03 July 2017

ගැබ්ගෙල පිළිකාවට එන්නත් අද සිට සියලු පාසල්වල

අනාගතයේ ඇති විය හැකි ගැබ්ගෙල පිළිකා වැළැක්වීමට ලබා දෙන හියුමන් පැපිලෝමා වයිරස එන්නත දිවයිනේ සියලු පාසල් වල ඉගැනුම ලබන ගැහැනු දරුවන්ට එන්නත් කිරීම අද (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

පාසල් වල 6 ශ්‍රේණියේ සිට ඉහළට ඉගෙනුම ලබන සියලු ගැහැනු දරුවන්ට මෙම එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයෙන් ක‍්‍රියාත්මක කරන ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන අද සිට කෑගල්ල, ගම්පහ, කිලිනොච්චි යන දිස්ත‍්‍රික්කවලින් ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය ප්‍රකාශ කළ අතර දිස්ත‍්‍රික්ක තුනකින් ඇරැඹෙන මෙම ව්‍යාපෘතිය දිවයිනපුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවද කීවාය.

වයස අවුරුදු 9 ත් 13 ත් අතර ගැහැනු දරුවන්ට මෙම එන්නත ලබාදිය යුතු අතර මාත‍්‍රා දෙකක් වශයෙන් එන්නත ලබා දිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එක් එන්නතක් ලබාදී මාස 6 කට පසුව අනෙක් එන්නත ලබාදීම සිදුකෙරේ. හියුමන් පැපිලෝමා වයිරසය ආසාදනය වීමට පෙර මෙම එන්නත ලබාදිය යුතු බව කී වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය එය සම මත සහ ශ්ලේෂ්මල පටල මත පැවැතිය හැකි වයිරසයක් බවත් එමගින් ගැබ්ගෙලෙහි සෛලවල වෙනස්කම් ඇති කර පිළිකාවක් බවට පත්කෙරෙන බවත් ප්‍රකාශ කළාය.

සුභාෂීණී සේනානායක


No comments:

Post a Comment