14 May 2017

අසමසම ආදරයෙන් රටක්‌ දිනූ ප්‍රංශයේ ලාබලම ජනපති



ජනපති බිරිඳක්‌ යනු කා අතරත් කතා බහට ලක්‌වන්නියකි. පුවත් මවන්නියකි. හැම රටකම වාගේ එය එහෙමය. ප්‍රංශයේ හිටපු නායකයන්ගේ බිරින්ඳන් අතරින් බොහොමයක්‌ ගැන ඉතිහාසයේ බොහෝ තැන්වල අසන්නට ලැබෙයි. මාරි ඇන්ටනොයිට්‌ රැජනගේ අධික නාස්‌තිකාර පිළිවෙත් දහඅට වැනි සියවස අගදී ප්‍රංශ රාජාණ්‌ඩුව පිරිහෙන්නට ද හේතු වුණු බව ඉතිහාසයේ කියෑවෙයි. නැපෝලියන් අධිරාජ්‍යයාට පුතකු ලබාදෙන්නට නොහැකි වූ බැවින් ජොසපින් අධිරාජිනිය දික්‌කසාද කර දැමුණු වග ලියවී ඇත. 1914 දී ප්‍රංශ අගමැති වූ ජෝෂප් කයිලෝක්‌ස්‌ගේ බිරිඳ වූ හෙන්රියේටා ලෙ ෆිගාරෝ පුවත්පතේ කර්තෘව ඝාතනය කළාය. ඒ ඔහු තම සැමියාගේ දේශපාලන ගමනට තර්ජනයක්‌ වෙතැයි සිතමිනි. ප්‍රංශයේ හිටපු ජනපතිවරයකු වූ ෆ්රැන්කොයිස්‌ මිටරැන්ඩ් ප්‍රසිද්ධියේම අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන ගිය අතර ඔහුගේ බිරිඳ වූ ඩැනියෙල්ට ඇයටම වෙන්වූ ආදර ලෝකයක්‌ විය. නිකොලාස්‌ සාර්කොසිගේ බිරිඳ සිසිලියා වෙනත් ආදරවන්තයකු වෙනුවෙන් ඔහුව අත්හැර ගියේ ඔහු ජනපති මැඳුරේ පදිංචියට විත් මාස හයක්‌ යන්නටත් කළියෙනි. මේ අයුරින් නාස්‌තිකාරකම්, අනියම් සබඳතා මිනීමැරුම් ආදින්ගේ කිළිටි තැවරුණු ප්‍රංශ ජනපති ආර්යාවන්ගේ ඉතිහාසයට ආලෝකයක්‌ එක්‌කරමින් වෙනස්‌ම කතාවක්‌ ලියන්නට අලුත් ජනපති ආර්යාවක්‌ නුදුරේදීම එක්‌වන්නීය.

ඒ අනාගත ප්‍රංශ ජනපති එම්මානුවල් මැක්‌රෝන්ගේ බිරිඳ බ්‍රිජට්‌ මැක්‌රෝන්ය. මනාව සැකසූ රන් පැහැ හිසකෙස්‌ද, දුඹුරු පැහැ සමක්‌ද, දීප්තිමත් නිල් ඇස්‌ද, හොලිවුඩ් නිළියකගේ බඳු කාන්තිමත් සිනාවක්‌ද, ශක්‌තිමත් පෞරුෂයක්‌ ද හිමි බ්‍රිජට්‌ මැක්‌රෝන් ඉදිරි වසර කිහිපය තුළ ප්‍රංශ ජනපති බිරිඳ ලෙස වැදගත් කාර්යභාරයක්‌ ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය.

තිස්‌ නව හැවිරිදි එම්මානුවෙල් මැක්‌රෝන් ප්‍රංශයේ ලාබාලතම ජනපතිය. එහෙත් ඔහුගේ බිරිඳ, හැට හතර හැවිරිදි බ්‍රිජට්‌ මෙතෙක්‌ සිටි ප්‍රංශ ජනපති ආර්යාවන් අතර දෙවැනි වයසින් වැඩිම ජනපති ආර්යාවයි. එම්මානුවෙල් මැක්‌රෝන් හා බ්‍රිජට්‌ගේ කතාව මුල පටන්ම වෙනස්‌ය. බ්‍රිජට්‌ එම්මානුවෙල්ගේ ජීවිතයට ඇතුළු වන්නේ එම්මානුවෙල්ට වයස අවුරුදු දාහතරක්‌ව තිබියදීය. ඒ ඔහුගේ නාට්‍ය ගුරුවරිය ලෙසිනි. ඒ වන විටත් බ්‍රිජට්‌ තුන් දරු මවකි. ඇගේ දෙවැනි දියණිය එම්මානුවෙල්ගේ වයසේය. ඔහු සමඟ එක පන්තියේ එකට ඉගෙනගත් බ්‍රිජට්‌ගේ දෙවැනි දියණියත් එම්මානුවෙලුත් අතර සම්බන්ධයක්‌ ඇති වේ යෑයි කවුරුත් සිතූහ. එහෙත් එම්මානුවෙල්ගේ සිත බැඳුනේ තමාට වඩා අවුරුදු විසි පහකින් වැඩිමහලු ගුරුවරියටය. එම්මානුවෙල් තම නාට්‍ය ගුරුවරියට සමීප වූයේය. පැය ගණන් ඇයට දුරකථනයෙන් කතා කළේය. වරින් වර තම ආදරය ඇයට ප්‍රකාශ කළේය. අවසන ඔවුන් අතර ප්‍රේමයක්‌ ගොඩනැඟිණ. වයස අවුරුදු දාහතේදී එම්මානුවෙල් තම ගුරුවරියට පොරොන්දුවක්‌ දුන්නේය. ඒ කෙදිනක හෝ ඇයව විවාහ කරගන්නා බවටය.

එම්මානුවෙල්ගේ පෙම්වතිය වූ බ්‍රිජට්‌ තම ප්‍රේමවන්ත ගෝලයාගේ ජීවිතය ඉහළ ඉලක්‌ක කරා මෙහෙයවන්නට වූවාය. අනාගතයේ දිනයක ලේඛකයකු වෙන්නට බලාපොරොත්තුවෙන් උන් එම්මානුවෙල්ව දේශපාලනය කරා මෙහෙයවූයේ ඔහුගේ පෙම්වතිය බ්‍රිජට්‌ය. ඒ ගැන එම්මානුවෙල් තම වචනයෙන්ම කියන්නේ මෙසේය. 'ඇය හැමදාමත් දුරකථනයෙන් කතා කරලා මගේ දේශපාලන දෛවය විශ්වාස කරන්නට මාව පෙළඹුවා..'

'ඔව්.. ඔහු කතා කරලා ටිකින් ටික මගේ හිතේ තිබුණු අකැමැත්ත අයින් කර දැම්මා.. මගේ විශ්වාසයත් ආදරයත් දිනාගත්තා.. පුංචි නගරයක, හොඳ පවුල් ජීවිතයක්‌ ගතකරපු තුන් දරු මවක්‌, එයාට වැඩිය අවුරුදු විසි පහක්‌ වැඩිමල් ගුරුවරියකගේ හිත දිනාගන්න පුළුවන් කෙනාට දවසක මුළු ප්‍රංශයේම ප්‍රසාදය දිනාගන්න බැරිකමක්‌ නැහැනේ... එයාව ගැලපෙන්නේ දේශපාලනයටයි. ඒ බව මම එයාට වටහා දුන්නා..' බ්‍රිජට්‌ කියයි.

බ්‍රිජට්‌ තම පළමු සැමියාගෙන් දික්‌කසාද වී 2007 දී එම්මානුවෙල් සමඟ විවාහ වූවාය.

එදා මෙදාතුර දස වසරක විවාහ ජීවිතය තුළ ඔවුන් අතර ඇති සමගියත් අවබෝධයත් පුදුම එළවන සුළුය. මැක්‌රෝන් සමඟ සමීපව වැඩකරන අය පවසන්නේ මැක්‌රොන් විශ්වාසය තබන පුද්ගලයන් ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුවන අතර බ්‍රිජට්‌ ඒ අතරින් එක්‌ අයකු බවයි. එම්මානුවෙල් මැක්‌රෝන් ජනපති හොලන්ඩේගේ රජයේ ආර්ථික කටයුතු ඇමැතිවරයාව සිටි කාලය තුළ ඔහුගේ කාර්ය මණ්‌ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඇලෙක්‌සිස්‌ කොහ්ලර් බ්‍රිජට්‌ තම ස්‌වාමියාගේ වෘත්තීය ජීවිතයට කොතරම් අත්වැලක්‌ වී දැයි නිරන්තරව පවසයි.

'ඇත්තටම ඇය තමන්ගේ සැමියාගේ ජීවිතයට හැම අතින්ම සම්බන්ධ වුණු අපූරු ගැහැනියක්‌.. ඔහු ඇමැතිවරයකු වී සිටි කාලෙයේදීත් ඔහුගේ සියලුම ජනහමුවලට ඇයත් සහභාගි වුණා..'

එම්මානුවෙල් මැක්‌රොන්ගේ ඡන්ද ව්‍යාපාරයේ උපදේශකවරයකු වූ මාර්ක්‌ ෆෙරාසි ඒ ගැන සවිස්‌තරාත්මකව පවසයි. 'එම්මානුවෙල් වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ කාලසටහන් න්‍යාය පත්‍රයන් ද සකස්‌ කළේ ඔහුගේ බිරිදයි.. ඔහු ජනතාව හමුවේ පැවැත්විය යුතු කතා සූදානම් කර දුන්නේත්, ඒ ඇමතීම්වලදී හඬ උස්‌ පහත් විය යුතු ආකාරය ගැන පවා උපදෙස්‌ දුන්නේත් ඇයයි..' ඔහු පවසයි. 'හැම තැනකදීම ඇයගේ සහභාගිත්වය ඔහු අපේක්‌ෂාවෙන් ඉන්නවා.. ඇය නොසිටියා නම් ඔහුට මේ දැවැන්ත ජයග්‍රහණය ලබා ගන්නට හැකියාවක්‌ ලැබෙන්නේ නෑ..'

ජනපතිවරණ සටනේ පළමු වටය අතිවිශාල ඡන්ද ගණනකින් දිනාගත් පසුව එම්මානුවෙල් මැක්‌රෝන් ජනතාව අමතන පළමු අවස්‌ථාවේදී ඔහු පළමුවෙන් ස්‌තුති කළේ තම බිරිඳ වූ බ්‍රිජට්‌ ටය. 'මා ළඟිsන්ම උන් ඇයට මම ස්‌තුති කරනවා.. බ්‍රිජට්‌.. ඔබ නැති නම් මම අද මෙතැන නැහැ..'

ඇගේ නම කියවෙත්ම ඔහුගේ ඡන්දදායකයෝ ඔල්වරසන් හඬ නඟන්නට වූහ. ඔහුගේ ඡන්දදායකයන් අතර ඔහුගේ බිරිඳ එතරම් ජනප්‍රියය. ප්‍රංශ මාධ්‍යවල නිරන්තරව කියෑවෙන කතාව වනුයේ ඔහුගේ රසිකයන් අතර ජනපතිනිය වන්නේ ඔහුගේ බිරිඳ බවයි.

'අවුරුදු විස්‌සක්‌ තිස්‌සේ ඇය මගේ ජීවිතයට මඟ පෙන්නුවා.. එදා වගේම හෙටටත් මට මගේ බිරිඳගේ අදහස්‌ වැදගත්.. හැමදාමත් ඇය මගේ ළඟිsන්ම සිටිය යුතුයි.' අනාගත ප්‍රංශ ජනපති තම බිරිඳ පිළිබඳව අසන මාධ්‍යවලට පිළිතුරු දෙන්නේ එසේය.

| නිම්මි මුදිතා හේරත්

ලෝක මූල්‍ය කාර්ය සාධක බළකායෙන් ඇගැයුමක්


කළු සල්ලි සුදු කිරීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූල ඝාතක අවි ගනුදෙනු වැළැක්වීමට ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිළිවෙළ ලෝක මූල්‍ය කාර්ය සාධක බළකායේ ඇගැයීමට ලක්වී ඇත.

1989 වසරේදී G - 7 රටවල් එක්වී අන්තර්ජාතික රාජ්‍ය ආයතනයක් ලෙස පිහිටුවනු ලැබු ලෝක මූල්‍ය කාර්ය සාධක බළකායේ සම්මුතීන් තමන් පිළිගන්නා බවට ශ්‍රී ලංකාව 1997 දී ප්‍රකාශ කරන ලදී. ඒ ආසියා හා ශාන්තිකර කලාපයට අයත් මූල්‍ය කාර්යසාධක බළකායට සමගාමීව පිහිටුවා ඇති කලාපීය නිරීක්ෂණ සංවිධානයේ ආරම්භක සාමාජික රටක් ලෙස එක් වෙමින් මේ බව සනාථ කරන ලදී.

එලෙස අන්තර්ජාතික සම්මුතින් පිළිගන්නා ශ්‍රී ලංකාව තවදුරටත් වඩාත් ඉහළ කාර්ය සාධනයක් සහිත රටක් බවට පත්වීමට මේ පිළිබඳව වූ ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව ක්‍රියාත්මක කළ යුතු බව ලෝක මූල්‍ය කාර්ය සාධක බළකාය පෙන්වා දී තිබේ.

ඒකාබද්ධයේ මැයි රැළියට රටවල් 2කින් ආධාර : සමාගමකින් වතුර බෝතල් ලක්ෂයක්



ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට චීනය පාකිස්තානය මෙන්ම තවත් රුපියල් කෝටි 18ක මුදලක් එකතු කර දුන් මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් සිදුකරමින් පවතින බවට තොරතුරු වාර්තාවනවා.

මෙරට ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් මේ වන විට බුද්ධි වාර්තාවක් ද නිකුත් වී තිබෙන අතර එම බුද්ධි වාර්තාවට අනුව මහා මාර්ග ඉදිකිරීම් සහ මෙගා පොලිස් ව්‍යාපෘතිය ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර කටයුතු කරන කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනකු මේ සඳහා රුපියල් මිලියනය බැගින් ආධාර ලබා දී ඇති අතර මෙරට මහා පරිමාණ පානීය ජල බෝතල් කර්මාන්තයේ නිරත සමාගමක් ද ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය සඳහා මූල්‍ය ආධාර වෙනුවට වතුර බෝතල් ලක්ෂයක් ලබාදී ඇති බවයි අනාවරණවී ඇත්තේ.

එසේම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනකු බුද්ධි වාර්තාවේ නම් සඳහන් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු අමතා මේ පිළිබඳ විමසා ඇති බවත් එහි දී හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පාලන සමයේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් කළ උදව් උපකාර සිහිපත් කර මේ අවස්ථාවේ රැලිය සඳහා ආධාර කරන ලෙස දුරකථන මාර්ගයෙන් සිදු කළ ඉල්ලීමට අනුව තමන් අදාළ ආධාර මුදල් සැපයූ බව එම ව්‍යාපාරිකයන් පිළිගෙන ඇති බව ද වාර්තා වෙයි.





සත්හඩ

ආර්කේඩ් උද්‍යානය හා තුරග තරග පිටිය පෞද්ගලීකරණයට යෝජනා

කොළඹ 7 ආර්කේඩ් වෙළෙඳ උද්‍යානය/ කොළඹ පැරැණි තුරඟ තරග පිටිය සහ නුවරඑළිය ඉපැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික ආයෝජකයන්ට පැවරීමට අදාළ යෝජනාවක් මුදල් අමාත්‍යංශය රජය වෙත ඉදිරිපත් කර ඇතැයි තොරතුරු වාර්තාවනවා.

මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක  මහතා එම යෝජනාවට දැඩි විරෝධයක් පල කර ඇති බවයි එම වාර්තා හෙලිකරන්නේ.

පවත්නා තත්ත්වය තුල මත්තල ගුවන්තොටුපොළ සහ ඒ ආශ්‍රිතව ඇති ඉඩම් අක්කර 800කට අධික භූමිය තක්සේරුකර තක්සේරු වාර්තාවක් සපයන ලෙස මුදල් අමාත්‍යංශය රජයේ ප්‍රධාන තක්සේරුකරුට දැනුම් දී ඇතැයිද අදාළ වාර්තා අනාවරණ කළා.  ආර්කේඩ් වෙළෙඳ උද්‍යානය පෞද්ගලික ආයෝජකයකු විසින් අපේක්ෂා කර ඇති බවද  රජයේ ආර්ථික කමිටුවේදී සදහන් වී තිබෙනවා.

නුවරඑළිය බ්‍රිතාන්‍ය පාලන කාලයේ ඉදිකළ ඉපැරැණි වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ප්‍රකට ඉන්දීය හෝටල් සමාගමකට පැවරිය යුතුය යන යෝජනාව ආර්ථික කවුන්සිලය හමුවේ සංවාදයට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම යෝජනා පිළිබද අවසන් එකගතාවයක් ඇති කර නොගෙන ඇති බවටයි වාර්තා අනාවරණ කරන්නේ.

වංචා නඩුවල රජයේ සාක්ෂිකරුවන් වෙන්න පසුගිය රජයේ ප්‍රබලයින් පෝලිමේ



මහාධිකරණයේ පවතින FCID නඩු විශේෂ නඩු කටයුතු ලෙස සලකා විභාග කිරීමට තීරණය කිරීමත් සමඟ රජයේ සාක්ෂිකරුවෝ වීමට පසුගිය රජයේ ප්‍රධාන පෙලේ කාර්යභාරයක් ඉටු කළ පිරිස් උත්සාහ ඉල්ලීම් සිදුකරමින් පවතින බවට තොරතුරු වාර්තාවනවා.

දේශපාලන ආරංචි අනාවරණ කරන්නේ වංචා-දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ව්‍යාපාරිකයින් කිහිපදෙනකු  පසුගිය සතියේ ජනාධිපතිවරයාට වඩාත් සමීප ඇමැතිවරයකු මුණගැසී රහස් සාකච්ජාවක් පවත්වා ඇති බවයි.

රජයේ සාක්ෂිකරුවන් බවට පත් වී පසුගිය ආණ්ඩුවේ සියලු වංචා-දූෂණවලට අදාළ තොරතුරු හෙළිදරව් කිරීමට තමන් සූදානම් බවට එම ව්‍යාපාරිකයින් මෙහිදී ප්‍රකාශ කළ බවයි වාර්තාවන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරියකගේ ස්වාමිපුරුෂයකු ද පසුගිය සතියේ මෙසේ අදාළ ඇමැතිවරයා මුණගැසී රජයේ සාක්ෂිකරුවකු වීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇති බවද විශ්වාසනීය වාර්තා අනාවරණ කරනවා. කෙසේ වෙතත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වන විට අදාළ නඩු පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ලිපිගොනු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් සකස් කර ඇති නිසා කිසිවක් කළ නොහැකි බව අමාත්‍යවරයා අදාල පුද්ගලයාට දැනුමදී ඇති බවයි.

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2.6ක ආධාර

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හැටන් දික්ඔය රෝහල විවෘත කිරීමෙන් පසු රැස්ව සිටි ජනතාව අැමතීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ.... සේයාරුව - සුදත් සිල්වා

ශ්‍රී ලංකාව‍ මේ වන විට විශාල ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කරන බව පැහැදිලි යැයිද එම නිසා මෙරට ආර්ථික වර්ධනය පිණිස ඇමරිකන් ඩොලර් බිලියන 2.6ක ආධාර සැපයීමට කටයුතු කර ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඉන්දු ලංකා සංවර්ධන සහයෝගිතාව යටතේ මේ ආධාර ලබා දීමට කටයුතු කරන බවත් මෙරට අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහන, නිවාස, විදුලිය බලය වැනි අංශ වර්ධනය පිණිස මේ ආධාර ලබා දෙන බවත් ඉන්දියාවේ කාර්මික දැනුම ශ්‍රී ලංකාව හා හුවමාරු කරගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මේ වන විටත් ශ්‍රී ලංකාව හා පරමාණුක බල ශක්තිය සම්බන්ධව කටයුතු කිරීම අරඹා ඇතැයිද දෙරට සබඳතා වඩාත් තහවුරු වී ඇත්තේ බුදු දහමින් ලද පන්නරය නිසා බවද ඒ මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 12 වැනිදා ආරම්භ වුණු එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

බුදු දහමේ දැක්වෙන දස පාරමිතා එකින් එක ගෙන හැර දක්වමින් එම පාරමිතා කෙතරම් වැදගත්දැයි මෝදි ‍මහතා මේ අවස්ථාවේදී පෙන්වා දුන්නේය. එසේම ඉන්දු ලංකා සබඳතා වඩාත් ස්ථාපිත කළ බුදු දහ‍ම රැක ගැන්මට අන්තර්ජාතිකව ගන්නා පියවර ඒ මහතා මහත් සේ අගය කෙළේය. එම නිසා ලබන අගෝස්තු මස සිට කොළඹ සිට වාරණාසි දක්වා ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට කටයුතු කරනු ලබන බවත් ඒ මහතා පැවසීය.

මේ වන විටත් මෙරට දුම්රිය පුනරුතථාපනය සඳහා ඉන්දීය රජය විසින් ඩොලර් මිලියන 318ක මුදලක් ලබා දී ඇත.

එදිනම ඉන්දීය ආධාරයෙන් ඉඳි කළ හැටන් දික්ඔය රෝහල විවෘත කිරීමට සහභාගි වූ මෝදි අගමැතිවරයා ඉදිරියේදී නාගරිකව දැනට ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාව වතුකරයටත් ලබා දිමට කටයුතු කරන බව පැවසීය.

එසේම වතු ජනතාවගේ ප්‍රයෝජනයට නිවාස 10000ක් හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා ඉංජිනේරු සේවා මධ්‍යස්ථානද ඉඳි කිරීමට කටයුතු යොදන බවද මෝදි මහතා කීය.

සිළුමිණ

තවත් සුපිරි තරුවක් ක්‍රිකට් පිටියට සමුදෙන්න තීරණය කරයි

දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දරණ ෆෆ් ඩුප් ප්ලෙසිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඩුප් ප්ලෙසිස් පවසන්නේ 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.

මේ අතර ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ තමන් සමඟ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තවත් දක්ෂ ක්‍රිඩකයින් කිහිප දෙනෙකුම 2019 වසරේ ලෝක කුසලාන  තරඟාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ඇති බවයි.

විදෙස් මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ෆෆ් ඩුප් ප්ලෙසිස් මෙම අදහස් පල කර තිබෙනවා.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ 2019 ලෝක කුසලාන තරඟාවලියේදී සිය උපරීම දක්ෂතා දක්වමින් තම රැකියාව අවසන් කරන බවයි.

ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 40ක්  එක්දින තරඟ 107ක්  සහ විස්සයි විස්ස තරඟ 36ක් ඩුප්ලේසිස් මේ වන විට ක්‍රිඩාකර තිබෙනවා.

විසි වසරකට පසු නේපාලයේ මැතිවරණයක්

දශක දෙකකින් අනතුරුව නේපාලය අද පළාත්පාලන මැතිවරණයට මුහුණ දෙනවා.

මිලියන 4.9ක් ඡන්ද දායකයන් එහි පළමු අදියර යටතේ ඡුන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර, අදියර කිහිපයකින් පැවැත්වෙන මැතිවරණය අවසන් වන්නේ ජූලි 14 වනදායි.

16000කට ජීවිත අහිමි කළ මාවෝ වාදී අරගලය හේතුවෙන් 1997 න් පසු නේපාලයේ පළාත්පාලන මැතිවරණ පැවැත්වූයේ නැහැ.

සයිටම් සිසුන් බඳවාගැනීම අත්හිටුවන්න – රජයෙන් ඉල්ලීමක්

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් ආයතනය විධිමත් කිරිම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන තෙක් නවක සිසුන් බඳවා ගැනිම අත්හිටුවන්නැයි සයිටම් ආයතනයෙන් රජය ඉල්ලීමක් කර තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා රජය මෙම ඉල්ලීම කර තිබේ.

මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් මේ සතියේ බලාපොරොත්තු වන බව රජයේ ප්‍රකාශකයෙක් කීවේය.

සයිටම් ආයතනය ඇතුළු වෛද්‍ය අධ්‍යාපනයට ආයෝජනය කරන ආයතන කොළඔ කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගත කිරීම, මෙම ආයතනවල අධ්‍යාපනය හා පරිපාලනය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යෑම සඳහා පාලක මණ්ඩල පත් කිරිම, නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරිම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරිමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන ඇති බවත් ඒ සඳහා යම් කාල සීමාවක් අවශ්‍ය බවත් එම ප්‍රකාශකයා කීවේය.

පිළියන්දල වෙඩි තැබීම-සැකකරුවන් හඳුනාගන්න මහජන සහය පතයි

පිළියන්දල නගරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.
සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකුගේ ඡායාරූප දෙකක් මාධ්‍ය වෙත නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පෙන්වාදෙන්නේ එම පුද්ගලයින් පිළිබදව තොරතුරු වෙතොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසයි.

පසුගිය 9 වැනිදා පිළියන්දල නගරයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකු මියගොස් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු බරපතළ තුවාල ලැබීය.

මෙම වෙඩි තැබීම සඳහා භාවිත කළ යතුරු පැදිය එදිනම දෙල්ගොඩ ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති බවට සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මෙහෙයවනු ලබන නිලධාරීන් විසින් නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බව සඳහන්ය.

 ඒ අනුව එම යතුරුපැදිය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගේ හැඩරුව ඔස්සේ පොලිස් චිත්‍ර ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද ඡායාරූප පොලිස් මූලස්ථානය විසින් අද දිනයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එක් පුද්ගලයෙකු වයස අවුරුදු 30 ත් 35 ත් අතර අඩි 5 යි අඟල් 3ක් පමණ උසැති අයෙකු වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 38ත් 42 ත් අතර අඩි 5 යි අඟල් 6ක් පමණ උසැති අයෙකු බව පොලීසිය පවසයි.

එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 0718 591 641 හෝ 0112 852 555 යන දුරකථන අංකවලින් පොලිස් අධිකාරී නුගේගොඩ කොට්ඨාශය ද 0718 591 727 හෝ 0112 662 323 යන දුරකථන අංකවලින් අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාශය ද අමතා තොරතුරු දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස්පතිවරයා විසින් විශේෂ මුදල් ත්‍යායක් ලබාදීමට ද නියමිත බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

සයිබර් ප්‍රහාරය මැඩලීමට 22 හැවිරිදි කොල්ලෙක් සමත් වේ



ලොව රටවල් 90 අධික ප්‍රමාණයකට එල්ලවූ සයිබර් ප්‍රහාරය මැඩ පැවැත්වීමේ මූලික ක්‍රමවේදයක් පරිඝණක විශේෂඥයෙකු විසින් සොයාගෙන ඇති බවට වාර්තා වෙනවා.

22 හැවිරිදි මොහු පිළිබඳ තවමත් විස්තර ප්‍රසිද්ධ වී නැතත් පසුගිය දා රාත්‍රයේ මොහු ලොව වීරයෙකු ලෙස ප්‍රාත්‍රවිය. මෙම සයිබර් ප්‍රහාරය මගින් කාල වකවානුවක් තුල කම්පම් මුදලක් ඉල්ලා සිටින අතර, අදාල කප්පම් මුදල් ලබා නොදුන්නොත් පරිඝණකයේ ඇති දත්ත සියල්ල විනාශ කිරීම සිදුවු ඇත.



කෙසේ වෙතත් වෛරස් ප්‍රහාරය එල්ල කර පැය කීපයක් යන්නට මත්තෙන් එහි ඇති අඩුපාඩුවක් සොයාගැනීමට මොහු සමත් විය.

එමගින් අදාල වෛරසය අක්‍රීය කිරීමට ඔහුට හැකියාව ලැබී ඇත. වෛරය මුදා හැරී හැකර් කණ්ඩායම් විසින් එය අඩපන කිරීමට නොදී ඊට එරෙහිව කඩාකප්පල් කාරී ක්‍රියා සිදු කිරීමට ඉඩ ඇති බව බොහෝ සයිබර් විශේෂඥයන් පවසා ඇත.

සයිබර් ප්‍රහාරයෙන් ලංකාවට බලපෑමක් නෑ

රටවල් 99 ක පරිඝණක පද්ධතින්වලට ප‍්‍රභල සයිබර් ප‍්‍රහාරයක් එල්ලවි තිබෙනවා.මෙම ප‍්‍රහාරයෙන් ඇතැම් රටවල පරිගණක පද්ධතින් සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වි ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.කෙසේවෙතත් ශ‍්‍රි ලංකාවට මේ ප‍්‍රහාරයෙන් බලපෑමක් එල්ලවි නැති බවයි පරිඝණක ආරක්ෂක ඉංජිනේරුවරුන් පවසන්නේ.

අති ප‍්‍රභල සයිබර් ප‍්‍රහාරයෙන් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, චීනය, ඉතාලිය සහ තායිවානය ඇතුලූ රටවල් 99 ක පරිගණක පද්ධතින්වලට දැඩි බලපෑමක් එල්ලවි තිබෙනවා.ප‍්‍රහාරය හේතුවෙන් එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකා ජාතික ආරක්ෂක ඒජන්සියේ පරිගණක මෘදුකාංගයක් යොදා ගනිමින් මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල කර ඇති බවටයි පරිඝණක ඉංජිනේරුවන් සැක පළකරන්නේ.සෑම පරිගණකයකින්ම ඇමරිකන් ඩොලර් 300 ත් 600 ත් අතර කප්පමක් ඉල්ලමින් මෙම ප‍්‍රහාරය එල්ල කර තිබෙනවා.

ඇතැම් පුද්ගලයන් එම කප්පම ගෙවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.රුසියාව, එක්සත් රාජධානිය සහ තායිවානය මේ ප‍්‍රහාරයේ ප‍්‍රධාන ඉලක්ක වි තිබුණා.මේ ප‍්‍රහාරය නිසා ලොව පුරා පරිගණක 60,000 කට ආසන්න සංඛ්‍යාවක් අකර්මන්‍ය වි තිබෙනවා.

තවමත් මේ ප‍්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් භාරගෙන නැහැ.සයිබර් ප‍්‍රහාරයෙන් ශ‍්‍රි ලංකාවේ කිසිදු පරිගණක පද්ධතියටකට හානි වි නැති බවයි පරිඝණක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ.ඒ සම්බන්ධයෙන් ඔවුන් අවධානයෙන් සිටින බවත් ඔහු සඳහන් කළා.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරමින් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදිත් සැමරුමක් පවත්වයි

යුද්ධයෙන් මියගිය දෙමළ සහෝදර ජනතාව සිහිපත් කරමින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සැමරුම් වැඩසටහනක් පැවැත්වුණා.

ඒ එල් ටි ටී සංවිධාන නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් උපන් ගම වන යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදි.

යාපනය වැල්වැටිතුරෙයි වෙරළ  ප්‍රදේශයේදි පහන් දල්වා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් සතියේ දෙවන දිනයෙදී මෙම සැමරුම සිදු කර ඇත්තේ.

වැඩසටහන් අවස්ථාවට සහභාගි වු එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසූවේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ මහා සැමරුම් වැඩසටහන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.ව්ග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.

යුධ සමයේ සිදු වු යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්විය යුතු අතර, යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය පරීක්ෂණ පැවත්වීම පිළිනොගන්නා බවයි මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේ.