03 July 2017

උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතරද?

උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වුණත්, කාගේ හරි ඇඟේ උණ රෝගය සමඟ රතු පැල්ලම් හෝ ලප මතු වුණොත්  ඕනෑම කෙනෙකු බියට පත්වෙයි. විශේෂයෙන් කුඩා දරුවන් තුළ මේ තත්ත්වය සුලබ වන අතර දෙමාපියන් වහා දරුවා රෝහල් ගත කරන්නට පෙළඹෙති. ඩෙංගු මේ අතර ප‍්‍රධන වෙයි. 

ඩෙංගු රෝගයේ දී උණ සමග රතු පැල්ලම් වැඩිපුර දකින්නට ලැබෙන්නේ දිව සහ විදුරුමස මතයි. මීට අමතරව ශරීරයේ තැනින් තැන රතු පැල්ලම් ඇති වන්නේ ඩෙංගු රෝගයට පමණක් නොවෙයි. උණ සමග ඇතිවන රතු පැල්ලම් දකින්නට ලැබෙන වෙනත් රෝග තිබෙනවා. ඒ සම්බන්ධව දැනුවත්ව සිටීම වැදගත් වෙනවා.

සරම්ප 

උණ සමඟ රතු පැල්ලම් දකින්නට ලැබෙන තවත් රෝග තත්ත්වයකි මේ. සරම්ප රෝගියාගේ කෙළ බිඳිති, නාසයේ ස‍්‍රාවයන් සමඟ තව කෙනෙකුට මෙය බෝ වෙයි. පුද්ගලයෙකු තුළට වෛරසය ඇතුළු වී දින 10ක් 14ක් ගත වූ පසුවයි. ඔහුට රෝග ලක්ෂණ ඇති වන්නේ රෝගය වැළඳී දින 4 – 5ක් පමණ වන විට උණ රෝගය වැඩි වී අඩු වන්නට පටන් ගන්නා අතර ඇඟ පුරා රතු පැහැ පැල්ලම් මතුවෙයි. මේ විදියට උණ අඩුවී යන කාලයට මෙම පැල්ලම් කන දෙපස සිට පහළට මුළු ශරීරය පුරාම පැතිර යයි. පැතලි රතු පැහැ ලප වන අතර, තදින් තද කළ විට නැවත මතුවේ. ඇතැම් විට මෙම ලප ඉහළට මතුවී හොඳින් අතින් අල්ලන්නටද පුළුවනි. මෙම ලප දින 09 ක් පමණ වන විට අඩුවී යයි. කට ඇතුළත හක්ක ප‍්‍රදේශයේ සුදු පැහැ පැල්ලම් (Koplik’s spots) දින 2 ක් පමණ ගත වන විට ඇති වී දින 5 - 6 පමණ වන විට අඩු වී යයි. කැස්ස, ඇසේ රතු පැහැය වැනි රෝග ලක්ෂණ ද ඇතිවෙයි.

රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප


මවගෙන් දරුවාට ගර්භනී සමයේ දී සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස රුබෙල්ලා වැදගත් ස්ථානයක් හිමිකරගෙන තිබෙයි. රෝගී ශ්වසන පද්ධති ස‍්‍රාව හරහා අනෙක් පුද්ගලයින්ට වැළඳෙයි. රෝග බීජ ශරීර ගත වී දින 14ක් 21ක් ගත වූ පසුව රෝග ලක්ෂණ මතුවෙයි. ආරම්භයේ දී මඳ උණ ගතියක් පවතින අතර, පසුව රතු පැහැ ලප පැල්ලම් මතුවෙයි. මුලදී මූහුණ ප‍්‍රදේශයේ හට ගන්නා මේ ලප පසුව සිරුර පුරා ව්‍යාප්ත වෙයි.
දින 3 - 5 කින් මේ ලප නොපෙනී යයි. කුද්දැටි ඉදිමීමත් දකින්නට පුළුවනි. හන්දි අමාරුව, එන්කෙපලයිටිස්, හෘද පේශි ආසාදනය, රුධිර පට්ටිකා අඩුවීම වැනි අතුරු ආබාධ ඇති වෙයි. රෝගය වැළඳුණු පසු විශේෂ වෛද්‍ය ප‍්‍රතිකාර නොමැති අතර  පූර්ව ප‍්‍රතිශක්තීකරණය ලබාගෙන සිටීම වැදගත් වෙයි.

කවසාකි රෝගය
 
මෙය තරමක් දුලබ රෝගයක් වුණත්, මෙම රෝගයෙන් පෙළෙන ළමයි ලංකාවෙන් ද විටින් විට වාර්තා වෙති. මාස 06 ත් වයස 04 ත් අතර වයසේ දරුවෝ මෙම රෝගයට බහුලව ගොදුරු වෙති. රෝගයට බලපාන හේතුව ස්ථීර ලෙසම හොයාගෙන නැතත්, ඇතැම් බැක්ටීරියාවන් නිකුත් කරන විෂ වර්ග මෙයට හේතු වෙතැයි අනුමාන කරති.
මෙම රෝගයේ දී කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ රුධිර නාල හානි වෙයි. හෘදයේ කිරීටක ධමනි වලටත් හානි සිදුවෙයි. මේ නිසා හෘදයාබාධ වැළඳී ළමයි මිය යති. රෝග ලක්ෂණ ලෙස දින 5 කට වඩා පවතින උණ, ඇස් රතුවීම, තොල් පැලීම, දිව තද රතු පැහැ වීම, ගෙල අවට වසා ගැටිති ඉදිමීම,  රතු පැල්ලම් සහ ලප මතුවීම දැකිය හැකියි.
මෙහි දී අත්ල හා පත්ල පළමුව රතු පැහැවී පසුව සම ගැලවී යාම හට ගනියි.

මෙනින්ගො කොකල් රෝගය
 
Nesseria meningitides බැක්ටීරියාව නිසා ඇතිවන මෙනින්ගො කොකල් රෝගයේ දී උණ සමග ඇඟේ රතු පැහැ පැල්ලම් මතුවීම සිදුවෙයි. මෙම ලප මත පීඩනයක් යෙදුවද ඒවා නැති වී නොයයි. ඇතැම් රටවල මෙය වසංගතයක් ලෙස ඇතිවන රෝගයකි. මෙම රෝගයේ දී මෙනෙන්ජි පටල හෙවත් මොළයේ පටල ප‍්‍රදාහයද (මෙනෙන්ජයිටීස්) ඇතිවෙයි. මෙම රෝගය මගින් පැය කිහිපයක් ඇතුළත දරුවෙකු මිය යා හැකිය.
හර්පීස් වෛරසය ද ශරීරයේ පැල්ලම් ඇති කරන අතර මෙයින් ආකාර කිහිපයකට රෝග ලක්ෂණ මතුවිය හැකිය. ශරීරයේ සැරව බිබිලි, පැල්ලම්, සුදු පැහැ ඉදිමුණු සැරව ගෙඩි ලෙස මතුවිය හැකියි. මෙම රෝගකාරකයා සම හෝ ශ්ලේෂමල පටක හරහා ශරීරගත වෙයි.

පැපොල රෝගය
 
දෙයියන්ගේ අසනීපය හෙවත් පැපොල ලෙස හඳුන්වන රෝගයේ දී රතු පැහැ ලප ද පසුව මේවා සැරව පිරී ගෙඩි බවට ද පත්වෙයි. රෝග කාරක Varicella zester වෛරසය ශරීර ගතවී දින 10 - 23 අතර කාලයේ දී රෝග ලක්ෂණ මතුවෙයි. උණ ඇතිවෙලා දින 3 - 5 ගත වන විට සැරව පිරී රතු පැහැ ගෙඩි ඇතිවෙයි. මෙම සැරව ගෙඩි ද්විතියිකව මෙනින්ජි පටල ප‍්‍රදාහය මෙන්ම ඇතැම් විට නිව්මෝනියාව, රුධිර වහනය වැනි අතුරු ආබාධ ඇති කරන හෙයින් මුල් අවස්ථාවේ දීම ප‍්‍රතිකාර ගැනීම වැදගත් ය. මේ අනුව පුද්ගලයෙකු විශේෂයෙන් කුඩා දරුවෙකුට උණ රෝගය සමඟ සමේ පැල්ලම්, ලප, සැරව බිබිලි මතුවන්නේ නම් වහාම රෝහල් ගත කර පළපුරුදු වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර ලබාගැනීම වැදගත්ය.

රනිල් පරාජය කළහැක්කේ කෙසේද?

ශ්‍රී ලංකාව වැනි ඉහල දේශපාලන සාක්ෂරතාවයක් හා උනන්දුවක් ඇති රටක ආණ්ඩුවක පැවැත්ම තීරණය කරනුයේ එම රටේ වාසය කරන ජනතාවගේ ඕනෑ එපාකම්වලට අනුවය. එබැවින් එවැනි සමාජයක් සහිත රටක දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් හා මතහසුරුවන්නන්හට ඉහල වටිනාකමක් ලැබේ. එසේම එවැනි සමාජයක් සහිත රටක ජනමාධ්‍ය සුවිශේෂී තත්ත්වයක් උසුලනු ලබයි.

මේ නිසාම ශ්‍රී ලංකාවේ වර්ථමාන දේශපාලන තත්ත්වය හා අනාගතය ගැන විමසා බැලීමේදී අපට පෙනීයන්නේ පවතින ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාකාරිත්වයයි. එම ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එක්අතකින් පක්ෂ අභ්‍යන්තරයේ නොඉවසිලිමත් බවක් වර්ධනයවී ඇති බවද පෙනීයයි. ඒ පක්ෂයේ කේඩරයෙන් පක්ෂයේ ප්‍රාදේශීය මට්ටමේ නායකයින්ගේ සිට ජාතික මට්ටමේ නායකයින් දක්වා එල්ලවෙමින් පවතින අභ්‍යන්තර පීඩනය එහි අවසාන නැවතුම්පල වන රනිල් වික්‍රමසිංහ දක්වා එල්ලවීමයි.

රජයේ රැකියා පාක්ෂිකයින්ට ලබාදීම, රජයේ කොන්ත්‍රාත් පක්ෂයට හිතවත් කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් පලවාහැරීම වැනි යෝජනාවන් පදනම්කොටගෙන පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන මෙම උණුසුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් බරපතල ලෙස ගෙනඇති බව මාගේ විශ්වාසයයි. නමුත් ජනවාරි 08 වනදාත්, අගෝස්තු 17 වනදාත් මේ රටේ බහුතර ජනතාව එක්සත් ජාතික පක්ෂයට බලය ලබාදුන්නේ පාක්ෂිකයින්ට අවිධිමත් ලෙස රැකියා ලබාදීමට හෝ රජයේ කොන්ත්‍රාත් නුසුදුස්සන්ට ලබාදී රජයට පාඩු සිදුකිරීමට නොව වඩාත් සාධාරණ ක්‍රමවේදයන් මත ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටය. එහිදී අගමැතිවරයා ජනවරමට අනුව කටයුතු කිරීමට උත්සහ කරන අතරම පක්ෂයේ පීඩනය කලමනාකරණය කිරීමටද උත්සහ කරයි. මන්ද පාක්ෂීකයා ඡන්දපොලට ගෙනයෑම ඕනෑම මැතිවරණයකදී පක්ෂයක් මුහුණදෙන ප්‍රධානතම අභියෝගයකි. එම අභියෝගයට එක්සත් ජාතික පක්ෂය මුහුණදෙමින් සිටින අතර එහි සාර්ථකත්වය මත රනිල් වික්‍රමසිංහගේ පැවැත්ම තීරණය වනු ඇත.

එය එසේ වුවද අසාධාරණ ලෙස රැකියා ලබාදෙමින් පක්ෂ අභ්‍යන්තරයේ කේඩරවරුන් කොන්ත්‍රාත්වලින් මුදල් ගසාකමින් අපකීර්තියට පත්වුවහොත් එමගින් විශාල හානියක් පක්ෂ යාන්ත්‍රණයට සිදුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීය මට්ටමේ නායකයින්ගේ හොර ලේබලය අදත් සෝදා පිරිසිදුකල නොහැකි පාරාවළල්ලක් බවට එම පක්ෂය තුළ පත්වී තිබේ. පසුගිය ආණ්ඩුව කාලයේ බැසිල් රාජපක්ෂ විසින් ග්‍රාමීය මට්ටමේ නායකයින් වෙත බෙදාදෙන ලද ඊනියා සංවර්ධන ප්‍රතිපාදන ගසාකෑම් නිසාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමීය මට්ටමේ යාන්ත්‍රණය හොරුන්, දූෂකයින් හා රස්තියාදුකාරයින්ගෙන් පිරීගිය එකක් බවට පත්ව තිබේ. එම නිසාම කවුරුන් කෙසේ කීවත් මැතිවරණයකදී මධ්‍යම පාන්තික හා මධ්‍යස්ථ ඡන්ද දිනාගැනීමේ නොහැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතී. රනිල් වික්‍රමසිංහට අවශ්‍යවන්නේ එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණයෙන් පිරිසිදු, විශ්වාස කළහැකි, මධ්‍යම පන්තිය හා ගණුදෙණු කළ හැකි, මධ්‍යස්ථ ඡන්දවලට කතාකළහැකි යාන්ත්‍රණයක් ලෙස පවත්වාගැනීමයි. එමනිසා පක්ෂ අභ්‍යන්තරයේ උණුසුමට මැති ඇමතිවරු විසදුම් සෙවිය යුතු අතර අපේක්ෂාකරන පරිදිම පක්ෂ යාන්ත්‍රණය ජනතාවට විශ්වාස කළහැකි, පිරිසිදු, වැදගත් මට්ටමින් පවත්වාගත යුතුයැයි රනිල් වික්‍රමසිංහ සිතයි. රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට කවුරුන්හෝ සිතන්නේනම් කළයුතු එක් ව්‍යාපෘතියක් වන්නේ එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය බිම්මට්ටමේ සිට ඉහලට අන්ත දූෂිත, රස්තියාදුකාර, විනාශකාරී එකක් බවට පත්කිරීමයි. එසේ නොවනතාක්කල් ඉදිරි දශකය තුළ එක්සත් ජාතික පක්ෂයට බලය හෙබවිය හැකිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල ආණ්ඩුව සමග කටයුතු කිරීම අවාසිසහගත ලෙස පෙනුනේ පක්ෂයේ කේඩරවරුන්ට ආණ්ඩුවේ ලාභ ප්‍රයෝජන ලබාගැනීමට ඇති සීමාකම්වල ඇති අර්ථයෙනි. එසේ නොමැතිනම් ආසන 105ක් ගත් එක්සත් ජාතික පක්ෂයට ආසන 150ක් සහිත තුනෙන් දෙකක බහුතරයක් සහිත බලවත් ආණ්ඩුවක් ලැබී තිබේ. රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය පරාජයකිරීමට කවුරුන් හෝ සිතන්නේනම් කළයුතු අනෙක් කාරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට තල්ලුකිරීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමග කටයුතුකිරීම මගින් දුර්වල වන්නේ එක්සත් ජාතික පක්ෂය නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එම යතාර්ථය එක්සත් ජාතික පක්ෂයේ කේඩරවරුන් විසින් හදුනාගත යුතුය.

දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද පදනම මුලුමනින්මපාහේ ගණුදෙණු කරනුයේ එක්සත් ජාතික පක්ෂය සමගය. මහින්ද රාජපක්ෂ රජයේ ජාතිකවාදී ප්‍රතිපත්ති නිසාවෙන් සිංහල බෞද්ධ ඡන්ද 70% යි 30% ට බෙදුනු අවස්ථාවේ ඉතාම අපහසු අඩියකට පක්ෂය වැටී තිබූ එම මොහොතේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය සියළුම ජාතීන්ට, සියළුම ආගම්වලට ගණුදෙණු කළහැකි, එම පක්ෂයේ මූලික හරයන්ට අදාලව පවත්වාගෙන ගියේය. පක්ෂ අභ්‍යන්තරයෙන් විශාල පීඩනයක් එල්ලවද්දී කිසිදු හේතුවක් මත එක්සත් ජාතික පක්ෂය බහුවාර්ගික හා බහුආගමික පීල්ලෙන් පිටතට ගෙනඒමට රනිල් වික්‍රමසිංහ කටයුතු නොකළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි 08 වනදා නැවත බලය ලබාගත්තේය. කාටහෝ රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් පරාජය කිරීමට අවශ්‍යනම් කළයුත්තේ හැකිතාක් ඉක්මනින් පක්ෂයේ මූලික පදනමෙන් මිදී රටේ ජාතික සංහිදියාවට හානිවන දේශපාලන ව්‍යාපෘතිවල නිරතවීමයි. එසේ නොවනතාක්කල් ඉදිරි දශකය තුළ කවුරු මොනවා කිවුවත්, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන කුමන ආකාරයකට කටයුතු කළත්, එක්සත් ජාතික පක්ෂයත්, රනිල් වික්‍රමසිංහත් බලයේ සිටිනු ඇත.

විද්‍යුත් මාධ්‍ය හා රටේ සාම්ප්‍රධායික මාධ්‍යට රටේ ජනමතයට කළහැකි බලපෑම සීඝ්‍රයෙන් අහෝසිවෙමින් යන අතර සාම්ප්‍රධායික මාධ්‍ය ආයතනද එම ආයතන පවත්වාගෙනයාමේ විශාල අරගලයක නිරතවසිටී. ඔවුන්ට ආර්ථික, සමාජීය හා දේශපාලනික ගැටළු රාශියකට මුහුණදීමට සිදුවීතිබේ. එයට ප්‍රධානතම හේතුව සමාජ ජාලා වෙබ්අඩවිවල නැගීසිටීමයි. ඉතිහාසයේ කවරදාකටත් වඩා අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීඝ්‍රයෙන් වර්ධනයවී, සරලවී ඇති මොහොතක සමාජ මාධ්‍ය රටේ ජනගහනයෙන් මිලියන 4ක් භාවිතකිරීමට ආරම්භකර ඇති අතර 2020 වෙද්දී එය මිලියන 8ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කරඇත. මිලියන 22ක් ජීවත්වන රටක මිලියන 8ක් යනු විශාල සංඛ්‍යාවක් වන අතර රටේ දැනුම් තේරුම් ඇති සියළුමදෙනා මෙම මිලියන 8ට ඇතුලත්වේ. එබැවින් කාටහෝ රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් පරාජය කිරීමට අවශ්‍යනම් කළයුත්තේ සමාජ ජාලා හා වෙබ්අඩවිවල දේශපාලන සහභාගීත්වය පිළිබද අඩු තක්සේරුවකින් කටයුතු කිරීමයි.

| තුෂාර වන්නිආරච්චි

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවශ්‍යද..? “රැකියා සීමා ලැයිස්තුව” මෙන්න

ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් ඇතැම් රැකියා සඳහා වූ කෝටාව මේ වන විටත් සම්පූර්ණ වී ඇති අතර එය මීළඟ ආරාධනා වටයේදී (invitation round) නැවත විවෘත වනු ඇත.

ඔබ ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවානම් ඔබ අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” පිළිබඳ දැන සිටිය යුතුය.

මෙය සෑම විටම යාවත් කාලීන වන අතර අදාළ මුල්‍ය වර්ෂය (ජූලි 01 සිට ඊළඟ වසරේ ජුනි 30 දක්වා) සඳහාවූ නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා තවත් කොපමණ සංඛ්‍යාවක පුරප්පාඩු තිබෙනවාද යන්න එමගින් ප්‍රදර්ශනය කරයි.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් ඇතැම් රැකියා සඳහා වූ කෝටාව මේ වන විටත් සම්පූර්ණ වී ඇති අතර එය මීළඟ ආරාධනා වටයේදී (invitation round) නැවත විවෘත වනු ඇත.

Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” යනු කුමක්ද?
 
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.

මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වේ.

Skilled independent visas (189)
Skilled regional sponsored visas (489)
Skilled or business state or territory sponsored visas.

ඔබගේ රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් නොලැබෙනු ඇත.

ආරාධනාවක් යනු කුමක්ද?
 
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ වැඩසටහන හෙවත් “skilled migration program” යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් අදාළ වීසා සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ලබා දෙන අවසරය, ආරාධනාවක් ලෙස හැඳින්වේ.

මෙම ආරාධනා නිකුත් කරනු ලබන්නේ SkillSelect ක්‍රියාවලිය හෙවත් ඔස්ට්‍රේලියාවේ online expression of interest පද්ධතිය හරහා පමණි.

අන්තර්ජාලය ඔස්සේ මෙම “රැකියා සීමා ලැයිස්තුව” ප්‍රකාශයට පත් කරන්නේ කවර කාලවලද?
ඔස්ට්‍රේලියාවේ මුල්‍ය වර්ෂයකදී ම සිදු කරනු ලබන සෑම ආරාධනා පත්‍ර නිකුත් කිරීමේ වටයකදීම මෙම “රැකියා සීමා ලැයිස්තුව” ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරයි.

රැකියා සීමා ලැයිස්තුවෙහි වත්මන් තත්ත්වය.
 
ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව අද (28/06) වන විට ඔස්ට්‍රේලියාවේ නිපුණතා රැකියා ලැයිස්තුවෙහි සඳහන් රැකියා වලට අදාළ පුරප්පාඩු (කෝටාවන්) රැගත් වත්මන් රැකියා සීමා ලැයිස්තුව හෙවත් The current occupation ceiling list පහත පරිදි වේ.


කටාර් අර්බුදය විසඳාගන්න - පුටින් කියයි

සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් සහ කටාර් රාජ්‍යය අතර හටගෙන ඇති අර්බුදය, ගල්ෆ් කලාපයට පමණක් නොව, මුළු ලොවටම බලපෑමක් එල්ල කරන කරුණක් බව පෙන්වා දෙමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ හටගෙන ඇති අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට සියලු පාර්ශ්ව යුහුසුළු විය යුතු බවය.

පවතින මත ගැටුම් විසඳා ගැනීමට නම්, එය සාකච්ඡා මාර්ගයෙන් කළ යුතු බවත් රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කටාර් අර්බුදය මුල්කොට ගනිමින් ගල්ෆ් කලාපීය රටවල් අතරේ බෙදීමක් සිදුවුවහොත් එය ලෝක යුද්ධයක් තෙක් දුරදිග යා හැකි යැයි ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇඟවීමක් ද කළේය.

(රොයිටර්)

ඉන්දීය පාවහන් කම්හල ශ්‍රී ලංකාවට එපාලු

ඉන්දියාවේ පිහිටි දැවැන්ත පාවහන් කම්හලට ශ්‍රී ලංකාවේ වෙළඳපල සඳහා පාවහන් නිෂ්පාදනය කිරීමට ආයෝජන මණ්ඩල පහසුකම් සහිතව අවසර දීමෙන් ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට මරු පහරක් වදින බව ශ්‍රී ලංකා සම්භාන්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.ජී.ඩී. නිමලසිරි මහතා පවසයි.

ශ්‍රී  ලාංකිකයන් 40,000ක්  පමණ සෘජු හා වක්‍ර රැකියා කරන විවිධ පරිමාණයේ සම්භාණ්ඩ කම්හල් 1250ක් පමණ රටපුරා ක්‍රියාත්මක බව පවසන සභාපතිවරයා වසරකට දේශීය නිෂ්පාදනයේ වත්කම රුපියල් කෝටි 4,000 පමණ වන බවද සඳහන් කරයි.

මෙබඳු විදේශීය පාවහන් කම්හලකට සිය නිෂ්පාදන මෙරට තුළ අලෙවියට ඉඩ සැලැස්වුවහොත් එයින් දේශීය නිෂ්පාදන විනාශයට පත්වන බව පැවසේ. මෙම කම්හලේ නිපදවන පාවහන් දේශීය වෙළඳපලේ අලෙවිය තහනම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන්ද ලිඛිත ඉල්ලීමක් කළ බවද ශ්‍රී ලංකා සම්භාන්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සඳහා වසරකට කෝටි 25

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා වෙනුවෙන් පාර්ලිමේන්තුව වසරකට රුපියල් කෝටි  25 ට අධික මුදලක්. වැය කරන බව පාර්ලිමේන්තුමේ තොරතුරු වාර්තා අනාවරණය කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 කගේ දීමනා සඳහා පසුගිය 2016 වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 258,582,312.82 කි.

පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් මාසයකට දින 08 ක් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනුවෙන් දීමනා සඳහා දිනකට වැයවන මුදල රුපියල් 12 ,008.09 කි.

එම තොරතුරු අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනුවෙන් දීමනා වෙනුවෙන් මාසයකට රුපියල් 97,065.43 ක මුදලක් වැය කරන අතර වසරකට රුපියල් 1,164,785.20 ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු තොරතුරු වාර්තා දක්වා තිබේ.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ක් සිටින අතර, ඔවුන් සියලු දෙනා වෙනුවෙන් දීමනා සඳහා දිනකට වැය කරන මුදල 2,665,797.04 කි.  ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන්  දීමනා සඳහා මාසයකට රුපියල් 21,548,526.07 ක් වැයකර ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් 225 නා සඳහා වසකරට රුපියල් 258,582,312.82 ක් වැයකර ඇති බව පාර්ලිමේන්තු වාර්තා දක්වා ඇත.

2016 වසරේ පාර්ලිමේන්තුව දින 97 ක් පවත්වා ඇති අතර එම වර්ෂයේ පාර්ලිමේන්තුවේ වාර්ෂික වියදම රුපියල් 1,619,500,803.00 කි.

ගැබ්ගෙල පිළිකාවට එන්නත් අද සිට සියලු පාසල්වල

අනාගතයේ ඇති විය හැකි ගැබ්ගෙල පිළිකා වැළැක්වීමට ලබා දෙන හියුමන් පැපිලෝමා වයිරස එන්නත දිවයිනේ සියලු පාසල් වල ඉගැනුම ලබන ගැහැනු දරුවන්ට එන්නත් කිරීම අද (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

පාසල් වල 6 ශ්‍රේණියේ සිට ඉහළට ඉගෙනුම ලබන සියලු ගැහැනු දරුවන්ට මෙම එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් ක‍්‍රියාත්මක කරන ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන අද සිට කෑගල්ල, ගම්පහ, කිලිනොච්චි යන දිස්ත‍්‍රික්කවලින් ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය ප්‍රකාශ කළ අතර දිස්ත‍්‍රික්ක තුනකින් ඇරැඹෙන මෙම ව්‍යාපෘතිය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවද කීවාය.

වයස අවුරුදු 9 ත් 13 ත් අතර ගැහැනු දරුවන්ට මෙම එන්නත ලබාදිය යුතු අතර මාත‍්‍රා දෙකක් වශයෙන් එන්නත ලබා දිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එක් එන්නතක් ලබාදී මාස 6 කට පසුව අනෙක් එන්නත ලබාදීම සිදුකෙරේ. හියුමන් පැපිලෝමා වයිරසය ආසාදනය වීමට පෙර මෙම එන්නත ලබාදිය යුතු බව කී වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය එය සම මත සහ ශ්ලේෂ්මල පටල මත පැවැතිය හැකි වයිරසයක් බවත් එමගින් ගැබ්ගෙලෙහි සෛලවල වෙනස්කම් ඇති කර පිළිකාවක් බවට පත්කෙරෙන බවත් ප්‍රකාශ කළාය.

සුභාෂීණී සේනානායක


වංචනික ලෙස දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් උසස්‌ පෙළ ලිව්වොත් ප්‍රතිඵල තහනම්

වංචනික ලෙස දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින පිට පළාත් සිසුන්ගේ ප්‍රතිඵල නිකුත් නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.

එසේම පිට පළාත් සිසුන්ට උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එස්‌. ඡේ. පුෂ්පකුමාර මහතා අවධාරණය කළා.

පසුගිය වසරේ පැවැති උසස්‌ පෙළ විභාගයේදී ද දුෂ්කර දිස්‌ත්‍රික්‌කවලින් විභාගයට පෙනී සිටි සිසුන් 69 දෙනෙකු හසු වූ අතර ඔවුන්ට විභාගයට පෙනී සිටීමට පහසුකම් සැලසූ විදුහල්පතිවරුන් සිව් දෙනකුගේ ද වැඩ තහනම් කරනු ලැබුවා.

එලෙස වැඩ තහනම් කළේ නුවරඑළිය ශාන්ත ක්‍ෂේවියර්, පුත්තලම අල් හිලා, කහටගස්‌දිගිලිය මුස්‌ලිම් මහා විදුහල සහ අනුරාධපුර සහිරා යන පාසල්වල විදුහල්පතිවරුන්ගේ වන අතර එලෙස වංචනිකව විභාගයට පෙනී සිටින සිසුන්ගේ නාම ලේඛනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යෑවීමට ද විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිඛෙනවා.

අගෝස්‌තු මස 8 වැනිදා උසස්‌ පෙළ විභාගය ආරම්භ කෙරෙන අතර වංචනිකව විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් දන්වන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.


කසළ බැහැර කිරීම පාඨලීගේ වගකීමක් නෙවෙයිලු

කැළි කසළ විධිමත්ව බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීකරණයේ වගකීම මහානගර හා බස්නාහිර සංවර්ධන. අමාත්‍යාංශයට හෝ එහි විෂය බාර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට නොමැති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් පසුව එහි ගොඩ ගැසී ඇති කසළ ප්‍රතිචක්‍රීකරණය හෝ ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම අමාත්‍යාංශයට පවරා ඇති බවත්, එය මේ වනවිට සාර්ථකව සිදුකරමින් පවතින බවත් එම නිවේදනයේ දක්වා තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ඉඩම්වලට අනුමැතියකින් තොරව කසළ බැහැර කරන බවත්, එලෙස හඳුනාගත් පාර්ශ්වයන්ට නීතිය මගින් කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම බස්නාහිර පළාතේ කසළ බැහැර කිරීම හා විධිමත්ව ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වගකීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට පවරා ඇති බවද මාධ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  (2) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ලකුණු 155 කට දැවී ගිය අතර ඕවර 30.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 158 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

 ශ්‍රී ලංකාව වෙනුවෙන්  එක්දින වරම් හිමිකරගත් වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් සිය මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවාගත් ලෝකයේ තුන්වැනි ක්‍රීඩකයා බවට පත්විය.

පොලිසියට ඇති සුවිශේෂී බලය ගැන මතක් කරයි

වෘත්තියමය සංවිධානයක් ලෙස ඉදිරියට යාමට නම් සියලු පොලිස් නිළධාරීන් නිවැරදිව නීතිය ඉගෙනගත යුතු බව. පොලිස් විනය හා කල් ක‍්‍රියාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඇතැම් පොලිස් නිළධාරින්ට විවිධ අවස්ථාවන්වලදී චෝදනා එල්ලවන බවයි.

මහනුවර පැවති උත්සවයකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළා.

අධිකරණ්යේ නඩු මෙහෙයවීම සම්බන්ධයෙන් පොලිසියට හිමිව ඇති බලය සුවිශේෂි එකක් බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී වැඩි දුරටත් කියා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ ලෝකයේ බොහෝ රටවල් ගැන සළකා බැලීමේදී නඩු මෙහෙයවීමේ බලතල පොලිසියට ලැබී නොමැති බවයි. එහෙත් නඩු මෙහෙයවීමේ බලතල හිමි පොලිස් සංවිධාන අතරින් ශ්‍රී ලංකා පොලිසිය සුවිශේෂී බවද සඳහන් කළා. ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ ව්‍යවස්ථාදායක තබා ඇති විශ්වාසය නිසා එම අවස්ථාව ශ්‍රී ලංකා පොලිසියට හිමි වී ඇති බවද සඳහන් කළා. කෙසේවෙතත් නීතිය ක්‍රියාත්මක කර අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනියනවා සේම සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බවද පෙන්වා දුන්නා.

උමාඔය ප්‍රශ්නයට ස්‍ථිර විසඳුම් ඉල්ලති

උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුව ඇති විපත සම්බන්ධයෙන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී තමන්ගේ ප්‍රශ්නවලට. ලැබුණේ ක්ෂනික පිළිතුරු බවත් තම ජනතාවට අවශ්‍ය සෘජු පිළිතුරු බවත් උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“කැබිනට් අනු කමිටුව බණ්ඩාරවෙලට එනවා. තෑගි බෝග එපා. අත් දෙක වන වන එන්නත් එපා. නිකන් එන්නත් එපා. පිළිතුරු අරන් එන්න. අනුකමිටුව ගැන අපට විශ්වාසයක් නැහැ….මීට පෙරත් ඔය කමිටු තිබුණා.අපි එදා ලිපි දුන්නා. ආවද නැහැ.පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර තීරණ ගන්නේ.ඒ නිසා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි.එසේ නොවුණහොත් අපි රටේම ජනතාව එකතුකරගෙන මහා සටනක් කරනවා.“ යයි බදුල්ලේ දී (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමන්ත විද්‍යාරත්න මහතා කීවේය.

“පසුගියදා ජනපතිවරයා එක්ක පැය 1යි විනාඩි 50ක සාකච්ඡාවක් තිබුණා.ඉන් අපට පැය එක හමාරක්ම කතා කරන්න දුන්නා. ජනපතිවරයා නිශ්ශබ්දව ඇහුම්කන් දුන්නා. එතුමා කිව්වා මමත් ඉන්නේ ඔය පැත්තේ කියලා. එහෙනම් මේ පැත්තේ ඇවිත් යන්න කියලා අපි කිව්වා“

“උමා ඔය නිසා ජනතාව අනාථ වෙලා. රජය මේ ජනතාව අනාථ කළා. ආණ්ඩුව වගකියන්න ඕන. නොර්වේ තාක්ෂණික නිලධාරීන් අගෝස්තු 01 වැනි දා එනවා කිව්වා .හැමදේම අපි ඇන ඇන කියන්න ඕනෑ.තාක්ෂණය ගේන්න කියලා. මධ්‍යම කඳුකරයේ මළගම වළලන්න කළින් එන්න. නාය ගියාට පසුව හාල් පොල් අරන් කැමරා අරන් මළ ගෙදරට ඇවිත් මාධ්‍ය සංදර්ශන තියන්න එන්න එපා.“

“තව කිලෝමීටර් පහක් උමග හාරන්න ඕන. ඒක බරපතල තත්ත්වයක්. අපි ජනපතිතුමාට වැඳලා කිව්වා ඒ කිලෝමීටර් පහ යන්න එපා කියලා. ආයේ අපිට කියන්න දෙයක් නෑ. තුන්වෙනි පාරට අපි කියන්න යන්නෙත් නැහැ.“ යයිද සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.