14 May 2017

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2.6ක ආධාර

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හැටන් දික්ඔය රෝහල විවෘත කිරීමෙන් පසු රැස්ව සිටි ජනතාව අැමතීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ.... සේයාරුව - සුදත් සිල්වා

ශ්‍රී ලංකාව‍ මේ වන විට විශාල ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කරන බව පැහැදිලි යැයිද එම නිසා මෙරට ආර්ථික වර්ධනය පිණිස ඇමරිකන් ඩොලර් බිලියන 2.6ක ආධාර සැපයීමට කටයුතු කර ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

ඉන්දු ලංකා සංවර්ධන සහයෝගිතාව යටතේ මේ ආධාර ලබා දීමට කටයුතු කරන බවත් මෙරට අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහන, නිවාස, විදුලිය බලය වැනි අංශ වර්ධනය පිණිස මේ ආධාර ලබා දෙන බවත් ඉන්දියාවේ කාර්මික දැනුම ශ්‍රී ලංකාව හා හුවමාරු කරගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මේ වන විටත් ශ්‍රී ලංකාව හා පරමාණුක බල ශක්තිය සම්බන්ධව කටයුතු කිරීම අරඹා ඇතැයිද දෙරට සබඳතා වඩාත් තහවුරු වී ඇත්තේ බුදු දහමින් ලද පන්නරය නිසා බවද ඒ මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 12 වැනිදා ආරම්භ වුණු එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

බුදු දහමේ දැක්වෙන දස පාරමිතා එකින් එක ගෙන හැර දක්වමින් එම පාරමිතා කෙතරම් වැදගත්දැයි මෝදි ‍මහතා මේ අවස්ථාවේදී පෙන්වා දුන්නේය. එසේම ඉන්දු ලංකා සබඳතා වඩාත් ස්ථාපිත කළ බුදු දහ‍ම රැක ගැන්මට අන්තර්ජාතිකව ගන්නා පියවර ඒ මහතා මහත් සේ අගය කෙළේය. එම නිසා ලබන අගෝස්තු මස සිට කොළඹ සිට වාරණාසි දක්වා ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට කටයුතු කරනු ලබන බවත් ඒ මහතා පැවසීය.

මේ වන විටත් මෙරට දුම්රිය පුනරුතථාපනය සඳහා ඉන්දීය රජය විසින් ඩොලර් මිලියන 318ක මුදලක් ලබා දී ඇත.

එදිනම ඉන්දීය ආධාරයෙන් ඉඳි කළ හැටන් දික්ඔය රෝහල විවෘත කිරීමට සහභාගි වූ මෝදි අගමැතිවරයා ඉදිරියේදී නාගරිකව දැනට ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාව වතුකරයටත් ලබා දිමට කටයුතු කරන බව පැවසීය.

එසේම වතු ජනතාවගේ ප්‍රයෝජනයට නිවාස 10000ක් හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා ඉංජිනේරු සේවා මධ්‍යස්ථානද ඉඳි කිරීමට කටයුතු යොදන බවද මෝදි මහතා කීය.

සිළුමිණ

No comments:

Post a Comment