29 March 2017

රුපියල තවත් බාල්දු වෙයි



2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.2 ක අවප්‍රමාණයක් වාර්තා කළේය.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව සියයට 3.2 කින් ද, ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 2.8 කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 5.5 කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 1.9 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව සියයට 6.1 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 4.8 කින් ද අවප්‍රමාණය විය.

රජනිකාන්ත්ගෙන් දමිල ජනතාවට ලිපියක්



සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමෙන් පසුව තමින්නාඩු සුපිරි නළු රජනිකාන්ත් ශ්‍රී ලංක දමිල ජනතාව වෙනුවෙන් කෙටි ලිපියක් යොමුකර තිබේ. ඔහු පවසන්නේ නිවැරදි වේලාවක තමා හා ශ්‍රී ලංකා දමිල ජනතාව අතර හමුව සිදුවෙනු ඇති බවයි.

“ මා කෙරෙහි ඔබ දැක්වූ ආදරය මාධ්‍ය හරහා මට දැනගන්න ලැබුණා. ඔබගේ ආදරයට ස්තුති කරන්න මට වචන නෑ.හොඳ දේවල් සිදු වේවි. වේලාව හොඳ වුණාම වේලාව හොඳ වුණාම අපේ හමුව සිදුවේවි. මම ඔබගේ ශුභ සාධනය දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනවා ”

රජනිකානත් එළැඹෙන 9 දා හා 10 දා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණත් තමින්නාඩු දේශපාලඥයින් එයට විරුද්ධ වීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට ඔහු කටයුතු කරනු ලැබීය.

මෙලනියා ට්‍රම්ප් අතින් සන්ධ්‍යාට සම්මානයක් | PHOTO



ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමනු  ලබන ජාත්‍යන්තර ධෛර්ය සම්පන්න කාන්තාවට හිමි සම්මානයක් අතුරුදන්ව ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හිමිවීමට නියමිතය.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් හා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් තෝමස් ඒ ෂැනොනන් මහතා අතින් සන්ධ්‍යා මහත්මියට මෙම සම්මානය පිරිනැමීමට නියමිතය.

මෙවර ලෝකය පුරා තෝරාගත් රටවල කාන්තාවන් 13 දෙනෙකු වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමීමට නියමිත අතර, මානව හිමිකම් ආරක්ෂා කිරීම, යුක්තිය , සාමය හා ලිංගික සමානාත්මතාව වෙනුවෙන් කාන්තාවන් කළ සේවය ඇගයීමට මෙම සම්මානය පිරිනැමේ.

ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ගේ පවුල් වෙනුවෙන් මෙන්ම අතුරුදන්වූ සිය සැමියා වෙනුවෙන් පෙනීසිටිමින් ඇය කළ මෙහෙය ඇගයීමට සන්ධ්‍යා මහත්මියට මෙම සම්මානය ලබාදීමට නියමිතය.

2007 වසරේදී මෙම සම්මානය පළමු වරට හඳුන්වාදුන් අතර, මේ වනවිට රටවල් 60කට ආසන්න ප්‍රමාණයක කාන්තාවන් 100ක් පමණ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. 2010 වසරේදී ශ්‍රී ලංකාවේ ජැන්සිලා මජීඩ් පළමු වරට මෙම සම්මානයෙන් පිදුම් ලැබුවාය. 





(අමෙරිකා වේලාවෙන් අද (29දා) පෙ.ව. 11.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට පමණ) සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මෙම සම්මානය හිමිවීමට නියමිතය.)

කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කරන්න සූදානම් නෑ


පසුගිය යුධ සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා. සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (29) කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ සහ විරුසර වරප‍්‍රසාද කාඩ්පත් රණවිරුවන් වෙත ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැදුණු විරෝධාර රණවිරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීම සහ යුතුකම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වීරෝධාර රණවිරුවන් පිළිබඳ තමා සෑම අවස්ථාවකම වගකීමෙන් කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.
මීට පෙර කිසිදා නොවූ විරූ ජාත්‍යන්තර විශ්වාසයක් සහ සහයෝගයක් මෙම යුගයේ දී ශ්‍රී ලංකා මාතෘ භූමියට හිමිව තිබෙන අතර එයින් ගන්නා වූ ප‍්‍රයෝජනය කුමක්දැයි ඇතැමුන් ප‍්‍රශ්න කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙම ජාත්‍යන්තර සහය සහ මිත‍්‍රශීලිත්වය තමා භාවිතා කරන්නේ රටේ, ජනතාවගේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් බවයි.

ශ්‍රී ලංකාවේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට මෙන්ම රණවිරුවන් පිළිබඳ මතුවන ගැටළුසහගත තත්ත්වයන්වලදී තමන් ඝෘජුවම ශ්‍රී ලංකාව සමග සිටින බවට ලෝකයේ ප‍්‍රබලම රාජ්‍ය නායකයින් තමාට මේ වන විට පෞද්ගලිකවම සහතික වී තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

යුද්ධය පැවති කාලයේ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව සටන්කළ හමුදා නිලධාරින්, කාර්ය මණ්ඩල සහ රණවිරුවන් පිළිබඳ මතුවන ඕනෑම ගැටළුවක් වෙනුවෙන් තමා වගකියන බව සියලුදෙනා හමුවේ පැහැදිළිව ප‍්‍රකාශ කරන බව ද ඔහු සඳහන් කළේය.

එසේම ජාතික ආරක්ෂාවට අදාළ නොවූ කරුණුවලදී එනම් මාධ්‍යවේදීන්, ක්‍රීඩකයින් ඝාතනය කිරීම්, පහරදීම් වැනි සිදුවීම්වලට අදාළව සිදු කරන පරික්ෂණවලදී යමෙක් වැරදිකරුවෙක් වේ නම් ඔහු කුමන තරාතිරමකට අයත් වුවද එම පුද්ගලයින් ආරක්ෂා කිරීමට තමාට හැකියාවක් නොමැති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක යන මහත්ම මහත්මීන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද, කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ඩී.ඒ.රත්නායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ රක්ෂිත තනි වනාන්තරයක් කළ ගැසට් නිවේදනයට විරෝධය



විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති රක්ෂිත ප‍්‍රදේශ තනි වනාන්තරයක් ලෙස නම්කොට. ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට එරෙහිව විරෝධය පලකරමින් සිලාවතුර මරිච්චිකට්ටි ඇතුළු ගම්මාන පහක නැවත පදිංචි ජනතාව මරිච්චිකට්ටි මුස්ලීම් දේවස්ථානය අසලදී සත්‍යග‍්‍රහයක් ආරම්භ කළහ.

ඉකුත් 24 වැනි දා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කල්ලාරු, මාවිල්ලූ රක්ෂිත ඇතුළු රක්ෂිත පහක් ගැසට් නිවේදනයකින් එක් වනාන්තරයක් ලෙස නම් කර ගැසට් නිවේදනය කළේය.

මේ හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ නැවත පදිංචි ජනතාවට විශාල අසාධාරණයක් සිදුව ඇති බව විරෝධතාකරුවෝ පවසති.එම ගැසට් නිවේදනය අවලංගු කරනතෙක් සත්‍යග‍්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යන බවද විරෝධතාකරුවෝ ප්‍රකාශ කරති.

තමන්ගේ බහුතර ඡන්දයෙන් තොරා පත්කරගත් ජනාධිපතිවරයා තමන්ට මෙවැනි අසාධාරණකම් සිදුකිරීමට විරෝධය පලකරන බව ද ඔවුහු පවසති.

රට නොබෙදා බලය බෙදිය යුතුයි



ජාතික සංහිදියාව ඇති කිරීමේදී රට නොබෙදා බලය බෙදා දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එසේම පළාත් සභාසතු බලතල වැඩි කිරීමට උතුරු මහ ඇමතිවරයා මෙන්ම අනෙකුත් මහ ඇමතිවරුන්ද ඉල්ලා ඇතැත් ඔවුන්ට රට බෙදීමට අවශ්‍ය බව පවසා නැති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මරදාන, සුදුවැල්ලේදී බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට අද (29දා) සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“මේ රටේ බහුතරයක් අදහන ආගම බුද්ධාගමයි. ඒ පිළිබඳව කවුරුත් තර්ක විතර්ක කරන්නේ නැහැ. එමෙන්ම බුද්ධාගමට තිබිය යුතු ප්‍රමුඛස්ථානය පිළිබඳව ද කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේගේ දේශනාව පරිදි අප අනෙකුත් සෑම ආගමකටම ගරු කළ යුතුයි. එම ආගම් ඇදහීමේ අයිතිය ද ලබාදිය යුතුයි.

ජාතික සංහිදියාව ඇති කිරීමේදී රට බෙදන්නේ නැතුව බලය බෙදන්නේ කෙසේද යන්න අප කල්පනා කළ යුතුයි. රට බෙදන්නැයි කවුරුත් පවසන්නේ නැහැ. ඒකීය භාවය ශක්තිමත් කිරීම සඳහා බලය බෙදාහැර එක් එක් ප්‍රදේශවල සිටින ජනතාවට තමන්ගේ වැඩකටයුතු සිදු කිරීමට හා තමන්ගේ ආගම ඇදහීමට අවස්ථාව ලබා දිය යුතුයි.

පළාත් සභා බලතල වැඩිකිරීම පිළිබඳ සංශෝධන උතුරේ මහ ඇමැතිවරයා පමණක් නොව දකුණේ මහ ඇමැතිවරුන් ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එහිදී කිසිවෙකු රට බෙදන්නැයි කියා පවසන්නේ නැහැ.” යැයි පැවැසීය.

ජය පරාජයන් මැද නොසැලී ඉදිරියට යමු – අධ්‍යාපන ඇමති දරුවන්ට කියයි



 මෙරට ප්‍රථම වරට විභාග ප්‍රතිඵල නිකුත් කරන්නට නියමිත දිනයක් නම් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඵලදායිතාවය හොවා දැක්වීමට වත්මන් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කරන ලදී. ඒ අනුව පසුගිය දා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබූ දරුවන් වෙත පණිවුඩයක් නිකුත්කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ ජය පරාජයන් මැද නොසැලී ජීවිතය ජය ගන්නට අදිටන් කර ගනිමු යන්නයි.

වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේ දැක්වෙයි..

2016 අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි ඔබට එහි ප‍්‍රතිඵල හැකි ඉක්මනින් ලබාදීමට හැකිවීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මම ද සතුටට පත්වෙමි. ප‍්‍රතිඵල ප‍්‍රමාදවීම හරහා ඔබේ ජීවිතය තුළ වැදගත් තීරණ රැසක් ගැනීමට ඇති කාලය අපතේ යන බව ද අප හොඳින් නිරීක්ෂණය කළ අතර, හැකි ඉක්මනින් ප‍්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත‍්‍රණය සැකසීමට අප පියවර ගත්තේ ද එබැවිනි. ඒ අනුව මෙම කටයුත්තට දායක වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයටත්, පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කි‍්‍රයාවලියට සම්බන්ධ වු සියලු නිලධාරින්ටත් කෘතවේදීත්වය පිරිනැමීමට ද මා මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙවර විභාගය සමත්වීමේ ප‍්‍රතිශතය සෙසු වසර සමඟ සංසන්දනය කිරිමේ දී ඉහළ මට්ටමක පවතින බවත් ගණිතය වැනි විෂයයන් සමත්වීමේ ප්‍රතිශතයන් ද ඉහළ මට්ටමක පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මා වෙත දැනුම් දී ඇත. එය ද මෙරට අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය පිළබඳ සුබදායක පෙර නිමිත්තකි.

අද දිනයේ (සා. පෙළ) විභාගය ඉහළින්ම සමත් වූ දරුවන් මෙන්ම වර්තමාන අධ්‍යාපන පද්ධතිය තුළ පවත්නා විභාග කේන්ද්‍රීය ක‍්‍රමවේදයන් හරහා ඉහළම ප‍්‍රතිඵල ලබා ගැනීමට අපොහොසත් වූ දරුවන් ද සිටින බව සමාජ යථාර්ථයයි.

විභාගයේ ඉහළම ප‍්‍රතිඵල ලැබූ අතිදක්ෂ දරුවන් ඉදිරියේ දී මේ මවුබිමට විශාල මෙහෙවරක් ඉටුකිරීම වෙනුවෙන් කැපවනු ඇතැ’යි මා අපේක්ෂා කරමි. (සා.පෙළ) විභාගයට වඩා උනන්දුවෙන් (උ.පෙළ) කඩඉම ද ජය ගැනීම සඳහා කටයුතු කරන්නට ඔබට හැකිවේවා!යි මම ප‍්‍රාර්ථනය කරමි. එමෙන්ම විභාගයෙන් ඉහළ ම සාමාර්ථ ලබා ගැනීමට නොහැකි වූ නමුත් විවිධ විෂය පරිබාහිර දක්ෂතා දැක්වූ නිර්මාණශීලී දරුවන් රැසක් ද අපේ අධ්‍යාපන පද්ධතිය තුළ සිටින බව රජයක් ලෙස අප හොඳින් හඳුනාගෙන සිටින්නෙමු.

එබැවින් එම දරුවන්ගේ දක්ෂතා සහ කුසලතා මෙන්ම නිපුණතාවන් රටේ අනාගතයේ උන්නතිය වෙනුවෙන් සකි‍්‍රය ලෙස ලබා ගැනීම සඳහා වඩාත් තීරණාත්මක අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රැසක් කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර ඇත. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන ඉන් එක් නිදසුනකි. එම වැඩසටහන මේ වසරේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට අප බලාපොරොත්තුවන බව ද සතුටින් දැනුම් දෙන්නෙමු. එය 2019 වසරේ සිට සමස්ත පාසල් අධ්‍යාපන පද්ධතියම ආවරණය කරමින් දියත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට රජය පියවර ගනිමින් සිටියි.

මීට අමතරව (උ. පෙළ) හදාරන සිසු දරුදැරියන් 1,75000 ක් සහ ගුරුවරුන් 28000 ක් වෙනුවෙන් ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනේ දී ද එහි මුල්ම ප‍්‍රතිලාභීන් වන්නේ අද දින ප‍්‍රතිඵල ලබා උසස් පෙළ හැදෑරීමට පාසල්වලට ඇතුළත් වන ඔබ බවද සතුටින් මතක් කර දෙමි.

නොමිලේ ඔබට ලැබෙන නිදහස් අධ්‍යාපනයේ සෙවන ලබමින් වර්තමාන ගෝලීය සමාජය තුළ විනය, හික්මීම හා නවෝත්පාදනයන් කැටි වූ නිර්මාණශීලීත්වය පෙරටු කර ගත් යහපත් පුද්ගලයෙකු ලෙස කටයුතු කිරිම ඔබේ ඒකායන අරමුණ විය යුතුය. මව්පියන්ට වැඩිහිටියන්ට සහෝදර සහෝදරයින්ට ගරු කරන ගුණගරුක දරුවෙකුට කිසිදු අගතියක් සිදු නොවන බවත් ඔබ හොඳින් මතක තබා ගත යුතුය. වර්තමාන ලෝකය, විවිධ සමාජ ක‍්‍රමයන්ගෙන් යුක්ත බවත්, අධ්‍යාපනය දැනුම සහ නිපුණතාවන් එම සමාජ ක‍්‍රමය තුළ ඔබව ඉහළට ඔසවා තබන බවත් ඔබ හොඳින් අවබෝධ කර ගත යුතු වැදගත්ම කරුණකි.

ඔබට ශී‍්‍ර ලාංකේය නාමය ලොව තුළ බබළවන්නට ශක්තිය ධෛර්යය සහ වාසනාව ලැබේවා!යි ප‍්‍රාර්ථනය කරමි.