28 March 2017

පාළු ගෙයි වළං බින්ද අනුරගේ අන්දරය අතේ පත්තු වෙයි! (විශේෂ- වීඩියෝ)



 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා නොමැති අවස්ථාවක ඒ මහතාට දරුණු කුමන්ත්‍රණ චෝදනාවක් එල්ල කරන ලදී. එහිදී ඔහු සුපුරුදු දැඩි විලාශයෙන් යුතුව ගෙන හැර දැක්වීමට උත්සහ කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප මන්ත්‍රීවරයෙකු වන මලිත් ජයතිලක මහතා තම බලය යොදාගනිමින් අපරාධ කරුවකු බේරාගැනීමට උත්සහගන්නා බවත්, සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ වෙනතකට යොමුකිරීමට බලපෑම් කරන බවත්ය.

එහෙත් සිදුව ඇත්තේ අපුරු සිදුවීමකි. එනම් අරලිය ගහ මන්දිරයේ ශානි පුමුඛ කල්ලියක උවමනාව මත ගිලින ලද ඇමයක ප්‍රතිථලයක් ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහා කුමන්ත්‍රණයක් විලාසයෙන් ලෙස එලිදක්වන ලද කථා වස්තුව පැය 24ක් ගතවීමටත් මත්තෙන් පාළු ගෙයි වළං බින්ද ගොනා සේ ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලකගේ පිළිතුරු කථාවත් සමඟ නිහඬව නෑ සුනා සේ සිටීමටයි.

පොට පටලවා ගත් අනුර කියූ අන්දරය

පසුගිය රාජපක්ෂ පාලන සමයේ නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂකයෙකු වූ සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් විසින් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළ තරුණයින් පස්දෙනාගේ පරීක්ෂණ යටපත් කිරීම සඳහා ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලක විසින් පොලිස්පතිවරයාටත් එම පරීක්ෂණ භාරව කටයුතු කරන නිලධාරීයාටත් බලපෑම් කළ බවයි.

පැය 24ක් යෑමටත් මත්තෙන් අනුරගේ අන්දරය අතේ රෝලක් වුණු හැටි

තමා පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවකදී ආචාරධර්ම පයියකටත් මායිම් නොකරමින් අනුර කුමාර දිසානායක සිදුකළ කථාවට ඊට පසුදාම පිළිතුරු දීමට ශ්‍රීලනිප මන්ත්‍රී මලිත් ජයතිලක පැමිණියේය.

ඔහු ජවිපෙ නායක අනුර කුමාර පොට පටලවමින් ගැසූ අන්දරයේ නියම කථා වස්තුව නම් ගම් සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහිදී පා.ම. මලිත් ජයතිලක විසින් එවක නාවික හමුදාපතිගේ පුද්ගලික ආරක්ෂකයා වූ නේවි සම්පත්ගේ මෙහෙයවීමෙන් කප්පම් ගැනීම සඳහා ඝාතනය කරන ලද තරුණයින්ගේ පරීක්ෂණවලින් කුප්‍රකට මිනීමරුවකු වන නේවි සම්පත්ව මුදාගැනීම සඳහා ඔහුට එල්ල වී ඇති එම ඝාතන චෝදනා නාවික බුද්ධි අංශ නිලධාරීයෙකු වන ලුතිනන් කමාන්ඩර් ධම්මික අනිල් මාපාගේ පිට පැටවීමට යන සැලැස්ම පිටුපස වූ බිහිසුණු කුමන්ත්‍රණය පිළිබඳව සාක්ෂි සහිතව පාර්ලිමේන්තුව හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී. (වීඩියෝ පටය බලන්න )

ඒත් සමඟම අතේ පත්තු වුණු අනුරගේ අන්දරය හමුවේ අනුර කුමාර ‘හ්ම්..’ ශබ්දයක් පිට කිරීමට ගියේ නැත. ඔහුට ඉතිරි වූයේ පා.ම. මලිත් ජයතිලකගේ හැන්සාඩ් එක දෙස බලා කෙකර ගෑමටය.

ජනපති මෛත්‍රීට එරෙහි අරලියමන්දිරයේ කුමන්ත්‍රණය

මේ වන විට එජාපයට අරක්ගත් අරලිය ගහ මන්දිරයේ කල්ලියට ඇති ප්‍රධානම හිසරදය සහ බාධාව ජනපති මෛත්‍රීට අතිශයින් හිතවත්, ඔහුට අවංකවම ආදරය කරන පිරිස්ය. ඒ ඔහුන්ට අවශ්‍ය පරිදි කුප්‍රකට කොල්ලකෑම්(මහ බැංකු බැඳුම්කරය වැනි ), ජාතික සම්පත් කුණුකොල්ලයට හොරෙන් විකුණාගැනීම් (හම්බන්තොට වරාය වැනි )දේ සඳහා මෙම පිරිස් නිසාවෙන් ඉල්ලවන පීඩනයත්, දේශපාලන බුද්ධි අංශයක් ලෙස ක්‍රියාත්මක වෙමින් සියලු දේ ජනාධිපතිවරයාට වාර්තා කිරීමත් නිසාවෙනි.

මේ නිසාවෙන්ම අරලිය ගහ මන්දිරයේ කල්ලියේ ප්‍රධානම කර්තෘවය වී ඇත්තේ ජනාධිපතිවරයා වටා සිටින මෙම ප්‍රධාන කණ්ඩායමේ චරිත ඝාතනයත් ඔවුන්ට එහිදී කුමන්ත්‍රණ නිර්මාණය කොට ඒවා විවිධ පැතිකඩ ඔස්සේ විකාශනය කිරීමත්ය.

එහෙත් සැබැවින්ම බොහෝ දෙනෙකුට එකවර විශ්වාස කළ නොහැකි ඒත් අවාසනාවට ඇත්ත කථාව නම් මෙම කොන්ත්‍රාත්තුවට කරගසා සිටින්නේ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක වන බව ඔහු විසින්ම දිනෙන් දින ඔප්පු කරමින් සිටීමයි.

RSL


සයිටම් ගැන ආණ්ඩුවේ උපක්‍රමික කල්මැරීමට එරෙහිව වෛද්‍යවරු දැවැන්ත සටනකට



මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුවට සතියක්‌ ඇතුළත විසඳුම් නොදුන්නොත් අප්‍රේල් මුල් සතියේ දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක්‌ ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අනුකූලතා සහතිකයක්‌ නොමැතිව උපාධි පිරිනැමීම සඳහා ලබාදී ඇති හැකියාව අප්‍රේල් මුල් සතියට පෙර ඉවත්කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව ආරම්භ කරන වෘත්තීය ක්‍රියා මාර්ගයට රටේ සියලු බලවේග එක්‌ කරගන්නා බවත් එම සංගමය සඳහන් කරයි.

එම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට සමගාමීව කොළඹ නගරය තුළ දැවැන්ත ඒකාබද්ධ විරෝධතා වැඩසටහනක්‌ සංවිධානය කර ඇති අතර ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හා ඒ පිළිබඳව නිශ්චිත දිනයන් තීරණය කිරීමේ බලය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් විධායක කමිටුවට පවරාදී ඇත.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණයන් ක්‍රියාත්මක කරන ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා පීඨාධිපතිවරුන් තීරණයට එළඹ ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

ඒවා නම්(-

1. සෞඛ්‍ය ඇමැතිවරයා විසින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට්‌ කිරීම හා වෛද්‍ය සභාවේ තාක්‍ෂණික වාර්තාවට නෛතික භාවයක්‌ ලබාදීම.

2. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා සයිටම් වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය නොලබා ඇති බව අධිකරණයට දැනුම් දීම.

3. සයිටම් ආයතනය විසින් තවදුරටත් සිසුන් බඳවා ගැනීම වහාම නතර කිරීම.

4. මෙම ආයතනය හරහා වැඩිදුරටත් උපාධි ප්‍රදානය කිරීම වහාම නතර කිරීම.

5. දැනට මෙම ආයතනය තුළ ඉගෙන ගනු ලබන සිසුන් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා විසඳුමක්‌ ලබා දීමට කමිටුවක්‌ පත් කිරීම ආදියයි.

මුහුදේදී හරියට මාළු අල්ලන්න ධීවරයන්ටත් ටැබ්


 ජාත්‍යන්තර මුහුදේ දී අල්ලාගන්නා මසුන් පිළිබඳව නිවැරදි දත්ත සටහන් කරගැනීමට අවශ්‍ය පුහුණුව මෙරට ධීවරයන්ට ලබාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාශය කියා සිටියේ ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේදී නිශ්චිත සටහන් යෙදීම සඳහා ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය විසින් මත්ස්‍ය තහනමක් පැනවීමට මූලික කරුණක් වූයේද ජාත්‍යන්තර මුහුදේදී අල්ලාගන්නා මසුන් පිළිබඳ නිවැරදි දත්ත සටහන් නොකිරීමයි.

බත්තරමුල්ලට තවත් අමාත්‍යංශ ගණනාවක් යනවලු



රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය වැනි අමාත්‍යංශ ගණනාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ හා ඒ අවට ස්ථාපිත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෙත්සිරිපාය, සුහුරුපාය වැනි තවත් නාගරික ගොඩනැගිලි සංකිර්ණ 03ක් ඉදිරි වසර 03න ඇතුළත ඉදිකරන බවයි.

බත්තරමුල්ල ප්‍රධාන පරිපාලන නගරය ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ එම කටයුතු සිදු කෙරෙන බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටියා.

පළාත් සභා 3ක ඡන්දයට සුදානම් වන්න ! - ජනපති නිදහස් පක්ෂයේ මහ ඇමතිවරුන්ට කියයි



පළාත් සභා තුනක මැතිවරණය සහ පළාත් පාලන ඡන්ද විමසීම මේ වසරේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පළාත් මහ ඇමතිවරුන්ට ඊයේ(27) දැනුම් දී තිබෙනවා.

ඒ අනුව 2012 වසරේ ඡන්දය පැවති නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභාවල නිල කාලය මේ වසරේදී අවසන්වන බැවින් ඒ සඳහා සූදානම් වන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම මෙම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව මුහුණදිය යුතු බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ඔහු පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරු සහ පළාත් අමාත්‍යවරුන්ට ඊයේ ජනාධිපතිවරයා විශේෂ කැදවීමක් කර තිබුණා.

එම සාකච්ජාව ඊයේ රාත්‍රී 7ට පමණ ආරම්භ වූයේ ජනාධිපති නිල නිවසේදීයි.

පැය දෙකකට අධික කාලයක් මෙම සාකච්ජා පැවති බවයි වාර්තා වන්නේ. මෙහිදී ඇතැම් දිස්ත්‍රික්කවලට ආසන සංවිධායකවරුන් පත් කර නොතිබීම නිසා එහි සංවිධාන කටයුතු ඇණහිට ඇති බවට ඇතැම් පළාත් අමාත්‍යවරුන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙනවා.

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත තරුණ සමුළුව සහ මැයි රැළිය සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා සිය රුසියානු සංචාරය සම්බන්ධයෙන් ද මෙහිදී පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් සහ පළාත් අමාත්‍යවරුන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුවට එරෙහිව හඬ නැගූ විමල් විරවංශ එජාපයට යයි


 පා.ම විමල් විරවංශ මේ වනවිට මාස ගණනාවක සිට බන්ධනාගාර ගත කර සිටියි. ඔහු ඇප නොදීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලකින් ද පසුවන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

තත්වය එසේ තිබියදී  විමල් වීරවංශ මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.

පසුගිය සමය පුරාම ඒකාබද්ධ විපක්ෂය විසින් කටයුතු කළ ආකාරය පිළිබඳ ඇතිවූ දැඩි කළකිරීම සහ දිගින් දිගටම තමන්ව සහ පවුලේ අයව පීඩනයට පත්කරමින් ක්‍රියාත්මක වන නෛතික ක්‍රියාමාර්ග මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවටයි වාර්තා වන්නේ.

විමල් ජාතික නායකයෙකු වශයෙන් ඉදිරියට එන බව පවසමින් ඔහුව නිදහස් කරගැනීමට අවශ්‍ය දේශපාලනික පීඩනයක් ලබාදීමට හැකියාව තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ ඉහළ පෙලේ නායකයින් එම තත්වය නොසලකා හැර සිටින බව අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තුලින් සදහන් වනවා.

එසේම විමල් වීරවංශගේ නිවසේ තරුණයෙකු මියයාමේ සිදුවීම සහ ඔහු බන්ධනාගාරගත වීම යන කරුණු හරහා ඔහුට සහ පවුලේ අයට මඩ ගැසීමට මුල්වී ක්‍රියාකර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේම ඉහළ පෙලේ නායකයින් බව විමල් වීරවංශ දැනගෙන තිබීම විශේෂත්වයක්.

විමල්ව එජාපයට සම්බන්ධ කරගැනීම සම්බන්දයෙන් තවමත් නිශ්චිත තීරණයකට එම පක්ෂය එළඹ නැති අතර ඔහු හා පක්ෂයේ ඉහළ නායකත්වය සමඟ තිබෙන අවබෝධය මත තීරනාත්මක මොහොතක එම පිල් මාරුව සිදුවනු ඇතැයි අතීශය විශ්වාසදායි දේශපාලන ආරංචි මාර්ගවලින් තහවුරු වී තිබෙනවා.

Facebook තහනම් වෙයිද ? රටවල් ගණනාවකින් පැමිණිලි – ඇතැම් රටවල සීමා කෙරේ !



ෆේස්බුක් ගිණුම් හරහා පළ කරන ජාතියකට හෝ ආගමකට අවමන් කෙරෙන ආකාරයේ ඡායාරූප සහ ෆේස්බුක් සටහන් පාකිස්තානය තුල තහනම් කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටින බව පාකිස්තාන රජය පවසයි.

මෙම ක්‍රියාවලිය යටතේ මේ වන විට පාකිස්තානය තුල පවතින ෆේස්බුක් ගිණුම් හරහා පළ කර තිබූ එවැනි ඡායාරූප සහ සටහන් 85% ක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම සමත් වී ඇති බව වාර්තා වේ.

පාකිස්තානය තුල ෆේස්බුක් තහනම් කිරීමට එරෙහිව තමන් උපදෙස් ලබා දුන් බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඉස්ලාමාබාද් නුවර අධිකරණයක් හමුවේ ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.

ජාතියකට හෝ ආගමකට අපහාස වන ආකාරයෙන් කෙරෙන ප්‍රකාශන සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස පාකිස්තානය ෆේස්බුක් සමාගමෙන් ඉල්ලීමක් කර තිබු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම එවැනි එක් එක් කාරණා සම්බන්ධයෙන් විවිධ රටවලින් ෆේස්බුක් සමාගම වෙත පැමිණිලි ලැබී ඇතැයිද වාර්තා වේ. එම පැමිණිලි වලට නිශ්චිත පියවර ගන්නේ නම් ඇතැම් විට ෆේස්බුක් සමාජ ජාලය අවසන් කිරීමට සිදුවනු ඇතැයිද විශ්ලේශකයෝ පෙන්වා දෙති.

“වන සංරක්‍ෂිත” ගැසට් පත්‍රය රට රැවටීමක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොස්කව් නුවරදී අස්සන් තැබූ ‘මාවිල්ලු සංරක්‍ෂණ වනාන්තරය, ගැසට් පත්‍රයෙන් විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් උද්ඝෝෂණය කළ ජනතාවත් ජනාධිපතිවරයාත් නොමඟ යැවීමට මහවැලි හා පරිසර අමත්‍යාංශය ක්‍රියා කර ඇති බව පැහැදිලි යැයි පරිසර සංරක්‍ෂණ භාරය පවසයි.



විල්පත්තුවේ සිදුවන වන විනාශයට ඉන් කිසිම පිහිටක් නොලැබෙන බවත් සිදුකර ඇත්තේ ‘වන රක්‍ෂිත’ යන්න ‘වන සංරක්‍ෂිත වනාන්තර’ යනුවෙන් කැටගරි වෙනස් කිරීම පමණක් බවත් එම භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා පවසයි.

“මේ නව ගැසට් පත්‍රයෙන් සිදුකර තිබෙන්නේ මාවිල්ලු, වෙප්පල්, කරඩිත්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුප්පු රක්‍ෂිත ඒකාබද්ධ කිරීම පමණයි.

මේක අරුම පුදුම දෙයක් නොවෙයි. මේවා තිබුණු රක්‍ෂිත වනාන්තර. මේ ගැසට් එකේ කිසිම වැදගත්කමක් නැහැ. මේ සිදුකර තිබෙන්නේ ජනතාව නොමඟ යැවීමක්. සමහර පරිසරවේදීන් පවා මේකට ඇන්දිලා. මේ කර තිබෙන්නේ සම්පූර්ණ බොරුවක්. මෙතන සිදුවී තිබෙන්නේ කැටගරි එකේ නම මාරු කිරීම පමණයි.
මේ වනාන්තර ‘වන රක්‍ෂිත’ කියලයි ගැසට් වෙලා තිබුණේ. දැන් ඒක ‘රක්‍ෂිත වනාන්තර’ කියලා ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ දෙකම සමාන නීතිමය ආවරණයක්.

පරිසර සංවිධාන පෙන්වා දුන්නෙත් ඉල්ලා සිටියෙත් ඕක නොවෙයි. වන සංරක්‍ෂණ සහ වෘක්‍ෂලතා ආඥාපනත යටතේ ජාතික වනෝද්‍යානයක් ලෙස විල්පත්තු වනෝද්‍යානය ඇතුළත් කරන්න කියන ඉල්ලීමයි අපි ඉදිරිපත් කළේ.

එහෙම නැතිව මේ වනාන්තර රකින වෙනත් විකල්පයක් නැහැ. ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කළ පසු අදාළ සීමාවන්හි සිට සැතපුමක් දුර ආරක්‍ෂිත කලාපයක් වෙනවා. එවිට ජනාවාස හදන්න, කර්මාන්ත පුර හදන්න ඉඩ ලැබෙන්නේ නැහැ. හෝටල් හදන්න බැහැ. එහෙත් ජාතික සම්පත් ආරක්‍ෂා වෙනවා. මේ කළේ ජනතාව මතු කළ විරෝධය වළක්වන බොරුවක්. ජනාධිපති මේ ඇත්ත තත්ත්වය දන්නවාද කියන එකත් අපට සැකයි.” යැයිද චාමිකර මහතා පවසයි.

ජනමාධ්‍ය ලේකම්ගේ පුතාගෙන් ඇමතිවරුන්ගේ රථගායට විසඳුමක් | PHOTO



අමාත්‍යවරුන් රැසකට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කළා.

මින් පෙර අවස්ථාවකදීද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෝටර් රථ ලබාදීම සම්බන්ධයෙන් කටයුතු සැලසුම් වූ නමුත් ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා එය රජයට අවාසිසහගත බව පවසමින් අදාළ මිලදී ගැනීම් වලට අවශ්‍ය ලිපියකට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එය සමාජයේ දැඩි කතා බහට ලක්වූ කරුණක් වුණා.

මේ දිනවල කතාබහට ලක්වන අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් නිමල් බෝපගේ මහතාගේ පුත්‍රයා වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යයෙකු වන අරුණලු බෝපගේ සිය ෆේස්බුක් ගිණුම හරහා විසඳුමක් යෝජනා කර තිබෙනවා.

එම ෆේස්බුක් සටහන පහතින්.









අවුරුද්දට ලංකාවට ආවොත් රේගුවෙන් සුපිරි තෑගි – ලැයිස්තුව මෙන්න

වසරකට වැඩි කාලයක් විදේශගතව සිට පැමිණෙන අයෙකුට මෙතෙක් ලබා දී තිබූ තීරුබදු සහන පුළුල් කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නාන කාමර කට්ටල, නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල, සූර්ය කෝෂ, ධාරිතාව 350 ට වඩා අඩු යතුරු පැදි, පරිගණක, විදුලි උපකරණ, ඇතුළු විශාල භාණ්ඩ ප්‍ර‍මාණයක් තීරුබදු රහිතව මිලදීගත හැකි බවටයි ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍ර‍ම බස්නායක මහතා සඳහන් කර ඇත්තේ.

මෙම තීරුබදු සහනය මෙවර සිංහල අලුත් අවුරුද්ද සමයේ මෙරටට පැමිණෙන්නන්ට මහඟු අවස්ථාවක්.
එම සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව පහතින්.
01aa 1bb 1cc 1dd 1ee 1ff

2016 දී රථ වාහන ආනයන සියයට 41.5 කින් පහළට



පසුගිය 2016 වසර තුළ දී මෙරටට රථ වාහන ආනයනය කිරීම වෙනුවෙන් දැරූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 794.8 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද 2016 දෙසැම්බර් මාසය සඳහා වන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවහි මේ බව සඳහන් වේ.

මේ අතර 2015 වසරේ දී රථ වාහන ආනයන වෙනුවෙන් දරා තිබෙන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1,359.6 ක් ලෙසින් වාර්තා වන අතර ඒ අනුව 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ දී රථ වාහන ආනයන වියදම සියයට 41.5 කින් පහළ ගොස් තිබේ.

තවද 2016 දෙසැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 58.3 ක් රථ වාහන ආනයන සඳහා වියදම් කර ඇති අතර 2015 වසරේ දෙසැම්බර් මාසයේ රථ වාහන ආනයන වියදම වූ ඩොලර් බිලියන 65.7 හා සැසඳීමේ දී මෙය සියයට 11.2 ක පහළ යාමකි.

අ.පො.ස (සා/පෙ) විශිෂ්ටයින් මෙන්න



2016 අ.පො.ස (සා/පෙ) විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි.

දෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය දිනාගෙන ඇති අතර මෙවර අ.පො.ස (සා/පෙ) විභාග ප්‍රතිඵල අතර විශිෂ්ටයන්ගෙන් තෙවන ස්ථාන දෙකක් ලැබී තිබේ. ඒ අනුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සන්වර සිසුවා හා මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවා තෙවන ස්ථාන ලබාගෙන තිබේ.

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ එච්.බී පබසරා මලිති කුමාරි හේරත් සිව් වෙනි ස්ථානයට පත්ව ඇති අතර මෙවර සා/පෙ ප්‍රතිඵල මගින් පස්වන ස්ථාන 3ක් හඳුනාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව  කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩී.එම් රනුමි දිසරණි නානයක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඒ.දම්සරා මේධාවි, යාපනය හින්දු විද්‍යාලයේ ඒ.අභිනන්දන් යන සිසු සිසුවියන්ය.

මෙවර අ.පො.ස (සා/පෙ) විභාගයේ ප්‍රතිඵල විශිෂ්ටයන් අතර හය වැනි ස්ථාන දෙකක් දැක ගත හැකිය. ඒ අනුව ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ කේ.ජී.ජී.ඊ රන්දිනිද සිල්වා, මාතර සුජාතා විද්‍යාලයේ ඊ.ඒ යසාරා උමාලි යන සිසුවියන් හය වැනි ස්ථාන දිනාගෙන තිබේ.

රුසියාවේ විපක්ෂ නායකයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට



රුසියාවේ විපක්ෂ නායක අලෙක්සේයි නවාන්ලි ඇතුළු 100කට අධික ආධාරකරුවන් පිරිසක් රුසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දූෂණ විරෝධී උද්ඝෝෂණයක් අතරතුර විපක්ෂ නායකයා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව ඇති අතර, එහිදී, පොලීසිය වළක්වාලීමට එහි රැඳී සිටි දහස් ගණන් පිරිස උත්සාහ දරා ඇති බවද විදෙස් වාර්තා පවසයි.

රුසියාවේ වත්මන් නායක ව්ලැඩිමීර් පූටින් හා ක්‍රෙම්ලීනයේ පාලනයට එරෙහිව නවාන්ලි මෙම දූෂණ විරෝධී ව්‍යාපාරය දැඩිව සිදුකරගෙන යන අතර, එහි උච්ඡතම අවස්ථාවක් ලෙස මෙම විරෝධතා රැළිය සඳහන් වෙයි.

එළැඹෙන වසරේ පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයටද තරග කිරීමේ අවස්ථාව විපක්ෂ නායකවරයාට අවුරාලීමට වත්මන් රුසියානු රජය කටයුතු කර ඇති බවටද චෝදනා නැඟෙයි.

“දික්වැල්ලට ඉඩක් නෑ” – සනත්



නිරෝෂන් දික්වැල්ලගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් අද (28) තරගයට ඔහු සහභාගී නොවන බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන එක්දින තරගය අද පැවැත්වෙන්නේ දඹුල්ල ක්‍රීඩාංගනයේදීයි.

අ.පො.ස (සා/පෙ) ප්‍රතිඵල නිකුත් වෙයි



2016 අ.පො.ස(සා/පෙ)විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප් කර Space තබා විභාග අංකය ඇතුළත් කොට 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵල ලබාගත හැකිය.

එමෙන්ම මෙම ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කරන්නේනම් අප්‍රේල් මස 30 වන දිනට හෝ ඊට පෙර යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.