ජනමාධ්‍ය නිදහස ඇති කිසිදු රටක සාගතය වැනි විපත් හේතුවෙන් ජනතාව කුසගින්නේ මිය නොයනු ඇතැයි ප්‍රකාශ කර ඇත්තේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන අමාත්‍යා සෙන් ය. සාගතය හා කුසගින්න සහ ජනමාධ්‍ය නිදහස අතර ඇති සබඳතාවය කුමක්ද යන්න ඇතැම්විට කෙනෙකු තුළ ප්‍රශ්නයක් මතුවීමට ද ඉඩ තිබේ. එහෙත් ඒ තුළ ඇති සරළ සත්‍යය වන්නේ බාහිර ලෝකය වෙත නිදහසේ තොරතුරු ගලා යාම තුළ විපත් අවම කිරීමට හා විපතට පත්වූවන් ට සහන හා රැකවරණ සැලසීම සඳහා බාහිර පාර්ශවයන්ට ඉඩකඩ ලැබීම ය.
එවැනි අනතුරක් මගහැර යාමට හෝ ඊට සාර්ථක ලෙස මුහුණ දී ඇතිවන විපත් අවම කරගැනීම සඳහා ජනමාධ්‍ය නිදහස ඉතා වැදගත් වන අතරම අප රටට අදාළව සැලකීමේදී ඒ පිළිබඳ ජනමාධ්‍ය සතු අවබෝධය හා සමාජ වගකීම් ද සැලකිල්ලට ගැනීම වැදගත් වන බව පෙනීයයි. රෝහලක ගේට්ටු වැසීම ප්‍රශ්නයට පිළිතුරක් ද යන මැයෙන් අද දවසේ පළවූ ප්‍රධාන ධාරාවේ පුවත්පතක් සිය කතුවැකිය වෙන්කර තිබීම තුළ පැහැදිළි වන්නේ අප රට මුහුණ දෙන ප්‍රමුඛ ගැටලු පිළිබඳ ජනමාධ්‍ය යම් උනන්දුවක් දක්වන ආකාරයයි.
එහෙත් ප්‍රශ්නය වන්නේ එය නොවේ. යම් ජාතික ආපදාවකදී එහි විනාශකාරී ප්‍රතිඵල හා එහි අතුරු තේමාවන් පිළිබඳව අප රටේ ජනමාධ්‍ය දක්වන උනන්දුව ජාතික වශයෙන් මතුවන ආපදා වැළැක්වීම සඳහා සහ එහි අනිටු විපාක අවම කරගැනීම සඳහා දක්වන්නේ ද යන්නය. ඒ පිළිබඳව රටක් ලෙස අප ගැඹුරින් අවධානය යොමුකළ යුතු වන්නේත් මේ රටේ සියලුම ජනමාධ්‍ය එකී සමාජ වගකීම ගැඹුරින් ඉටුකළ යුතු වන්නේත් මේ වනවිට අපේ රට දැවැන්තම ආපදාවක මුව දොරකඩට පිවිස ඇති නිසාය. නිසැක වශයෙන්ම එම දැවැන්ත අනතුරෙහි පෙර නිමිති මේ වනවිටත් පැහැදිළි ලෙසම මතුවී හමාරය. එම අනතුර සපුරාම පරාජය කරන්නේ ද එසේ නැතහොත් සිය දහස් ගණනක මිනිස් ජීවිත ඒ තුළ පරදුවට තබන්නේ ද යන්න තීරණය කරනු ඇත්තේ මේ රටේ සෞඛ්‍ය අංශ පමණක් නොව මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයම ඒ සඳහා සූදානම් කරන ආකාරය අනුවය. එම අනතුර හා එහි ඇති බිහිසුණු බව මේ රටේ ජනතාව තේරුම්ගන්නා ආකාරය අනුවය. රටක ජනමාධ්‍ය වෙත දැවැන්ත කාර්යභාරයක් හා වගකීමක් පැවරෙන්නේ එතැනදීය.
මේ මොහොතේ අප රට හමුවේ ඇති දැවැන්තම අභියෝගය මතුව ඇති ඩෙංගු ව්‍යසනයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳවය. එය සැහැල්ලුවෙන් සැලකීම හෝ අවතක්සේරු කිරීම බොහෝවිට ජාතික විපතකට කෙරෙන විවෘත ආරාධනාවක් වියහැකිය. අප රට මුහුණ දුන් සුනාමි, ගංවතුර හා නායයෑම් වැනි අනතුරු වලින් ගෙවූ වන්දියටත් වඩා වැඩි වන්දියක් ඒ තුළ සැඟව ඇති බව මෙහිදී අප සියලු දෙනාම මැනවින් තේරුම් ගතයුතුය.
ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය හේතුවෙන් රෝගයට ගොදුරු වන ප්‍රමාණය ඉහළ යාම නිසා රටේ ඇතැම් රෝහල් පිරී ඉතිරි ගොස් හමාරය. වසංගත රෝග සඳහා ප්‍රතිකාර ලබාදීම සඳහා ද නිර්මිත අංගොඩ උණ රෝහලට තවදුරටත් රෝගීන් භාරගත නොහැකි වන මට්ටමටම ඩෙංගු රෝගීන්ගෙන් එය පිරී ගොස් තිබේ. මේ වනවිට ගම්පහ සහ මීගමුව යන රෝහල් ද ඊට එක්වී ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය අංශ වාර්තා කරන ආකාරයට මේ වනවිට රටපුරා රෝගයට ගොදුරු වී ඇති ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ද හැත්තෑදහසක් පමණ වී තිබේ. මේ තත්වය රටක සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අතිශය බැරෑරුම් තත්වයක් බව අප තේරුම්ගත යුතුව තිබේ. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු සෞඛ්‍ය අංශ එහිදී ඉතාමත්ම වගකීම් සහගත ප්‍රශංසාවට ලක්වියයුතු අන්දමේ අනගි කැපවීමකින් කටයුතු කරන බව ද ඒ සමගම අප පිළිගත යුතුය. එහෙත් ඒ සමගම අප තේරුම්ගත යුත්තේ ඇතිවිය හැකි අවදානම හමුවේ නිසි වැඩපිළිවෙලක් හා දැනට වඩා සක්‍රීය ජාතික මට්ටමේ මෙහෙයුමක් දියත් නොකළහොත් තත්වය දැනට වඩා බොහෝ සේ අවදානම් වියහැකි බවය.
නියත වශයෙන්ම ඩෙංගු රෝගය අද වනවිට අප රට තුළ පවතින්නේ අධි වසංගත තත්වයකය. පසුගිය මුළු මහත් වසර පුරාම ශ්‍රී ලංකාවෙන් හමුවූ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණයටත් වඩා ගෙවී ඇති මාස හයක කාලය තුළදී රෝගීන් වාර්තා වී තිබීමෙන්ම ඒ බව වටහාගත හැකිය. එහි ඇති බරපතළකම වඩා පැහැදිළි වන්නේ සාමාන්‍යයෙන් අප වැනි රටවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වන්නේ ජූනි හා දෙසැම්බර් යන කාලසීමාව තුළදී බව තේරුම් ගැනීමෙනි. ඒ අනුව දැන් අපි ප්‍රවේශ වී ඇත්තේ එම කාලසීමාවට ය.
ඒ අනුව රටක් ලෙස අපට තවදුරටත් කල්මැරීමට හැකියාවක් නැත. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම මුළු මහත් ජනතාවම තම තමන් හමුවේ ඇති අවදානම පැහැදිළිවම තේරුම්ගත යුතුය. සාමාන්‍යයෙන් සිදුකරන ආපදා වාර්තාකරණයට සීමා නොවී මහජනතාව දැනුවත් කරමින් ඩෙංගු උවදුරට එරෙහි දැවැන්ත සංග්‍රාමයකට මුළුමහත් රටම යොමුකිරීම මේ මොහොතේ ජනමාධ්‍ය හමුවේ ඇති ප්‍රමුඛ වගකීමක් වේ. එමෙන්ම එහිදී ආපදා සතියක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පළකර ඇති අදහස ද කිසිවෙකු අවතක්සේරු නොකළයුතුය.
නියතවශයෙන්ම අප හමුවේ මතුවෙමින් එන්නේ ජාතික මට්ටමේ ආපදාවකි. එයට මුහුණ දියයුත්තේ ද ජාතික මට්ටමෙන් වූ දැවැන්ත ක්‍රියාන්විතයක් තුළය. ඒ සඳහා මේ රටේ සියලුම අංශ දැවැන්ත කැපකිරීමක් සිදුකළයුතුව තිබේ. මක්නිසාද යත් මතුවෙමින් ඇති අනතුර එතරම්ම භයානක වන නිසාය.
| සුනිල් ජයසේකර
No comments:
Post a Comment