01 July 2017

බාලදක්‌ෂයෝ 50,000 ක්‌ අද සිට ගෙන් ගෙට

ශ්‍රී ලංකා බාලදක්‌ෂ මූලස්‌ථානය සංවිධානය කරන බාලදක්‌ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය අද (1 දා) සිට 09 වැනිදා දක්‌වා ක්‍රියාත්මකය. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින බාලදක්‌ෂයෝ පනස්‌ දහසකට අධික පිරිසක්‌ මීට එක්‌වෙති.

බාල දක්‌ෂයන්ට ඕනෑම මොහොතකදී ඕනෑම වැඩක්‌ කාර්යක්‌ෂමව ඉටු කළ හැකිවන බව පෙන්නුම් කෙරෙන මෙම වැඩසටහන ප්‍රධාන බාලදක්‌ෂ කොමසාරිස්‌ මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත සංවිධාන කෙරේ.

බාලදක්‌ෂ සංගමය නිකුත් කරන “සේවා සති සම්බන්ධතා කාඩ්පත” පමණක්‌ රැගෙන නිවෙස්‌ කරා එන බාලදක්‌ෂයන්ට යම්කිසි වැඩක්‌ පවරා ලබාදෙන ආධාර මුදල් කාඩ්පතේ සටහන් කරන ලෙස බාලදක්‌ෂ මූලස්‌ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

බාලදක්‌ෂ ව්‍යාපෘති වෙනුවෙන් මෙම මුදල් යෙදවීමට නියමිතය. මෙයට සමගාමීව ඩෙංගු මර්දනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටද බාලදක්‌ෂයන් කටයුතු කරන බව බාලදක්‌ෂ මූලස්‌ථානය කියයි.

උමා ඔය විනාශයෙන් ණයට මඟුල් කෑ රාජපක්ෂලාට අත සෝදා ගත හැකි ද?

1818 දී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ව ගෙදර යැවීමට වීදී බට ඌව වෙල්ලස්සේ ජනතාව ඉන් වසර දෙසීයක් ගත වුණු තැන යළි වීදි බටහ. ඌව වෙල්ලස්සෙ නූතන උරුමක්කාරයන් පසුගිය 28 වැනි බදාදා බණ්ඩාරවෙල නගර මධ්‍යයේ දැවැන්ත හර්තාලයක් පවත්වමින් පාරට බැස්සේ රැකියා, වැඩි වැටුප් ඉල්ලමින් එසේ නැතිනම් තවත් පිරිසකගේ අවස්ථාවන් කැප කරන ලෙස ඉල්ලමින් නොවේ. ඒ, තම පානීය ජල ළිං, ජල උල්පත් සිඳලන, කුඹුරු ඉඩම් හා සාරවත් වගා භූමි කාන්තාර බවට පත්කරන ගේදොර වතුපිටි විනාශ කරමින් ජනජීවිත අඩාළ කරන අසාර්ථක උමාඔය ව්‍යාපෘතියට එරෙහිවය. සැබැවින්ම එම හර්තාලය දේශපාලනික අවශ්‍යතා පෙරදැරිව සිදු වූවකට වඩා පෞද්ගලික බලමුළු ගැන්වීම් තුළ සිදු වූ දෙයක් විය. කෙටියෙන් පැවසුවහොත් දැන් නාසය අසලටම වතුර පිරී තිබේ. උමා ඔය ව්‍යාපෘතිය එදා උත්කර්ෂයට නැංවූ තක්කඩි දේශපාලනඥයන් හා ඔවුන්ගේ අන්තේවාසිකයන් බඳු වූ මාධ්‍යවේදීන් මේ ව්‍යාපෘතිය හැඳින්වූයේ සමකාලීන ඉතිහාසය තුළ මෙරට සිදුකරන විශාලතම ව්‍යාපෘතිය වශයෙනි. එහෙත් සංවර්ධනය යනු, එක් කොටසක් අන්ත අසරණ තත්ත්වයට පත්කර පීඩාවට පත් කිරීම නොවේ.

මේ වන විට, මකුළු ඇල්ල, හීල් ඔය, වෙහෙරගලතැන්න, එගොඩගම, පල්ලෙපෙරුව, උඩපෙරුව, කුරුඳුගොල්ල, බොරලන්ද ඇතුළත් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව සංවර්ධනයේ නාමයෙන් සිදුවන මේ විනාශයේ ගොදුරක් බවට පත්ව සිටී. මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිවීම විෂයෙහි වගකිව යුත්තේ කවුරුන් ද? ඒ පිළිබඳව කරන සොයා බැලුමකදී සුපැහැදිලිවම පැහැදිලි වන්නේ මේ පවෙන් ගැලවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හා ඔහුගේ පදයට නැටූ මීට සම්බන්ධ වූ ඉහළ රාජ්‍ය නිලධාරීන්ට කිසිදු ඉඩකඩක් නැති බවය.

ඈත ගම්බද ප්‍රදේශවල තවමත් සිදු කරන “ණයට මඟුල් කෑම” වැනි කිසිදු අර්ථයක් නොමැති දෑ සිදු කරමින් බිලියන ගණන් ණය ගිනි පොලියට ගනිමින් ඊනියා සංවර්ධන ව්‍යාපෘති රාජපක්ෂලා ක්‍රියාත්මක කළේ තම පෞද්ගලික දේශපාලන ප්‍රතිරූප ප්‍රවර්ධනයට විනා සැබැවින්ම ඒවායින් ජනතාවට සහන සැලසීමට නොවේ. තම දේශපාලන බලකොටුව වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවිධිමත් ආකාරයෙන් සිදු කළ වැඩකට නැති සංවර්ධන ව්‍යාපෘති සඳහා ජලය ලබා ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තිබුණේ පුදුමාකාර හදිසියකි. එය අදහාගත නොහැකි මට්ටමක විය. සම්මත විධිවිධාන, නීතිරිති තම සිතැඟියාව මුඳුන් පමුණුවා ගැනීම වෙනුවෙන් හෙතෙම වුවමනාවෙන්ම අමතක කළේය. නොසලකා හැරියේය. ඒවාට සමච්චල් කළේය. මහින්ද කියූ ඕනෑම දෙයක් දේව භාෂිතයක් ලෙස භාරගත් දූෂිත තක්කඩි නිලධාරීහුද හිටපු ජනාධිපතිවරයාගේ තාලයට පාද සෙලවීම සිදු කළේය. මධ්‍යම පරිසර අධිකාරිය, අතිශය දුර්වල හා සම්පූර්ණ නොකරන ලද මේ පිළිබඳ පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාවකට එදා අනුමැතිය ලබා දුන්නේ ජාතික පාරිසරික පනතේ විධිවිධාන අමු අමුවේ උල්ලංඝනය කරමිනි. රාජපක්ෂවරුන්ගේ බලපෑම් හමුවේ එසේ කිරීම හැර වෙනත් විකල්පයක් එම නිලධාරීන්ට එදා නොවීය. කෙසේ වෙතත් දැන හෝ නොදැන නියමින් හෝ අනියමින් ඔවුහු මේ විනාශයේ කොටස්කරුවන්ව සිටිති. අද බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු ඌවේ ජනතාව වන්දි ගෙවමින් සිටිනුයේ හිටපු ජනාධිපති රාජපක්ෂ හා ඉහත කී දූෂිත නිලධාරීන් අනුගමනය කළ වැරැදි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය.

ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගලින් ඇරැඹෙන උමා ඔයේ ජල ද්‍රෝණිය වර්ග කිලෝමීටර් 720ක් පමණ වන අතර ඉන් 65%ක් ඌව පළාතට වන අතර 35%ක් මධ්‍යම පළාතටත් අයත් වේ. මේ අතර යෝජිත ව්‍යාපෘතියට ඉහළින් උමා ඔයේ ජල පෝෂක ප්‍රදේශය කිලෝමීටර් 350ක් පමණ වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ වසරකට ජලය කියුබික් මීටර් මිලියන 145ක් කිරිඳිඔයට හරවා යැවීමට සැලසුම් සකස් කරන ලදී. උමා ඔයේ ජලය දකුණට ගෙන යෑම වෙනුවෙන් සැලසුම් සකස් වීමේ ඉතිහාසය වසර ගණනාවක අතීතයට දිව යන්නකි. උමා ඔයේ අතිරික්ත ජලය ලුණුගම්වෙහෙර ජලාශය වෙත ගෙන යෑම පළමු සැලසුම සකස් වූයේ මීට වසර 26කට ඉහත 1991 වසරේදීය. මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය විසින් ඊට අදාළ ව්‍යාපෘති සැලසුම් සකස් කර මූල්‍ය ප්‍රතිපාදන අපේක්ෂාවෙන් එය ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉදිරිපත් කළමුත් එම ව්‍යාපෘති වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් කටයුතු කළේය. සාමාන්‍යයෙන් ආසියානු සංවර්ධන බැංකුව කිසියම් ව්‍යාපෘතියක් සඳහා ණය ආධාර ලබා දීමේදී සාමාන්‍ය ජන ජීවිතයේදී සිදුවන්නා වූ හානි හා ඒවා වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය බලවත් අවධානය යොමු කරනු ලබයි. එසේ සිදු කරන ලද ඇගැයීමේදී ඔවුනට පෙනී ගියේ මේ ව්‍යාපෘතිය බරපතළ ගැටලු රැසක් නිර්මාණය කරන්නක් බවය. විශේෂයෙන්ම ජල ද්‍රෝණි දෙකක් අතර ජලය රැගෙන යෑමෙන් නිදහස් ජල අයිතිය උල්ලංඝනය වීමකට අමතරව ව්‍යාපෘතිය පවත්වාගෙන යාම තුළ මතු වන්නා වූ තාක්ෂණික දෝෂ පිළිබඳ තක්සේරුවක් ද ඔවුනට විය.

තම බල දේශපාලනික අවශ්‍යතාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂලා යළි කරළියට ගන්නේ එබඳු විසි කරන ලද ව්‍යාපෘතියක්ය. 2005 වසරේදී කැනඩාවේ “ඩබ්ලින්” නම් උපදේශන සමාගම ලවා මේ පිළිබඳ වාර්තාවක් සකස් කළ අතර ඒ අනුව මෙහි සමස්ත වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 155ක මුදලක් විය. එහෙත් අරමුදල් ඌනතාව හා තමනට ලැබෙන ‘කොටස’ කුඩා වීම තුළ මේ ව්‍යාපෘතිය දිගින් දිගටම කල් ගියේය. ඉරානය මේ ව්‍යාපෘතියට තම සිතැඟියාවන් පළ කළේ එවැනි වටපිටාවකය. පළමුව ඇමෙරිකන් ඩොලර් මිලියන 250කට ඇස්තමේන්තු කළ ව්‍යාපෘතිය අවසානයේ ඉරානයේ ‘ෆරාබ්’ සමාගමට භාර දුන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 514.1ක මුදලකටය.

වාරි කර්මාන්ත, ඉදිකිරීම් සම්බන්ධයෙන් ගත් කල නූතන ඉතිහාසය තුළ ඉරානය ප්‍රධාන ජලාශ ඉදිකිරිම් කර ඇත්තේ 1950න් පසු කාලයේදීය. ඉස්ලාමීය විප්ලවයකට දශක දෙකකට පෙර විශාල ජලාශ 141ක් ඉදි කළ ඉරානය විප්ලවයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සුවිශේෂ වර්ධනයක් පෙන්වා ඇත. මේ වන විට ඉරානය තම තාක්ෂණික හා ඉංජිනේරු සේවා වෙනත් රටවල් කරා ද අපනයනය කරමින් සිටින අතර තජිකිස්තානය, ආමේනියාව, අසර්බයිජානය, කෙන්යාව, බොලිවියාව, මාලි, නිකරගුවා හා ශ්‍රී ලංකාව, සිරියාව හා ඇෆ්ගනිස්තානය ආදි රටවල් කරා ද ඔවුන් මේ සම්බන්ධව ආයෝජන කටයුතු සිදු කරමින් සිටිති. ඉරානය වෙනුවෙන් එරට අපනයන සංවර්ධන බැංකුව වසර 20කින් ගෙවා දැමීම සඳහා මේ ව්‍යාපෘතියට ණය ලබා දුන් අතර ඒ ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු තාක්ෂණික ඇගැයීමකින් තොරවය. ඉරානය මේ කටයුත්තට සම්බන්ධ කර ගැනීමේදී ඕනෑම හානිකර ව්‍යාපෘතියකට ණය ලබාගැනීමේ පහසුව හා විශාල කොමිස් මුදල් ප්‍රමාණයක් අපහසුවකින් තොරව අත්පත් කරගැනීමේ කාරණා මූලිකවම වැඩ කළේය. 2008 වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණි ඉරාන ජනපතිවරයාගේ සංචාරයට සමගාමීව මේ ව්‍යාපෘතිය ඇරැඹීමට සූදානම් වූ අතර, එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට මෙරට වෙනුවෙන් ගිවිසුමට අත්සන් කිරීමේ බලය පවරන ලදී. මෑත කාලයේ මෙරට සිටි දක්ෂතම වාරි ඉංජිනේරුවකු වූ ගුණවර්ධන මහතා 1979 වසරේදී පරාක්‍රම සමුද්‍රයේ බිඳීමක් ඇති වූ අවස්ථාවේදී එහි ප්‍රතිසංස්කරණවලට දායක වූ විෂය පිළිබද ඉහළතම දැනුමක් තිබූ වාරි ඉංජිනේරුවරයකු විය.

වෘත්තිය දක්ෂතාවලට අමතරව ඔහු දැක්මක් සහිත ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් විය. ව්‍යාපෘති ගිවිසුම අත්සන් කළ යුත්තේ ශක්‍යතා අධ්‍යයනයකින් පසුව බව ගුණවර්ධන මහතාගේ මතය විය. එසේ කියමින් ඊට අත්සන් තැබීම ඔහු ප්‍රතික්ෂේප කළේය. එබැවින් අවසානයේ එම ගිවිසුමට අත්සන් කිරීමට සිදු වූයේ චමල් රාජපක්ෂ මහතාටය. එවකට වාරිමාර්ග ඇමැතිවරයා ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂය. අවංක දූරදර්ශි නිලධාරියකු වූ ගුණවර්ධන පසුව නොනවත්වා එල්ල වූ දේශපාලන බලපෑම් මත 2009 ජනවාරි 09 වැනිදා සිය ධුරයට ආයුබෝවන් කීවේය. තම ඉල්ලා අස්වීමේ ලිපියේ එක් තැනකදී ඔහු “ලංකා රජයට අතිරේක ඩොලර් මිලියන 248ක වියදමක් දැරීමට සිදු වන ගිවිසුමකට අත්සන් යෙදිය නොහැකි බැවින් තමන් ධූරයෙන් ඉවත් වන බව” සඳහන් කර තිබිණි.
එය උමා ඔය මහා ඛේදවාචකයක් වන බව පෙන්වූ පෙරමඟ ලකුණක් බඳු විය.

වැල්ලවාය, අලිකොටආර ප්‍රදේශයේදී 2008 අප්‍රියෙල් 29 වැනි දින මුල් ගල් තබමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇරැඹුණ අතර, ආරම්භක උත්සවය සඳහා පමණක් නිරපරාදේ වැය කළ මුදල රුපියල් ලක්ෂ 260ක් විය. මුල්ගල තැබීම සිදු කළේ කිසිම සැලැස්මක්, ශක්‍යතා අධ්‍යයනයක් හෝ පාරිසරික අනුමැතියකින් තොරව වූ අතර, එය තනිකරම දේශපාලනික සිතැඟියාවන් මත පදනම් වී තිබිණි.

මේ අතර, මුල් ගල තබා මාස තුනක් ගත වෙද්දී උමා ඔය ව්‍යාපෘතියට අදාළ පූර්ව ශක්‍යතා අධ්‍යයන වාර්තාව Mahab Ghodss Consulting Engineering සමාගම විසින් සකස් කළ අතර 2010 වසරේ නොවැම්බර් මාසයේදී මීට අදාළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව සකස් කරන ලදී. වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සකස් කළ එම වාර්තාව සඳහා අනුමැතිය දීමට මත්තෙන් වැඩ කරන දින 30ක කාලයක් ලිඛිත මහජන අදහස් සඳහා විවෘතව තැබීමට ඒ සඳහා බලය ලත් ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කළේය. එහිදී මේ පිළිබඳ ලිඛිත විරෝධතා රැසක් විවිධ සංවිධාන හා පුද්ගලයන් වෙතින් ඉදිරිපත් විය. ඉහළ කොත්මලේ ව්‍යාපෘතියට පසු වැඩිම ජනතා ප්‍රතිචාර හිමිව තිබුණේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූවත් බලධාරීහු ඒවා කුණු කූඩයකට විසි කිරීමට කටයුතු කළ බව පෙනී යන්නේ අතිශය දුර්වල තත්ත්වයක පැවැති පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවකට අනුමැතිය දීම තුළය.

2011 වසරේ අප්‍රේල් 12 වැනි දින රට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට සැරසෙමින් සිටියදී කොන්දේසි සහිත අනුමැතියක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් දෙන ලදමුත් ඒ අනුමැතිය හිමි වීමටත් පෙර මෙහි ඉදිකිරීම් අරඹා තිබීම හාස්‍යජනක කාරණයක් විය.

රටේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් විශ්වවිද්‍යාලයක් මඟින් සකසන ලද එම පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව පවා ඉතා දියාරු එකක් වූ අතර අද සිදු වෙමින් පවතින සියලු ව්‍යසනයන්ට එය ප්‍රබල හේතුවක්ම විය. ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක් තුළ විකල්ප අධ්‍යයනය ප්‍රධාන අංගයක් ලෙස සැලැකෙනමුත් මේ වාර්තාව තුළ සිදු කර තිබුණේ ඊට පෙර උමා ඔයේ ජලය දකුණු කලාපයට හරවා යැවීම පිළිබඳ යෝජනා වූ ව්‍යාපෘති වාර්තා කිහිපයක සඳහන් දත්ත උපයෝගී කරගනිමින් මේ ව්‍යාපෘතිය යුක්ති සහගත කිරීම පමණකි.

පැහැදිලි තාක්ෂණික පාරිසරික සමාජීය ගැටලු රැසක් මේ ව්‍යාපෘතිය සමඟ ගැටගැසී තිබිණි. එක් අතකින්, මහවැලිය යටතේ වාරි ජලය සපයන ප්‍රදේශවලට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන උමා ඔය වෙනත් බහුකාර්ය ව්‍යාපෘතියක අවශ්‍යතාව සඳහා යොදාගැනීම, මහවැලිය යටතේ ප්‍රතිලාභ භුක්ති විඳින ජනතාවට ඍජු බලපෑමක් එල්ල කරන්නක් විය. උමා ඔය ජල ද්‍රෝණි ප්‍රදේශයට මෙන්ම මේ ව්‍යාපෘතිය ඔස්සේ ජලය රැගෙන යෑමට කටයුතු කළ දකුණු කලාපයට ඊසානදිග මෝසම මඟින් වැසි ලැබීම තුළ අපේක්ෂා කළ පරිදි උමා ඔයේ අතිරික්ත ජලය ගබඩා කිරීමට දකුණු කලාපයේ වැව් හා ජලාශවලට තාර්කික හැකියාවක් නැති වීමද, දුර දිග නොබලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවට හොඳ සාක්ෂියක්මය.

ඊට අමතරව භූගෝලීය සාධක, සමාජීය සාධක වනාන්තර හා ජලාශවලට යටත් වන ප්‍රදේශයන්හි කෘෂිකර්ම හා සත්ත්ව පාලන කටයුතු සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමු කර නොතිබිණි. මේ ව්‍යාපෘතිය උස් කඳුකර ප්‍රදේශයක ක්‍රියාත්මක කරද්දී භූගත කැණීම්වලදී සිදු වන කම්පන හේතුවෙන් පසට සිදු වන බලපෑම්, ජල උල්පත් සිඳී යෑම් ඔස්සේ දැනෙන බලපෑමක් අනිවාර්යයෙන් සිදු වනමුත් ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් ‍සිදු කර නොතිබිණි. ඒ නොසලකා හැරීමෙහි ප්‍රතිඵලයන්ට හා අදූරදර්ශී දේශපාලනඥයන්ගේ අමනෝඥ තීරණවලට අද වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ඊට කිසිදු සම්බන්ධයක් නැති අසරණ ජනතාවටය.

අවිධිමත් සංවර්ධනය “සංවර්ධන අනාථයන්” පිරිසක් මේ වන විට බිහි කර ඇත්තේ සමාජ, පාරිසරික, ආර්ථික ගැටලු රැසක් බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ ගම් රැසක නිර්මාණය කරමිනි.

තම සිතැඟියාවන් ආශාවන් ඉටු කරගැනීම වෙනුවෙන් ජනතාව බිල්ලට දීම රාජපක්ෂ ක්‍රමය විය. සයිටම් ගැටලුවේදී, උමා ඔයේදී, රතුපස්වලදී, මත්තලදී මෙන්ම තවත් බොහෝ තැන්වලදී ඔහු සිදු කළේ එයයි. එසේ පවසමින් මේ ව්‍යාපෘතිය මුළුමනින්ම අත්හැරදැමීමේ හැකියාවක් නැත.

ඒ, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සෑහෙන දුරක් මේ වන විට ගමන් කර ඇති බැවිනි. 2017. 06. 15 වන විට මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදල වන ඇමෙරිකන් ඩොලර් මිලියන 514.1න් අමෙරිකානු ඩොලර් මිලියන 382.2ක් ගෙවා තිබූ අතර තවත් ගෙවීමට ඒ වන විට ඉතුරුව පැවැතියේ අමෙරිකානු ඩොලර් මිලියන 131.9ක් එනම් රුපියල් බිලියන 20ක් පමණි.
ඉහත දිනය වන විට මූලස්ථායි වැඩවල ප්‍රගතිය 77%ක මට්ටම් පැවැති අතර පහළ නිම්න සංවර්ධන වැඩවල ප්‍රගතිය 48%ක මට්ටමක විය.

කැණීම් කටයුතු පිළිබඳ අවධානය යොමු කිරීමේදී කිලෝමීටර් 15.4ක් පමණ වන ඩයරබා සිට රන්දෙණිය දක්වා වූ ප්‍රධාන උමඟේ කිලෝමීටර් 10ක පමණ කැණීම් මේ වන විට අවසන්ව තිබේ. ඩයරබා අන්තයේ සිට කිලෝමීටර් 1.85ක් කුරුකුදේ දක්වා කැණීම් කටයුතු අවසන්ව ඇති අතර රන්දෙණිය විදුලි බලාගාර අන්තයේ සිට උමගේ කැණීම් කටයුතු බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ බිඳුණුවැව ද පසු කර කිලෝමීටර් 8.1ක් මේ වන විට ගමන් කර තිබේ.

මේ ව්‍යාපෘතිය ඉදිරියට යෑම සම්බන්ධයෙන් මේ වන විට මතු වී ඇති ප්‍රධානතම, ගැටලුවක් වී ඇත්තේ කැණීම් කටයුතු නිසා තත්පරයට උපරිමය ලීටර් 1087ක ජල කාන්දුවක් රන්දෙණිය විදුලි බලාගාර අන්තයේ සිදුවීමය. මේ ගැටලුවලට පිළියම් යෙදීම වෙනුවෙන් ජර්මන් විශේෂඥයකුගේ සේවාව මේ වන විට ලබාගෙන ඇති අතර මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා නෝර්වේ විශේෂඥ කණ්ඩායමක්ද ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතය.

රාජපක්ෂලාගේ අමනෝඥ තීරණ නිසා ඇති වූවක් වුවද මේ ප්‍රශ්නයෙන් අත සෝදාගැනීමේ හැකියාවක් නම් රජයට නැත. ඔවුන් මීට මුහුණ දිය යුතුය. සෑහෙන පමණින් වැඩ කටයුතු අවසන්ව ඇති බැවින් හා ඉරානයෙන් ලබාගත් ණය ආපසු ගෙවිය යුතු නිසාත් මෙය මුළුමනින්ම අත්හැරීමේ හැකියාවක් මේ මොහොතේ රජයට නොවේ.

එබැවින්, රජය මේ මොහොතේ සිදු කළ යුත්තේ මේ අවාසිදායක තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරමින් මේ ඔස්සේ ජනතාවට, පරිසරයට සිදුවන්නා වූ නිෂේධනාත්මක බලපෑම් හැකිතාක් අවම කිරීමට කටයුතු කිරීමය.
 
| චාමර ලක්ෂාන් කුමාර

බන්දුල ගුණවර්ධනගේ කෝටි 2000 ක කුප්‍රකට ගැහිල්ලක් හෙළිවෙයි

කුප්‍රකට ටියුෂන් කඩ හිමියෙකු වූ රාජපක්ෂ රෙජීමය රජයේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වූ බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී පාසල්වලට පරිගණක මිලදී ගැනීමේ ක්‍රියාවලියකදී රුපියල් කෝටි 2000 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තාවේ.

මෙම මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මහතා මෙම තොරතුරු අනාවණය කරමින් සඳහන් කළේ හිටපු අධ්‍යාපන ඇමතිවරයා විසින් මෙම පරිගණක මිලදී ගැනීමට ක්‍රියා කර ඇත්තේ පවත්නා ක්‍රමවේද හා රෙගුලාසී කිසිවක් නොතකමින් බවයි.

රුපියල් 40,000 සිට රුපියල් 60,000 දක්වා මිල ගණන්වලට අදාළ පරිගණක මිලදී ගැනීමට හැකියාව තිබියදී රුපියල් එක් ලක්ෂ දස දහසේ සිට ඉහළ මිල ගණන්වලට මෙම පරිගණක 60000 ක තොගය පාසල් සඳහා මිලදී ගෙන රුපියල් කෝටි ගණනාවක වංචාවක් සෘජු ලෙසම හිටපු අධ්‍යාපන ඇමතිවරයා විසින් සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. රාජපක්ෂ රෙජීමය යටතේ ක්‍රියාත්මක වූ නැණ සල ව්‍යාපෘතිය හරහාද මෙම වංචාවන් සිදුකර ඇතැයි වාර්තාවේ.

මෙම ප්‍රකාශයත් සමග දැඩි ලෙස පාර්ලිමේන්තුවේදී කෝපයට පත් බන්දුල ගුණවර්ධන හිටපු අධ්‍යාපන ඇමතිවරයා සභාවේ කටයුතු දැඩි ලෙස බාධා කරන්නට වූ අතර එහිදී මූලාසනය දැනුම් දුන්නේ අධ්‍යාපන ඇමතිවරුන් පොඩි ළමයින් සේ නොහැසිරෙන ලෙසටය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශයෙක් සඳහන් කළේ මෙම පරිගණක විජ්ජාව ආශ්‍රිතව සිදුවී ඇති මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.

හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා සේ බන්ධුල ගුණවර්ධන තමන්ට එරෙහිව දූෂන චෝදනා තිබේදැයි විමසා වරක් අල්ලස් හෝ දූෂණ කොමිසමට ගොස් සොයා බැලීය.

උමාඔයෙන් ලැබී ඇත්තේ කොමිස් පමණයි; ඇස්තමේන්තුවෙන් පමණක් ඩොලර් මිලියන 248 ක් ගිලලා

උමා ඔය කඳුකරයේ හදවත සිදුරු කළේ කොමිස් උදෙසා මිස “සංවර්ධනයේ නාමයෙන්“ නොවන බවත්, බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මාස 6 ක් තුළ ඩොලර් මිලියන 248 කින් වැඩි කළ දේශපාලනඥයින් හා නිලධාරීන් උමා ඔය විනාශයට වග කිව යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම් උපදේශන සමාගම විසිනි. එම ඇස්තමේන්තුවට අනුව උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍ර‍මය සදහා වැයවන මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 155 කි.
රාජපක්ෂ රජය උමා ඔය ව්‍යාපෘතියට ආකර්ශනය වන්නේ වැලිමඩ ජලය මොණරාගලට ගෙන යන්නට එමගින් අවස්ථාව ලැබෙන නිසාම නොවේ. සැබවින්ම වැලිමඩ ජලය හම්බන්තොට ගෙන යන කතාව මැතිවරණ වේදිකා කථාවක් පමණකි.

කැනඩා ඇස්තමේන්තුවෙන් වසර 3 කට පසුව ඉරානය මෙම ව්‍යාපාරයට මැදිහත් වේ. 2008 අප්‍රේල් මස ඉරාන ජනාධිපතිවරයා ලංකා සංචාරය අතර මෙම ව්‍යාපෘතිය ඇරඹීමට මේ අනුව සුදානම් වන අතර එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා ට එම ගිවිසුම අත්සන් කිරීමට බලය පැවුරුණි. ඔහු ගේ දැඩි විරෝධනය නිසාම ශක්‍යතා අධ්‍යයනයකින් පසුව ඇස්තමේන්තු කිරීමේ කොන්දේසිය සමග “හිස් ගිවිසුමක්“ ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතර අත්සන් තබනු ලබයි. එවකට වාරිමාර්ග අමාත්‍යවරයා වූයේ චමල් රාජපක්ෂ මහතා ය.

මේ අතර ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු ඉහළ නංවන ලද අතර ඇමරිකානු ඩොලර් මිලියන 300 සීමාවේ දී ලංකා රජයේ නිලධාරීන්, ඉංජිනේරුවන් මෙයට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය කිරීමට එරෙහි විය. කෙසේ නමුත්, 2008 දෙසැම්බර් මස ලංකාවේ අන්ත දුෂිත නිලධාරීන් පිරිසක් ද ඉරාන විශේෂඥයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ද සකස් කරන ලද ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 548 කි.

එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එයට පක්ෂ නොවන වාර්තාවක් ද එයට සමගාමීව ඉදිරිපත් කරනු ලැබීය. (ගුණවර්ධන මහතා යනු පරාක්‍ර‍ම සමුද්‍ර‍ය කැඩී ගිය අවස්ථාවේ ඉතා කෙටි කලකින් එය ප්‍ර‍තිසංස්කරණය වාරි ඉංජිනේරුවරයා ය.)

එයින් 85% ක් ඉරාන රජය මගින් ද, 15% ක් ලංකා රජය මගින් ද දැරීමට ගිවිසුම අනුව දෙරට එකඟත්වය පළ කරනු ලැබීය. වත්මන් උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව රුපියල් කෝටි 7632 කි.

ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට මෙම ගිවිසුමට අත්සන් තැබීම සදහා දේශපාලන බලපෑම් එල්ල වන්නේ මේ අවස්ථාවේ දී ය. එය ප්‍ර‍තිඑලය වූයේ 2009 ජනවාරි 9 දින අමාත්‍යාංශ ලේකම් ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ය. ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපියේ ලියන්නේ “ලංකා රජයට අතිරේක ඩොලර් මිලියන 248 ක පිරිවැයක් දැරීමට සිදුවන ගිවිසුමකට මාගේ අත්සන යෙදිය නොහැකි බැවින් ඉල්ලා අස්වන බවයි.

වාරි මාර්ග අමාත්‍යාංශයේ පුරප්පාඩුව සඳහා පත්වන්නේ අයිවන් සිල්වා මහතා ය. ඔහු දේශීය විශේෂඥයින්ගේ ද, ඌව ජනතාවට ද, පරිසර වේදීන් ද එක හඬින් එපා කියන උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේය. ඒ කැනේඩියානු ඇස්තමේන්තුවට වඩා සිව් ගුණයටක මදක් අඩු ඇස්තමේන්තුවකට ය. ලංකාවේ වාරි ඉංජිනේරුවන් එකඟ වූ මුදලට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 248 කට වැඩි මුදලකටය.

උමා ඔය ව්‍යාපෘතියට පරිසර ඇගයීම් වාර්තා අනුමැතිය ලබා දී ඇත්තේ 2011 අප්‍රේල් 12 දා ය. අලුත් අවුරුද්ද ලබන්නට පැය ගණනකට පෙර මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය ලංකාවේ මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුමේ හදවත සිදුරු කරන්නට අවසර ලබාදීම පිටුපස ඇත්තේ ද දැවැන්ත අබිරහසකි. ජනතාව වීදි බැස හර්තාල් කරන සුන්දර බණ්ඩාරවෙල කාන්තාරයක් බවට පත් කොට ඇති උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එදා මෙදා තුර පාලකයින් වගකිය යුත්තේ මේ දැවැන්ත විනාශය නිසාමය.

වත්මන් රජය සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරකිමින් සිටිනවා


වර්තමානයේ දී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකතුවීමෙන් රජය ලෙසින් එකට එකතුව එක අරමුණකින් කටයුතු කරමින් සිටින අතරම සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරකිමින් සිටින බව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපති, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.

හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් සංවිධානය කළ Comparative Peacebuilding in Asia මාතෘකාව යටතේ  (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ පැවැති  දේශනයකට එක්වෙමිනි.

ජාතීන් අතර සහයෝගය ඇති කිරීමට වත්මන් රජයට දැඩි අවශ්‍යතාවයක් පවතින අතර ම ඒ වෙනුවෙන් වූ කාර්යය සාධක බලකායක් ද ක්‍රියාත්මක වන බව පෙන්වාදුන් හිටපු ජනාධිපතිනිය ජාතීන් අතර සමගිය ගොඩනැගීම සඳහා පුද්ගලයාගේ හදවත, මනස මෙන් ම ආකල්පයන් ද වෙනස් විය යුතු බවත් පෙන්වා දුනි.

බන්ධනාගර ප්‍රතිසංස්කරණ, පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය හා ජාතික ප්‍රතිසන්ධාන කොමිසන් සභාව ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් රටතුළ ක්‍රියාත්මක වන බවත් පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දුන්නාය.

පාසල් අතර ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් ළමයින් අතර සහයෝග ඇති කිරීම සඳහා ඉතා වැදගත් වන බවත් පෙන්වා දුන් එතුමිය ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, විදී නාට්‍ය සහ චිත්‍රපටවලින් සාමය ගොඩනැගීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් පවතින බවත් , සුළු ජනතාව ජීවත්වන දිස්ත්‍රික්කවල විවිධ සංවිධානයන්ගේ ආධාර ඇති ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බවත් පෙන්වා දුනි.

ජාතීන් අතර සහජීවනය ගොඩනැගිය හැක්කේ දේශපාලන නායකත්වය තුළින් ම බවත් එමෙන් ම ඒ සඳහා සිවිල් සංවිධානවලට වැඩි කාර්යය භාරයක් සිදුකළ හැකි බවත් එතුමිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

ජර්මනියේ සමලිංගික විවාහ නීතිගත කිරීමට අවසර ලැබේ

 ජර්මනිය තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා එරට පාර්ලිමේන්තුව වැඩි ඡන්දයෙන් අවසර ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මීට විරුද්ධ මතයේ සිටි අතර, ඇය පවසා සිටියේ සමලිංගික විවාහය ජර්මනියට අවශ්‍ය නොමැති බවයි.

කෙසේ වෙතත්, මේ සඳහා වූ පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුව තුළ ඡන්ද 393ක් හිමිව තිබූ අතර, ඊට විරුද්ධව හිමිවී තිබුණේ ඡන්ද 226 කි. එමෙන්ම, සභිකයන් හතර දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටියහ.

මෙම නව නීතිය සම්මත වීමත් සමග එරට ජීවත්වන සමලිංගිකයන්ට පූර්ණ විවාහ අයිතිය හිමිවන අතර, ඔවුන්ට දරුවන් හදාවඩා ගැනීමේ අයිතියද හිමිවෙයි.

චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල්ගේ විරුද්ධවාදීන් විසින් මෙය සම්මත කරගැනීම සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ, ජර්මනියේ විවාහක නීතිය වෙනස් වෙමින්, ජීවත්ව සිටින විරුද්ධ ලිංගිකයන් හෝ සමලිංගිකයන් දෙදෙනෙකු එක්වීම විවාහය ලෙස සලකනු ඇත.

ලොව පුරා මේ ආකාරයෙන් සමලිංගික විවාහ නීතිගත කිරීමේ රැල්ලක් මේ වනවිට උද්ගත වී ඇති අතර, මෙය ශිෂ්ඨාචාරයක් හිමි බොහෝ රාජ්‍යයන්වල ගර්හාවට ලක්ව ඇති තත්ත්වයකි.

විශේෂයෙන්ම, ලෝකයේ පරිහානිය විදහාපාන සිදුවීමක් ලෙස මෙම තත්ත්වය පෙන්වා දෙන විද්වතුන් පවසන්නේ, සුළුතරයක් වූ විවිධ පාර්ශ්ව හා රාජ්‍ය නොවන සංවිධාන මෙම කර්තව්‍යයේ කටයුතු කළත් ලෝකයේ බහුතරය මෙය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

උදයංග වීරතුංගගේ විදේශ ගමන් බලපත්‍ර 2ක් තහනම් කරයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ තවත් විදේශ ගමන් බලපත්‍රක් භාවිත කිරීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් කර තිබේ.

අදාළ නඩුව (30) කැඳවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම තහනම් නියෝගය නිකුත් කළ බව  අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

2009 වසරේදී යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීම සඳහා මැදිහත්වී අයුතු ආකාරයෙන් මුදල් උපයාගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ අනුව පසුගිය වර්ෂයේ ඔක්තෝබර් 16 වන දින උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම  සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළේය.

ඔහු නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍රම උපයෝගීකර ගනිමින් රටින් රටට සංචාරය කරන බවට තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ අනුව එම විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියි.

පිළිකා රෝගීන්ට නව ඖෂධයක්

පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීම සඳහා “කයිරුඩා“ නමින් ඖෂධයක් අමෙරිකා එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම ඖෂධය මඟින් පිළිකා ඇති කරන ජානයට ප්‍රතිකාර කරන බවයි.

අරලියගහ මන්දිරයේ සුව සේවා පත්විම් ලිපි ප්‍රදානෝත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ජාන කාක්ෂණය භාවිතා කරමින් වෛද්‍ය ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරුන් 07 දෙනෙකු සිටින බැවින් ඔවුන් ලබන අගහරුවාදා කැඳවා ප්‍රතිකාර කිරීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කරන බවයි.

තමන්ට අවශ්‍ය පරිදි සකසා ගත හැකි යතුරු පුවරුවක් හඳුන්වා දෙයි

වර්තමානයේ ලෝකයේ යතුරු පුවරු නිෂ්පාදකයන්ගේ ප්‍රධානතම අරමුණ වන්නේ කුඩා ප්‍රමාණයේ යතුරු පුවරු නිෂ්පාදනයටත් වඩා, ඉහළ කාර්යක්ෂමතාවයක් සහ පරිශීලකයාට වඩාත් හොඳින් පරිහරණයට මිත්‍රශීලී වන යතුරු පුවරු නිපදවීමය.

මෙනිසා විවිධ හැඩයන් සහ අතට විවිධ පහසුතාවයන් සමගින් නිර්මාණය වන යතුරු පුවරු අතර කැපී පෙනෙනා වෙනසක් වන්නේ ErgoDox EZ යතුරු පුවරුවයි.

මෙය කොටස් දෙකකට වෙන්ව පැමිණෙන යතුරු පුවරුවක් වීම මෙහි දක්නට ලැබෙනා ප්‍රධානතම විශේෂත්වයයි.
මෙම යතුරු පුවරු කොටස් දෙක කේබල් හෝ වෙනත් කිසිදු ආකාරයකින් එකකට එකක් සම්බන්ධ නොවනා බැවින් ඔබේ වැඩකරනා අවකාශය තුළ උපරිම පහසුතාවයක් හා කාර්යක්ෂමතාවයක් යතුරු ලියන කාර්යයට ලැබෙනා අන්දමින් එය තැන්පත් කළ හැක.

එසේම මෙහි යතුරු පිහිහිටුවා ඇති රේඛීය සිරස් පේළි නිමැවුම අනුව ඔබට අතැඟිලි එහා මෙහා කළ යුතු දුර හැකිතාක් අවම කොට ඇත.

කාලගුණ අනාවැකි කියන ඩොප්ලර් පද්ධති දෙකක් ලංකාවට

ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාලයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා  ජපානය  ආධාර ලබාදී තිබෙනවා.

රුපියල් මිලියන 3,422 ක ආධාර මුදලක් ඒ අනුව හිමි වුණා.

මුළු දිවයිනම සහ අවට මුහුදු ප්‍රදේශ ආවරණය කර කාලගුණ අනාවැකි සැපයිය හැකි ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක්‌ මේ අනුව ස්‌ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

රේඩාර් පද්ධති ද්විත්වය  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්‍ෂණය ද ජපන්  රජය මගින් ලබාදීමට නියමිතව තිබෙනවා.

සිම්බාබ්වේ හමුවේ ලංකාව පරාජය වැළඳ ගනී

ශ්‍රී ලංකාව සහ  සිම්බාබ්වේ අතර පැවැත්වුණු  පළමු එක්දින තරගයෙන්ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 316ක් ලබා ගත්තා.
උපුල් තරංග ද තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු හයදහස  සම්පුර්ණ කිරීමට එහිදී සමත්වූ අතර කුසල් මෙන්ඩිස් තම එක්දින ක්‍රිකට් දිවියේ  ලකුණු දහස ද එහිදී  සම්පුර්ණ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සහ උපුල් තරංග අර්ධ ශතක වාර්තා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිතිකරුවන් කඩුලු  4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

මෙම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ප්‍රශස්ථ මට්ටමක නොතිබුණු බවයි විචාරකයන් පවසන්නේ.ලසිත් මාලිංග 29වන පන්දුවාරයේ දී උඩ පන්දුවක් ද අතහරිනු ලැබුවා.
තරගයේ සම්පුර්ණ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.