26 March 2017

මොසුල් සටන් බිමේදී සාමාන්‍ය වැසියන් මරුට



ඉරාකයේ මොසුල් නගරයේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව සිදුකරන මෙහෙයුමේදී සාමාන්‍ය වැසියන්ට සිදුව ඇති හානිය ඉතා ඉහළ බව එක්සත් ජාතීන්ගෙ සංවිධානය පවසයි.

ඉරාකයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය පවසන්නේ සාමාන්‍ය වැසියන්ගේ ජීවිත හානි දිනෙන් දින ඉහළ යාම දැකීමෙන් තමන් දැඩි කම්පනයකට පත්ව සිටින බවයි.

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් සිදුකරන ලද ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 200කට වැඩි පිරිසක් එක්වර ජීවිතක්ෂයට පත්ව ඇති බවට ලැබෙන වාර්තා අනුව එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය මෙසේ අදහස් දක්වයි.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ අවසන් ඉරාක බලකොටුව ලෙස සැලකෙන මොසුල් අත්පත් කරගැනීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ප්‍රබල ගුවන් ප්‍රහාරක ශක්තියක් දැනටමත් ලබාදෙමින් සිටී.

කෙසේ වෙතත්, මෙසේ සාමාන්‍ය වැසියන් මියයෑම සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.

පසුගිය සිකුරාදා දිනයෙ වනවිට මොසුල් හි ජඩීඩේ ප්‍රදේශය ආශ්‍රිතව සුන්බුන් අතරින් මළ සිරුරු 50කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, සමස්තයක් ලෙස මෙම ජීවිත හානි සිදුවූ ස්ථාන පිළිබඳව නිශ්චිතවම වාර්තාවක් නොමැති බවද සඳහන් වෙයි.

පසුගිය මාර්තු 17 සහ 23 අතර සිදුවූ ගුවන් ප්‍රහාර මෙම සාමාන්‍ය වැසියන්ගේ ජීවිතහානිවලට වගකිව ඇති බව සඳහන් වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන පරිදි ලක්ෂ 4කට වැඩි ඉරාක වැසියන් පිරිසක් මොසුල් හි පැරණි නගරය තුළ කොටුවී සිටින අතර, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඔවුන්ව මිනිස් පළිහක් ලෙස රඳවාගෙන සිටින බවද විශ්වාස කෙරෙයි.

No comments:

Post a Comment