04 June 2017

අයර්ලන්තයටත් ප්‍රථම වරට සමලිංගික අගමැතිවරයෙක්

 අයර්ලන්තයේ ෆයින් ගේල් පක්ෂයේ නායකත්වය දිනාගැනීමත් සමගම අයර්ලන්තයේ නව අගමැතිවරයා ලෙස ලියෝ වෙරඩ්කාර් පත්වනු ඇති බවත්, ඔහු රටේ පළමු වැනි සමලිංගික අගමැතිවරයා බවට පත්වනු ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

ඉන්දීය සම්භවයක් ඇති 38 හැවිරිදි වියේ පසුවන ලියෝ පක්ෂ නායකත්වය සඳහා වූ තරගයේදී නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සයිමන් කොවෙනි අභිභවා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබුණු අතර, මේ ජයග්‍රහණයත් සමගම ඔහුට රටේ ළාබාලතම අගමැතිවරයා වීමටත් අවස්ථාවක් උදාවී තිබේ.

ෆයින් ගේල් පක්ෂය අයර්ලන්තයේ විශාලතම ඒකාබද්ධ සන්ධානය ලෙස සැලකෙන අතර, ඔහු මෙම තරගයේදී මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයේ එන්ඩා කෙනී ද අභිභවමින් පැමිණියේය.

අයර්ලන්ත හෙදියකට හා ඉන්දියාවෙන් පැමිණි වෛද්‍යවරයෙකුට දාව උපන් ලියෝ මාධ්‍ය ඉදිරියේ වඩාත්ම කතාබහට ලක්ව තිබුණේ ඔහුගේ පවුල් පසුබිම, වයස මෙන්ම පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙනි.

මගේ පියා සැතපුම් 5,000ක් දුර ගෙවාගෙන පැමිණි අලුත් නිවහනක් අයර්ලන්තයේ ඉදිකරන විට, ඔහුගේ පියා ඒ රටේ නායකයා වනු ඇති බව ඔහු කවදාවත් නොහිතන්නට ඇති යනුවෙන් ලියෝ පක්ෂ නායකත්වයට තේරීපත් වීමෙන් පසුව කියා සිටියේය.

2015 වසරේදී සමලිංගික අයිතීන් වෙනුවෙන් පැවති ජනමතවිචාරණය සමග කරළියට පැමිණි ලියෝ, රට තුළ සුබසාධන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්ද ප්‍රමුඛව කටයුතු කළ අයෙකි.

පළමු තරගය ලංකාව පරාදයි


ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96 පරාජය කරමින් ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය ජයග්‍රහණයක් ආරම්භ කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වයි.

දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 300ක ඉලක්කය හඹාගිය ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවා 41.3 අවසානයේදී සියලු දෙනා දැවි රැස්කළ හැකිවූයේ ලකුණු 203ක් පමණි.

නායක උපුල් තරංග අර්ධ ශතකයක් රැස්කළේය.

ඊට අමතරව කුසල් පෙරේරා හා නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු රැස්ක ක්‍රීඩකයෝ වූහ. තරගයේ වීරයා ලෙස කඩලු 4ක් හා එක් දුවද්දී දැවී යාමක් ලබාගත් ඉම්රාන් තාහීර් සම්මාන ලැබීය.

මාස 06ට ඩෙංගු රෝගීන් 56887 ක්

2017 වර්ෂයේ ගත වූ මාස 06 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්  56887 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබෙනවා.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 42.55%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  16 වන සතිය තුළදී.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ.

එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව වසංගත රෝගවිද්‍යා ඒකකය පවසන්නේ.

නිරිත දිගට නැවත වැසි එන බවට අනාවැකි

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් අද දිනයේ ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට වැසි අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත් වලට තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකිි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අතුල කරුණානායක සඳහන් කළේ.

ගංවතුර ඇති නොවීමට වැව් ඉදි කල යුතුයි


ගංවතුර තත්ත්වය යළි ඇති නොවීම සඳහා රට තුළ වැව් ඉදිකිරීමට පියවර ගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ විශේෂඥ දැනුම සහ පාරිසරික සාධක සැලකිල්ලට ගනිමින් එම ක්‍රියාවලිය සිදු කළ යුතු බවයි.

මෙම වැඩපිළිවෙළ සාර්ථකව සිදු කිරීමට පියවර ගැනීම තුළින් 2020 වසර වන විට ගං වතුර තත්ත්වය මගහරවා ගැනීමට හැකි වන බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටියේය.