03 July 2017

උමාඔය ප්‍රශ්නයට ස්‍ථිර විසඳුම් ඉල්ලති

උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුව ඇති විපත සම්බන්ධයෙන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී තමන්ගේ ප්‍රශ්නවලට. ලැබුණේ ක්ෂනික පිළිතුරු බවත් තම ජනතාවට අවශ්‍ය සෘජු පිළිතුරු බවත් උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“කැබිනට් අනු කමිටුව බණ්ඩාරවෙලට එනවා. තෑගි බෝග එපා. අත් දෙක වන වන එන්නත් එපා. නිකන් එන්නත් එපා. පිළිතුරු අරන් එන්න. අනුකමිටුව ගැන අපට විශ්වාසයක් නැහැ….මීට පෙරත් ඔය කමිටු තිබුණා.අපි එදා ලිපි දුන්නා. ආවද නැහැ.පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර තීරණ ගන්නේ.ඒ නිසා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි.එසේ නොවුණහොත් අපි රටේම ජනතාව එකතුකරගෙන මහා සටනක් කරනවා.“ යයි බදුල්ලේ දී (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමන්ත විද්‍යාරත්න මහතා කීවේය.

“පසුගියදා ජනපතිවරයා එක්ක පැය 1යි විනාඩි 50ක සාකච්ඡාවක් තිබුණා.ඉන් අපට පැය එක හමාරක්ම කතා කරන්න දුන්නා. ජනපතිවරයා නිශ්ශබ්දව ඇහුම්කන් දුන්නා. එතුමා කිව්වා මමත් ඉන්නේ ඔය පැත්තේ කියලා. එහෙනම් මේ පැත්තේ ඇවිත් යන්න කියලා අපි කිව්වා“

“උමා ඔය නිසා ජනතාව අනාථ වෙලා. රජය මේ ජනතාව අනාථ කළා. ආණ්ඩුව වගකියන්න ඕන. නොර්වේ තාක්ෂණික නිලධාරීන් අගෝස්තු 01 වැනි දා එනවා කිව්වා .හැමදේම අපි ඇන ඇන කියන්න ඕනෑ.තාක්ෂණය ගේන්න කියලා. මධ්‍යම කඳුකරයේ මළගම වළලන්න කළින් එන්න. නාය ගියාට පසුව හාල් පොල් අරන් කැමරා අරන් මළ ගෙදරට ඇවිත් මාධ්‍ය සංදර්ශන තියන්න එන්න එපා.“

“තව කිලෝමීටර් පහක් උමග හාරන්න ඕන. ඒක බරපතල තත්ත්වයක්. අපි ජනපතිතුමාට වැඳලා කිව්වා ඒ කිලෝමීටර් පහ යන්න එපා කියලා. ආයේ අපිට කියන්න දෙයක් නෑ. තුන්වෙනි පාරට අපි කියන්න යන්නෙත් නැහැ.“ යයිද සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

No comments:

Post a Comment