02 July 2017

රුසියානු කවි උල්පත පුෂ්කින්

රුසියානුවන්ගෙන් ඔබ කැමැතිම පලතුර කුමක්දැයි ඇසූ විට වැඩි දෙනෙකුගේ පිළිතුර ඇපල් ය. එමෙන් ම ඔබ කැමැතිම කවියා කවුරුන් දැයි ඇසුවහොත් ඔවුන් වැඩි දෙනාගේ පිළිතුර ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ය. රුසියාවේ ජාතික කවියා ලෙස මෙන්ම නූතන රුසියානු සාහිත්‍යයේ පීතෘවරයා ලෙස ගෞරවයට පාත්‍රවන්නේ ද ඇලෙක්සැන්ඩර් සර්ජිවිඩ් පුෂ්කින් ය. ඔහුගේ කළු ජාතික සම්භවය හේතුවෙන් නූතන රුසියානු සාහිතයයේ කළු පීතෘවරයා ලෙස ද ඔහු හැඳින්වේ. ඉතියෝපියාවේ ද ඔහුගේ අලංකාර මූර්තියක් තිබේ. එහි සඳහන් වන්නේ ‘අපේ කවියා’ වශයෙනි. පුෂ්කින්ගේ මුත්තා වන ඒබ්‍රම් පෙට්‍රොවිඩ් ගැනිබාල් අප්‍රිකානු වහලෙකි. රුසියාවේ මහා පීටර් රජුට ත්‍යාගයක් වශයෙන් එවනු ලැබූ මිනිසෙකි. පසුකලෙක මහා පීටර් රජු යටතේ ජෙනරාල් වරයකු ලෙස ද පත්වන ගැනිබාල් වංශවතකු මෙන් බුහුමන් ලැබී ය. අද එරිතියාව යනුවෙන් හැඳින්වෙන අප්‍රිකානු රාජ්‍යයේ ලොගොන් නම් ගම්මානයේ ඔහු උපත ලැබූවකු බව එක් මතයකි. වඩාත් පිළිගත හැකි අනෙක් මතය වන්නේ ඔහු අද කැමරුන් යනුවෙන් හැඳින්වෙන රාජ්‍යයේ ලොගොන් - බිර්නි ප්‍රදේශයේදී උපත ලැබූවකු බව ය. පුෂ්කින් සිය අප්‍රිකානු සම්භවය ගැන ආඩම්බර වූවාක් මෙන් ම Peter the Great’s Negro මැයෙන් මුත්තුණුවන් පිළිබඳ පොතක් ද ලියා තිබේ. මුත්තනුවන් මෙන් ම පුෂ්කින් ද වංශවතෙකි.

පුෂ්කින් වහා කුපිත වන ස්වභාවයේ මිනිසෙකි. එමෙන් ම නියම සෙල්ලක්කාරයෙකි. ඔහු සිය ආදර්ශ පාඨය කොටගත් බව පෙනෙන ඔහුගේ ම කියමනක් තිබිණි.‍ Live by the pen, die by the sword නම් එම කියමනටම ගැළපෙන අන්දමේ ජීවිතයක් මෙන් ම මරණයක්ද ඔහුට උරුම විය. තාරුණ්‍යයේදීම ඔහු ජීවිතයෙන් සමුගත්තේ ද ද්වන්ද සටනකිනි. පුෂ්කින් තුළ ද්වන්ද සටන් සඳහා පැවැතියේ සිතාගත නොහැකි අන්දමේ නැඹුරුවකි. ස්වකීය ගරුත්වය ඉහළින් සැලකූ ඔහු නිතර නිතර ද්වන්ද සටන්වලට පැටලිණි. සිය කෙටි ජීවිත කාලය තුළ අවස්ථා 29 කදීම ඔහු ද්වන්ද සටන් සඳහා අභියෝග කර තිබේ. වාසනාවකට ඉන් බොහොමයක් මිතුරන්ගේ මැදිහත්වීමෙන් වළක්වා ගැනීමට හැකි විය. ඔහු ද්වන්ද සටනක් සඳහා පළමු අභියෝගය කර ඇත්තේ පාසල් සමයේදී ය. දොළොස් හැවිරිදි විය තෙක් නිවසේ දීම පෞද්ගලික ගුරුවරුන් ගෙන් අධ්‍යාපනය ලැබූ පුෂ්කින් අනතුරුව අලුතෙන් ඇරැඹ‍ූ ‘ලයිසියම් පාසලට’ අලුතෙන් කෙරිණි. එහිදී ද ඔහු දීප්තිමත් ශිෂ්‍යයකු නොවී ය. එහෙත් කවි ලිවීමෙහි දක්ෂයකු විය. පුෂ්කින්ගේ පළමු කවිය ප්‍රකාශයට පත් වූයේ ඔහු 15 හැවිරිදි ශිෂ්‍යයකුව සිටියදී ය. ඉන් පළවූ කවීත්වය කරාම්සින් බතියුජකොව් වැනි ප්‍රවීණයන්ගේ නොමඳ අගැයීමට ලක්විණි.

අධ්‍යාපනය හමාර කළ පුෂ්කින් වෘත්තීය ජීවිතය අරඹන්නේ සිවිල් සේවකයකු වශයෙනි. රජයේ සේවකයකු ලෙස ඔහු තමන් වෙත පැවරුණ කාර්යයන් පැහැර හැරිය ද වැටුප් ගෙවන දිනයේ නොවැරදීම කාර්යාලයේ දැකිය හැකි විය. රුසියානු දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු බව විශ්වාස කළ ඔහු The Green Lamp නම් සංගමයේ ක්‍රියාකාරියකු ද වූයේ ය‍. මේ වකවානුවේ ඔහු අතින් දේශපාලනික තේමාවන් ගෙන් යුතු කවි රචනා විය.‍ එය ආණ්ඩුවේ උදහසට කාරණයක් වූ අතර කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදෙන්නකු ලෙස සලකා ඔහු අත්අඩංගුවට ද ගැනිණි. ඉන්පසු දකුණු රුසියාවට පිටුවහල් කළේ ය.

පුෂ්කින්, බයිරන්ගේ කවීත්වයට වශීවූයේ එහිදී ය. බයිරන්ගේ ආභාසය ඔහු අතින් රොමාන්තික නිර්මාණ බිහිවීමට ද හේතු විය. 1824 දී පිටුවහල් ජීවිතය අවසන් වූව ද නැවතත් 1826 දක්වා පිටුවහල් කිරීමට ලක්විය. ඉන් සඳහන් වූයේ අධිරාජ්‍යයාගේ සමාවක් මත ය.

වර්ෂ 1830 දී, එවක රුසියාවේ විසූ රූමත්ම කාන්තාව ලෙස ප්‍රකට වූ නතාලියා ගොන්ඩරේවා විවාහ කරගැනීමට පුෂ්කින් වාසනාවන්ත විය. ඔවුන් මධුසමය ගත කළ අවදිය රුසියාවේ පිටිසර ප්‍රදේශවල කොලරා වසංගතය පැතිරුණු කාලයයි. පුෂ්කින් යුවළ ද නිරෝධායනයට ලක්වූ අතර පුෂ්කින් සිය පළමු ප්‍රසිද්ධ ගද්‍ය නිර්මාණය වන The tales of Belkin රචනා කළේ ඒ වකවානුවේදී ය.

පුෂ්කින් මිථ්‍යා විශ්වාස ගැන ද යම් පිළිගැනීමක් තිබූ අයෙකි. ඊට බලපෑ ‍හේතූන් ද ඔහුට තිබූ බව සිතිය හැකි ය. පුෂ්කින්ට සමීප සම්බන්ධයක් තිබූ ‘දෙසැම්බර්වාදී’ ව්‍යාපාරයේ නායකයන් 1825 දෙසැම්බරයේදී අල්ලා ගන්නා ලද අතර මරා දමනු ලැබීය. එවර පුෂ්කින් ගැලවුණේ අනූනවයෙනි. විප්ලවවාදීන්ගේ හමුවක් ශාන්ත පීටස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිතව තිබිණි. පුෂ්කින් ද ඊට සහභාගිවීමට පිටත් විය. අතරමඟදී සාවකු මාර්ගය හරහා පැන දිව්වේ ය. රුසියානුවන් එය අසුබ ලකුණක් ලෙස සැලකූහ. ඊළඟට ඔහුට හමුවුණේ පූජකයෙකි. එය ද අසුබ ලෙස සැලකිණි. තවත් දුරක් යනවිට ඔහු සමඟ ගමන් ගත් සේවකයා උණ රෝගය උත්සන්න වී මහමඟ ඇද වැටිණි. එවර ඔහු ආපසු හැරිණි. එදින රාත්‍රියේ පුෂ්කින් සිහිනයෙන් දුටුවේ ඔහුගේ දත් 5 ක් හැලී ඇති අයුරු ය. පසුදින ඔහුට දැන ගැනීමට ලැබුණේ විප්ලවවාදී නායකයන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන එල්ලා මරා දමනු ලැබූ බව ය.

වර්ෂ 1830 ගණන්වල මුල් අවදියේදී පුෂ්කින්ගේ සාහිත්‍ය නිර්මාණ විශාල ලෙස අවධානයට ලක්විය. මේ අවදියේ ඔහුට නිකොලායි ගොගොල් ද හමුවිණි. ඒ ගොගොල්ගේ නිර්මාණ ජීවිතයේ ආරම්භක සමයයි. ගොගොල්ගේ ‘යුක්රේනියානු කතා’ එළිදැක්වීමට පුෂ්කින්ගේ උපකාරය ද ලැබිණි. ගොගොල්ගේ විශිෂ්ට කෙටිකතා ගණනාවක් පළමුව පළවූයේ ද පුෂ්කින් සංස්කරණය කළ The Contemporary සඟරාවේය.

ඔහු විසින් අනුරාගී අත්දැකීම් හෝ කාරණා ඇතුළත් පෞද්ගලික සටහන් එකතුවක් ද පවත්වා ගෙන ගොස් තිබේ. The Secret Journal (1836 – 37) ඒ ඔස්සේ ලියැවී ඇති බව පිළිගැනීම ය.

පුෂ්කින් තියුණු මතක ශක්තියක් තිබූ අයකු ද වේ. සිව් හැවිරිදි වියේ පටන් සිය ජීවන තතු ඔහුට මතක තිබිණි. ඒ ඇතැම් සිද්ධීන් ඔහු වරින්වර සිහිපත් කළේ ය.

වර්ෂ 1912 - 1914 වකවානුවේ ප්‍රකාශයට පත්වූ පුෂ්කින් ගේ නාට්‍ය එකතුව අද වනවිට සොයා ගැනීමට අපහසු ය. එහි පෙරවදන ලියා ඇත්තේ ව්ලදිමීර් ලෙනින් විසිනි. ප්‍රකාශකයා ලෙස සඳහන් වන්නේ Sytin නම් ආරූඪ නාමයයි. (ඔහුගේ දියණිය හෙලන් ය) රුසියානු සාහිත්‍යයේ වඩාත් අධ්‍යාපනයන්ට හා පර්යේෂණයන්ට ලක්ව ඇත්තේ පුෂ්කින්ගේ නිර්මාණය.

මිහයිල් ලෙර්මන්තොව් සහ පුෂ්කින් යන දෙදෙනාම 1830 ගණන්වලදී ශාන්ත පීටස්බර්ග් නුවර ජීවත් විය. ඔවුන් හමුවී ඇති බවට සාධක තිබේ. එහෙත් වැඩිදුර විස්තර හෙළිදරවු වී නැත.

ද්වන්ද සටන්වලට දැඩි නැඹුරුතාවක් තිබූ මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේ ජීවිතය අවසන් වූයේ ද ද්වන්ද සටනකිනි. එය මඟ හැරවීමට ඔහුගේ සමීපතමයෝ අසමත් වූහ. සටනට හේතුව ඔහුගේ රූමත් බිරිඳ පොලඹවා ගැනීමට ජෝර්ජ් චාල්ස් ඩී ඇන්තස් නම් හමුදා නිලධාරියා ප්‍රයත්න දැරූ බවට මතු වූ සැකයයි. පුෂ්කින් සටනට පෙලඹුණේ තම ගරුත්වය රැකගැනීමට මෙන් ම සිය බිරිය නිසා ය. ඒ ඇන්තස් විවාහ වී සිටියේ ද ගොන්ඩරෝවාගේ සොයුරිය සමඟය. ඇය ද රූමත් ය. කෙසේ වුව ද ඔහු ගොන්ඩරෝවා සමඟ සම්බන්ධයක් ගොඩනඟාගෙන ඇතැයි පැතිරෙන්නට විය. පුෂ්කින් සටනට අභියෝග කළේ ය. පළමුව එය වළක්වා ගැනීමට හැකි විය. දෙවන වර නොහැකි විය. සටන ඇති විය. ද්වන්ද සටනකදී දෙදෙනා අතර පියවර 25 – 30 පරතරයක් තිබිය යුතු බවට පිළිගැනුණ ද මේ සටන සිදුවුණේ පියවර 10 ක පරතරයක් ඇතිවය. ඇන්තස් ඉක්මන් විය. පුෂ්කින් ගේ උදර ප්‍රදේශයට දරුණු ලෙස තුවාල සිදුවූ අතර දෙදිනකට පසු ඔහු අවසන් හුස්ම හෙළුවේ කිසිවකු ගැන හෝ වෛරයක් නැති අයකු විලසිනි. ඔහුගේ වර්ජනය අධිරාජයා විසින් සිතා මතා සැලසුම් කළ එකක් බවට ද සැකයක් පවතී. පුෂ්කින් සටනට ඇද ගැනීමට ඔවුන් බිරිය පිළිබඳ ප්‍රවාදයක් නිර්මාණය කළා ද විය හැකි ය. කෙසේ වුව ද පුෂ්කින්ගේ අභාවයෙන් පසු නිකොලස් සාර් රජු ඔහුගේ පවුලට සහන සැලසූ අතර ඇන්තස් ගේ හමුදා නිලය අහිමි කර ඔහු රුසියාවෙන් පිටුවහල් කළේ ය.

පුෂ්කින්ගේ දියණිය මරියා ගාර්ටුගේ ද අතිශය රූමත් යුවතියක ව‍ූවාය. ඇය ඉතා ඥානවන්ත මෙන් ම රූමත් යුවතියක වූ බව ලියෝ තෝල්ස්තෝයි ද පවසා තිබේ. තෝල්ස්තෝයිගේ ‘ඇනා කැරනිනා’ චරිතයට පසුබිම් වූයේ පුෂ්කින් ගේ දියණිය මරියා බව සැලකේ.


| ධම්මික සෙනෙවිරත්න


No comments:

Post a Comment