28 March 2017

පළාත් සභා 3ක ඡන්දයට සුදානම් වන්න ! - ජනපති නිදහස් පක්ෂයේ මහ ඇමතිවරුන්ට කියයි



පළාත් සභා තුනක මැතිවරණය සහ පළාත් පාලන ඡන්ද විමසීම මේ වසරේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පළාත් මහ ඇමතිවරුන්ට ඊයේ(27) දැනුම් දී තිබෙනවා.

ඒ අනුව 2012 වසරේ ඡන්දය පැවති නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභාවල නිල කාලය මේ වසරේදී අවසන්වන බැවින් ඒ සඳහා සූදානම් වන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම මෙම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව මුහුණදිය යුතු බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ඔහු පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමි පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරු සහ පළාත් අමාත්‍යවරුන්ට ඊයේ ජනාධිපතිවරයා විශේෂ කැදවීමක් කර තිබුණා.

එම සාකච්ජාව ඊයේ රාත්‍රී 7ට පමණ ආරම්භ වූයේ ජනාධිපති නිල නිවසේදීයි.

පැය දෙකකට අධික කාලයක් මෙම සාකච්ජා පැවති බවයි වාර්තා වන්නේ. මෙහිදී ඇතැම් දිස්ත්‍රික්කවලට ආසන සංවිධායකවරුන් පත් කර නොතිබීම නිසා එහි සංවිධාන කටයුතු ඇණහිට ඇති බවට ඇතැම් පළාත් අමාත්‍යවරුන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙනවා.

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත තරුණ සමුළුව සහ මැයි රැළිය සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා සිය රුසියානු සංචාරය සම්බන්ධයෙන් ද මෙහිදී පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් සහ පළාත් අමාත්‍යවරුන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment