26 March 2017

මොසුල් සටන් බිමේදී සාමාන්‍ය වැසියන් මරුට



ඉරාකයේ මොසුල් නගරයේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව සිදුකරන මෙහෙයුමේදී සාමාන්‍ය වැසියන්ට සිදුව ඇති හානිය ඉතා ඉහළ බව එක්සත් ජාතීන්ගෙ සංවිධානය පවසයි.

ඉරාකයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය පවසන්නේ සාමාන්‍ය වැසියන්ගේ ජීවිත හානි දිනෙන් දින ඉහළ යාම දැකීමෙන් තමන් දැඩි කම්පනයකට පත්ව සිටින බවයි.

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් සිදුකරන ලද ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 200කට වැඩි පිරිසක් එක්වර ජීවිතක්ෂයට පත්ව ඇති බවට ලැබෙන වාර්තා අනුව එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය මෙසේ අදහස් දක්වයි.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ අවසන් ඉරාක බලකොටුව ලෙස සැලකෙන මොසුල් අත්පත් කරගැනීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ප්‍රබල ගුවන් ප්‍රහාරක ශක්තියක් දැනටමත් ලබාදෙමින් සිටී.

කෙසේ වෙතත්, මෙසේ සාමාන්‍ය වැසියන් මියයෑම සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.

පසුගිය සිකුරාදා දිනයෙ වනවිට මොසුල් හි ජඩීඩේ ප්‍රදේශය ආශ්‍රිතව සුන්බුන් අතරින් මළ සිරුරු 50කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, සමස්තයක් ලෙස මෙම ජීවිත හානි සිදුවූ ස්ථාන පිළිබඳව නිශ්චිතවම වාර්තාවක් නොමැති බවද සඳහන් වෙයි.

පසුගිය මාර්තු 17 සහ 23 අතර සිදුවූ ගුවන් ප්‍රහාර මෙම සාමාන්‍ය වැසියන්ගේ ජීවිතහානිවලට වගකිව ඇති බව සඳහන් වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන පරිදි ලක්ෂ 4කට වැඩි ඉරාක වැසියන් පිරිසක් මොසුල් හි පැරණි නගරය තුළ කොටුවී සිටින අතර, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඔවුන්ව මිනිස් පළිහක් ලෙස රඳවාගෙන සිටින බවද විශ්වාස කෙරෙයි.

රුසියාවේ ගුවන් යානා නඩත්තුවට මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ



රුසියාවේ නිෂ්පාදිත හෙලිකොප්ටර් යානා නඩත්තු සහ අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී තිබෙනවා.

හමුදා තාක්ෂණ සහයෝගිතාව පිළිබද රුසියානු මධ්‍යම රජයේ නියෝ්‍ය ප්‍රධානී මිකායිල් පෙටුකොෆ් මේ බව ප්‍රකාශ කර ඇත්තේ රුසියානු ස්පුට්නික් පුවත්පතටයි.

ශ්‍රී ලංකාව ද රුසියාවේ නිෂ්පාදිත එම්.අයි. 08 සහ එම්.අයි 17 සහ 24 ප්‍රහාරක සහ ප්‍රවාහන හෙලිකොප්ටර් යානා භාවිත කරනවා.

කලාපීය රටවල් රැසක ගුවන් බලඇණි සමන්විත වී ඇත්තේ රුසියානු හෙලිකොප්ටර් යානා වලින්.

මේ නිසා ශ්‍රී ලංකාව තුළ එවැනි හෙලිකොප්ටර් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම වැදගත් වන බවයි රුසියාව පෙන්වා දී ඇත්තේ.

මේ අතර, ජෙපාඞ් වර්ගයේ ප්‍රහාරක යාත්‍රා ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇති බව ස්පුට්නික් පුවත්පත වාර්තා කළා.

ප්‍රහාරයකදී සතුරු යාත්‍රා, ගුවන් යානා සහ සබ්මැරීනවලට එරෙහිව ප්‍රතිචාර දැක්විය හැකි මෙම යාත්‍රා, මුර සංචාර සහ අනෙකුත් සේවාවන් සදහා ද යොදා ගත හැකි බවයි රුසියානු හමුදා තාක්ෂණික සහයෝගීතාවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ.

කැන්ගරු දේශයෙන් අපනයනයනයට අත හිත



මෙරට අපනයන වර්ධනය කිරීම සදහා පුද්ගලික අංශයට තාක්ෂණික සහාය ලබාදීමේ වැඩසටහනක් ලෝක බැංකුව හා ඔස්ටේ‍්‍රලියානු විදේශ අමාත්‍යාංශයේ වෙළද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කර තිබෙනවා.

ඒ උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශයේ දායකත්වය සහිතවයි.

එහිදී වැඩි වටිනාකම් සහ ආදායම් ලබාගත හැකි අපනයන නිෂ්පාදන කෙරෙහි පුද්ගලික අංශයේ අවධානය යොමුකරන බවයි ලෝක බැංකුව නිවේදනය කළේ.

ව්‍යාපෘතිය සදහා ඔස්ටේ‍්‍රලියානු රජය ඩොලර් මිලියන 6ක මුදලක් මෙරටට ලබාදීමට නියමිතයි.

ශ‍්‍රී ලංකාවේ අපනයන ආදායම වර්ධනය කිරීම අරමුනු කරගෙනයි වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ.

ඩෙංගු මර්ධනයට සුව අමාත්‍යංශයෙන් වෙනම බලකායක්



දිවයින පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා හදිසි වෛද්‍ය විහිදුම් බලකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මූලික අදියර යටතේ වෛද්‍ය වරුන් 50 දෙනෙකු මෙම හදිසි රාජකාරි සඳහා පුහුණුකරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔවුන් පුහුණුවෙන් පසුව ඩෙංගු රෝගයේ බලපෑම දැඩිලෙස පවතින ප්‍රදේශවල රාජකාරි සඳහා යොදවනු ඇති.

මෙම හදිසි වෛද්‍ය විහිදුම් බලකායට එක්වීමට කැමති වෛද්‍යවරුන්ට ඒ සඳහා ඉල්ලූම් කරන ලෙසද ඉල්ලීමක් කෙරෙනවා.

ඉදිරි සතිය තුළ හදිසි වෛද්‍ය විහිදුම් බලකාය ස්ථාපිත කිරීමේ මූලික කටයුතු අවසන් කිරීමට සැළසුම් කර ඇති  බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

රාත්‍රිය නිමා කිරීමට ලොවම මවිත කරමින් එන කෘතිම සූර්යයා | VIDEO



ජර්මානු විද්‍යාඥයන් විසින් “ලොව විශාලතම කෘතීම සූර්යයා”නිපදවීමේ විශාල ව්‍යාපෘතියක් දියත් කර තිබේ. ඒ කාලගුණ හිතකර ඉන්ධන නිපදවීමට බව සඳහන්.

මෙම සුවිසල් සැකැස්මෙහි සිනමා රූපණය සඳහා යොදාගන්නා spotlights 149 ක ශක්තිය කුඩා පැනලයන් වෙත යොමුකරගැනීමට භාවිතා කරයි . මෙම අඟල් 8×8 spotlights මගින් උෂ්ණත්වය 3,000°C (5,432°F)දක්වා ගෙන යා හැකියි.

මෙම පරීක්ෂක කණ්ඩායමට ජලය එහි අංශුන් වලට විභේදනය කර මෙම නිපදවෙන ශක්තිය මගින් පිරිසිදු හයිඩ්‍රජන් ඉන්ධනය නිපදවීම සිදු කළ හැකි අතර මෙම පරීක්ෂණය සඳහා පැය 4 ක කාලයක් තුල විදුලිය සැපයීම අවශ්‍ය වන අතර එම සපයන විදුලිය ප්‍රමාණය මිනිසුන් 4 දෙනෙක් විසින් වසරක් පුරා භාවිතා කරන විදුලි ප්‍රමාණයට සමාන වේ.

ලොව විශාලතම කෘතීම සුර්යාගෙන් ලැබෙන ප්‍රයෝජන කවර ආකාරද ?

මෙය නිපදවීමේ එක් අරමුණක් වන්නේ ගුවන්යානා සඳහා කෘතිමව ඉන්ධන ලබාගැනීමට කාර්යක්ෂම ලෙස හයිඩ්‍රජන් නිපදවාගැනීමයි. හයිඩ්‍රජන් යනු විශ්වාසදායකව අනාගතයේදී ගුවන්යානා සඳහා යොදාගත හැකි ඉන්ධනයක් වන්නේ එමගින් ගෝලීය උණුසුමට දායක වන කිසිදු ද්‍රව්‍යක් පිට නොකරන බැවිනි. නමුත් හයිඩ්‍රජන් එහි ස්වභාවික ආකාරයෙන්ම නොපවතී. එම නිසා එය විශාල ශක්තින් උපයෝගී කරගනිමින් ජලය මගින් විභේදනය කල යුතුයි.

ඔවුන් විශ්වාස කරන පරිදි අනාගතයේදී එලෙස යොදාගත හැකි පහසුම හා ලාභදායීම ශක්තිය වන්නේ සූර්යශක්තියයි. ඔවුන් විසින් කෙටි චාප සහිත ශේනොන් ලාම්පු විශාල ප්‍රමාණයක් (8×8 inch) spot එකක් මතට යොමු කළ අතර එය ඊට සමාන ප්‍රමාණයක් මත පතිත වන සාමාන්‍ය සූර්ය කිරණ ප්‍රමාණය මෙන් 10,000 ගුණයක් විශාල බව වැඩි දුරටත් පවසයි.

මෙම පද්ධතිය ක්‍රියාත්මක කාලයින් පසු යම් අයෙක් එම පරිශ්‍රයට ඇතුළු වුවහොත් සම්පුර්ණයෙන්ම දැවී අළු වන අතර මෙපමණ ශක්තියක් යොදාගනිමින් සිදු කරන මෙම කර්තව්‍ය ඉතාමත් සාර්ථක බවත් එමගින් ලොවටම මහගු ආයෝජනයක් සිදු කෙරෙන බවත් සඳහන් වෙයි.

එහි වීඩියෝව පහතින්…..


තරු පහේ හෝටල්වල කාන්තාවන් සමඟ සැප ගන්නා හිඟන්නා බුකිය කළඹයි | VIDEO



යාචකයෙකු ලෙස මුදල් ලබා ගනිමින් තරු පහේ හෝටල්වල සැප ගන්නා පුද්ගලයෙකු පිළිබඳව විදෙස් වෙබ් අඩවි වාර්තා පළ කර තිබෙනවා.

බෙන්ජමින් හොල්ස්ට් නම් වයස අවුරුදු 32 ක් වූ මේ ජර්මානු ජාතිකයා මලයාසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, හොංකොං, පිලිපීනය හා කාම්බෝජය වැනි නැගෙනහිර ආසියානු රටවල සිඟමන් අයදිමින් ඉන්පසුව එම මුදල් වලින් සුපිරි ජීවිතයක් ගත කිරීමට හුරු වූ අරුම පුදුම මිනිසෙක් බවයි පැවසෙන්නේ.

මොහුගේ මෙම ක්‍රියාව අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වූ පසු ‘ආසියාවේ ලොකුම වංචාකාරයා’, ‘වැඩකට නැති හිඟන්නා’ වැනි නාමයන් මොහුට පට බැඳී තිබෙන අතර මොහුගේ එක් කකුලක් විශාල නිසා ‘Big Foot’ ලෙසත් හඳුන්වනු ලබනවා.

Macrodystrophia lipomatosa නම් සිරුරේ කොටස් විශාල වීමේ දුර්ලභ රෝගයක් නිසා දකුණු කකුල විශාල වී තිබෙන නමුත් ඔහුට ඇවිදීමට එය අපහසුවක් නොවන බවයි පැවසෙන්නේ.

වරක් 2014 වසරේදී තායිලන්තයේදී මොහු පාරේ සිඟමන් අයදමින් සිටිනු දැක තායිලන්තයේ තිබෙන ජර්මානු සංවිධානයක් විසින් මොහුට නවාතැනක් සපයා ඔහුට නැවතත් ජර්මනියට ගොස් පවුලේ අය සමඟ එක්වීමට අවශ්‍ය මුදල එක් රැස් කර සියලුම කටයුතු සූදානම් කර දී තිබෙන අතර මොහු ඒ ගුවන් යානය මඟහැර තායිලන්තයේ පතායා වෙත ගොස් වෙරළේ කාන්තාවන් සමඟ විනෝද වන අයුරු දක්නට ලැබී තිබෙනවා.

ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දැක්වෙන පරිදි ඉන්පසුව ඔහු ඩෙන්මාර්කයේද කාලය ගත කර ඇති අතර බෙන්ජමින්ගේ එක් අසාමාන්‍ය ලක්ෂණයක් වන්නේ ඔහු තරුපහේ හෝටල්, මිල අධික අවන්හල් වලට ගොස් සුඛෝපභෝගි ලෙස ජීවත් වන අයුරු, ආහාර පාන හා සුරූපී තරුණියන් සමඟ විනෝදවන අයුරු ඔහුගේ facebook ගිණුමේ සටහන් කිරීමයි.

මීට දින කිහිපයකට පෙර නැවතත් මොහු ආසියාවට පැමිණ තිබෙන්නේ නැගෙනහිර ආසියානු රටවල පුවත් මවමිනි.

ජනතාව මුලා කරමින් එයින් සැප විඳින යාචකයින් තවත් සිටින අතර ඔවුන් සැඟවී හොර රහසේ කරන කටයුතු බෙන්ජමින් විසින් ප්‍රසිද්ධියේම සිදුකරන්නේ අසරණ මිනිසුන් වෙත දක්වන කරුණාව සමච්චලයට ලක් කිරීමට මෙන් බවයි විදෙස් වෙබ් අඩවි පවසන්නේ.


මනසින් පාලනය කල හැකි රොබෝ අත් දෙකක් | VIDEO




පසුගිය අවුරුදු කිහිපය වෛද්‍ය විද්‍යාවට හා රොබෝ තාක්ෂණයට පලදායි විය. ඇමරිකාවේ “Johns Hopkings” විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් අත් දෙකම අහිමි වෙච්ච “Les Baugh” මහතාට මනසින් පාලනය කල හැකි රොබෝ අත් දෙකක් සවි කර පරික්‍ෂා කරලා.

Baugh මහතා කියන විදියට එය ඉතා වේදනා කාරියිලු. Baugh මහතාගේ අත් දෙක නැති වෙලා තියෙන්නේ අවුරුදු 40කට කිලින් විදුලි අනතුරකින්ලු. රොබෝ අත් දෙක මනසින් පාලනය කිරීමට ඕනෙ නිසා “Johns
Hopkings” ශල්‍යවෛද්‍යවරුන්ට Baugh මහතාගේ මැරුණු ස්නායු නැවත අවදි කිරීමට සිදුවෙලා තියෙනවා.

මෙය තවමත් මුලාකෘතියක් බවත් මෙය වැඩ කරන්නේ නැවත අවදි කරපු ස්නායු වලින් කරන මස් පිඩු වෙනස්වීමේ රටා මගින් බවත් ඔවුන් කියා සිටියා. මෙය පළමුව පරික්‍ෂා කලේ ජුනි මාසයේදී, පර්යේක්ෂකයන් පුදුමයට පත් කරමින් Baugh මහතා රොබෝ අත පාලනය කලාලු. “මෙය අනාගත තාක්ෂනය තවත් ඉතා වැදගත් පිම්මක්, මෙය තමයි ලොව ප්‍රථම මනසින් පාලනය කල හැකි රොබෝ අත.” පරීක්ෂකයන් මෙසේ කියා සිටියා. Baugh මහතා කියා සිටියේ ඔහු වෙනම ලෝකයකට ගියා වගේ දැනුනු බවයි. අවුරුදු 40කට පසු අතක් හැසිරවීමට හැකිවීම, Baugh මහතා හට කොපමණ සතුටක් ගෙන දෙන්න ඇත්ද.

රොබෝ අත පාලනය කිරීම දැනට අපහසුයි ලු, අත සෙලවීමට නම් මුලින්ම උර හිසත් පසුව වැලමිටත් ඊලගට අතේ මැණික් කටුවත් සෙලවීමෙන් අනතුරුව අතේ ඇඟිලි සෙලවීමට හැකියව ඇත. මේ සෑම සෙලවීමක් අතර තුරම පොඩි විවේකයක් ගත යුතුලු.

ඉදිරි අවුරුදු 5-10 තුලදී මේ තාක්ෂනයේ අති විශාල දියුණුවක් දැක ගත හැකිවන බව ඔවුන් කියා සිටියා. Baugh මහතාව සම්පුර්ණයෙන් වැඩ කරන රොබෝ අත් දෙකක් සහිතව ගෙදර යැවීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

ජෝන් ලෙනන්ගේ මධුසමයට මාධ්‍යයටත් ආරාධනයක්



වසර 48 කට පෙර අද වැනි දවසක ජෝන් ලෙනන් තම බිරිඳ යොකෝ ඔනෝ සමග වියට්නාම යුද්ධයට එරෙහි Bed -In සාමකාමී විරෝධතාව දියත් කළේය.

1969 මාර්තු මස 20 වැනිදා ජෝන් ලෙනන් සහ යොකෝ ඔනෝ විවාහප්‍රාප්ත වූහ අතර නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩැම් හි හිල්ටන් හෝටලයේ කාමර අංක 702 යනු ඔවුන්ගේ මධුසමය ගත වන ස්ථානය ය. ඔවුන් එම මාර්තු මස 25 සිට 31 වැනිදා දක්වා පෙ.ව. 09.00 සිට ප.ව. 09.00 දක්වා කාලය තුළ තම හෝටල් කාමරය වෙත පැමිණෙන ලෙස මාධ්‍ය වෙත ඇරියුම් කර තිබිණ. ඒ අනුව සියලුම මාධ්‍ය කරුවන් මේ නව මංගල යුවළගේ මධුසමය ගතවන කාමරය වෙත ඇදෙන්නේ තවත් උණුසුම් සහ ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තාකරනු අටියෙනි.

මෙම කුතුහලයට හේතු වන්නේ මෙයට පෙර ලෙනන් සහ ඔනෝ දායකත්වය සැපයූ සිමා විරහිත කලා ප්‍රකාශනයන් වල ස්වරූපය ය. විවාහ වීමට පෙර , එනම් 1968 වසරේදී .Two Virgins යන ගීත ඇල්බමයේ කවරය සඳහා භාවිත කරන්නේ ඔවුන් දෙදෙනාගේ ම නිරුවත ය. ඇල්බමයේ ඉදිරිපස කවරය සඳහා ලෙනන් සහ ඔනෝ නිරුවතින් සිටගෙන සිටින සේයාරුවක් භාවිත කරන අතර පසුපස කවරය සඳහා එම අවස්ථාවේ ඔවුන් දෙදෙනාගේ පසුපසින් ගත් නිරුවත් සේයාරුවක් යොදාගෙන තිබිණ. මේ සේයාරූ වැසෙන්නට දුඹුරු පැහැ කඩදාසියකින් අමතර ආවරණයක් යොදා වෙළඳ පොළට නිකුත් කරන්නට වූ Two Virgins ඇල්බමය අශ්ශීල නිර්මාණයක් යැයි නොයෙක් චෝදනා ද නැගිණ. විවිධ ප්‍රදේශ වල දී නෛතික තීන්දු මත පිටපත් පරිරෝධනය වන මට්ටමට එම විරෝධතාව බලවත් වුවද ඇල්බමය සහ කවරය සඳහා වූ මහජන අවධානය පරිරෝධනය කිරීමට කිසිම බලවේගයකට නොහැකි විය.

එබඳු ඉතිහාසයක් ඇති ලෙනන් සහ ඔනෝ යුවළ මධුසමය ගතකරන අතරතුර හෝටල් කාමරයටම මාධ්‍ය කැඳවන කල්හි බොහෝ දෙනා උපකල්පනය කර තිබුණේ වැරදි අදහසකි. නමුත් හෝටල් කාමර අංක 702 වෙත යන ඔවුන්ට දක්නට ලැබෙන්නේ සයනය මත පිජාමා ඇඳුමෙන් සැරසීගෙන ශාන්ත දාන්තව , ජෝන් ලෙනන් ම පසුකාලීනව හැඳින්වූ පරිදි ” දේවදූතයින් සේ ” බලා සිටින නව යුවතිපති යුවළ ය. ඔවුන් එසේ හිඳ අදහස් හුවමාරු කරන්නේ සාමය පිළිබඳව ය. ඇඳට උඩින් පුවරු දෙකකි. එහි Hair Peace සහ Bed Peace සඳහන් වී තිබිණ. මේ Bed -In විරෝධතාව පුරා සතියක් තිස්සේ නොකඩවා පැවැත්විණ. ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ වී තිබුණේ යුද්ධය ට එරෙහිව ත් සාමයට පක්ෂව ත් නවමු ආකාරයක සාමකාමී විරෝධතාවක් වඩාත් නිර්මාණශීලී ව ඉදිරිපත් කිරීමය . මන්ද යත් ඒ යුගය වියට්නාම යුද්ධයේ අමානුෂික ම සහ ප්‍රවේගකරම කාලවකවානුව වී තිබූ බැවිනි.

ජෝන් ලෙනන් සහ යොකෝ ඔනෝ ලොව ඉදිරියේ දී නිරුවත් වන්නේ කලාව උදෙසා ය. දේශපාලනික අදහස් ප්‍රකාශය උදෙසා ඔවුන් විරෝධතාව සඳහා ඔවුන් තෝරාගන්නේ නව වේදිකාවකි. යුද්ධය සහ පිළිමළුන් මැඩීමට එරෙහිව ඔවුන් විරෝධය පළ කළහ. කලාව වෙනුවෙන් නිරුවත් වූ නුමුදු දේශපාලනය යන විෂයයේ දී කිසිදිනෙක නිරුවත් නොවූහ. එසඳ පිජාමා ද හැඳ සයනාරූඩව දේවදූතයින් සේ සංවරව හැසිරුණ හ.

නමුත් අපි දකින්නේ මෙයට සහමුලින්ම වෙනස් වාතාවරණයකි. මෙය පුද්ගලික අභිවෘද්ධිය උදෙසා පිජාමා හඳින , යුද්ධය ට පිළිමළුන් මැඩීමට ආවඩන , අවසන දේවදූතයන් ලෙස හැසිරෙන මනුෂ්‍ය කොට්ඨාසයකි. දේශපාලන විෂයයෙහි සදාකාලිකවම සළු පිළි උණා දමා නිරුවත් වන පුද්ගලික වැරදි වසා ගන්නට නිරුවතින් මාධ්‍ය කැඳවන ජනතා නියෝජිතයින් ය. පිටකවර දහසක් යොදා හෝ වසාලන්නට නොහැකි ඒ නිරුවත ඉදිරිපස , පිටුපස පමණක් නොව කුමන දිශාවකින් බැලූවද පෙනෙන බව ඔවුන් නොදනිති.

– සහන් කසීර වික්‍රමසිංහ –




ෆොන්සේකාගේ චෝදනාව ගෝඨාභය යළි හරවයි



පසුගිය රජය සමයේ හමුදාව තුල මාධ්‍යවේදීන් දඩයම් කිරීම සදහා කණ්ඩායම් පවත්වාගෙන ගොස් ඇත්නම් එහි වගකීම හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා මහතා භාරගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේ දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්. මේ එම සම්පූර්ණ සාකච්ජාවයි.


ප්‍රශ්නය – ත්‍රස්‌තවාදය ජයගැනීම සදහා ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් ප්‍රධානියා ඔබ. ඔබ යටතේ සේවය කළ නිලධාරීන් බොහෝ දෙනකුට අද චෝදනා ඉදිරිපත්වී තිබෙනවා. ඔබට පවා චෝදනා ඉදිරිපත් වී අධිකරණයට, කොමිෂන් හමුවට, සී.අයි.ඩී. සහ එµa. සී.අයි.ඩී. වැනි ආයතන වෙත යැමට සිදුවී තිබෙනවා. ඔබ යටතේ සේවය කරන ලද හමුදා නිලධාරීන්ට විවිධ චෝදනා ඉදිරිපත් වීම හේතුවෙන්, අද අත්අඩංගුවට පත්වීමට පවා සිදුවී තිබෙනවා. යුධ ජයග්‍රහණය සදහා නායකත්වය ලබා දුන් පුරෝගාමී චරිතයක්‌ වන ඔබටත් මේ සඳහා වගකීමට සිදුවෙනවා නේද…?

පිළිතුර – ඇත්තටම මේකට වගකිව යුත්තේ නොමග ගිය ජනතාව. යුද්ධය අවසන් වෙලා වසර පහක්‌වත් යන්න ඉස්‌සෙල්ලා, එහි වැදගත්කම තේරුම් නොගෙන යම් යම් පුද්ගලයන් කියපු බොරුවලට රැවටිලා, ජනතාව මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාව පරාජය කළා. සුළු ජාතික ඡන්ද නොලැබීම නිසා මහින්ද රාජපක්‌ෂ පරාජය වුණා කියලා මතයක්‌ තිබුණත්, මම ඒ මතය විශ්වාස කරන්නේ නැහැ. මහින්ද රාජපක්‌ෂ මහතා පරාජයට පත් වුණේ, මහ ජාතියේ ඡන්ද හිමි නොවුන නිසයි. ඒ බව මෙම ඡන්ද ප්‍රතිපල විශ්ලේෂණය කර බලන විට පෙනී යනවා. විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සිංහල ජනතාව තමයි මේ බොරුවලට රැවටුණේ. මුස්‌ලිම් ජනතාවට එදා රාජපක්‌ෂ ආණ්‌ඩුවට විරුද්ධ වෙන්න හේතුවක්‌ තිබුණා. ඒ තමයි, බොදු බල සේනාව. ප්‍රභාකරන් පරාජය කිරීම නිසා දෙමළ ජනතාවට ආණ්‌ඩුව ගැන වෛරයක්‌ තිබුණා. ඒ වෛරය කොයි තරම්ද කිව්වොත්, යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකාට 2010 දී සහයෝගය දුන්නා. මේ කියපු බොරු විශ්වාස කරලා, තමන් ඇස්‌ ඉදිරිපිට භුක්‌ති විඳින ජයග්‍රහණය අමතක කරලා දාන තැනට ජනතාව පත්වුණා.

එදා ආණ්‌ඩුව මාරු කරපු එක ගැන අද සැම කෙනෙක්‌ම දුක්‌ වෙනවා. සෑම ක්‍ෂෙත්‍රයකම පුද්ගලයන් මේ කරගත්ත දේ ගැන දුක්‌ වෙනවා.

ප්‍රශ්නය – ලසන්ත වික්‍රමතුංග මරා දැමීම, කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහරදීම වැනි සිද්ධි සඳහා එදා හරියාකාරව පරීක්‌ෂණ සිදු කෙරුණේ නැහැ. ඒ පිළිsබඳව නියමිත පරීක්‌ෂණ සිදු කරලා වැරදිකරුවන්ට දඩුවම් දුන්නා නම්, අද මෙවැනි චෝදනා සඳහා බුද්ධි අංශ නිලධාරීන්ට සිරගත වීමට සිදුවෙන්නේ නැහැ…

පිළිතුර – මම මේ පරීක්‌ෂණ සඳහා විශාල ප්‍රයත්නයක්‌ දැරුවා. එක ආයතනයකට නෙමෙයි, හැම ආයතනයකටම මේ පරීක්‌ෂණ සිදු කිරීම සඳහා මම සම්පූර්ණ බලතල ලබා දුන්නා. ජාතික බුද්ධි අංශයට, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට, පොලිසිය ආදී හැම ආයතනයකටම මේ පිළිබඳ පරීක්‌ෂණ සිදුකර, වැරදිකරුවන් අල්ලා දෙන ලෙස මම නියෝග කළා. නමුත් යම් තැනකට ඇවිල්ලා මේ පරීක්‌ෂණ නැවතුණා, ඉන් එහාට ගියේ නැහැ. මේ සඳහා වැරදිකරුවන් ලෙස අපි අනුමාන කරපු අය හිටියා. පොලිසිය සොයාගන්නා තොරතුරුවලින් පිටට ගිහිල්ලා, දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා අපිට අවශ්‍යතාවක්‌ තිබුණේ නැහැ. වර්තමාන අගමැතිතුමා විසින් එදා පාර්ලිමේන්තුවේදී ලසන්ත ඝාතනය පිළිබඳව සරත් ෆොන්සේකාට වගකීම පැවරුවා. ජෝශප් මයිකල් පෙරේරා මහත්මා මේ ගැන සරත් ෆොන්සේකාගේ නම කිව්වා. ඒ අතර රට තුළ හැම කෙනකුගේම සැකයක්‌ මතුවුණා, මේ කටයුතු සඳහා වගකිව යුත්තේ සරත් ෆොන්සේකා කියලා. නමුත් දේශපාලනිකව ඒ දෙය අරගෙන සරත් ෆොන්සේකාට දඬුවම් දෙන්න මටවත් ජනාධිපතිතුමාටවත් ඕනේ වුණේ නැහැ. රහස්‌ පොලිසියටවත් බුද්ධි අංශයටවත් යම් කිසි ස්‌ථානයකින් එහාට ගිහිල්ලා ඒවා ඉවර කරන්න බැරි වුණ නිසා තමයි අපිට ඒ ගැන අවසාන තීන්දුවක්‌ ගන්නට බැරි වුණේ.
මේ ආයතනවලට මම  මේ ගැන දන්වලා තියෙනවා. ඒ නිලධාරීන් දැනුත් ඒ ආයතනවල ඉන්නවා, මම ඒ ගැන සොයන්න බල කළා මිසක්‌ කිසිම කෙනකුට ඒ සඳහා බාධා කළේ නැහැ. ඒ ආයතනවලට මේ ගැන අවසන් තීන්දුවක්‌ සඳහා ඒමට, ඔප්පු කළ හැකි සාක්‌ෂි ලැබුණේ නැති නිසා තමයි මේ පරීක්‌ෂණ නැවතුනේ…

ප්‍රශ්නය – ඔබගේ Rජු වගකීම යටතේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වුණු මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ ඒකකයක්‌ මගින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු වූ බවට හිටපු හමුදාපතිවරයා විසින් මේ වන විට සාක්‌ෂි ලබා දී තිබෙනවා.

පිළිතුර – කපිල හෙන්දාවිතාරණ කියන්නේ, විශ්‍රාම ගිය මේජර් ජෙනරාල්වරයෙක්‌. ඔහු විශ්‍රාම යැමට පෙර හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වී සිටියා. ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා වී සිටියා. ඔහු හමුදා බුද්ධි අංශ ආරම්භයේ සිට සේවය කළ විශිෂ්ට නිලධාරියෙක්‌. ශ්‍රී ලංකාව වෙනුවෙන් රටවල් රාශියක බුද්ධි අංශ කටයුතුවල ඔහු නිරත වුණා. ඔහු මගේ මිත්‍රයෙක්‌ නෙමෙයි. මම ඔහු හඳුනාගෙන සිටියේ හමුදා සේවයේදී නිලධාරියකු ලෙසයි. ඔහු විශ්‍රාම යන විට, ඔහු ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස අපි විසින් පත් කළා. ඉන් පසුව ආරක්‌ෂක අමාත්‍යාංශය යටතේ ඔහු සේවය කළා. ඔහු බුද්ධි අංශ ප්‍රධානියා ලෙස විශ්‍රාම යැමෙන් පසුව කටයුතු කළේ සිවිල් නිලධාරියකු ලෙසයි. ඔහු යටතේ හමුදා භට පිරිස්‌ හෝ වෙනම කණ්‌ඩායම් සිටියේ නැහැ. ඔහුට අණදීමේ හැකියාවක්‌ තිබුණේ නැහැ. ලැබෙන බුද්ධි තොරතුරු විශ්ලේෂණය කර, ඒ සඳහා ඔහුගේ දැනුම ද එකතුකර රාජ්‍යයේ ආරක්‌ෂාව සඳහා ඉදිරිපත් කිරීම තමයි, ඔහු විසින් සිදු කළේ. ජාතික ආරක්‌ෂක මණ්‌ඩලයේදී මේ බුද්ධි තොරතුරු සමාලෝචනය කර ඉදිරිපත් කරන්නේ ඒ නිලධාරීන්. චූලා සෙනවිරත්නත් විශ්‍රාම යැමෙන් පසු මේ තනතුර දැරුවා. මේ නිලධාරීන්ට අණ දීම සඳහා කණ්‌ඩායම් හිටියේ නැහැ. ඒ අය කළේ ඩෙස්‌ක්‌ ජොබ් එකක්‌. ඒ කියන්නේ කාර්යාල තත්ත්වයේ සේවයක්‌. අරයට ගහන්න, මෙයාට ගහන්න කියන්න ඒ අයට පුළුවන් කමක්‌ තිබුණේ නැහැ.

ප්‍රශ්නය – නමුත් හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ චෝදනාව වන්නේ ඔබ යටතේ සිටි මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ විසින් ලසන්ත ඝාතනය සඳහා කණ්‌ඩායමක්‌ යොමු කළ බවයි…

පිළිතුර – සරත් ෆොන්සේකා මේ කියන කතාව නිසාම ඔහුව අත්අඩංගුවට ගන්න ඕනේ. හෙන්දාවිතාරණ යටතේ හමුදාවේ පිරිසක්‌ සිටියා නම්, හමුදාපති ලෙස ඔහු ඒ සදහා වග කියන්න ඕනේ. එහෙම කට්‌ටියක්‌ ඉඳගෙන වැරදි වැඩක්‌ කරනවා නම් ඇයි ෆොන්සේකාට බැරි ඒක වහාම නවත්වන්න. ඒ අයට පරීක්‌ෂණයක්‌ පවත්වන්න. එහෙම පිරිසක්‌ හිටියා නම් ඒ අයව යළි කැඳවන්න ඔහුට බැරි වුණේ ඇයි…? හමුදාවේ සිටින සෑම කෙනෙක්‌ පිළිබඳවම හමුදාපති ලෙස ඔහු වගකියන්න ඕනේ…

ප්‍රශ්නය – හිටපු හමුදාපතිවරයා විසින් සඳහන් කරන්නේ, බුද්ධි අංශ පිළිබඳව නොව, මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ යටතේ සිටි වෙනම කණ්‌ඩායමක්‌ පිළිබඳවයි…

පිළිතුර – එයා සාකච්ඡාවකදී එහෙම කියනවා මමත් අහගෙන හිටියා. එහෙනම් අත්අඩංගුවේ සිටින අනිකුත් බුද්ධි අංශ සාමාජිකයන් පිළිබඳව එයා මොකද කියන්නේ… දැන් අත්අඩංගුවට අරන් ඉන්න හැමකෙනෙක්‌ම බුද්ධි අංශ අයනේ… එහෙනම් ඒගොල්ලන්ව නිදහස්‌ කරලා දාන්න කියලා කියන්න පුළුවන්නේ… පළිගැනීම සඳහා හෝ වෙනත් අයගේ අවශ්‍යතා ඉටුකිරීමට සරත් ෆොන්සේකා විසින් කරන මේ දේවල්, ජාතික ආරක්‌ෂාවට හමුදාවට මෙන්ම ඔහුටත් කරගන්න හානියක්‌. ඔහු කොහොමද කියන්නේ තමන් දන්නේ නැහැ කියලා, තමන් යටතේ ඉන්න බුද්ධි අංශ මොනවද කරන්නේ කියලා… පැත්තක ඉන්න අයට චෝදනා කරන්න එයාට පුළුවන්කමක්‌ නැහැ. මේ පරීක්‌ෂණ පවත්වන නිලධාරීන් පවා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ… මම දන්න විදිහට මේ පරීක්‌ෂණ හරි මාර්ගයක යන්නේ නැහැ. අපි ඉන්න කාලයේම, මේ දේවල් ගැන තොරතුරු ලැබිලා තිබුණා. එයින් එහාට යන්න විදිහක්‌ තිබුණේ නැති එකයි ප්‍රශ්නය. ඊට අමතරව සරත් ෆොන්සේකා විසින් යම් යම් කණ්‌ඩායම් ලවා කරපු දේවල් ගැන තොරතුරු වාර්තා වුණා. ඒ දේවල් ගැන හොයන්නේ නැත්තේ ඇයි…? මේ බුද්ධි අංශයක්‌ පස්‌සෙම යන්නේ ඇයි…? මේ වගේ දේවල් වෙනවා කියලා එයා දැනගෙන හිටියා නම් හමුදාපතිවරයා වශයෙන් ඔහු සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ. එහෙම දෙයක්‌ වෙනවා නම් ඔහුත් වගකියන්න ඕනේ.

ප්‍රශ්නය – ඔබ විසින් නීතිඥ වැලිඅමුණට හානියක්‌ කරන්න කියලා හිටපු හමුදාපතිවරයාට කියා තිබෙන බවත් ඔහු එය ප්‍රතික්‌ෂේප කිරීම නිසා, මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ ලවා එය කර ගත් බවත් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා.

පිළිතුර – හෙන්දාවිතාරණට කියලා ඒක කරගන්න පුළුවන් නම් මම මොකටද සරත් ෆොන්සේකාට ඒක කියන්නේ. මම කෙලින්ම හෙන්දවිතාරණට කියනව නේ… මොකද මම කරන දේවල් එයාට දැනුම් දීලා ඉන්න ඕනේද…? මේ වගේ විහිළු තමයි එයා කරන්නේ. ඔහුට තියෙන ක්‍රෝධයේ තරමයි මේ දේවල්වලින් පෙනෙන්නේ… ඒ කාලේ විපක්‌ෂ නායක විදිහට හිටපු වර්තමාන අගමැතිතුමා ඔහුගේ නම ලසන්ත ඝාතනයට සම්බන්ධ කිරීම ගැන එයා කියපු දේ දැක්‌කාද…? ඔහු සමග තරහ හමුදා නිලධාරින් පිරිසක්‌ එවකට විරුද්ධ පක්‌ෂ නායකතුමාට බොරු කිව්වා. ඒ දේවල් තමයි රනිල් වික්‍රමසිංහ මහතා කිව්වේ කියලා එයා කියනවා. ඕකම තමයි එයා දැන් කරන්නේ. වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කරනවා. සරත් ෆොන්සේකා අද කැබිනට්‌ ඇමැතිවරයෙක්‌, එවැනි කෙනෙක්‌ මෙහෙම කිව්වාම ඒ පරීක්‌ෂණ සිදුකරන නිලධාරීන්ට සිද්ධවෙනවා, ඒ දේවල් සනාථ කිරීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම මම දැක්‌කා චම්පික රණවක ඇමැතිතුමාත් මෙවැනි ප්‍රකාශයක්‌ නිකුත් කරලා තිබුණා. එතුමා ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයෙක්‌. පොලිස්‌පති තනතුර පවා පත් කරන්නේ ඒ මණ්‌ඩලයෙන්. වෙච්ච දේවල් සඳහා රාජපක්‌ෂලා වගකියන්න ඕනේ කියලා චම්පික ඇමැතිතුමා කියනවා. ගෝඨාභය සහ හෙන්දාවිතාරණ වගකියන්න ඕනේ කියලා සරත් ෆොන්සේකා කියනවා. කැබිනට්‌ ඇමැතිවරු මෙහෙම කියලා, වාතාවරණයක්‌ හදලා, පොලිසියට කියනවා පරීක්‌ෂණයක්‌ තියන්න කියලා. එතකොට ඒ පරීක්‌ෂණ ස්‌වාධීනව සිදු කෙරෙයිද…? ඒ ඇමැතිවරුම නිමිත්ත ඇති කරලා, තීරණ දීලා, ආණ්‌ඩුව යටතේ තියෙන පොලිසියට කියනවා පරීක්‌ෂණ තියන්න කියලා. එතකොට මෙතැන තියෙන සාධාරණය මොකක්‌ද…? මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්‌. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා මේක නවත්වන්න ඕනේ… ඒ අය කතා කළේ සාධාරණ සමාජයක්‌ ගැන නේ… අගමැතිතුමා නීතිඥයෙක්‌. එතුමා නීතිය දන්නවා. බලගතු ඇමැතිවරු එකිනෙකා ළඟට ඇවිල්ලා නම් කියලා, විවිධ සිදුවීම් වෙනුවෙන්, කිසිදු පදනමක්‌ නැතුව චෝදනා කරලා, කරගෙන යන වැඩේ හරිද…? හැමකෙනාම දන්නවා, මේ දේවල් කළේ කවුද කළේ කියලා. සියලූ දෙනාගේ හදවත ඒ ගැන දන්නවා. ඊළඟට ඒ අය පරීක්‌ෂකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා, ඒ අය කියපු විදිහට පරීක්‌ෂණ කරන්න.

ප්‍රශ්නය – පසුගිය යුද්ධ කාලයේ බුද්ධි අංශ විශාල සේවයක්‌ කළා. අද වෙනකොට බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා කියලා චෝදනා එල්ල වෙනවා. ඔබ මේ කඩා වැටීම ගැන දකින්නේ කොහොමද…?

පිළිතුර – මේ පරීක්‌ෂණ සිදු කරන්නේ පොලිස්‌ නිලධාරින්නේ… පොලිසියත් බුද්ධි අංශත් යුද්ධ කාලයේදී විශාල පරිශ්‍රමයක්‌ දැරුවා, එල්ටීටීඊ ත්‍රස්‌ත ක්‍රියා පාලනය කරන්න. උතුරු සහ නැගෙනහිරෙන් ඔබ්බට ත්‍රස්‌ත ක්‍රියාකාරකම් මැඬලීම සඳහා, මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදීන් මැඬපවත්වන්න මේ කණ්‌ඩායම් විශාල දායකත්වයක්‌ ලබා දුන්නා. සාම කතා කාලයේදී ත්‍රස්‌තවාදීන් අපේ සමාජය තුළට ඇවිල්ලා. තමන්ගේ ජාල හදාගෙන, සේµa හවුස්‌ අරගෙන, සංවිධානය වෙලා තිබුණා. මේ ජාලය කඩලා, ඒ ක්‍රියාකාරකම් මැඬපවත්වන්න කටයුතු යෙදෙව්වේ මේ බුද්ධි අංශ සහ පොලිසිය නේ… එහෙම සේවය කරපු බුද්ධි අංශ පිළිබඳව පොලිසියෙන් පිටිපස්‌සෙන් එළවීම, කොයි තරම් අසාධාරණද…? මේ දේශපාලනඥයන් අද වේදිකාවල නැගලා කතා කරන්නේ, ජනාධිපති තනතුරු, අගමැති තනතුරු දරන්නේ, මේ බුද්ධි අංශ නිලධාරින් නිසා කියලා. ඒ අය කරපු කැපකිරීම් අද අමතක වෙලා. ඒ බුද්ධි නිලධාරීන්ගේ පවුල් එදා බලාගෙන හිටියේ කොයි වෙලාවේ එල්ටීටීඊ එකෙන් මරයිද කියලා. අද ඒ අය බලාගෙන ඉන්නේ, තමන්ගේ ස්‌වාමි පුරුෂයාව, තමන්ගේ තාත්තාව කොයි වෙලාවේ හෝ රහස්‌ පොලිසිය ඇවිල්ලා හිරේ දායිද කියලා. එල්ටීටීඊ සංවිධානය නැති කරන්න ගන්න ක්‍රියාමාර්ග වලදී විවිධ මාර්ග අනුගමනය කරන්න සිද්ධ වෙනවා. සී.අයි.ඒ. එක කරන්නේ ඒක තමයි. සෑම බුද්ධි අංශයක්‌ම එහෙම තමයි වැඩ කරන්නේ. සී.අයි.ඒ සංවිධානය ලංකාවේ හිටපු කෙනෙක්‌ අල්ලාගෙන ඒ අයගේ රටට අරගෙන ගියා. ඒ පිළිබඳව පොත් පවා ලියෑවිලා තියෙනවා.

ප්‍රශ්නය – ඔබ විසින් අද හමුදා බුද්ධි අංශය පිළිබඳව රණවිරුවන් පිළිබඳව දුක්‌වෙනවා. එදා යුධ හමුදාපති තනතුර ඉසිලූ සරත් ෆොන්සේකා හිරේ දානකොට රණවිරු කැක්‌කුමක්‌ ඔබට සහ එම රජයට තිබුණේ නැද්ද…?

පිළිතුර – ‘සරත් ෆොන්සේකා කළ දේ බලන්න… සරත් ෆොන්සේකාම පාර්ලිමේන්තුවේදී කිව්වේ මාව බදා ගත්තා… මට කේක්‌ එක කපන්න දුන්නා…මාව වර්ණනා කළා’ කියලා. ඔව්…එහෙම කළා තමයි. අන්න නායකත්වය. අපිම තමයි ඔක්‌කොම කළේ කියලා අපි කිව්වේ නැහැ… නායකයකුගේ ලක්‌ෂණය තමයි තමන් ජයග්‍රහණය බාර ගන්නේ නැතුව තමන් යටතේ ඉන්න අයෙකුට ජයග්‍රහණය බාර දීම. බැණුම් අහන එක තමයි, නායකයා ගන්නේ… සරත් ෆොන්සේකාට ඒකවත් තේරෙන්නේ නැහැ. එහෙම කළාම, එයා මොකක්‌ද කළේ…? හමුදාපතිවරයා ලෙස ඉද්දීම විරුද්ධ පක්‌ෂය සමග හොරෙන් සාකච්ඡා කළා. සේනාධිනායක ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය ඉල්ලන්න සාකච්ඡා කළා. තමන් හමුදාපති, ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස, ඉන්දෙද්දී කරපු දේ හරිද…? හමුදාව දෙකට බෙදුවා. හමුදාපති ලෙස ඉන්න ගමන් ඉවත් වෙලා ඡන්දය ඉල්ලූ, ඔහු සමග වැඩ කරපු හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක්‌ ඔහු වෙනුවෙන් වැඩ කළා. ඒ විදිහට හමුදාව දේශපාලනීකරණය කළේ නැහැ කවුරුවත්. දේශප්‍රේමීන් එකට එකතුවෙලා සටන් කරලා, එක ජාතියක්‌ හැටියට, ජයග්‍රහණයක්‌ ලබා ගත්තා. මේ පිරිස දෙකට බෙදුවේ එයා. මේවා ජාතිද්‍රෝහී වැඩ… ජාතිද්‍රෝහී වැඩ… ඒවගේ වැරදි එයා කළේ, තමන්ගේ පුද්ගලික අරමුණක්‌ වෙනුවෙන්… මේ වගේ බලලෝභී, තමන්ගේ බලලෝභී අරමුණ වෙනුවෙන් අපි ලබපු ජයග්‍රහණය පාවා දුන්න පුද්ගලයෙක්‌ තමයි සරත් ෆොන්සේකා කියන්නේ… මේ නිලධාරීන් එහෙම අය නෙමෙයි. අද හිරේ දාලා ඉන්නේ අපේ ජයග්‍රහණය පාවා දුන්න අය නෙමෙයි. සරත් ෆොන්සේකා කියන්නේ ජයග්‍රහණය පාවා දුන්න පුද්ගලයෙක්‌.

ප්‍රශ්නය – බුද්ධි අංශ විසින් මාධ්‍යවේදීන්ට පහර දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඝාතනය කිරීම වැනි දේ සිදුවුණ බවට ප්‍රබල චෝදනා තිබෙනවා. එවැනි කාරණා බුද්ධි අංශ විසින් සිදුකිරීම ඔබ අනුමත කරනවාද…?

පිළිතුර – ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා බුද්ධි අංශ විසින් අවංක ෙච්තනාවෙන් කරපු දේවල් ගැනයි මම කාතා කරන්නේ. තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනයක්‌ උදෙසා ඒ අය යම් දෙයක්‌ කරලා තිබෙනවා නම්, ඒවාට දඬුවම් දෙන්න. එහෙම කරපු අය නෙමෙයිනේ මේ අල්ලගෙන ඉන්නේ… නමුත් හුදෙක්‌ ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා අවංක ෙච්තනාවෙන් මොනයම් හෝ දෙයක්‌ සිදු කළා නම් ඒ ගැන හොයන්න. නාවික හමුදාවේ යම් නිලධාරියෙක්‌ ළමයි වගයක්‌ අල්ලාගෙන ඉන්නවා කියලා, මට නාවික හමුදාපතිතුමා දැනුම් දුන්නාම, මම ඒ පිළිබඳව පරීක්‌ෂණ කරන්න කියලා ලිතව දැනුම් දීලා තිබෙනවා. හැබැයි ජාතික ආරක්‌ෂාව වෙනුවෙන් කරලා තිබෙන දේවල් සෙවීම සම්පූර්ණයෙන්ම තහනම් කියලා මම දැන්නුවා. ජාතික ආරක්‌ෂාව මුවාවෙන් කරපු පුද්ගලික දේ ගැන හොයන එක හරි. ඒත් ජාතික ආරක්‌ෂාව වෙනුවෙන් කටයුතු කරපු නිලධාරීන් හිරේ දැමීම වැරදියි…

ප්‍රශ්නය – ඔබ විසින් අනාගත දේශපාලන සිහිනයක්‌ වෙනුවෙන් ‘වියත්මග’ නම් සංවිධානයක්‌ හදාගෙන රටපුරා සම්මන්ත්‍රණ තබාගෙන යන බව පෙනෙනවා.

පිළිතුර – එහෙම සිහිනයක්‌ වෙනුවෙන් නෙමෙයි මේ දේවල් කරන්නේ. වෘත්තිකයන් පිරිසක්‌ ඇවිල්ලා, ඒ අයගෙන් කුමන ආණ්‌ඩුව ආවත් වැඩක්‌ ගන්නේ නැහැ කියලා මට කිව්වා. ඡන්දයට සුමානයකට විතර ඉස්‌සෙල්ලා, බුද්ධිමතුන්ගේ සම්මන්ත්‍රණයක්‌ කියලා, නීතිඥවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙනහල්ලා කොයි පක්‌ෂයෙනුත් සමුළුවක්‌ තියෙනවා, කියලා ඒ අය කිව්වා. ඒගොල්ලන්ගේ හැකියාවෙන් ආණ්‌ඩුවක්‌ ප්‍රයෝජන ගන්නේ නැති බව ඒ අය කිව්වා. මේ පිරිස එකතුකරගෙන, රටට මග කියාදීම තමයි අපේ අරමුණ වුණේ. ඒක එක දේශපාලන පක්‌ෂයක්‌ වෙනුවෙන් කරන දෙයක්‌ නෙමෙයි. කොයි ආණ්‌ඩුවක්‌ බලයට ආවත් බලයේ හිටියත්, රටේ ඇතිවෙන විවිධ ප්‍රශ්න පිළිබඳව බුද්ධිමතුන්ගේ අදහස්‌ දායක කරගැනීම තමයි මෙහි අරමුණ වුණේ. අපි බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති මාලාව අනුව යන ජනාධිපතිවරයෙක්‌, ආණ්‌ඩුවක්‌ ඊළඟ මැතිවරණයකදී ආවොත් ඒ සඳහා බුද්ධිමය දායකත්වය ලබා ගැනීමයි අපේ අරමුණ වුණේ.

ප්‍රශ්නය – මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්‌ෂකයකු ලෙස ඉදිරිපත්වීම සඳහා ඔබ විසින් සාදා ගන්නා පසුබිම නේද මේ…?

පිළිතුර – ඔය තනතුරු සඳහා මගේ කිසිම ආශාවක්‌ නැහැ… ගිය ආණ්‌ඩුව කාලයේ, රතන හාමුදුරුවෝ. චම්පික, උදය ඇතුළු හෙළ උරුමයේ අය ඇවිල්ලා මට කිව්වා ඔබතුමා අගමැති වෙන්න ඕනේ… කියලා. එහෙම අවශ්‍යතාවක්‌ මට නැහැ කියලා මම කිව්වා. ආරක්‌ෂක ලේකම් කියන නිලධාරි තනතුරේ ඉඳලා, රට වෙනුවෙන් මගේ වැඩ කොටස ඉටු කරන්න පුළුවන් කියලා මම කිව්වා. විවිධ මත තියෙන අය, විවිධ බලාපොරොත්තු තියෙන අය මේ ගැන වැරදියට හිතන්න පුළුවන්. 2010 මහ මැතිවරණයේදී මට ඡන්දය ඉල්ලන්න තිබුණානේ… පසුගිය මහ මැතිවරණයේදී මට ඡන්දය ඉල්ලන්න තිබුණානේ… එහෙම අරමුණක්‌ මට නැහැ. රට වෙනුවෙන්, ජාතිකත්වය වෙනුවෙන් රටේ අධ්‍යාපනය, ආර්ථිකය ආදී හැම ක්‍ෂෙත්‍රයකටම ප්‍රතිපත්ති හඳුන්වාදීම, ඒ ප්‍රශ්න ගැන අදහස්‌ ලබා දීම තමයි අපේ අරමුණ.

ප්‍රශ්නය – ඔබේ සංවිධානය ඒකාබද්ධ විපක්‌ෂයේ බුද්ධි මණ්‌ඩලය ලෙස කටයුතු කරනවාද…?

පිළිතුර – නැහැ… නැහැ… අපේ වාර්ෂික සම්මන්ත්‍රණය සඳහා දේශපාලනඥයන්ට ඇරයුම් කරනවාට මගේ කැමැත්තක්‌ තිබුණේ නැහැ. එහෙම වුණත් අපේ සංවිධානය විසින් දේශපාලනඥයන් කිහිපදෙනෙක්‌ සඳහා ඇරයුම් කළා… ඒ නිසා වෙන්න ඇති මෙහෙම මතයක්‌ ඇතිවෙන්න ඇත්තේ. අපේ සහයෝගය ලබා දෙන්නේ, රට වෙනුවෙන් මිස පක්‌ෂයක්‌ වෙනුවෙන් නෙමෙයි. ඕනෑම ජනාධිපතිවරයෙකුට, ආණ්‌ඩුවකට අපේ ප්‍රතිපත්ති සමග එකඟ නම්, අපේ සහයෝගය ලබාදෙන්න අපි සුදානම්… ඒක දේශපාලන රටාවක්‌ නෙමෙයි… ප්‍රතිපත්තිමය. බුද්ධිමය දායකත්වයක්‌… අපි ගිහිල්ලා සමහර පැතිවල වැඩ කරද්දී ඒකාබද්ධ විපක්‌ෂයේ අය ඔවුන් දැනුවත් කර, ඔවුන්ගේ සහයෝගය ඇතිව අපි ඒ දේවල් කරයි කියලා හිතනවා. අපි දේශපාලන කණ්‌ඩායම් සමග වැඩ කරන්නේ නැහැ. ඒ අයත් වැරදි මතයක්‌ ගොඩනගාගෙන තියෙනවා.

ප්‍රශ්නය – ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා වරක්‌ ඔබව අගමැති තනතුර සඳහා පත් කරන්න කියලා, යෝජනා කළා. දයාන් ජයතිලක මහතා විසින් ඔබ ඊළඟ ජනාධිපති ලෙස පත් කළ යුතු යෑයි නිතර පෙන්වා දෙනවා. රටේ බොහෝ දෙනකු ඊළඟ නායකයා ලෙස ඔබගේ නම යෝජනා කරනවා… ඊළඟ නායකයා ලෙස මෙහෙම ඉල්ලුමක්‌ නිර්මාණය වෙනකොට, ඔබටත් ඒ ගැන නොසිතෙනවා නම් , එක පුදුම සහගත තත්ත්වයක්‌නේ…

පිළිතුර – මම දේශපාලනය කරලා නැහැනේ… ඒ නිසා එහෙම දේවල් හිතෙන්නේ නැහැ. ඒ ආශාව මට ඇතිවෙන්නේ නැහැ. අපිට වැඩක්‌ කරන්න පුළුවන් කාලය තුළ, අපේ ප්‍රතිපත්තියට අනුකුල නායකයෙක්‌ සමග වැඩ කරන්න මම ලැහැස්‌තියි…

ප්‍රශ්නය – ඒ නායකයා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙන්නත් පුළුවන්ද…?

පිළිතුර – අපේ ප්‍රතිපත්තිය මත සහයෝගය දෙන්න පුළුවන්. නැතුව මට තනතුරක්‌ අරගන්න නෙමෙයිනේ මේ දේවල් කරන්නේ… වැදගත් වන්නේ ප්‍රතිපත්තියයි… ඒ දෙය පිළිගන්න ඕනෑම කෙනෙකුට අපි සහයෝගය දෙනවා.

ප්‍රශ්නය – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔබ අතර සුහදත්වයක්‌ තිබෙන බවට ආරංචි පැතිරෙනවා… තාමත් ඒ සුහදභාවය එසේම පවතිනවාද?

පිළිතුර – එතුමා සමඟ මගේ තිබුණ සම්බන්ධතාව කලින් ආණ්‌ඩුවේ සිටමයි තිබුණේ. ඇමැතිවරයෙක්‌ ලෙස එතුමා කටයුතු කරන කාලයේ මම ළඟින්ම ආශ්‍රය කළෙත් නැහැ. ඒ වගේම එතුමාට කිසිම අවස්‌ථාවක විරුද්ධ වුණෙත් නැහැ. එතුමා අගමැති ලෙස පත් කරන්න කියලා, මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගෙන් මම කිහිපවතාවක්‌ම ඉල්ලීම් කළා. මෛත්‍රිපාල ජනාධිපතිතුමා වැඩ කරන්නේ එජාපයත් එක්‌ක… ඒක එතුමාටත් අපහසුතාවක්‌ වෙන්න ඇති. ඒ නිසා දැන් එතුමා සමඟ තිබෙන සම්බන්ධය අඩුයි. දැන් එතුමාට අපි ගැන එක එක දේවල්, කේලම් කියනවා ඇති… ගෝඨා කුමන්ත්‍රණ කරනවා කියලා කියනවා ඇති… එතුමා ජනාධිපතිතුමානේ… මම නිකං ඉන්න මිනිහෙක්‌නේ… බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව, ජාතික ආරක්‌ෂාව පිළිබඳව එතුමා මගෙන් මොකක්‌ හරි ඇහැව්වොත් මම එතුමා සමග කතා කරනවා. මේ රටේ හැටි දන්නවනේ… අපි කුමන්ත්‍රණකාරයෝ විදිහට එතුමාට කියලා ඇතිනේ… ඒ නිසා එතුමත් කැමති නැතුව ඇති අපි සමග මේ දේවල් කතා කරන්න… බලයේ සිටින විට කියන කේලම් ගැන අපි දන්නවනේ… ගෝඨාගේ මිනිස්‌සු ඉන්නවා… ගෝඨාගේ අය කුමන්ත්‍රණ කරනවා කියලා කිව්වහම එතුමා අපිත් එක්‌ක කතා කරන්නේ නැහැනේ…

රණවිරුවන්ට දඩුවම් දෙන්න කිසිඳු අවස්ථාවක ඉඩ දෙන්නේ නෑ



අතුරුදන්වූවන්ගේ පනත හරහා රණවිරුවන්ට දඩුවම් පැමිණවීමට කිසිඳු අවස්ථාවක කටයුතු නොකරන බව. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

යුද්ධය මුවාවෙන් වෙනත් වැරැදි සිදු කළ පුද්ගලයින්ට දඩුවම් ලබාදීම සිදු කරන අතර රණවිරුවන්ට දඩුවම් ලබාදීමට වත්මන් රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළේය.

දෙමළ ඩයස්පෝරාව ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත.

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව සඳහන් කළේය.

මේ අතර මෙම උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිනිය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ද මුණගැසී සාකච්ඡා කර තිබේ.

මාළිගාව ඉදිරිපිට පාර අරින්න ලෑස්ති නැහැ : ඇමති කිරිඇල්ල



යහපාලන ආණ්ඩුව පවතින තෙක් මහනුවර ශ‍්‍රී දළදා මාළිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

මහනුවර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මහනුවර නගරයේ පවතින දැඩි රථ වාහන තදබදයට හේතුව මෙම මාර්ගය වසා තැබීම බවයි ඇතැම් පුද්ගලයින් ප‍්‍රකාශ කර තිබුණේ.

කෙසේ වෙතත් රථ වාහන තදබදය අවම කිරීමට උමං මාර්ගයක් ඉදි කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

940000ක් නියඟයෙන් පීඩාවට



වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක පවුල් 255,516කට අයත් පුද්ගලයන් 940,222ක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මින් විශාල පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය ජලය බවුසර් මගින් බෙදාහැරීම සිදුකරන බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මෙම පිරිසෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 28,432කට අයත් පුද්ගලයන් 98,700ක් පීඩාවට පත්ව තිබේ.

නාවික හමුදාවට බිලියන තුනක ආදායමක්



ඇවන්ට්ගාඩ් සමාගමෙන් සමුද්‍රීය ආරක්ෂන කටයුතු නාවික හමුදාව බාර ගැනීමෙන් පසුව මාස 16ක් තුළ ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයේ රැපියල් බිලියන. 3ට අධික ආදායමක් උපයාගෙන තිබේ.

ගාල්ල මෙහෙයුම් මධ්‍යස්තානයේ නෞකා වාර 8170කින් මෙම ආදායම උපයාගෙන තිබේ. වෙළඳ නෞකාවක් සඳහා ආරක්ෂාව  ලබාදෙන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සතු අවි ආයුධ ලබාගැනීම, ගබඩා කිරීම හා නිකුත් කරීම හරහා නාවික හමුදාව මෙම අදායම උපයාගෙන තිබේ. උපයන සියලු ආදායම් රජයේ ඒකාබද්ධ ගිණුමට බැර කර තිබේ.