20 May 2017

බෞද්ධයෙක් නොවන මම ඒ අවස්ථාවේ බෞද්ධයෙක් ලෙස හැසිරුණා : අමාත්‍ය මනෝ ගනේෂන්

මෙරට තුළ අද ජීවත් වන සුළු ජාතීන් කියා හඳුනන ජනතාව යම්කිසි කල කිරීමකින් ජීවත්වනවා කියලා තමාට දැන් පෙනී යන බව ජාතික සහජීවනය,සංවාද හා රාජ්‍ය භාෂා  අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ගරු අමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා කොළඹ,තැපැල් මූලස්ථාන,ශ්‍රවණාගාරයේ පැවති ආපදා සුබ සාධක සංගමය විසින් සංවිධාන කළ දිවයින පුරා විසිරී සිටින ස්වේච්ඡා සමාජ සේවකයින් අගයමින් ඔවුන්ගේ කැපවීම් වෙනුවෙන් සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක් වෙමිනි.

මේ තවදුරටත් අදහස් පළ කළ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා,


මට එය වෙන කවුරුත් පෙන්නලා දුන්නේ නැහැ.මගේ අමාත්‍යංශය තුළට පෙරේදා කඩා පැනපු ස්වාමීන් වහන්සේ නමක් ඒක මට පෙන්වල ගිහින් තිබෙනවා.ඒ ගැන කණගාටු වෙනවා.ඒ අවස්ථාවේදී බෞද්ධ ආගමට අයිතිවාසිකම් කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් මගේ අමාත්‍යංශය තුළට කඩා පැනලා ඉවසීම,මෛත්‍රීය සහ කරුණාව අත හැරලා හැසිරුණා,නමුත් මම බෞද්ධයෙක් නොවුණාට ඒ අවස්ථාවේදී බෞද්ධයෙක් ලෙස හැසිරුණා. මොකද? මම බුදු දහමට ආදරෙයි.බුදු දහමට ගරු කරනවා මම.ඒ වගේම සිංහල ජනතාවට ආදරෙයි මම.සිංහල ජනතාව සමඟ තමයි මම ඉපදුණේ.ජීවත් වෙන්නේ සිංහල ජනතාව සමඟ.මේ අනුව හෙට අනිද්දා මැරෙන්නෙත් මම මේ දකුණේ සිටින සිංහල ජනතාව සමඟ තමයි.ඒ නිසා මට මේ සිංහල ජනතාව ගැන බෞද්ධ ජනතාව ගැන කවුරුත් මගේ නිවසට ඇවිත්,මගේ අමාත්‍යංශයට ඇවිත්, මගේ කාර්යාලයට ඇවිත් උපදෙස් ලබා දෙන්න හෝ ටියුෂන් දීමට අවශ්‍ය නැහැ.මේ නිසා මාගේ නිවසට,මාගේ අමාත්‍යංශයට හෝ මාගේ කාර්යාලයට කවුරුන් හෝ අමුත්තෙක් පැමිණියොත් මම ඒ උදවියට ගෞරවනීය ලෙස තමයි පිළිතුරු ලබා දෙන්නේ.ඒ විදියටයි මම හැදිලා තියෙන්නේ.මා ලබාගෙන තිබෙන අධ්‍යාපනය,මගේ අම්මා,තාත්තා මාව හදාපු විදිය තමයි ඒ.ඒ නිසා හතුරෙකු හෝ මගේ නිවසට අවා නම් මම දොස් කියන්නේ නැහැ,බනින්නේ නැහැ.වැරදි වචන පාවිච්චි කරන්නේ නැහැ.ඉවසීමෙන් හිනාවෙන් තමයි ප්‍රතිචාර ලබා දුන්නේ.හැබැයි කරුණා කරලා ඒක මාගේ හෝ අපේ දුර්වලකම කියලා හිතන්න එපා.මොකද? එහෙම හිතුවොත් ඒක වැරදියි.


මේ රට දැන් කුරිරු යුද්ධයෙන් පසුව සහජීවනය,සංවාදය හරහා සංහිඳියාව ඇති කිරීමේ ගමනට යොමු වෙලා තිබෙනවා.ඒ නිසා කවුරුන් හෝ ඒකට හදිස්සි වෙලා ඒක විනාශ කරන්න එපා.එක ඉල්ලීමක් කරන්න මම කැමතියි.මේ රටේ ජීවත් වන දෙමළ ජනතාව,මුස්ලිම් ජනතාව නොබෙදුණු ශ්‍රී ලංකාව තුළ තමුන්ගේ ජීවිත සම්බන්ධව විශාල බලාපොරොත්තුවක් තබා ගෙන තිබෙනවා.ඒ ඒක විනාශ කරන්න එපා.

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ව්‍යවස්ථාව අනුව භාෂා තුනක්  තිබෙනවා.දෙමළ භාෂාව සහ සිංහල භාෂාව යන දෙකම රාජ්‍ය භාෂා,ජාතික භාෂා.ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව.ඒ වගේ ආගම් හතරක් තිබෙනවා මේ රටේ.ඒවා තමයි බෞද්ධ,හින්දු,ඉස්ලාම් සහ කතෝලික ආගම්.ඒ වගේම ජාතීන් දහ නවයක් තිබෙනවා.මගේ අමාත්‍යංශය තුළ එම ජාතීන් ලියාපදිංචි වෙලා ඉන්නවා.සිංහල,දෙමළ,මුස්ලිම් පමණක් නොවෙයි, ආදිවාසීන් ඉන්නවා.බර්ගර්ලා ඉන්නවා.මලයාලම් පිරිස ඉන්නවා.තෙලිඟු පිරිස ඉන්නවා.ඒ අනුව මේ වගේ ජාතීන් දහ නවයක් මේ රටේ සිටිනවා.නිල වශයෙනුයි මම ඒ ගැන කියන්නේ.මේ අනුව ජාතීන් දහ නවය සහ ආගම් හතර මෙන්ම භාෂා තුන තමයි ලස්සන ශ්‍රී ලංකාව අමතක කරන්න එපා ඒක.ඒක කවුරුත් කඩලා විනාශ කරන්න හදන්න එපා කියල මම කියන්න කැමතියි.ඒකට අපිට ඉඩ දෙන්න බැහැ.මේ විවිධත්වය අපිට අවශ්‍යයි.එය ආරක්ෂා කරන්න ඕනි.එය ආරක්ෂා කරමින් තමයි ශ්‍රී ලංකාව ගොඩ නගන්න පුළුවන් වෙන්නේ අපිට.ඒ නිසා මේ ජාතීන් දහ නවය,ආගම් හතර සහ භාෂා තුන තුළ සිංහල භාෂාව කතා කරන සහෝදරවරුන්ගේ සංඛ්‍යාව සියයට 75% ට අඩු නොවී තිබෙනවා.බෞද්ධ ආගම වැළඳ ගෙන සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව සියයට 70% ට අඩු නොවී තිබෙනවා.කිසිඳු ප්‍රශ්නයක් නැහැ.මම කැමතියි ඒකට.

නව ව්‍යවස්ථාවට අපි ඇතුළත් කරගෙන යනවා,සාකච්ඡා කරගෙන යනවා බෞද්ධාගමට තිබෙන විශේෂ අවස්ථාව වෙනස් වෙන්නේ නැහැ.අපි එතන ඉනාවා.සිංහල භාෂාවට තිබෙන තැන,බෞද්ධ ආගමට තිබෙන තැන වෙනස් වෙන්නේ නැහැ.අපි කැමැත්තෙන් සිංහල ඉගෙන ගන්නවා.බෞද්ධ ආගම අපි අදහනවා.ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.මේ රටේ ජීවත් වන අපි කවුරුත් වෙන වෙන කාල සීමාවන් තුළ වෙන වෙන ප්‍රදේශ වල සිට ශ්‍රී ලංකාවට පිටින් ඉඳල පැමිණි මිනිස්සු.දෙමළ මිනිස්සු,මුස්ලිම් මිනිස්සු පමණක් නොවෙයි,සිංහල ජාතියත් රටෙන් පිට ඉඳල පැමිණි අය.ඒක මහා වංශයේ සඳහන් වෙලා තිබෙනවා.විජය රජතුමා උතුරු ඉන්දියාවේ සිට ගොඩ බැස්සා අපේ පුත්තලම් ප්‍රදේශයට.ක්‍රිස්තු පූර්ව 543 දී සිදු වුණා ඒක.ඉන පසුව කුවේණි කියන ආදිවාසි රැජිනියක් සරණපාවා ගෙන පසුව ඇයව පලවා හැරලා දකුණු ඉන්දියාවේ සිට රජ කුමරියක කඳවලා සරණපාවා ගෙන පසුව සිංහල ජාතිය නිර්මාණය වුණා කියලා මනෝ ගනේසන්ලා කියලා නැහැ, අපි හදපු කතාවක් නෙවෙයි ඒක, එය මහා වංශයේ  සඳහන් වෙලා තිබෙන්නේ.ඒක අර ඊයේ පෙරේදා මගේ අමාත්‍යංශයට කඩා පැනපු ස්වාමීන් වහන්සේට මම මතක කරලා දුන්නා.එවිට ඒ ස්වාමීන් වහන්සේ මොකද කිව්වේ? ඒක බොරුවක් කියලා කිව්වා.ඒ නිසා ඒක බොරුවක් නම් මම අහන්න කැමතියි මහා වංශයත් බොරුවක්ද කියලා.ඒ නිසා එක එක්කෙනාට ඕන ඕන විදියට ඉතිහාසය හදන්න බැහැ,විකෘති කරන්න බැහැ.එය තේරුම් ගත යුතුයි.ඒ නිසා අපි කැමතියි සිංහල භාෂාවට,අපි කැමතියි බෞද්ධ ආගමට.ඒ නිසා සිංහලකමට වඩා,දෙමළකමට වඩා,මුස්ලිම්කමට වඩා අපිට වටින්නේ ශ්‍රී ලාංකිකකමයි.මේ අනුව එය අමතක කරන්න එපා,විනාශ කරන්න එපා       යැයි පවසමින් විවිධත්වය ආරක්ෂා කරමින් අපේ රට සුරකිමු කියමින් දැන් අපේ රටේ පවතින සමගිය,එකමුතුභාවය,සංහිඳියාව සහ සහජීවනය ආරක්ෂා කරමු කියලා මම කියන්න කැමතියි.

ළමා ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි

එහි සභාපති මරිනිද ලිවේරා මහත්මිය පැවසුවේ පාසල් වල මාධ්‍ය ඒකක සම්බන්ධ කරගනිමින් අද(20) දිනයේ එහි ආරම්භක වැඩසටහන කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සිදුකරන බවයි.

“ළඟම පාසල හොඳම පාසල“ ව්‍යාපෘතියට අයත් පාසල් 25ක සිසු සිසුවියන් හා ගුරුවරුන් ද මෙය හා සම්බන්ධ වනු ඇති බව සඳහන්ය.

මෙහිදී ළමා අපයෝජනයන්ගෙන් ආරක්ෂාවීම පිළිබඳව පාසල් මධ්‍ය ඒකක සාමාජිකයින් දැනුවත් කෙරෙන අතර ඒ සඳහා ජනමාධ්‍යය භාවිත කළ හැකි අන්දම පිළිබඳව මෙහිදී දැනුවත් කිරීමට නියමිතය.

එමෙන්ම ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි ප්‍රවෘත්ති වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා, වාර්තා වැඩසටහන් නිෂ්පාදනය හා මුද්‍රිත මාධ්‍ය භාවිතය පිළිබඳව ද විශේෂ පුහුණුවක් ලබාදීමට ද බලාපොරොත්තු වන බව මරිනිද ලිවේරා මහත්මිය පැවසුවේය.

ඇමතිවරයෙකුගේ වාහනයකට වැයවන මුදල ඇමති දයා හෙළිකරයි

රජයේ ඇමතිවරුන්ගේ නිල භාවිතය සඳහා ගෙන්වන වාහන සඳහා එක් වාහනයකට වැය වන්නේ රු. ලක්ෂ 75ක මුදලක් පමණක් බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පවසනවා.

එම වාහනයක් සඳහා රු. ලක්ෂ 450ක් වියදම් වන බවට වන සාවද්‍ය මතයක් සමාජගත කර ඇතැයි ද ඊයේ (18) සිරිකොත දී පැවති එජාප මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියා.

බදු වශයෙන් අය කෙරෙන රු. ලක්ෂ 375ක මුදල භාණ්ඩාගාරයට යැවෙන බවත්ස ඔහු සඳහන් කළා.

පසුගිය රජය සමයේදී සිදු කළ ආකාරයට මෙම වාහන සඳහා රජයේ මුදල් අමතර වැය කිරීමක් සිදු නොකොට අදාළ ඇමතිවරයාගේ අමාත්‍යංශයට සපයා ඇති ප්‍රතිපාදනවලින් වාහනය මිලදී ගැනීම සිදු වන බව ද ගමගේ මහතා පෙන්වා දුන්නා.

අතුරුදන් වුවන් ගැන සොයාබැලීමට විශේෂ කමිටුවක් පත් කරනවා

මීට පෙර පත් කළ කොමිෂන් සභා වාර්තා සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අතුරුදන් වුවන් පිළිබඳ සොයාබැලීමට. විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

යම් ස්ථානයක අතුරුදන්වූවන් රඳවා සිටින බවට ප්‍රකාශ කරන්නේ නම් එම ස්ථාන පරීක්ෂා කිරීම සඳහා රජය වැඩපිලිවෙළක් සකස් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සාම්පූර් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලැබූ නිදහස සහ සාමයේ වටිනාකම අවබෝධ කරගනිමින් සියළු දෙනා කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

ජනතාව නොමග යවමින් ලැබූ සාමය පළුදු කිරීමට අන්තවාදීන් ගෙන යන කුමන්ත්‍රණ පරාජය කිරීමට සියළු ජනතාව ඒකරාශී විය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම අතුරුදන්වූවන් පිළිබඳව කටයුතු කිරීමේ කාර්යාලයක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනතට සංශෝධන අවශ්‍ය බවට ප්‍රකාශ වීමෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමන් උපදෙස් ලබාදී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

දකුණේ මෙන්ම උතුරේ සංවර්ධනයද තමා අතපසු නොකළ බව මෙහිදී අවධාරණය කල ජනාධිපතිවරයා ලැබූ නිදහස රැකගනිමින් ජාතික සමඟිය සහ සංහිඳියාව යථාවත් කිරීමට සියළු දේශපාලන නායකයන් කැපවිය යුතු බවද පවසා සිටියේය.

ෆේස්බුක් නිර්මාතෘට විවාහයෙන් පස්සේ අමතක වුණු දෙයක් ගැන ලෝකය ඉදිරියේ ප්‍රසිද්ධියෙම පිළිගනී | PHOTOS



ෆේස්බුක් ගැන නොදන්න කෙනෙක් නැනේ. ඒ ඉතින් ලංකාවේ වගේම ලෝකේ පුරාම හරිම ජනප්‍රියයි.

මාර්ක් සකර්බර්ග් නිසා අපි අපේ රටේ විදෙස් රටවල ඉන්න ගොඩක් දෙනෙක් අඳුර ගන්නවා.

ඒ වගේම ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ලොව සිටින බිලියනපතියන් අතරින් එක් අයෙක්. ඔහුගේ පස්වන විවාහ සංවත්සරය ඊයේ දිනට යෙදී තිබුණා.

එම විවාහ සංවත්සරය ගැන අදහස් දක්වමින් මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කලේ ඔහුට විවාහ වීමට සිදුවුවද මධුසමය ගත කිරීමට ටික දිනක් ඉවසා සිටීමට සිදුවූ බවයි.

” අපට අවශ්‍ය වුණා ඉතාම සරළ විවාහ මංගල උත්සවයක් පවත්වන්න. මගේ බිරිඳගේ උපාධිය වෙනුවෙන් පවත්වන සරළ සාදයක් ලෙසයි මගේ නිවසේ පිටුපස මම ඒ උත්සවය සංවිධානය කලේ.

" නමුත් ෆේස්බුක් සමාගමේ මූලික කොටස් නිකුතුව යෙදී තිබුනේ ඊට පෙර දිනයේදී. ඉතින් අප විවාහ වුණත් සමාගමේ ව්‍යාපාරික කටයුතු වලට මහන්සි වෙන්න වූනු නිසා මධුසමය ගත කිරීම දින කිහිපයක් කල් දමන්න සිදු වුණා. සාමාන්‍යයෙන් අපි විවාහ සංවත්සරය ගත කරන්නේ ජපානයේ හෝ ප්‍රංශයේ. මෙවර එය අපි ඇමරිකාවේම ගත කරනවා. ”

 




අන්තරේ ළහිරුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු



අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුලු සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ඊයේ(19) වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.  ඒ 2015 වර්ෂයේ ඔක්තෝම්බර් මස 06 වනදින පැවති උද්ඝෝෂණයකට අදාළවයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති එම උද්ඝෝෂණයේදී ඔවුන් මහජන පීඩාවක් සිදුවන අයුරින් හැසිරී ඇති බවට චෝදනා කරමින් කුරුදුවත්ත පොලිසිය අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

එම නඩුවට පෙනී සිටීම සඳහා ඔවුන් අධිකරණ භූමියට පැමිණ සිටියත් නඩු විභාගය සිදුවන අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනි නොසිටිම හේතුවෙන් මෙලෙස ඔවුන්ට වරෙන්තු නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුව ගිනි පොළියට තවත් ණයක් ගන්න යයි



ඇමෙරිකන් ඩොලර් කෝටි ගණනක තවත් ණයක් ගිනි පොලියට ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

අන්තර්ජාතික අරමුදලින් ශ්‍රී ලංකාවට වාරික හයකින් ලබාදීමට එකඟ වූ ඩොලර් කෝටි 150ක මුදලින් තුන්වන වාරිකය ලබාදීම මසකට වඩා කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් මෙම ණය ලබා ගැනීමට යන බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුව මේ වසරේ මුල් කාලයේදීද ඩොලර් කෝටි 150ක ණයක් සියයට 6ක ඉහළ පොලියකට ලබාගත්තා.

2015දී ඩොලර් කෝටි 820ක විදේශ සංචිතයක් තිබූ අතර ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ පැවැති දුර්වලතාව නිසා එම සංචිතය ඩොලර් කෝටි 500 දක්වා මේ වන විට අඩුවී තිබෙනවා.

ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්

දිවයිනට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනට ගිනිකොණ දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුලු පද්ධතිය මීට හේතුවයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ වටින් විට ඉතා රළු විය හැකියි.

මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා  වන තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මේ අතර බස්නාහිර / සබරගමුව / දකුණ / මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 කට වඩා තද වැසි ද ඇතිවිය හැකියි.

ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත  වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සංගා සහ මහේලගේ සිතුවම් ලෝඩ්ස් පිටියේ දී විවර වෙයි

ලාංකීය සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයින් වන කුමාර සංගක්කාරගේ හා මහේල ජයවර්ධනගේ පින්තාරු සිතුවම් දෙකක් ලෝඞ්ස් පිටියේදී අද නිරාවරණය කෙරෙනවා. ඒ අද ආරම්භ වන එම් සී සී ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය අතරතුරයි. ලොව අති දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින්ට පමණයි ලෝඞ්ස් විශිෂ්ටයින්ගේ කුටියට ඇතුලුවීමට අවස්ථාව හිමිවන්නේ.

ඒ අනුව අද සිට එම කුටියේ මහලේගේ හා සංගක්කාරගේ සිතුවම් දෙක ප්‍රදර්ශනය කරනු ලබනවා. ඔවුන්ට දෙපසින් පවතින්නේ විවියන් රිචස්ඞ් හා ග්ලේන් මැග්‍රාත්ගේ සේයාරූ දෙකක් වනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන ලෝඞ්ස් පිටියේදී මෙම ගෞරවය හිමිවීම පිළිබද නිහතමානීව සතුටු වන බව කුමාර සංගක්කාර ප්‍රකාශ කළා.

මේ අතර අද ආරම්භ වන තරගාවලිය වෙනුවෙන් මහේල් හා සංගක්කාරද ක්‍රිඩා කිරීමට නියමිතයි.

Sangakkara and artist Antony Williams

වැල්ලවත්තේ කඩාවැටුණු ගොඩනැගිල්ලේ ප්‍රමිතිය බාල බව හෙළිවෙයි



වැල්ලවත්තේ සය මහල් ගොඩනැඟිල්ල කඩා වැටීමට ප්‍රධාන හේතුව එය ඇළ මාර්ගය ආසන්නයේ ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම බවට අනුමාන කරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මෙම ඉදිකිරීම හේතුවෙන් දැවැන්ත ෙඛ්දවාචකයක් සිදුවීමේ අවධානමක්ද නිර්මාණයවී තිබී ඇති බවයි.

”ගොඩනැඟිල්ල කඩා වැටීම පිළිබඳව අපි මූලික පරීක්‍ෂණ කරගෙන යනවා. අපගේ නිරීක්‍ෂණවලට අනුව පෙනී යනවා එය හොඳ ඉදිකිරීමක්‌ නොවන බව. මෙය ඉදිකර ඇත්තේ ඇළ මාර්ගය ආසන්නයේමයි. මේ භූමියේ පස ශක්‌තිමත් නැහැ. මේ හේතුව නිසා ගොඩැනැඟිල්ලේ පාදම ශක්‌තිමත් නොවීමෙන් ගොඩනැඟිල්ල කඩා වැටුණු බවට අප අනුමාන කරනවා. නමුත් එය හරියට තහවුරු කරගත යුතුයි. මෙම ගොඩනැඟිල්ල ඇළ රක්‌ෂිත සීමාවේ ඉදිකර තිබෙනවාද යන්න පිළිබඳව අපි නාගරික සංවර්ධන අධිකාරියෙන් විමසීමක්‌ කළා. ඒ පිළිබඳ ඔවුන්ගේ වාර්තාව තවම ලැබුණේ නැහැ.

වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැඟිල්ල උත්සව ශාලාවක්‌. එය මිනිසුන් දහසක්‌ පමණ සිටිය හැකි ගොඩනැඟිල්ලක්‌. උත්සව අවස්‌ථාවක මෙම ගොඩනැඟිල්ල කඩා වැටුණේ නම් විශාල ෙ€දවාචකයකට මුහුණ දීමට සිදුවෙනවා. එම නිසා මෙවැනි මහජන ගොඩනැඟිලි ඉදිකිරීමේදී, ඉදිකිරීම් සමාගම් මීට වඩා සැලකිලිමත් විය යුතුයි. මන්ද කොළඹ නගරය කියන්නේ වගුරු බිමක්‌. මෙවැනි වගුරු බිමක ඉදිකිරීම් කිරීමේදී නිසි ප්‍රමිතියට ඉදිකිරීම්, සිදුකළ යුතුයි. ඒ වගේම එම ඉදිකිරීම්, අදාළ වගකිවයුතු ආයතන දැඩිව අධීක්‍ෂණය කළ යුතුයි.”