15 June 2017

මහින්ද හා අරුන්දික සමග උදයංගගේ කොකා පෙන්වීම

“සියලූම සතුන් අතරින් උසස්ම සත්වයා මිනිසාය. එහෙත් නීතියක් නොමැතිවූ විට සියලූම සතුන් අතර පහත්ම සත්වයා වන්නේත් මිනිසාය”. මෙසේ ප‍්‍රකාශ කර ඇත්තේ ග‍්‍රීක මහා දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ය. ඒ තුළ ගම්‍ය වන එකම අර්ථය වන්නේ නීතියේ පාලනයෙන් තොර මිනිසා නොමිනිසෙකු වන බවය. දාර්ශනික වශයෙන් ගත් කල්හි ඇතැම් විට මෙම ප‍්‍රකාශය විවාදයට තුඩු දිය හැකිය. එහෙත් ප‍්‍රායෝගික තත්වයන් තුළ කල්පනා කිරීමේදී එය අතිශයින්ම නිවැරදි එකක් බව පැහැදිළිය. විශේෂයෙන්ම අද අප ජීවත්වන සමාජ යථාර්ථයට අනුව එය අතිශයින්ම නිවැරදි ප‍්‍රකාශයක් ලෙස සැලකිය හැකිය.

දැන් අප සළකා බැලිය යුත්තේ නීතිය යනු කුමක් ද යන්නයි. නීති යනු ස්වාධිපතිගේ ආඥාවයි. බැලූ බැල්මටම එය සරළ ලෙස තේරුම්ගැනීමට අපහසුවිය හැකිය. එහෙත් ශ‍්‍රී ලංකාවේ ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වාධිපත්‍යය පිහිටා ඇත්තේ මහජනතාව කෙරෙහිය. ඒ අනුව එක්තරා අන්දමකින් නීතිය යනු මහජනතාවගේ ආඥාව ලෙස ද සැළකිය හැකිය. නීතියේ උල්පත කවුරුන් විය හැකි වුවද නීතියේ පැවැත්ම අනිවාර්යෙන්ම රදා පවතිනු ඇත්තේ නීතියේ ආධිපත්‍යය මතය. නීතියේ ආධිපත්‍යය තුළ පිළිගත් හා වැදගත් සිද්ධාන්තයක් වන්නේ නීතිය ඉදිරියේ සියලූ දෙනා සමාන වන බවත් ඒ අනුව රාජ්‍ය පාලකයා ද නීතියට යටත්විය යුතු බවය. නීතියට ඉහළින් කිසිවෙකුට කටයුතු කළ නොහැකි බව ඒ තුළින් අවධාරණය කෙරේ.

ඒ අනුව නීතිය ඉදිරියේ කෙනෙකුගේ වත්පොහොසත්කම්, බලය හෝ වෙනත් ඕනෑම තරාතිරමක් අදාළ විය නොහැකිය. විශේෂයෙන්ම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය තනතුර භාරගැනීමෙන් පසු පාර්ලිමේන්තුව හරහා සම්මත කරගනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව රටේ ජනාධිපතිවරයා ද නීතියේ පාලනයට නතු කරඇති පසුබිමක ශ‍්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙකුට නීතිය අභිබවා හෝ නීතියට බැහැරින් කිසිවක් සිදුකළ නොහැකිය. ඒ තුළින් අවධාරණය කෙරෙන්නේ කිසිදු ජගතෙකුට නීතියට ඉහළින් සිටිය නොහැකිවනවා ක් මෙන්ම නීතියට අභියෝග කරන්නට හෝ සමච්චල් කරන්නට ද කිසිදු ජගතෙකුට ඉඩක් දියයුතු නැති වගය.



එහෙත් අද පවා ඇතැමුන් සිතා සිටින්නේ නීතිය යනු තමා ලෙසටය. ප‍්‍රසිද්ධියේම නීතියේ ආධිපත්‍යයට ඔච්චම් කරන්නට ඇතැමුන් කටයුතු කරන්නේ ද ඒ නිසා වියයුතුය. එහි ආසන්නතම සිදුවීමට සම්බන්ධ වී ඇත්තේ ද නීති පනවන ආයතන ලෙස සැලකෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු වීමද විශේෂත්වයකි. එක් අයෙක් මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයෙකු වීම තුළ ද අනෙකා වර්තමාන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වීම තුළ ද ඔවුන් සිදුකර ඇති ක‍්‍රියාව සළකා බැලිය යුත්තේ ඉතාමත්ම බැරෑරුම් ලෙසට ය.

ඔවුන් සිදුකර ඇති වරද කුමක් ද? මේ රටේ නීතිය හමුවේ බරපතළ චෝදනා ගණනාවක් එල්ල වී ඇති ඒ මත අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයකට අදාළ චූදිතයෙක් වන එහෙත් නීතියට වැලි ගසමින් අධිකරණයට අභියෝග කරමින් සිටින වරෙන්තු කරුවෙකු සමග ප‍්‍රසිද්ධියේම පෙනීසිටීම ඔවුන් සිදුකර ඇති වරද ය. ඒ පිළිබද චෝදනා එල්ල වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ කි‍්‍රස්තියානි කටයුතු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරුන් වෙතටය.

ඔවුන් දෙදෙනාම මේ ආකාරයට සබදතා පවත්වා ඇති වරෙන්තුකරුවා වන්නේ අන් කිසිවෙක් නොව රාජපක්ෂ පාලන සමයේදී රුසියාවේ හා යුක්රේනයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන ලද උදයංග වීරතුංග ය. උදයංග වීරතුංගට එරෙහිව මතුවී ඇති චෝදනාවන් ද සරල ලෙස බැහැර කළහැකි ඒවා නොවේ. ඉන් එකක් ත‍්‍රස්තවාදයට සම්බන්ධ අපරාධ චෝදනාවක් වේ. අනෙක මූල්‍ය අපරාධ පිළිබ`ද චෝදනාවකි. අදාළ චෝදනා පිළිබ`දව සළකා බලා ඇති අධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසිය හරහා ද වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ඔහු ඒ වනවිටත් රටින් බැහැර වී අධිකරණය ම`ග හරිමින් සිටි බැවින්ය. ඒ සමග තවත් අධිකරණයකින් උදයංග වීරතුංගගේ මෙරට බැංකු ගිණුම් 16 ක් තහනම් කර ඇති අතර ඒ තුළ තැන්පත්ව ඇති රුපියල් මිලියන 225 ක මුදල ද ගනුදෙනු කළනොහැකි ආකාරයට අත්හිටුවා තිබේ.

ඒ අනුව සැලකීමේදී උදයංග වීරතුංගට අදාළව මේ රටේ නීතිය හමුවේ ගොනුවී ඇති චෝදනා මෙන්ම ඊට අදාළව අධිකරණය විසින් ගෙන ඇති පියවරයන් ද සැලකිය යුත්තේ බැ?රුම් ලෙසටය. එවැනි පසුබිමක තම නිවැරදි භාවය ප‍්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් ඇත්නම් උදයංග වීරතුංග කළයුතුව ඇත්තේ අධිකරණය හමුවට පැමිණ ඒ බව තහවුරු කිරීමය. එහෙත් ඔහු දිගින් දිගටම අධිකරණය මග හරිමින් සිටිනවා පමණක් නොව චේතනාන්විතව සිදුකරන එම ක‍්‍රියාව හරහා අධිකරණයට බලවත් අපහාසයක් ද කරමින් සිටියි. ඒ තුළ ඔහු නියතවශයෙන්ම අභියෝග කරන්නේ නීතියේ ආධිපත්‍යයට ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ක‍්‍රිස්තියානි කටයුතු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා උදයංග වීරතුංග මහතා සමග ප‍්‍රසිද්ධියේම ගනුදෙනු කරන්නේ ඒ අතරතුර ය. එය එසේ සිදුවී ඇත්තේ පසුගිය දා වෙන් වෙන්ව ඔවුන් දෙදෙනා සිදුකළ ජපාන සංචාරය අතරතුරදීය. ඒ අනුව ඔවුන් දෙදෙනා සිදුකර ඇති එම ක‍්‍රියාව ද අතිශයින්ම බරපතළ ලෙස සැලකිල්ලට ගතයුතුව තිබේ. රටක අධිකරණය මග හරිමින් සිටින, ජාත්‍යන්තර පොලිසිය හරහා ද වරෙන්තු නිකුත් කර ඇති අපරාධ චෝදනා එල්ල වූවෙක් සමග රටක නීති සම්පාදනය කරන ආයතනයේ සාමාජිකයින් දෙදෙනෙක් ප‍්‍රසිද්ධියේ පෙනී සිටීම සැළකිය යුත්තේ බරපතළ වරදක් ලෙසය. අධිකරණයට ද කළ බරපතල අපහාසයක් ලෙසටය. මෙහිදී නැවතත් සිහිපත් වන්නේ ඇරිස්ටෝටල් ගේ පෙර කී කියමනයි. ”සියලූම සතුන් අතරින් උසස්ම සතා මිනිසාය. එහෙත් නීතියක් නොමැතිවූ විට සියලූම සතුන් අතර පහත්ම සතා වන්නේත් මිනිසාය”.

| සුනිල් ජයසේකර

ඥානසාර සිවුර අස්සේ සිටින රුදුරු කුමන්ත්‍රණකරුවෙක් වහාම අත්අඩංගුවට ගත යුතුයි | VIDEO


රුදුරු කුමන්ත්‍රණකරුවන් සිවුර අස්සේ සිටින බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි පනතක් ගෙනැත් හෝ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගත යුතු බව නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ මාධ්‍ය සාකච්ඡාව සදහා එක් වෙමින් හිටපු පළාත්සභා මන්ත්‍රී අසාත් සාලි කියා සිටියේ, වහාම ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගත යුතු බවයි .

VIDEO

ඔබේ අයිෆෝනයට ෆොටෝ ප්‍රින්ටරයක්

මෙයට පෙර Prynt Pocket මගින් ක්ෂණිකව ඡායාරූප මුද්‍රණය කළ හැකි ප්‍රින්ටරයක් අඩංගු ස්මාට්ෆෝන් කවරයක් නිර්මාණය කළද එය සාර්ථක නොවූයේ, කිසිවෙකුටත් ස්මාට්ෆෝනය මෙන් කිහිප ගුණයකින් හැඩි දැඩි කවරයක් අවශ්‍ය නොවීම නිසාවෙනි. කෙසේ නමුත් ඔවුන් දැන් නව ව්‍යාපෘතියක් සමගින් පැමිණ ඇත.

මෙය සරලවම අයිෆෝනය වෙත සවි කළ හැකි සංයුක්ත නිමාවකින් යුක්ත හුරුබුහුටි ප්‍රින්ටරයකි. අවශ්‍ය නම් එය අයිෆෝනයෙන් ඡායාරූප ගැනීමේදී වඩාත් ස්ථායී හැඬලයක් ලෙසින් භවිත කිරීමේ හැකියාව තිබේ.
පෙනුමෙන්ද ඉතා කුඩා ප්‍රමාණයේ ප්‍රින්ටරයක් ලෙසින්ම දිස් වන මෙය අයිෆෝනයේ පහත කෙළවරට සවි වනු ඇත. එසේම මෙය අයිෆෝනයෙන් ගැලවූ විට ඔබේ කලිසම් සාක්කුවේ පහසුවෙන් දමාගෙන යෑමට හැකි තරම් හුරුබුහුටි උපාංගයක් බව පෙනෙනු ඇත.

මෙම උපාංගය සමගින් එන යෙදුම ඔබේ අයිෆෝනයේ ස්ථාපනය කළ යුතුවේ. ඉන්පසුව ඔබේ ඡායාරූප ගැලරියේ නැතිනම් ඔබේ ක්ලවුඩ් මතකයක නැතිනම් සමාජ ජාල ගිණුමක ඇති ඡායාරූපයක් වුවත් ගැටලුවක් නැතිව මුද්‍රණය කරගැනීමට මෙයින් හැකියාව ලැබේ. මෙයට අමතරව පැරණි පොලොරොයිඩ් කැමරාවක ක්‍රියාකාරීත්වයේදී මෙන් ඔබ ගන්නා ඡායාරූපයක් එසැණින් මුද්‍රණය කරගැනීමටද ඔබට මින් හැකියාව ලැබෙනු ඇත.

එසේම යෙදුම සමගින් සුවිශේෂී ‍ෆිල්ටරයන් කට්ටලයක්ද පැමිණෙන අතර, එමගින් ඔබ ගන්නා ඡායාරූපයන්ට ‍ෆිල්ටරයන් එක් කොට වැඩිමනත් පෙනුමක් ලබාදීමටද හැකියාව ලැබේ. මෙම උපාංගය ඔබේ ඡායාරූපයන් මුද්‍රණය කිරීමට භාවිත කරන්නේ ZINK photo paper වන අතර, එය පැමිණෙන්නේ පි‍ටුපස ඇලවෙන ස්ථරයක්ද සමගිනි. එනම් ඔබට පසුපස ලේයරය ගලවා ඔබේ ඡායාරූපයන් ස්ටිකර් ලෙසින්ද භාවිත කිරීමට හැකිවනු ඇත.
prynt-pocket-1 prynt-pocket-2 prynt-pocket-3

නාලිකා සියයකට නෙළුම් කුලු­නින් සංඥා

වන් විදුලි මධ්‍යස්ථාන 50ක් සහ ඩිජිටල් වීඩියෝ ප්‍රකාශන නාලිකා 50ක් සඳහා සංඥා සම්ප්‍රේෂණ පහසුකම් සලසන නෙළුම් කුලුණු මේ වසර නිමවීමට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු පළ වේ.

ශ්‍රී ලංකාවේ, කොළඹ දර්ශනීය ලෙස ඉදිකරන මෙම නෙලුම් කුලුණ තුළින් විවිධ වාණිජ සහ විනෝදාස්වාද පහසුකම් ද සපුරාලනු ඇත.

ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 105ක ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත මෙම නෙළුම් කුලුණ මධ්‍යස්ථානය ආසියාවේ වාණිජ නගරය ලෙස ඉදිකරන කොළඹ පිළිගැනෙන ජාත්‍යන්තර සංකේතයක් වනු ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශන න්‍යාමන කොමිසන් සභාව පවසයි.

ශ්‍රී ලාංකීය ජනතාවට ලෝක මට්ටමේ පිළිගැනෙන සංඥා සංදේශන පහසුකම් මෙම ව්‍යාප්තිය තුළින් හිමිවන බවද කොමිසන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

උඩපන්දු ගිලිහී යාම තරගයක පරාජයට හේතු වන්නේ නැහැ : ලසිත් මාලිංග

 තමාට ක්‍රිකට් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් කිසිදු කනගාටුවක් නොමැති බවත්, උඩපන්දුවක් ගිලිහීම තරගයේ පරාජයට හේතුවක් නොවන බවත් ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග පැවසීය.

ඔහු මේ බව පැවසුවේ,  (14දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

“මට කිසි කලකිරීමක් නැහැ. මමත් ඕන තරම් උඩපන්දු අතහැරලා තිබෙනවා. ඉතිං උඩපන්දුවක් ගිලිහුණා කියන එක තරගයේ පරාජයට හේතුවක් නෙමෙයි. නමුත් අපි කණ්ඩායමක් විදිහට අපි හොඳට ක්‍රීඩා කළා. අපිට අවශ්‍ය වේලාවේදී සමහර විට උනන්දුව වැඩි නිසා වෙන්න ඇති උඩපන්දු ගිලිහුණේ. ඒ වගේ සිදුවීම් කොයි වේලාවේ වේවිද කියලා කියන්න බැහැ. සමහර විට මම කඩුලු නොගත්තා නම් හැමෝම මට කියයි ඔයා කඩුලු නොගත්ත නිසා තරගය පරාජය වුණා කියලා. නමුත් උඩපන්දුවක් ගිලිහුණාම කියනවා ඒක නිසා තරගය පරාද වුණා කියලා.

මම කඩුලු 05 ක් ගත්තොත් චම්පික සර් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මම නොගත්තොත් මට බනිනවා. ඒක තමයි ඇත්ත. ඒවගේම පන්දු රකිද්දී උඩපන්දුවක් ගිලිහුණාම පන්දු රැකීමේ පුහුණුකරුට බනිනවා. එහෙම නැතුව හොඳ කියන්නේ නැහැ. පන්දු රකින්නෙක් කියන්නේ කාගේත් කතාබහට ලක් නොවන කෙනෙක්. උඩපන්දුවක් ඇල්ලුවේ නැති වුණාම තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. බුද්ධිමත් ජනතාව දන්නවා ක්‍රිකට් ක්‍රීඩා කොහොමද කියලා. ඒනිසා බුද්ධිමත්ව හිතලා ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ලියන්න.

මම දන්නවා මම දැන් අවුරුදු 33 ක ක්‍රීඩකයෙක්. මට ඒ දවස්වල කරපු ලොකු දේවල් කරන්න අමාරුයි. මගේ එකම බලාපොරොත්තුව ලැබෙන හැම පන්දුවෙන්ම කඩුල්ලක් දවාගැනීම. නමුත් සමහර විට මම දැන් තරග දිනවන පන්දු යවන්නෙක් නෙමේ වෙන්න පුළුවන්. මම මාස 19 කට පසුව තමයි එක්දින තරගයක් ක්‍රීඩා කළේ. ඊට පෙර මං පන්දුවාර 10 ක් යවපු එක ගැන සතුටුයි.

එහෙත් මගේ දක්ෂතා පිළිබඳව මට සෑහීමකට පත්වන්න බැහැ. මොකද මට තරගයක් ජයග්‍රහණය කරවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක ගැන පෞද්ගලිකව දුකක් තිබෙනවා. එහෙත් නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, තිසර වගේ ක්‍රීඩකයන් එක්ක බැලුවාම අපි කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කළා. මම 2019 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනය, නායකයා, පුහුණුකරු ඇතුළු පිරිස තීරණය කළොත් මම අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා." යැයි වැඩිදුරටත් මාලිංග පවසා සිටියේය. 

සිංගප්පූරුවේ අගමැති බලය අයුතු ලෙස පාවිච්චි කරලාලු

 සිංගප්පූරුවේ වත්මන් අගමැති ලී ෂියෑන් ලූන් තම බලය අයුතු ලෙස පාවිච්චි කරන බවට ඔහුගේ බාල සහෝදරයා සහ සහෝදරිය චෝදනා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

වත්මන් සිංගප්පූරුවේ නිර්මාතෘ ලෙස සැලකෙන ලී ක්වාන් යූගේ වැඩිමහල් පුතු වන ලී ෂියෑන් ලූන් වෙත මෙසේ චෝදනා එල්ල වී ඇති අතර, ඔහු තම පියාගේ අභිමතය ඉටු නොකරන්නෙකු ලෙසද ඔහුගේ සහෝදර සහෝදරියන් පවසති.

ලී ෂියෑන් ලූන් සිංගප්පූරුවේ අගමැතිවරයා ලෙස පත්වූයේ පියාගේ අභාවයෙන් පසුවය.

අගමැතිවරයාට නැඟෙන චෝදනාව වන්නේ, ලී ක්වාන් යූ තමා ජීවත් වූ පැරණි නිවස කඩා දැමීමේ අපේක්ෂාවක පසු වුවත්, වත්මන් අගමැති හෙවත් ඔහුගේ වැඩිමහල් පුතු ඒ අභිමතය ඉටු නොකරන බවය.

ලී ක්වාන් යූ මෙසේ තමා ජීවත් වූ පැරණි නිවස කඩා දැමීමේ අභිලාෂයෙන් පසුවී ඇත්තේ තමාගේ කීර්තිය පදනම් කර ගනිමින් පෞද්ගලික උරුමක්කාරයන් පරපුරක් බිහිවීම වැළැක්වීම සඳහා බවද කියැවේ.

කෙසේ වෙතත්, වත්මන් අගමැතිවරයා පියාගේ එම අභිලාෂය මායිම් නොකර රජයේ දේපොළ යොදා ගනිමින් තම කටයුතු නිරීක්ෂණය කරන බවට ඔහුගේ සහෝදර සහෝදරියන් චෝදනා කර තිබේ.

කෙසේ වෙතත්, සිංගප්පූරුවේ වඩාත් ජනප්‍රිය නායකයෙකු ලෙස සැලකෙන ලී ෂියෑන් ලූන් ඔහු වෙත නැගෙන මේ සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.

නමුත්, ලී ක්වාන් යූ පවුලේ මේ දෙදරීම සිංගප්පූරුවට දැඩිව දැනී ඇති බවද විදෙස් වාර්තා පවසයි. මන්දයත්, සිංගප්පූරු වැසියන් ලී ක්වාන් යූ පවුල ඉතා උසස් තලයකින් සලකණු ලැබූ පවුලක් බැවිනි.

වර්ෂ 1965 වසරේදී සිංගප්පූරුවට නිදහස ලැබෙන විට එරට අගමැතිවරයා ලෙස කටයුතු කළ ලී ක්වාන් යූ, ඉතා කෙටි කාලයක් තුළ සිංගප්පූරුව ලෝකයේ බලවත් ආර්ථික කේන්ද්‍රයක් බවට පත්කළ රාජ්‍ය නායකයා විය.

කෙසේ වෙතත්, තවමත් සිංගප්පූරු වැසියන්ගේ හදවතේ රැඳී සිටින වීරයා ලී ක්වාන් යූ බව නොරහසකි.

කොළඹ කුණු දින 4න් ඉවත් කළ යුතුයි

කොළඹ නගරය ආශ්‍රිතව ගොඩගැසී ඇති අපද්‍රව්‍ය දින 04ක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගත යුතු බව. විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ත්‍රිවිධ හමුදාව හෝ යොදවා අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගත යුතු බවයි.

රාජ්‍ය ආයතනවල කඹ ඇදීම තුළින් ජනතාව පීඩාවට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අතර කොළඹ නගර සභාවට අයත් ප්‍රදේශවල පරිසරයට කසල බැහැර කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා පවසයි.

කසල බැහැර කිරීම සම්බන්ධයෙන් රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ද සඳහන් කළේය.

දුම්රිය රියදුරන් 20දා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

“ලොකොමොටිව් ඔපරේටින්ග් ඉංජිනියර්ස්“ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේ 20 වන දින මධ්‍යම රාත්‍රීයේ සිට මෙම වැඩවර්ජනය දියත් කරන බවයි.

බලධාරීන් විසින් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේය.

සුසන්තිකාගේ ගැටලු විසඳීමට නිලධාරීන්ට උපදෙස්‌ දුන්නා – ක්‍රීඩා ඇමැති

ඔලිම්පික්‌ පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියගේa ගැටලු විසඳීම සඳහා නිලධාරීන්ට උපදෙස්‌ දුන් බව සම කැබිනට්‌ ප්‍රකාශක ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් දයාසිරි ජයසේකර මහතා එසේ ප්‍රකාශ කළේය.

සුසන්තිකා ජයසිංහ මහත්මිය ඇයට හිමිව තිබූ වැටුප් දෙකක්‌ අමාත්‍යාංශයට පැමිණ රැගෙන ගිය බවද, මේ වන විට ඇයට තිබූ ප්‍රශ්න අවසන් වෙමින් යන බව ද හෙතෙම සඳහන් කළේය.

එසේම ඇය ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක වශයෙන් කටයුතු කරන බවද, ඇයට පවතින ගැටලු විසඳීම සඳහා නිලධාරීන්ට උපදෙස්‌ දුන් බව ද දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

සුසන්තිකා ජයසිංහ මහත්මිය සමඟ ගැටුම් ඇති කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක්‌ තමාට නොමැති බව ද ඇය දැන් රජයේ නිලධාරිනියක්‌ බව ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සහල්වල ප්ලාස්ටික් නැහැ

පාකිස්තානයෙන් මෙරටට ගෙන්වන ලද බාස්මතී සහල් තොගයේ කිසිදු ආකාරයකින් ප්ලාස්ටික් අංශු අඩංගු වී නැති බව කාර්මික තාක්ෂණ ආයතනයේ විශේෂ විද්‍යාගාර පර්යේෂණවලදී තහවුරු වී ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි සලකමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ උපදෙස් මත සියලුම සතොස අලෙවි සල්වලින් අදාළ සහල් සාම්පල් ගෙන පරීක්ෂා කර බැලූ බවත් ඒ කිසිදු සාම්පලයක ප්ලාස්ටික් අඩංගු නැති බව තහවුරු වී ඇති බවත් එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.

එම සහල් මිනිස් පරිභෝජනයට සුදුසු බව තහවුරු වී ඇති බවත් එබැවින් ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සභාපතිවරයා කීය.

පාසල් පෙළපොත්වල කිසිම විෂ ද්‍රව්‍යයක්‌ අඩංගු වී නෑ : ඇමැති රාජිත

පාසල් දරුවන්ට ලබාදෙන පෙළපොත්වල කිසිදු විෂ සහිත ද්‍රව්‍යයක්‌ අඩංගු වී නොමැති බවට පරීක්‌ෂණ. වාර්තා මගින් තහවුරු වූ බව සම කැබිනට්‌ ප්‍රකාශක, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

කාර්මික තාක්‌ෂණික ආයතනය මගින් සිදුකළ පරීක්‌ෂණවලදී ඒ බව තහවුරු වූ බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. පෙළපොත් සඳහා යොදා ගන්නා කඩදාසිවල විෂ අඩංගු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක්‌ නැතැයිද හෙතෙම කීවේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ ආණ්‌ඩුවට එරෙහිව දෙමාපියන් පෙළඹවීමට යෑයිද රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඇමැති රාජිත සේනාරත්න මහතා ඒ බව ප්‍රකාශ කළේය.

පාකිස්තානය ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් අවසන් මහා තරගයට ඇතුලු වෙයි

ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පකිස්තානය ඊයේ (14) සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්තය කඩුලු 08කින් පරාජය කරමින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි.

තරගයේ මුල සිටම පකිස්තාන පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන්ට එල්ල කළේ දැඩි පීඩනයක්. තරගයේ වීරයා සම්මානය දිනාගත් හසන් අලි ලකුණු 35කට කඩුලු 03යි.

ජුනයිඞ් ඛාන් සහ රූම්මාන් රයිස් කඩුලු 02 බැගින් බිඳ හෙළුවා.

පකිස්තානය සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියේ 38 වන පන්දුවාරයේ දී කඩුලූ 02ක් පමණක් බිඳ වැටී තිබියදීයි. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවක් ගොඩනැගු අසාර් අලි ලකුණු 76ක් සහ ෆකාර් සමාන් ලකුණු 57ක් රැස් කළා.

පකිස්තාන කණ්ඩායමක් ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම තෝරා ගැනෙන තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගය අද (15) පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.

හූනියම්වලින් සැලෙන්නේ නෑ : ජනපති

පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප‍්‍රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ අය ඒවා සාර්ථක. නොවීම නිසා දැන් හූනියම් කරන්නට යන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි..

තමන්ට හූනියම් කර ඇති බවට ජාතික පුවත්පත්වල පළ වී තිබූ ප‍්‍රවෘත්ති දුටු විට තමන්ට සිනා ගිය බව කී ජනාධිපතිවරයා හොරොව්පොතාන ප‍්‍රදේශයේ සිදුකර ඇති බව කියන මෙම හූනියම කරන්නට ඇත්තේ කවුරුන් ද යන්න රටම දන්නා බව ද කියයි.

එවැනි දේවලින් තමන් තවත් ශක්තිමත් වෙනවා මිස කිසි දිනෙක නොසැලෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ 38 වෙනි සංවත්සර උළෙලට හා එම පරිශ‍්‍රයේ ඉදිකළ නව පස්මහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට  (14) එක්වෙමිනි.

අනුරාධපුරය හොරොව්පතාන ප‍්‍රදේශයේ සොහොන් පිට්ටනියක තිබී සොයාගෙන ඇති තමන්ගේ නම් සහ රුව ඇති තඹ තහඩු ඇතුළු හූනියම් කළ බවට වන තොරතුරු දැකීමෙන් තමන් නොසැලෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.