14 July 2017

නව පක්ෂ 6 කට මැතිවරණ කොමිසමේ අනුමැතිය

නව දේශපාලන පක්ෂ 6 ක් සදහා මැතිවරණ කොමිසම විසින් නිල අනුමැතිය ලබාදී තිඛෙනවා. මේ එම පක්ෂ හා පක්ෂ තොරතුරු මැතිවරණ මහලේකම් කාර්යාලය අනාවරණ කර තිබූ ආකාරයයි.


ජාතික ආණ්ඩුවේ ඉන්නවාද, නැද්ද තීරණය දෙසැම්බරයේ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ දෙසැම්බර් මාසය ආසන්න වනවිට තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.ප. මැති ඇමතිවරුන්ට පෙරේදා (12දා) රාත්‍රියේදී පවසා ඇතැයි වාර්තා වේ.

සැප්තැම්බර් දෙවැනි දිනට යෙදෙන පක්ෂ සංවත්සරය රත්නපු‍රයේදී පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති නිල නිවසේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ආණ්ඩුවෙන් ඉවත් වනවාද, නැද්ද යන්න සම්බන්ධව තීරණයක් ගැනීමට තවත් කල් තිබෙන බැවින් දැනට කලබල නොවිය යුතු බවයි.

මාස පහක කාලයක් ඇතුළතදී තීරණයක් ගැනීමට පක්ෂයේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ සහාය  අවශ්‍ය බවත් ඒ මහතා පවසා තිබේ.
අණ්ඩුවෙන් ඉවත් වන බවටත්, මැතිඇමතිවරුන්ට ප්‍රශ්න තිබෙන බවටත් විවිධ ආරංචි පැතිර යන බැවින්  තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කර තිබෙන අතර, වත්මන් ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටිනේදැයි ඉක්මනින් තීරණයක් ගත යුතු යැයි මැතිඇමැතිවරුන්  කිහිපදෙනෙකු එහිදී පවසා තිබේ.

සැප්තැම්බර් මාසයේදී ගිවිසුම අවසන් වනවිට  ශ්‍රීලනිප මැති ඇමතිවරුන්  පිරිස  ‍ආණ්ඩුවෙන් ඉවත් වී, අවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයාට උදවු කරන අතරතුර, ආණ්ඩුවේ වැරදි නිවැරදි කරන වැඩපිළිවෙළකට යායුතු බව එහිදී ප්‍රථමයෙන් අදහස් දක්වා ඇති ‍ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න  මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයක් මත ශ්‍රීලනිප මැතිඇමතිවරුන්  ආණ්ඩුවේ ඇමැතිකම් බාරගත්තද, දැනට රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය අනුව තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද  නැද්ද කියා තීරණය කළ යුතු බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ රැඳී සිටීම නිසා පක්ෂය අභ්‍යන්තරයේ විශාල ප්‍රශ්නයක් නිර්මාණය වී ඇති බවත්,පාක්ෂිකයන්ට මෙය ගැටලුවක් වී ඇතැයි ගමට ගිය විට පෙනෙන බවත් පවසා ඇති සෙනෙවිරත්න මහතා,මේ ආකාරයට කටයුතු කළ හොත් ඊළඟ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයග්‍රහණය කිරීම විශාල ගැටලුවක් විය හැකි බවද සඳහන් කර ඇතැයිද වාර්තා වේ.

මෙහිදී අදහස් දක්වා ඇති නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් නොවුවහොත් ආණ්ඩුව කරන සියලු පාපකර්මවලට ශ්‍රී.ල.නි.ප. මැතිඇමතිවරුන්ට කරගැසීමට සිදුවිය හැකි බවයි.වත්මන් ආණ්ඩුවේ රැඳීසිටීම ගැන  පාක්ෂිකයන් කැමැති නැති බවත්, ශ්‍රීලනිප මැතිඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන්න පාක්ෂිකයන්ගේ මතය බවත් පවසා ඇති නිමල් ලන්සා මහතා, ආණ්ඩුවෙන් ඉවත් නොවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා අවාසිසහගත තත්ත්වයන්ට මුහණදීමට සිදුවනු ඇති බවද පෙන්වා දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනතාවක් පෙළගැසී සිටින බැවින් මේ අවස්ථාවේදී කිරාමැන තීන්දුවක් ගතයුතු බවත්,බැඳුම්කර වංචාවේ වැරදිකරුවන් එළියට එනවිට එක්සත් ජාතික පක්ෂයට අවාසි සහගත වන බැවින් ජනාධිපතිවරයාට තීන්දුවක් ගැනීමට අවස්ථාවක් එනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙහිදී අදහස් සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති මහින්ද අමරවීර, එස්.බී. දිසානායක,සරත් අමුණුගම, මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් පවසා ඇත්තේ කණ්ඩායමක් වශයෙන් තීන්දුවක් ගත යුතු බවත්, ඒකාබද්ධ විපක්ෂය කෑ ගැසූ පමණින් බියවිය යුතු නැති බවත්ය.

ආණ්ඩුවෙන් ඉවත්වීමට අවශ්‍ය අයට ඉවත්වීමට අවස්ථාව තිබෙන බවත්, ඉතිරි පිරිස සමග ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් සරත් අමුණුගම මහතා පවසා ඇතැයිද වාර්තා වේ.

මන්ත්‍රීවරුන් බාගන්න දේශපාලන කණ්ඩායම් 3ක් මෙහෙයුමක

ඉදිරියේ සිදුවෙතැයි කියන දේශපාලන පෙරැළියක් ඉලක්ක කරගෙන ප්‍රධාන පක්ෂ 3ක් විසින් රහසිගත දේශපාලන මෙහෙයුම් දියත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.

මෙම මෙහෙයුම් තුනම ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන පක්ෂවල සිටින කලකිරීමට පත්ව ඇති මන්ත්‍රීන් සෙසු පක්ෂවලට දිනාගැනීමේ අරමුණිනි. ශ්‍රී.ල.නි.පය එ.ජා.පය සහ ඒකාබද්ධ විපක්ෂය මෙම මෙහෙයුමේ නිරත වන බවයි ප්‍රකාශ වන්නේ.

පසුගියදා රජයේ නිල තනතුරු දරණ ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින් 18 දෙනකු තමන් තනතුරු අතහැර ස්වාධීන වන බව ප්‍රකාශ කළේ මෙහි එක් අදියරක් ලෙස බවයි පැවසෙන්නේ.මුලින් එම කණ්ඩායමේ ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 18 දෙනකු සිටියත් දැන් එම සංඛ්‍යාව 22ක් බවට පත්ව ඇති අතර එම පිරිස හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ජාවක්ද පවත්වා ඇති බවයි අනාවරණ වන්නේ.

ඒ අතර මෙම ඇමැති පිරිස ශ්‍රී.ල.නි.පය තුළ රඳවාගැනීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද අදාළ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් 6 දෙනකු සමඟ පසුගියදා රහසිගත සාකච්ඡාවක් පවත්වා තිඛෙනවා. ඒකාබද්ධ විපක්ෂයද මෙම තනතුරු අත්හරින්නන් දිනාගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඊට අමතරව රජයේ සිටින සුළු පක්ෂ දෙකක නායකයන් සමඟද ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් සාකච්ඡා පැවැත්වූ බවයි හෙලිවන්නේ.

ශ්‍රී.ල.නි.පයේ කලකිරී සිටින පිරිස් එ.ජා.පයට සම්බන්ධ කරගැනීම සඳහා ද ඉහළ මට්ටමේ කතාබහක් සිදුවන අතර  රජයේ අමාත්‍ය පදවි දරණ ශ්‍රී.ල.නි.ප සාමාජිකයන් දෙදෙනකුද මෙම සාකච්ඡාවලදී එ.ජා.පයට යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි සඳහන්.

මේ අතර ජනාධිපතිවරයා මුණගැසුණු එ.ජා.පයේ හා ඒකාබද්ධ විපක්ෂයේ පසුපෙළ සාමාජිකයන් ගණනාවක් තමන්ගේ දුක්ගැනවිලි ජනාධිපතිවරයාට දැනුම් දීමත් සමඟ ඔවුන් හා තිරය පිටුපස පුළුල් රහසිගත සාකච්ඡාවක් පටන්ගෙන ඇතැයි වාර්තා වෙයි. දකුණ වයඹ හා රජරට ප්‍රදේශවල ශ්‍රී.ල.නි.පය සමඟ නැති මන්ත්‍රීන් පිරිසක් සමඟ මෙම අදහස් හුවමාරුව සිදුකරන බවයි හෙලිවන්නේ.

බ්‍රසීල හිටපු ජනපතිට සිර දඩුවම්

හිටපු බ්‍රසීල ජනපති ලුවිස් ලුලා ද සිල්වා මහතා විසින් සිදු කරන ලදැයි සැලකෙන දුෂණ වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට බ්‍රසීල අධිකරණය විසින් වසර නවයහමාරක සිරදඬුවම් නියම කර ඇතැයි වාර්තාවේ.

ඩොලර් දසලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීම හේතුවෙන් ඔහුට එම දඬුවම නියම වී ඇත. මෙම අල්ලස ඔහු ලබාගෙන ඇත්තේ නිවාඩු නිකේතනයක් නවීකරණය කිරීම සම්බන්ධයෙනි.

මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බැවින් එතෙක් ඔහු බන්ධනාගාරගත නොකරන බව ප්‍රකාශ වී ඇත.

ලුලා ද සිල්වා මහතා මීළඟ බ්‍රසීල ජනපතිවරණය සඳහා සුදානම් වෙමින් සිටින බව ද පැවසේ. ඔහු අනෙක් අපේක්ෂකයන් අතර ඉදිරියෙන් සිටින බව විචාරකයෝ පවසති.

ඉතිහාසයේ ප්‍රථමවතාවට ඩෙංගු මර්දනයට සියලු මාධ්‍ය එක්වෙයි | VIDEO

 සියලුම මාධ්‍ය ආයතන  (12) පෙරවරු 9.00 සිට 11.00 දක්වා කාලය ඩෙංගු මර්ධනය සම්බන්ධ යෙන් දැනුවත් කිරීමේ ඒකාබද්ධ විකාශයක් දියත් කලා.

අදාළ පැය දෙක තුළ ලබන සෙනසුරාදා උදේ 10.00ත් - 12.00ත් අතර කාලයේදී අපේ ගෙවත්ත අපිම පිරිසිදු කරමු යන අරමුණ සාක්ෂාත් කර ගැනීම ඉලක්ක කර ගනිමින් සිදුකරන ක්‍රියාකාරී කම දැනුවත් කිරීම හා ඩෙංගු මැඩීමට පුරවැසියා සතු යුතුකම් හා වගකීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කරනු ලබනවා.

“අපි අරඹමු ඩෙංගු දුරලමු ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු” යන තේමාව යටතේ සියලු මාධ්‍ය ඒකට ගොනුවීම සිදුකරනු ලබයි.

එසේ ම ලබන 19 වන බදාදා දින පාසල් හා කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම ඉලක්ක කර ගනිමින් ඩෙංගු ව්‍යසන මර්දනය කිරීමේ වැඩසටහනක් සියලුම විද්‍යුත් මාධ්‍යන්ගේ දායකත්වයෙන් සිදු කිරීමට ද නියමිතව ය.




'ත්‍රස්තවාදයට ඉඩක් නෑ' අගමැති කියයි

කිසිදු අයුරකින් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට හිස එසවීමට ඉඩ නොතැබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළා. සාර්ක් කලාපීය නීතිය හා සාමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

කලාපීය වශයෙන් එකමුතුවී ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටිමට අප අදිටන් කර ගත යුතු බවද අග්‍රමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මේ එහිදී අග්‍රාමාත්‍යවරයා පල කළ අදහස්.

“ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය මුලුමනින්ම පරාජය කරල තිබෙනවා. එහෙත් දැන් ත්‍රස්තවාදය වෙනත් මුහුණුවරවල් වලින් හිස ඔසවන බව පේනවා. ඒ අතරට මත් ද්‍රව්‍ය ජාවාරමත් එකතුවෙලා. එම නිසා කුමන ආකාරයකින්වත් ත්‍රස්ත ක්‍රියාවලට හිස එසවීමට අපි ඉඩ නොදිය යුතයි. ඒවාට සුදුසු ක්‍රමෝපායන් තුළින් පිළියම් සෙවිය යුතුයි. කලාපීය වශයෙන් එකමුතු වී ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමට අප අරමුණු කර ගත යුතුයි.”