත්වයන් ඇතිවීම බලාපොරොත්තු විය හැකිය.
එවන් වාතාවරණ යන්හිදී ප්‍රචන්ඩ සුළං ප්‍රවාහ සහ අධික වර්ෂාපතන බොහෝවිට ආපදාකාරීය. කැටි වැහි වලාකුළු වල (Cumulonimbus clouds) බලපෑම අනුව අකුණු අතිවීම මෙන්ම ඉතා ප්‍රචන්ඩ සුළං සහිත ටෝනේඩෝවල බලපෑමද බොහෝවිට විපත්ති දායකය.
අයහපත් කාලගුණ පද්ධතිවල බලපෑමෙන් ගොඩබිම පමණක් නොව දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවල ඉතා අයහපත් තත්ත්වයන් උද්ගත වන බව අදාල සැවොම අවබෝධ කර ගත යුතුය. එසේ නොමැති වුවහොත් විශේෂයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි ආපදා කළමනාකරණය කිරීමද අපහසු වනු නොඅනුමානය.
මෙම කාලයේ ශ්‍රී ලංකාව වටා සමුදුරු කොටස්වල නිරිතදිගින් හමන සුළං විටින් විට ප්‍රචණ්ඩ වන නිසා මුහුද රළු බවින් පිරි පවතී. සංකීර්ණ කැටිවැහිවලා වල වැඩෙන දියගොබවලා (Waterspout) සතු ප්‍රචණ්ඩ චක්‍රීය සුළං නිසා සමුදුරු ඉතා රළු වීම බොහෝවිට ධීවරයින්ට මාරාන්තික ආපදා ගෙනඒමට පවා හේතුවේ.
හොඳින් වර්ධනය වූ දියගොබවලාවකට බහුදින ධීවර යාත්‍රාවක් වුවත් මීටර් තිහක් හතලිහක් ඉහළට එසවීම ඉතා පහසු කාර්යයකි. මෙම ආපදාව ඉතාම අවදානම් වන්නේ කැටිවැහිවලා සංකීර්ණවල වර්ධනයවන දියගොබවලා පොකුරු (Multi Waterspout) වල බලපෑම් පවතින අවස්ථාවලය. දියගොබවලා ගණනාවක බලපෑමට යටත්වී බෝට්ටු විනාශවීම මෙන්ම ඉතාම රළු මුහුදේ පිහිනුම් ශූර ධීවරයන්ට පවා සටන් කිරීම අපහසු වීම ඊට හේතුවයි.
පැවතිය හැකි ආපදාකාරී කාලගුණ තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය හරහා ලබාදෙන අනාවරණ පිළිබඳව අපේ නිරතුරු අවධානය ආපදා අවම කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් සැප්තැම්බර් මැද්ද දක්වා අපට බලපාන නිරිතදිග මෝසම් සමයේ විටින් විට බෙංගාල බොක්ක සමුදුරේ පීඩන අවපාත වර්ධනයවන නිසා ඒ පිළිබඳව වන අනාවැකි පෙර ආපදා පියවර දියත් කිරීම උදෙසා උපකාරවනු නොඅනුමානය.
රටක ආපදාවන් කළමනාකරණය රජයට පමණක් කළ හැකි කටයුත්තක් නම් නොවේ. රාජ්‍ය නිලධාරීන්ට අමතරව සමස්ත ජනතාවම ආපදා අවම කිරීමට අවශ්‍ය පියවර දියත් කිරීමේ වගකීම බාරගත යුතුය. පැවතියහැකි ආපදා පිළිබඳව ජනමාධ්‍ය හරහා දැනුවත්වීමේ වගකීම මෙන්ම ආදාල කළමනාකරණ පියවර නිසි වේලාවට දියත් කිරීමේ වගකීම අප සැම සතුය.
හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කාලගුණ විද්‍යාඥ – කේ.ආර්.අභයසිංහ
No comments:
Post a Comment