29 July 2017

පොඩ්ඩක් බොන අයට සුභ ආරංචියක්.

මෙම පර්යේෂණය මෙහෙයවූ ඩෙන්මාර්කයේ විශේෂඥයන් පවසන්නේ මිනිස් සිරුරේ රුධිරයෙහි අඩංගු සීනි ප්‍රමාණය පාලනය කිරීමෙහි ලා මද පමණින් වයින් පානය හිතකර වන බවය.

කෙසේ නමුත් නිර්දේශිත ප්‍රමාණයට වඩා මත්පැන් පානය කිරීම හිතකර නොවන බව මෙම වාර්තාවේ අවධාරණය කර තිබේ.

මෙම පර්යේෂණය සඳහා 70,000ක් පමණ දෙනා සහභාගී කරගෙන ඇත. ඔවුන් මත්පැන් පානය ප්‍රමාණයන් සහ අවස්ථා ගණන පිළිබඳව හැදෑරීමෙන් අනතුරුව මෙම පර්යේෂණය සිදුකර තිබේ.

මහජන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටින්නේ මත්පැන් පානය හේතුවෙන් පිළිකා, හෘද රෝග සහ අක්මාවේ රෝග වැනි බරපතළ රෝග තත්වයන් කිහිපයක් ම ඇතිවිය හැකි බවය.

පානය කරන මත්පැන් ප්‍රමාණය සහ අවස්ථා ගණන මත ප්‍රතිඵල රඳා පවතින බව මෙම පර්යේෂණය මෙහෙයවූ විද්‍යාඥයෝ පවසති.

පර්යේෂණයට සහභාගී වූ පිරිස වසර පහකට පසු පරීක්ෂා කර බැලීමේදී පෙනී ගොස් ඇත්තේ පිරිමින් 859 දෙනෙකුට සහ කාන්තාවන් 887 දෙනෙකුට පළමු හෝ දෙවන කාණ්ඩයේ දියවැඩියාව වැළඳී ඇති බවය.

සතියකට එක්වතාවක් ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කරන පිරිස සමඟ සංසන්දනය කිරීමේ දී සතියකට දින තුනක් හෝ හතරක් මද පමණින් මත්පැන් පානය කරන කාන්තාවන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම 32%කින් සහ පිරිමින්ට එම රෝගය වැළඳීමේ අවදානම 27%කින් අඩු වී ඇති බව, පර්යේෂණයට සහභාගී වූ සියලු දෙනා පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිගමනය කර තිබේ.

එමෙන්ම සියලුම මත්පැන් වර්ග එකම ප්‍රතිඵලය ගෙන නොදෙන බවත් වයින් පානය මෙහි දී වඩා හිතකර වන බවත් මෙම වාර්තාවේ සඳහන් වෙයි.

සාමාන්‍ය වෛද්‍ය නිර්දේශය වන්නේ සතියකට මද්‍යසාර ඒකක (Units) 14කට වඩා වැඩි ප්‍රමාණයක් පානය නොකළ යුතු බවය. මෙය සාමාන්‍ය වශයෙන් සමාන වන්නේ සතියකට බීර පයින්ට් හයකට ය. අඩු සාන්ද්‍රනයෙන් යුත් වයින් නම් කුඩා ප්‍රමාණයේ වීදුරු 10කට ය.

මෙම ප්‍රමාණය කොටස් වශයෙන් සතියේ දින තුනක් හෝ හතරක් ඇතුළත පානය කළ යුතු බවත් අතරමැද මද්‍යසාරයෙන් තොර දිනයක් හෝ දෙකක් ගත කළ යුතු බවත් වෛද්‍යවරු පවසති.

නිර්දේශිත මද්‍යසාර ප්‍රමාණය සතියකට දින තුන හතරක් ඇතුළත කොටස් වශයෙන් පානය කිරීම හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ අවදානමද අඩුවන බව වෛද්‍ය මතයයි.

කෙසේ නමුත් මද්‍යසාර කුමන ප්‍රමාණයක් හෝ පානය කිරීම වෙනත් රෝග තත්වයන් 50කට පමණ හේතුකාරක වන හෙයින් මත්පැන් පානය යෝග්‍ය බවට අනුමත කළ නොහැකි යැයි වෛද්‍යවරු අවධාරණය කරති.

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම පරාජය ලබයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට හිමි වුණා. ලකුණු 304ක ජයක් ලැබූ ඉන්දියාව පළමු ඉනිමේදී ලකුණු 600ක් ලබා ගත්තා. දෙවෙනි ඉනිම සඳහා ලකුණු 240ක් රැස්කර ගැනීමටද ඉන්දියාව සමත් වුණා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 291ද දෙවෙනි ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 245ක්ද රැස් කළා.

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ලැබූ දරුණුතම පරාජය මෙය බවයි වාර්තා වන්නෙ. මීට පෙර 1994දි පකිස්තානය හමුවේ 301ක පරාජයක් ලබා තිබෙනවා.



විදුලිය ජනනයට රුපියල් කෝටි 3800ක්

පවතින දැඩි නියං කාළගුණ තත්ත්වය නිමවන තුරු ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3800ක අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවට ගණන බලා ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටිනවා.

මේ වන විට විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම 38% මට්ටමට පහත වැටී ඇති බවත් ඩීසල් බලාගාරවලින් සිදුකරන විදුලි ජනනය 80% දක්වා ඉහළ ගොස් ඇති බවද ඇමතිවරයා පවසනවා.

කෙතරම් අමතර වියදමක් දැරුවද අඛණ්ඩව විදුලිය ලබාදීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කළ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ජනතා විරෝධය නොතකා හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් තබයි

රජයට එල්ලවු ජනතා විරෝධය සහ වරාය මෙන්ම තෙල් සංස්ථා සේවකයින්ගේ විරෝධය නොතකා හම්බන්තොට මාගම්පුර වරාය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමට බදු දීමේ ගිවිසුමට  වරාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී අත්සන්කර ඇත. හම්බන්තොට වරාය, රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම මෙම ගිවිසුම මඟින් සිදු වන අතර එහි 70%ක අයිතිය හිමිවන්නේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමටයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් එල්.පී ජයම්පති මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ. චීන රජය වෙනුවෙන් “චයිනා මර්චන්ට් සමූහයේ“ විධායක උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන්ය. ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය වරාය අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති අතර, ඒ සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂිං ලියැං මහතා ද එක්ව සිටියේය.

මෙම ගිවිසුම රටට සුභදායි ලෙසත් ඛනිජ තෙල් සේවකයන්ගේ යෝජනා අනුවත් සකස් කිරීමටත් පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවේදී  එකගවී තිබුණි. ඒ අනුව ලබන අඟහරුවාදා(01) දෙපාර්ශවයම රැස්වී අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි. ජනාධිපතිවරයාගේ එම එකඟතාවයට අනුව  ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයෝ තාවකාලිකව වැඩවර්ජනය නතර කිරීමටද තීරණය කර කලේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ එම තීරණයට පිටුපා අගමැතිවරයා මෙම ගිවිසුම අද දින අත්සන් කරනබව ඊයේ ප්‍රකාශ කරනලදි.

නවාස් ෂරීෆ් අගමැතිකමට නුසුදුසු බව අධිකරණය තීන්දු කරයි

දීර්ඝ කාලයක් පැවැති දූෂණ චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට නුසුදුස්සකු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය.

මතභේදාත්මක දේශපාලන දිවියකට හිමිකම් කියන නවාස් ෂරීෆ්ට ධුර කාලය අවසන් නොකරමින් අග්‍රාමත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ තෙවැනි අවස්ථාව මෙයයි.

“ඔහු පාර්ලිමේන්තුවේ සාමාජිකයකු වීමට සුදුසු නැහැ. ඔහු අගමැතිධුරයෙන් ඉවත් විය යුතු” යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ඉජාස් අෆ්සාල් ප්‍රකාශ කළේය.  තීන්දුව ප්‍රකාශට පත් කළ අවස්ථාවේදී විපක්ෂ කණ්ඩායම් වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් ජයඝෝෂා නැගූ බව ද වාර්තා විය.

තීන්දුවෙන් පසු පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් එම තනතුරින් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය මීට ටික වේලාවකට පෙර වාර්තා කළේය.

අපිරිසිදු ආණ්ඩුවක මම ඉන්නේ නෑ : ජනාධිපති

තමාට අවශ්‍ය නම් හෙට වුවත් අලුත් ආණ්ඩුවක් හැදිය හැකි බවත්, එහෙත් කුණු ආණ්ඩු හැදීමට තමා සූදානම්. නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ රැස්වූ අතර එම අවස්ථාවේ ජනාධිපතිවරයා එසේ කීවේය.

කලින් පැවති ආණ්ඩුවෙන් තමා එළියට ආවේ එය අපිරිසිදු ආණ්ඩුවක් නිසා යැයි කී ජනාධිපතිවරයා දැන් සිටින තැන ද අපිරිසිදු නම් තමාට එතැනද සිටිය නොහැකි යැයි කීවේය.

තමා අලුතින් ආණ්ඩුවක් හදන්නේ නම් හදන්නේ පිරිසිදු ආණ්ඩුවක් මිස අපිරිසිදු ආණ්ඩුවක් නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

‘පාර්ලිමේන්තුවේ විනය විරෝධිව හැසිරුණු මන්ත්‍රීවරු එළවිය යුතුයි’ – රාජිත

පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගේ පුටුවේ හිඳ ගනිමින්, කැඳවීමේ සීනුව නාද කරමින් විනය විරෝධී ලෙස. හැසිරුණු මන්ත‍්‍රීවරු පිරිස පාර්ලිමේන්තුවෙන් එළවීමට කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේය.

ඔවුන් එසේ හැසිරුණේ හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ ඡන්ද විමසීමේ දී ඔවුන් ලබන පරාජිත ප‍්‍රතිපලය හෙළිවීම වළක්වා ගැනීමට යැයි ද අමාත්‍යවරයා කීය.

ඉදිරියේ දී අසාධාරණ වර්ජනවලදී ඉතා දැඩි පියවර ගන්නා බවත් රටේ ඇති සියලූ නීතින් ඊට එරෙහිව යොදා ගන්නා බවත් සේනාරත්න මහතා සඳහන් කළේය.

කොලොන්නාව තෙල් වර්ජනයේ දී ගත් අන්දමේ දැඩි පියවර ආන්ඩුව ගත යුතු බවත් ආණ්ඩු ප‍්‍රධානීන් බණ්ඩාරනායකලා විය යුතු නැති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළට

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සතියක් තුළදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,635 කින් ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය සෙනසුරාදා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දැක්වුණේ එක් ලක්ෂ එක් දහස් හයසිය අනූ අටක් ලෙසිනි. එම සංඛ්‍යාව අද වනවිට එක් ලක්ෂ එකොලොස් දහස් තුන්සිය තිස් තුන දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 23,574 කි. කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3,688 ක් වාර්තා වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19,576 කි.

මේ අතර කළුතර, මහනුවර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, ත්‍රීකුණාමලය වැනි දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.