04 May 2017

රාජිත දන්නේ දත් ගැන විතරයි එයා තෙල් ගැන දන්නේ නෑ : අනුර කුමාර දිසානායක

ආන්දෝලනයට තුඩුදී ඇති ත්‍රීකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා කිසිවක් නොදන්නා බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රාජිතට කිව හැක්කේ දතක් දිරාපත්වුණාම ඒක ගලවනවාද, නැත්නම් පුරවනවාද යන්න බවත්, තෙල් ටැංකි ගැන රාජිත නොදන්නා අතර, ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ ඒ පිළිබඳ ප‍්‍රවීණයන් විසින් බවයි දිසානායක මහතා කියා සිටියේ  (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම තෙල් ටැංකි පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ අවබෝධයක් පවත්නා පිරිසෙන් ලංකාවේ සිටින්නේ සිව් දෙනෙකු පමණක් වන අතර , ඉන් එක් පුද්ගලයෙකු සහිත කමිටුවකින් එම තෙල් ටැංකි පිළිබඳව වාර්තාවක් ලබාදී ඇති බවත්, ආණ්ඩුව කටයුතු කළ යුත්තේ එම වාර්තාවට අනුව බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහිදී ඔහු මෙසේද කියා සිටියා.

තෙල් වෘත්තීය සමිති තෙල් ටැංකි ඉන්දියානු සමාගමට පැවරීමට එරෙහිව සක්‍රීයව මැදිහත් වෙනවා. අපි මෙම තෙල් ටැංකි ඉන්දියාවට, චීනයට ලබාදෙනවාද යන්න මත නොවෙයි මීට විරෝධය පළ කරන්නේ. 1930 ගණන්වලදී ඉදිකළ මෙම තෙල් ටැංකි තෙල් සංස්ථාවට පවරා ඉන් රටට විශාල ආදායමක් ලබාගත හැකි යන ස්ථාවරයේ අපි ඉන්නවා. මෙම තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 102ක් පමණ තිබුණා. ඉන් දෙකක් යුද්ධයේදී විනාශ වුණා. එකක් දිරාපත් වුණා. ඉතිරි තෙල් ටැංකි 99ය 2003දී ඉන්දියානු අයි. ඕ.සී. සමාගමට ලබාදෙන්න අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. එහි තිබුණා මාස 6ක් ඇතුළත බදු ගිවිසුමක් අත්සන් කළ යුතුයි කියලා. නමුත් එම බදු ගිවිසුම අත්සන් කළේ නැහැ. ඒ නිසාම අවබෝධතා ගිවිසුම අහෝසි වුණා.

ඉන් පසුව 2013 සිට තෙල් ටැංකි 16ක් අයි. ඕ.සී.ය භාවිතා කළා. වසර 13ක්ම ඉතිරි තෙල් ටැංකි භාවිතා නොකළ ඉන්දියානු අයි.  ඕ. සී. සමාගමට දැන් ඒ තෙල් ටැංකි ගැන කැක්කුමක් ඇතිවුණේ මොකද? දැන් එම තෙල්  ටැංකි තෙල් සංස්ථාවට පවරා ගැනීමට යාම තමයි එකම හේතුව. මේ විතරක් නොවෙයි අයි. ඕ.සී.යට අයත් තෙල් ටැංකි සංස්ථාව කුලියට ගැනීම නිසා 2005 සිට 2009 දක්වා සංස්ථාව අයි. ඕ.සී. සමාගමට මිලියන 692ක් ගෙවා තිබෙනවා. නමුත් අයි. ඕ.සී. සමාගම එම කාලය ඇතුළත රජයට ගෙවා ඇත්තේ මිලියන 75ක් පමණයි.

මෙම තෙල් ටැංකි පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ අවබෝධයක් තිබෙන හතර දෙනයි ලංකාවේ ඉන්නේ. ඉන් එක් පුද්ගලයෙක් සහිත කමිටුවකින් එම තෙල් ටැංකි පිළිබඳව වාර්තාවක් ලබාදී තිබෙනවා. ආණ්ඩුව කටයුතු කළ යුත්තේ එම වාර්තාවට අනුවයි. රාජිතට කියන්න පුළුවන් දතක් දිරාපත්වුණාම ඒක ගලවනවා ද? නැත්නම් පුරවනවාද? කියල. තෙල් ටැංකි ගැන රාජිත දන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ ඒ පිළිබඳ ප‍්‍රවීණයන් විසින්.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී ජවිපෙ නායකයා විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන්ද අදහස් පළ කළේය.

ජනාධිපතිවරයාට ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටයි. එමනිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අරගලයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී අවතීර්ණ වෙනවා. ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම වැළැක්විය නොහැකියි. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ලෙස හෝ සංශෝධනයක් ලෙස හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නව ඡන්ද ක‍්‍රමයක් සකස් කිරීම සහ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථානුකූල රැකවරණයක් ලබාදීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි.

ඒ නිසා අපි මේ වන විටත් දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, කොමියුනිස්ට් පක්ෂය සමග මේ සම්බන්ධයෙන් සකච්ඡා සිදුකොට තිබෙනවා. ඒ වගේම ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මොකද ඔහු ලබාදුන් එකඟතාවයට මේ වන විට වසර දෙකක් ගතවී හමාරයි. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සහ ජනමත විචාරණයකට යෑම යන කඩඉම් තිබෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් එකඟකර ගත හැකි සියලූ පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡුා ආරම්භ කළ යුතුව තිබෙනවා.

විදේශිකයෙකු වූ අර්ජුන්ට මහ බැංකු අධිපති ලෙස පත්විය හැකිද?

 විදේශිකයෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිධුරයට පත් කළේ කෙළෙසකද? ඔහුට එම ධුරය දරන්න හැකියාවක් තිබෙනවාද? යනුවෙන් තමාට විශාල ප්‍රශ්නයක් ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ පිළිබඳව සොයා බැලීමට විගණකාධිපතිවරයාට, කෝප් කමිටුවට හෝ මෙම කොමිසමට හැකියාවක් නැත්නම් අපි අසරණයි, අපේ රට අසරණයි කියා තමාට සිතෙන්නේ යැයිද වැඩිදුරටත් පැවසීය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරද්දී පැවැත්වූ පළමු කෝප් කමිටුවේ සාක්ෂි දීමට පැමිණි මහ බැංකුවේ නිලධාරීන් බියෙන් සාක්ෂි දුන් අයුරුත්, අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිධුරයෙන් ඉවත් කළ පසු පැවැත්වූ දෙවැනි කෝප් කමිටුවේ සාක්ෂි දීමට පැමිණි මහ බැංකුවේ නිලධාරීන් ඉතා සැහැල්ලුවෙන් සාක්ෂි දුන් අයුරුත් තමා දුටුවේයැයිද කී පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මුළු රටම ඇස් ඇරගෙන සිටියදී මහ බැංකුව සිදුකළ මෙම වංචාව නිසා එහි මුදල් ගෙවීමට රටේ ජනතාවට සිදුවී ඇතැයිද වැඩිදුරටත් පැවසීය.

වීරකුමාර දිසානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටියදී කොමිසමේ අධිකාරීපත්‍රයට හා එහි විෂය පථයට පරිබාහිර කරුණු පිළිබඳ සාක්ෂි ලබාදීමට ඉඩ දිය නොහැකි බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ඔහුට දැනුම්දුන් අවස්ථාවේදී ඒ මහතා එසේ පැවසීය.

ඒ අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා තමන්ට බලය ලබාදී නොමැති කරුණු පිළිබඳ සොයා බැලීමට ගියහොත් වෙනත් නීතීමය ප්‍රශ්න මතුවිය හැකි බව පෙන්වා දුන්නේය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත්කොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදු කෙරේ.

Playboy නිරූපිකාව පූජනීය ගිනිකන්දක් කෙළෙසලා

 නවසීලන්ත මඕරිවරුන් පූජනීයත්වයෙන් සලකන ටරානාකි ගිනි කන්ඳ තරණය කළ ප්ලේබෝයි නිරූපිකාවක, එහිදී නිරුවතින් ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමග දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.

ජෙයිලීන් කුක් නමැති මෙම නිරූපිකාව සිදුකර ඇති මේ ක්‍රියාව තම සංස්කෘතිය කෙලෙසූ අවස්ථාවක් බව මඕරිවරුන් හෙවත් නවසීලන්තය නිජබිම කරගත් පොලිනිසියානුවෝ පවසති.

"ඒක හරියට කවුරුහරි වතිකානුවේ ශාන්ත පීටර්ස්බර්ග් බැසිලිකාවට ගිහින් තමන්ගේ ඇඟේ ඇඳුම් උනා දැම්මා වගේ ක්‍රියාවක්" යැයි මඕරි ගෝත්‍රිකයන්ගේ ප්‍රකාශක ඩෙනිස් නගවහරේ විදෙස් පුවත් සේවාවන්ට පවසා තිබේ.

"මේ ගිනි කන්ඳ අපේ ගෝත්‍රික ජනතාව අතිශය පූජනීයත්වයෙන් සලකන ස්ථානයක් නිසා මේ ක්‍රියාව කිසිසේත්ම අනුමත කිරීමට නොහැකියි"

මෙම නිරූපිකාව මීට දින කිහිපයකට පෙර සිය සහකරුවා සමග මීටර් 2,518ක් උස ගිනිකන්ද තරණය කරමින් නිරුවත් ඡායාරූප ගෙන ඇති අතර, ඒවා සිය සමාජජාල අඩවි හරහා ප්‍රසිද්ධ කර තිබේ.

මෙම ගිනිකන්ද මඕරිවරුන්ගේ මුතුන්මිත්තන්ගේ ආදාහනාගාරය ලෙසද සැලකෙන අතර, එවැනි අනුස්මරණීය අවස්ථාවන්වලදී පමණක් මෙම කන්ද තරණය කෙරෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

ප්ලාස්ටික් ආහාරයට ගන්නා පනුවෙක්

 කුණු යනු ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ප්‍රශ්නයක් නොවේ. එය සමස්ත ලෝකයටම පොදු වූ ප්‍රශ්නයක්. කසළවලදී නොදිරන කසළ යනු පාරිසරික වශයෙන් දැවැන්ත ප්‍රශ්නයක්. එහිදී ප්ලාස්ටික්වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.

ලෝකය පුරා වසරකට නිපදවන ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් පමණ බව වාර්තා වෙනවා. මෙය පෘථිවියේ සෑම අස්සක් මුල්ලක්ම දූෂණය කිරීමට ප්‍රමාණවත්.

කෙසේ වෙතත් මෙම ගැටලුව සඳහා වෙනස්ම ආකාරයක විසඳුමක් ලබාදීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා. ඔවුන් ප්ලාස්ටික් ආහාරයට ගත හැකි පනුවෙක් හඳුනාගනිමිනි.

ස්පාඤ්ඤයේ කැන්ටබ්‍රියා විශ්වවිද්‍යාලයේ සංවර්ධන ජීවි විද්‍යාඥවරියක මෙම සංකල්පය මුලින්ම හඳුනාගෙන ඇති අතර, පසුව එය ස්ටෑන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ පාරිසරික ඉංජිනේරුවන් පිරිසක් දියුණු කර තිබෙනවා.

මී වදවල ඉටි ආහාරයට ගන්නා පනු විශේෂයක් ප්ලාස්ටික් බෑගයක දමා තිබියදී එහි ස්ථාන කිහිපයක සැලකිය යුතු ප්‍රමාණයක සිදුරු තිබී ඇතිව තිබේ.

මේ  පිළිබඳව දිගින් දිගටම කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් අනුව මෙම පනුවන් 100ක් රාත්‍රිය පුරාවටම පොලිතීන් මිලිග්‍රෑම් 92ක් ආහාරයට ගෙන තිබුණා. ඒ අනුව පනුවන් 100කට මාසයකට ග්‍රෑම් 5.5ක ප්ලාස්ටික් බෑගයක් ආහාරයට ගත් හැකි බව ගණන් බලා තිබේ.

ඇලන් ඩොනල්ඩ් මාලිංග ගැන කිව්ව කතාව මෙන්න

ලෝකයේ දැවැන්තම කණ්‌ඩායම් තරග වදින චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින තරගාවලියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට කෙටිකලක්‌ තුළදී ලබාදිය හැකි දැනුම ලබා දීමට තමන් සූදානමින් සිටින බව දකුණු අප්‍රිකාවේ හිටපු වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් පවසයි.

චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකා වේග පන්දු උපදේශක ලෙස මාස දෙකක රාජකාරියක්‌ බාරගත් ඇලන් ඩොනල්ඩ් අදාළ කර්තව්‍ය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූලස්‌ථානයේ  (2දා) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ලෝකයේ දැවැන්තම ක්‍රීඩකයින් තමයි මේ තරගාවලියේදී ක්‍රීඩා කරන්නේ. අධික සීතල සහ තරගාවලිය පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වීම සෑම කණ්‌ඩායමකටම අභියෝගයක්‌. මේ කෙටි කාලයේදී මට ලොකු දේවල් කරන්න බැහැ. නමුත් තරගාවලියේදී ඉක්‌මනින් කඩුලු දවා ගැනීමට අවශ්‍ය දේ මම උගන්වනවා.”

ලසිත් මාලිංග වැනි පන්දු යවන්නෙකු පුහුණු කිරීමට ලැබීම සම්බන්ධව තමන් සතුටට පත්ව සිටින බවද ඩොනල්ඩ් පවසයි. ‘ලොකුම දේ තමයි මාලිංග වැනි ක්‍රීඩකයෙක්‌ සමග වැඩ කරන්න ලැබීම. ඔහුගේ වත්මන් තත්ත්වය මං දන්නේ නැහැ. මම අද ඉඳලා වැඩ පටන් ගන්නවා. ලංකාවේ සංචාරයේ යන ක්‍රීඩකයින්ට අමතරව අනිත් වේග පන්දු යවන්නන් එක්‌කත් මං වැඩ කරනවා. කොහොම වුණත් එදා දවසේ හැටියට තමයි කණ්‌ඩායම් ඉදිරියට එන්නේ.’

ඇලන් ඩොනල්ඩ්ගේ පැමිණීම ගැන ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ද ඉතාමත් සතුටට පත්ව සිටී. ” එංගලන්තයේදී ඩොනල්ඩ් ඉක්‌මනින් කඩුලු ගන්න රුසියෙක්‌. ඔහු එහෙම කරන්නේ කොහොමද කියලා අපේ කොල්ලන්ට කියලාදෙයි. මෙවැනි තරගාවලියක ඔහුගේ දැනුම අපිට ගොඩක්‌ වටිනවා” යෑයි ෆෝඩ් පැවසීය.

ලසිත් මාලිංග, ක්‍රමක්‍රමයෙන් පන්දුවාර 10 යැවීමට පුහුණුවෙමින් සිටින බවත් නිරතුරුවම තමා ඔහු ගැන යොමා සිටින බවත්, ග්‍රැහැම් ෆෝඩ් පවසයි.

“මාලිංගව මුම්බායි කණ්‌ඩායමෙන් එළියේ තිබ්බහම මම බය වුණා. ඔහුව ආයෙත් ආබාධයකට ලක්‌වුණාද කියලා. ඒ නිසා මම මහේලටත් කතා කරලා මාලිංග ගැන විමසුවා. එතැනදි මහේල කිව්වේ විවේකයක්‌ දීලා තියෙන්නේ ඊළග තරග වලට සූදානම් වෙන්න කියලා..” ෆෝඩ් වැඩිදුරටත් පවසා සිටියේය.

ගුවන් හමුදාවට පරණ රුසියන් යානා ගන්න එකේ කොමිස් එක ගන්න ඇමැති පොරයක්..!

රුසියාව වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් යානා 6ක් මිලදී ගැනීමේ ගනුදෙනුවක දේශීය නියෝජිතත්වය ලබා ගැනීමට එම කටයුතුවල නිරත ව්‍යාපාරිකයන් අතර දැඩි තරගයක් මතුව ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා මේ වන විට එම ව්‍යාපාරිකයන් විවිධ අමාත්‍යවරුන්ට සන්තෝසම් දෙමින් අදාළ නියෝජිතත්වය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් පසුගිය දා ජනාධිපතිවරයා රුසියාවේ සිදු කළ සංචාරය අතරතුර මෙම ව්‍යාපාරිකයින් ද එරට සංචාරය කර ජනාධිපතිවරයා සහභාගි වූ ප්‍රසිද්ධ අවස්ථාවන්ට සහභාගී වී ඇති බවත් වාර්තා වෙයි.

මෙසේ ගුවන් හමුදාවට ගුවන් යානා 6ක් මිලදී ගැනීමේ ගනුදෙනුවෙහි දේශීය නියෝජිතත්වය ලබා ගැනීමේ තරගයේ සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු වන කිලී මහරාජා, රාජපක්ෂ පවුලේ අතිසමීපතමයකු ලෙස ප්‍රකට චන්දිම රාසපුත්‍රගේ ඥාතියකුට අයත් Rosoboronexport හි වත්මන් හිමිකරු වන අකිල, පසුගිය සිවිල් යුද සමයේ මෙරටට මල්ටි බැරල් රොකට් විදින සහ T55 යුද රථ මිලදී ගැනීමේ දී දේශීය නියෝජිතත්වය දැරූ කුමාර් රාජපක්ෂ ඇතුළු ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සිටින බව අනාවරණය වේ.

අප වෙත වාර්තා වී ඇති ආකාරයට මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකු මේ වන විට එක් ව්‍යාපාරිකයකු සමඟ අදාළ ගනුදෙනුවේ දේශීය නියෝජිතත්වය ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඒ වෙනුවෙන් එම අමාත්‍යවරයා ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ සහාය පතන්නට ගෙන ඇත.

මේ පිළිබඳ අප වෙත ලැබී ඇති වැඩිදුර තොරතුරුවලට අනුව කුමාර් රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට SU 30 වර්ගයේ ගුවන් යානා 6ක් වෙනුවෙන් එක් යානාවකට ඩොලර් මිලියන 32 ක ලන්සුවක් ඉදිරිපත් කර ඇත. එහෙත් මීට වසර දෙකකට පමණ පෙර සිදු කළ මිල ගණන් කැඳවීමේ දී නවීන SU 30 වර්ගයේ ගුවන් යානයක් සඳහා ලන්සු ඉදිරිපත් වී ඇත්තේ ඩොලර් මිලියන 20 කටය.

එසේම මේ වන විට එක් යානාවකට ඩොලර් මිලියන 32ක් ලෙස ඉදිරිපත් කර ඇති ලන්සුව තුළ මෙරටට මිලදී ගැනීමට සූදානම් වන්නේ 1993 වර්ෂයේ නිෂ්පාදනය කළ යානා වන අතර එම යානා ඉන්දීය ගුවන් හමුදාව ද භාවිත කර ඉවත් කරන ලදුව යළි අලුත්වැඩියා කළ ඒවා බව ද දැනගන්නට ඇත. එසේම සුපර් සොනික් වර්ගයේ මෙම යානා මෙරට තුළ භාවිත කළ නොහැකි බවත් එම යානාවක් ගුවනට නැංවූ විට සැණෙන් ඉන්දීය දේශසීමාව උල්ලංඝනය වන බව ද වාර්තා වී ඇත. මීට පෙර සිවිල් යුද සමයේ මෙම යානා මිලදී ගැනීමට එවකට රජය උත්සාහ කළත් ඉන්දීය රජයේ විරෝධය හේතුවෙන් එම මිලදී ගැනීම නවතා දමන්නට සිදු වූ බවත් මෙවර එම යානා මිලදී ගත්ත ද ඉන්දීය රජයේ අවසරයකින් තොරව යානා අහසට නංවන්න නොහැකි වන බවත් අප ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ අදාළ ගනුදෙනුව තුළ දේශීය නියෝජිතත්වය ලැබීම හරහා ඩොලර් මිලියන ගණනක ලාභයක් ලැබීමට අවස්ථාව ඇති බවත්, ඒ තුළ තම හිතවත් ව්‍යාපාරිකයකු හට එම අවස්ථාව ලබා දී එම ලාභයෙන් කොටසක් ගැනීමේ අපේක්ෂාවෙන් අමාත්‍යවරුන් කිහිප දෙනකු කටයුතු කරමින් සිටින බවත්ය.

එසේම මේ වන විට අදාළ ගනුදෙනුව සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද විශේෂ කමිටුවක් පත්කර ඇති අතර තවමත් මෙම ගනුදෙනුවේ දේශීය නියෝජිතත්වය සඳහා කිසිවකු නම් කර නොමැති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සංජය ලියනගේ.
sathhanda

ලොව හොදම ඩ්රෝනය පාසල් දරුවෙකුගේ දෑතින් - කෝටි 13ක ගිවිසුමක්..! | VIDEO

ලෝකයේ දක්නට ලැඛෙන සුපිරිම ඩ්රෝන් යානයක් නිර්මාණය කිරිමට වයස අවුරුදු දාහතරක කුඩා දරුවෙක් සමත් වී තිඛෙනවා. ඒ ඉන්දියාවේ ‘හර්ෂ් වර්දන් සාලා’ නම් දරුවා විසින්. මෙම ඩ්රෝන් යානය නිර්මාණය කිරීමත් සමග ඉන්දීය රජය හර්ෂ් සමග ගිවිසුමකට අත්සන් තැබු බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.

එම ගිවිසුමට අනුව අදාල මුදල ලංකා රුපියල් වලින් කෝටි 13ක් බවයි පැවසෙන්නේ.

තමන් විසින් නිර්මාණය කළ ඩ්රෝන් යානයේ නිෂ්පාදන පිටපතක් ගුජරාට් ප්‍රාන්ත රජයට වෙත හර්ෂ් වර්දන් ඉදිරිපත් කර තිඛෙනවා. එකවර පින්තූර දෙකක් ලබා ගැනීමේ හැකියාව සහ මිනිස් රූප සහ වස්තු ක්ෂණිකව හදුනා ගැනීමේ හැකියාව මෙම අලුත් නිර්මාණය සතු බවයි හර්ෂ් පවසන්නේ.

ඒ හරහා ස්වාභාවික ආපදාවලින් විපතට පත්වු පුද්ගලයින් හදුනා ගැනීමට හැකිවන බවයි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ.




අහෝ මහනායක ඔබේ යහපාලනයද එයමැයි!

අතිශය දුර්වල තත්වයක පවතින පරිපාලන ව්‍යුහයක් නිවැරදි කිරීම සඳහා රටේ ප්‍රභල බලපෑමක් කළ හැකි පිරිස් වෙත පැවරෙන වගකීම වොල්වෝ රථයකට හෝ රටේ ජනතාවගේ මුදල් යටි මඩි ගැසීමෙන් තම අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා ලබා දෙන වෙනත් මාදිලියක “අල්ලසකට” ලඝු කළ නොහැකිය. රට ගැන හෝ රටේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රාජ්‍යය ප්‍රතිපත්ති වෙනස් කිරීමේදී ආගමික නායකවරුන්ට පැවරෙන වගකීම් ඉතාම බරපතළ එකකි.
 

එක්තරා අප්‍රසන්න දේශපාලනඥකු විසින් අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මාහනායක හිමිවරුන්ට නවීන පන්නයේ මෝටර රථ ත්‍යාග වශයෙන් ලබා දීමක් ගැන මේ වන විට ජනමාධ්‍යය ඔස්සේ ප්‍රචාරණය වෙමින් තිබේ. ඒ තමන්ගේ අවලස්සන දේශපාලන කටයුතු සහ මගෝඩි ගුණ්ඩු ඔස්සේ සිදු කළ අදේශපාලනය සුරක්ෂිත කොට තමන්ගේ අමාත්‍යය ධූරය රැක ගැනීම සඳහා යැයි කියනු ලැබේ.අදාළ පුවත් වලට සම්බන්ධ සේයාරූ පවා ප්‍රසිද්ධ වී තිබේ.

මෙය අලුත් දෙයක් නොවන බව නොරහසකි. මෙම පාර්ශවයන් විවිධ ආණ්ඩු විසින් ලබාදෙන සන්තෝෂම් වලට හිමිකරුවන් වූහ. ඉන් බෞද්ධ පන්සල නමැති පරිපාලන ඒකකය දියුණු වූයේද යන්න වෙනම ගැටලුවකි. එනමුත් වත්මන් ආණ්ඩුව “යහපාලනය මුවාවෙන්” මේ ආකාරයේ නිඝන්ට කටයුතු සිදුකරන්නේ මහජනතාවගේ සම්පත් වලිනි. එහි ප්‍රතිඵලය ලෙස රටේ සාමන්‍යය ජනතාවට ආණ්ඩුව කෙරෙහි ඇති ඇල්ම දිනෙන් දින හීන වී යමින් තිබේ. දෙදහයේ මුල් කාලයේ ඇති වූ දේශපාලනයද මීට සමානය. එකළ බහිරවීකරණය වූ සතොස මෙකල මුදල් අමාත්‍යංශය තුළ දක්නට ලැබේ.

එසේම අස්ගිරිය හෝ මල්වතු යන ප්‍රධාන පාර්ශව දෙකින් එකක්වත් අදාළ පුවත් තවමත් ප්‍රතික්‍ෂේප කොට නැත. ඉන් ගම්‍ය වන්නේ එවැනි අවලස්සන “අල්ලස් දීම්” දිගින් දිගටම සිදුවන බවයි. ඒවා එකසිතින් භාර ගන්නා බවයි.

මල්වතු සහ අස්ගිරි පාර්ශව වල දේශපාලනික වැදගත්කම අපි සියල්ලෝම දනිමු. එසේම එම දෙපාර්ශවය සතු පෘථුල වගකීම ගැනද රටේ ජනතාවට විශාල අවබෝධයක් මෙන්ම බලාපොරොත්තුවක් තිබේ. මෙම තත්වය හමුවේ මෙම දෙපාර්ශවය විසින් රටේ සාමාන්‍යය ජනතාවට සහ බෞද්ධ දර්ශනය අනුගමනය කිරීම ඔස්සේ සමාජ ශෝධනයක් වෙනුවෙන් කටයුතු කරන ඇතැම් ගුණගරුක ස්වාමීන් වහන්සේලාට දෙන ආදර්ශය කුමක්ද? එසේම තම අමාත්‍ය ධූරය රැක ගැනීම සඳහා රටේ සිටින ප්‍රධාන ආගමික නායකයින් දෙදෙනාට සන්තෝෂම් දීම සහ ඒවා කිසිඳු හිරිකිතයක් නොමැතිව පිළිගැනීම ගැන ලජ්ජා විය යුත්තේ කවුරුන්ද?

වර්තමානයේ බෞද්ධ දර්ශනයට සිදුකොට ඇති වින්නැහිය සහ එහි වග උත්තරකරුවන් විසින් සිදුකරන කටයුතු දෙස ගෞතම බුදුන් වහන්සේට දැකීමට අවස්ථාවක් තිබේනම් උන්වහන්සේ දැක්විය හැකි ප්‍රතිචාරය කෙබඳු විය හැකිද? එය තම ප්‍රකට නවකතාව වන වයිට් ටයිගර් ලියු අරවින්ද් අදිගා විස්තර කරන විලාසයම ගනු ඇත.

අනෙක් පසුන් මෙම තත්වය නිශ්චිතවම සමාන වන්නේ ෆියෝදෝර් දොස්තොව්ස්කි විසින් රචිත කර්මශෝව් සහෝදරයෝ නමැති නවකතාවේ එන “උදාර විචාරකයා” නමැති පද්‍යය තුළ සිදුකරණ විස්තරයටය. ජේසුස් වහන්සේගේ උදාර කැපවීම කතෝලික පල්ලිය හරහා උග්‍ර ලෙස දේශපාලනීකරණය කොට ඊට වෙනම න්‍යාය පත්‍රයක් ඇතුළත් කළේය. ඒ හමුවේ සැබෑ ජේසුස් වහන්සේ ලෝකයට අහිමි කොට ජේසුස් නමැති වෙළඳපොල නිර්මාණය කළේය. ජේසුස් වහන්සේගේ නිර්මල මනුෂ්‍යත්වය හෑල්ලු කළ ආකාරයෙන්ම ගෞතම බුදුන්ගේ උදාර කැපකිරීම පසු කාලෙක උග්‍ර කෛරටකයින්ගේ පෞද්ගලික වපසරිය සඳහා මෙවලමක් කරගෙන තිබේ.

වත්මන් ආණ්ඩුවේ සිටින මහජනතාව අතර විශාල වශයෙන් අප්‍රසාදයට ලක් වී ඇති අමාත්‍යවරයෙක් තම අමාත්‍යධූරය රැක ගැනීම සඳහා මේ ආකාරයෙන් මහනායකවරුන්ගේ කාමසුඛල්ලිකානු යෝගය මුවහත් කළේ නම් මවා පාන යහපාලනයේ ඇත්ත තත්වය තේරුම් ගැනීම කිසිවෙකුට අපහසු නොවේ. එසේම අනෙක් පසින් එවැන්නක් පිළිගෙන බෞද්ධ දර්ශනය ගැන ව්‍යාජ දේශනා සිදුකරන හිමිවරුන් ලබාදෙන ආදර්ශය කුමක්ද?

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යය මණ්ඩල සංශෝධනයක අවශ්‍යතාවය මීට මාස ගණනාවකට පෙර නායකත්වයට වුවමණා වුවද නායකත්වයේ “සායම ක්‍රමයෙන් දියවෙන” තෙක් අදාළ සංශෝධන වලට ඇති ඉඩ කඩ ක්‍රමිකව හකුළුවා දැමුවේ ආණ්ඩුව තුළම සිටින විවිධ පාර්ශවයන් වලිනි. මන්ද මෙහිදී ආණ්ඩුවේ සිටින ඇතැමුන්ට නායකත්වය යනු හුදු මෙවළමක් පමණි. ඊට නිසි ගරුත්වය දීමට තබා ඇතැම් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී දැනුම් දීමට පවා නොකරන තත්වයට පත් වී තිබේ. මෙය අතිශය නීරස තත්වයකට තල්ලු වී ඇති අතර නායකත්වයට අවශ්‍යය පරිදි ඇතැම් අමාත්‍යංශ වල කටයුතු පරික්ෂාවට ලක් කිරීමේ අවස්ථාව පවා අහුරා ඇත.

අනෙක් පසින් වසර දෙකකට මදක් වැඩි කාලයක් තුළ රටේ ජනතාව අතර ක්‍රමයෙන් මෝදු වෙමින් පවතින දේශපාලන අස්ථාවරබාවයක් තිබේ. ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යංශ වන මුදල් අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ආදියෙහි ප්‍රධානීන්ගේ හැසිරීම් ඉතාම අප්‍රසන්න වන්නා සේම ඔවුහු රටේ ජනතාවගේ ගැටලු විසඳීම සර්ව සම්පූර්ණයෙන්ම පාහේ මඟහැර තිබේ. මොවුන්ගේ සිහිනය වත්මන් නායකත්වය යටතේ රට දියුණු කිරීම නොව, තමන්ගේ පෞද්ගලික දේශපාලන අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා රටේ නායකත්වය මෙවලමක් ලෙසා භාවිතා කිරීමය. මන්ද අවසානයේ අසමත් වන්නේ නායකත්වය මිස ඔවුහු නොවේ. මෙරට දේශපාලනය ගැන විමසීමේදී පෙනීයන මූලික කාරණයකි. එනම් නායකත්වය මුහුණ දුන් මූලිකම අභියෝග වලින් එකක් වූයේ තමන්ට විශ්වාස කළ හැකි පිරිසක් පරිපාලනය සඳහා නොසිටීමය.

එසේම ආණ්ඩුව විසින් රටේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා ජාතික වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාවට නංවා නැත. සුන්දර වචන පමණක් තිබේ. මෙවැනි තත්වයකදී , ප්‍රේමදාස මහතා පිදුරු වහළ වලට උළු දීම, රාජපක්ෂ මහතා රටේ හතර දිග්භාගයටම මාවත් සකස් කිරීම ආදීය සමඟ සංසන්දනය කිරීමට උත්සහ දරණ පුරවැසියාගේ පොදු මනස සකස්වන්නේ කෙසේද? ව්‍යාපෘතියක වංචා සිදුවූයේද යන්න පරිපාලනය විසින් විමසා බලා නිසි නීතිමය පියවර නිසි කලට ගත යුතු කාරණයකි. නමුත් ව්‍යාපෘතියක ප්‍රතිඵලය භුක්ති විඳින්නාට එය අදාළ වන්නේ ඉතාම අඩුවෙනි. මෙම කාරණයේදී වත්මන් ආණ්ඩුව පැටලී සිටින්නේ ඉතාම සංකීර්ණ තත්ත්වයකය.

මෙවැනි අතිශය දුර්වල තත්වයක පවතින පරිපාලන ව්‍යුහයක් නිවැරදි කිරීම සඳහා රටේ ප්‍රභල බලපෑමක් කළ හැකි පිරිස් වෙත පැවරෙන වගකීම වොල්වෝ රථයකට හෝ රටේ ජනතාවගේ මුදල් යටි මඩි ගැසීමෙන් තම අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා ලබා දෙන වෙනත් මාදිලියක “අල්ලසකට” ලඝු කළ නොහැකිය. රට ගැන හෝ රටේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රාජ්‍යය ප්‍රතිපත්ති වෙනස් කිරීමේදී ආගමික නායකවරුන්ට පැවරෙන වගකීම් ඉතාම බරපතළ එකකි.

එම වගකීම අවභාවිතා කිරීම සැබවින්ම කණගාටුදායක කාරණයකි.

අහෝ මහානායක හිමිවරුනේ; බුදුන් වැඩි දෙසක බුදුන්ගේ ගරුත්වය රැකීම සඳහා ඔබ කරන මෙහෙය අරුමයක් මැයි!

| නිලන්ත ඉලංගමුව