23 May 2017

ජූලින් අසාන්ජ්ට එරෙහි පැවති ස්ත්‍රී දූෂණ චෝදනා නඩුව ඉවතට



ආන්දෝලනාත්මක විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහිව පැවති ස්ත්‍රී දූෂණ චෝදනා පිළිබඳ නඩු විභාගය ඉවත දැමූ බව ස්වීඩනයේ  එම නඩුවවේ නීතිවේදීහු පවසති.

ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් අසන්ජ් අත්ඩංගුවට ගන්නා ලෙස ස්වීඩන් බලධාරීන් විසින් නියෝග කර වසර 07කට පසුව එම නඩු විභාගය අත්හැර දැමීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් ස්වීඩනය තමා අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඇමෙරිකාවට භාරදෙනු ඇතැයි පවසමින් අසන්ජ් එම අධිකරණ ක්‍රියාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින් 2012 වසරේ සිට ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණය ලබමින් සිටියේය.

එමෙන්ම මේ සියලු චෝදනා දේශපාලන අරමුණු ඉලක්ක කරමින් ගොතන ලද ඒවා බව පැවසූ අසන්ජ් දිගින් දිගටම එම ස්ත්‍රී දූෂණ චෝදනාව බැහැර කළේය.

යුද හා රාජතාන්ත්‍රික රහස්‍ය තොරතුරු රැසක් ඇතුළත් ලිපි ලේඛන දහස් ගණනින් විකිලීක්ස් වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත්කිරීම සම්බන්ධයෙන් ජූලියන් අසාන්ජ්ට එරෙහිව නඩු පැවරීමට ඇමෙරිකාව සූදානමින් ස්ටින අතර අසාන්ජ්ගේ මෙම හෙළි කිරීම් ලෝක න්‍යාය පත්‍රයේ වෙනස්වීම්වලටද හේතු විය.

ශ්‍රි වික්‍රම රාජසිංහ මිනීමරුවෙක් නෙමෙයි – මද්දුම බණ්ඩාර ඇහැලේපොළ කුමාරිහාමි කතා බොරු – විශිෂ්ඨතම මානව විද්‍යාඥයෙකුගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව



ගණනාථ ඔබේසේකර, හේ ලංකාව විසින් බිහි කළ විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ අලුත්ගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුණ ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ බවය.

ඒ වෙනුවට ඔහු තෝරාගන්නේ ඇමරිකානු වීශ්ව විද්‍යාලයකි. නමින් ගණනාථ ඔබේසේකර නම් ඔහු ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි (1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළේය. ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලවලද මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කළේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය විසින් පළ කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය. චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පළ කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමඟ සම කර්තෘත්වයෙන් පළවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමඟ ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ.

ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිථ්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛනවලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කළ ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගණනාවක් පල කිරීමට මැදිහත් විය. ජනවාර්ගික අර්බුද සමයේ ඉතිහාසකරණය පිළිබඳ ඔබේසේකර හෙලන වැදගත් නිරීක්ෂණ සහ දුටුගැමුණුගේ හෘද සාක්ෂි අර්බුදය(Dutthagamini and the Buuddhist Conscience) පිළිබඳ ඔහුගේ ගැඹුරු කියවීම සමකාලීන ලාංකික සමාජය මත ආලෝකයක් හෙලනු ලැබීය.

විත්තිපොත් කඩයිම් පොත් සහ එතරම් ප්‍රචලිත නොවූ ඉංග්‍රීසි සිවිල් සේවකයන් යටත් විජිත යුගයේ තැබූ සටහන් මනාව නිරීක්ෂණය කරමින් රචිත THE DOOMED KING: A REQUIEM FOR ŚSRI VIKRAMA RAJASINHA පර්යේෂණ කෘතිය ඔහු අප අබිමුවෙහි තබා ඇත. මෙමගින් ගිරාපෝතක සම්ප්‍රදායෙන් බැහැරව සබුද්ධිමය සම්ප්‍රදායක් වෙත ඔහු ඔබ අපව කැඳවාගෙන යෑමට උත්සාහ කරයි. සිංහල පාඨකයින් අතර ජනප්‍රිය නොවූ මේ විද්වතා, ප්‍රාඥයා අප ඔබට හඳුන්වාදීමට සිතුවේ එනිසාය.

‘ද ඩූම් කිංන් ‘(THE DOOMED KING) පොත ලියන්න ඔබව පෙළඹවූ කාරණය කුමක්ද?

දළදා මාළිගාව ආසන්නයේම පිහිටි හෝටලයක් තියෙනවා. මම නුවර යද්දි නිතරම දකිනවා මේ හොටලයේ ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබෙනවා. මොකද මේ සිංහල මිනිස්සු ඉංග්‍රීසි කොඩියක් දාගෙන ඉන්නේ කියලා මම කල්පනා කළා. මේක මගේ හිතට කාවැදුණා. ඔහොම යද්දි මට හිතෙනවා, මේ හෝටලය ඉදිරියේ රජුරුවො හදපු ලස්සන වැවක් තියෙනවා, ඇයි කවුරුවත් මේ ගැන ලියන්නෙ නැත්තේ. මෙච්චර දේවල් නුවර ගැන ලියනව නමුත් මේ ලස්සන වැව හදපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන කවුරුත් ලියන්නෙ නැහැ. ඇයි ඒ? නුවර වැව විතරක් නෙවෙයි ඔහු තවත් කුඩා වැව් නිර්මාණය කර ඇති බව මම මේ පොතේ පෙන්නල තියෙනවා. මිනිස්සු දන්නේ ඒ මනුස්සයා බොහෝම දරුණු, පවිටු, සල්ලාල මිනීමරු රජ කෙනෙක් විදියටයි. ලංකාවේ ලියවෙච්ච ඇහැළේපොළ වර්ණනාව (වඩිග හටන) සහ කිරල සන්දේශය කියන කෘතිවලත් ඔහු දරුණු පාපී රජෙකු ලෙසයි හඳුන්වා දී ඇත්තේ. ඒ වගේම මේ පොත්වල ඔහුව හඳුන්වන්නේ රුදු දෙමළා, නපුංසක දෙමළා, පවිටු දෙමළා ආදී වශයෙන් දෙමළ විරෝධයකුත් දරුණුවට ඒ කෘතිවලින් මතුවෙනවා. නමුත් ඔහු නායක්කාර් පරපුරකින් පැවත එන්නෙක්. වඩුග කියන්නේ දෙමළ නෙමෙයි. උතුරු ඉන්දියානු සම්භවයකුයි ඔහුට තිබෙන්නේ. නමුත් ඔහු උපන්නේ ලංකාවේ. ඉගෙන ගත්තේ හාමුදුරුවන්ගෙන්. ඉතිං ඔහුට දෙමළ රජකෙනෙක් කියන එකේ කිසිම තේරුමක් නැහැ.

ඔහු සම්බන්ධයෙන් පවතින ජනප්‍රියම කතා ප්‍රවෘත්තිය වන්නේ ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන්ට දඩුවම් කළ ආකාරයනෙ. මේ අධ්‍යනය තුළ දී අපට දකින්න පුළුවන් වුණා මේ විදියට ඔහු ගේ නාමය ලාංකික ප්‍රජාව තුළ ඉතිරි කර ඇත්තේ එවක යටත් විජිත පාලකයා වූ ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට දිනාගැනීම සඳහා දියත් කළ බොහෝම සූක්ෂම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට බව. මේ කරණු සනාථ කිරීම සඳහා මෙහි දී දේශීය මූලාශ්‍ර වගේම ඊට සමකාලීන ව ඉංග්‍රිසි ආණ්ඩුව යටතේ සේවය කරපු එතරම් අප අතර ජනප්‍රිය නොවූ ඉංග්‍රිසි ලේඛකයන්ගේ මූලාශ්‍රය ඇසුරු කරුනු ලැබුවා. ඉතිං ඇත්තට මේ දේවල් මගේ ඔළුවට ආවේ, අර හෝටලයේ ඔසවා තිබුණු ඉංග්‍රීසි කොඩිය නිසා. මට දැන ගන්න ලැබුණා මම මේ පොතට විස්තර හොයද්දි මෙහෙම පොතක් ලියනවා කියලා ආරංචිවෙලා හෝටලය අයිති උදවිය ඒ කොඩිය ඉවත් කළා කියලා.

ඔබ සඳහන් කළා මෙය බ්‍රිතාන්‍යයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා ඇති වූවක්ය කියා?

මං කලින් සඳහන් කළා වගේ අප සොයා ගිය මූලාශ්‍රය තුළින් අපට දකින්න ලැබුණා ඔහු ඔය කියන ආකාරයේ බෙබද්දෙක්වත් සල්ලාලයෙක්වත් මීනීමරුවෙක්වත් නොවන බව. ඊළඟට අපි කල්පනා කළා එහෙම නම් මේ දේ සිද්ධ වුණේ කොහොමද කියලා. රාජසිංහ රජුරුවන්ව අල්ලාගත් අවස්ථාවේ එක්නැලිගොඩ රජුට දරුණු අන්දමින් පහර දෙමින් රජරුවන්ගේ බිසෝවරුන් නිරුවත් කර කනකර ආභරණ ගලවා ගන්ද්දිත් රජු බොහෝම උපේක්ෂා සහගතව බලාගෙන සිට රජෙකුට මෙහෙමද සලකන්නෙ කියලයි අහල තියෙන්නේ. රාජසිංහ රජ්ජුරුවන්ව පිටුවහල් කිරීම සඳහා කොළඹට රැගෙන එද්දි ඔහුගේ උදාර බව කෙසේද යත් ඔහුට ඇතුළු වන්න කොටු පවුර උඩ සිටි අයට බිමට බසින ලෙස අණකර තිබෙනවා . ජෝන්මාර්ෂල් කියලා රජුරුවන්ව බාරවෙච්ච වෛද්‍යවරයෙක් සිට තිබෙනවා. ඔහු මේ අන්දමින් පැහැදිලි කරනවා රජුරුවන්ගේ උදාර බව විශිෂ්ටත්වය. ඔහු සඳහන් කරනවා අඩු තරමින් රජ්ජුරුවෝ ඔවුන්ගේ කුඩා දරුවන් පවා බොන වයින් වීදුරුවක් හෝ පානය නොකළ බව. ඒවා ලබා දුන්නත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙයින්ම පේනවා ඔහු බීමට ඇබ්බැහිව සිටි බේබද්දෙකු නොවන බව. අනෙක් අතින් ඉංග්‍රීසි ලේඛකයින් තිදෙනකුම අවධාරණය කරනවා රජු දඬුවම් දුන්න නම් දඬුවම් ලබා දුන්නේ උඩරට තිබුණු නීතිය අනුව මිසක් ඔහුගේ හිතුමනාපයට නොවන බව. අනෙක ඔහු රජ වන්නේ වයස අවු 18ක් තරම් කුඩා වයසකදි. ඒ කාලයේ දී දැඩිව පිළිමතලාවේගේ ග්‍රහණයට හසුව සිටි ආකාරය, පිළිමතලාවේගේ කුමන්ත්‍රණ පසුව දැනගෙන රජු පිළිමතලාවට අවනත නොවුණු විට ඔහුට විරුද්ධව ද්‍රෝහීකම් කරනවා. ඒ ද්‍රෝහිකම්වල ප්‍රතිඵලයක් විදියට තමයි ඇහැළේපොල එක්නැලිගොඩ වගේ පිරිසක් පිළිමතලාවේගේ පාර්ශ්වය ගෙන රජුට සතුරු වන්නේ. නමුත් මුලසිට මේ සියල්ල පිසුපස සිටිමින් මෙහෙයවන පුද්ගලයා තමයි ජෝන් ඩොයිලි.

ඒ කාරණාව ඇහුවාම නම් මෙහෙම අහන්නේ නැතුව ඉන්න බැහැ. ඇත්තටම ඒක සිද්ධවෙන්නේ කොහොමද ?

1798 රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ලෙස පත්වීම ලබා ලංකාවට එන්නේ. එතකොට ඒ අවුරුද්දෙම තමයි ශ්‍රී වික්‍රම රජවෙන්නේ. ඒ වෙනකොට ලංකාව එංගලන්තයේ ක්‍රවුන් කොලනියක් විදියට ප්‍රකාශයට පත්කර තිබුණා. බ්‍රිතාන්‍ය ඒ කාලේ ප්‍රංසයත් සමඟ යුද්ධයකට මුහුණ දුන්නා. ඒකට කිව්වේ ඒනියන් යුද්ධය කියලා. ඉන් විශාල පරාජයකට ඉංග්‍රීසීන්ට මුහුණ දෙන්න සිදුවුණා. ඒ නිසා බටහිර රටවල් යටත් කිරීම නවතා ආසියාතික රටවල් යටත් කරගැනීමට ඔවුන් පෙළඹුණා. එහි දී කේන්ද්‍රස්ථානයක පිහිටි රටක් නිසා මුලින්ම ඔවුන් යටත් කර ගත යුතු රටක් ලෙස සැලකුවේ ලංකාවයි. ඒ නිසා මුලින්ම ආසියාවේ ක්‍රවුන් කොලනියක් වන්නේ ලංකාව. හතරවන ජෝර්ජ් රජ්ජුරුවන්ට යටත් රාජ්‍යයක් නිසා ලංකාවේ රජ කෙනෙක් ඉන්න බැහැ. ඒ නිසා බ්‍රවුන්රිග්ට නියම වෙනවා මේ රටේ සම්පුර්ණ බලය ඔහු යටතට ගන්න. 1803 දි බ්‍රවුන්රිග්ගේ සැලසුම් අනුව උඩ රට යටත් කරගැනීමට යෑමේ දී ඔවුන් නොසිතූ විරූ ප්‍රහාරයකට ලක්වෙනවා.

මෙලෙස දරුණු පරාජයක් ඉංග්‍රීසීන්ට අත්වෙන්නේ මෙරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සූක්ෂම වැඩ පිළිවෙල නිසා. ඒ අනුව 1803 දී එය මෙහෙයවන පුද්ගලයා ඇතුළු ඉංග්‍රීසීන් සහමුලින්ම කන්ද උඩරට රාජ්‍යට යටත්වෙනවා. මේ ලැබූ දරුණු පරාජයත් සමඟ ඔවුන් උඩ රට ඇල්ලීමේ අදහස සහමුලින්ම අතහැර දමනවා. එහෙම අතහැරලා හිටපු වෙලාවක තමයි හොඳින් පුහුණු කළ රහස්පරීක්ෂකයකු වූ ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උගත් දැනුමැති පුද්ගලයෙක්. ඔහුට පැවරෙන රාජකාරිය තමයි උඩරට රාජ්‍ය දුර්වල කර, ක්‍රමානුකූලව දියකර හැරීම. ඒ සැලැස්ම අනුව ඩොයිලි දකුණේ බලවත් භික්ෂුවක්ව සිටි මාතර කරතොට ධර්මාරාම හමුදුරුවන් ළඟ සිංහල ඉගෙන ගැනීමට යනවා. උන්වහන්සේ දේශපාලනික වශයෙන් හොඳ සබඳතාවයන් පැවැති භික්ෂුවක්. එතකොට ඉතාම පැහැදිලියි, ඔහු කරතොට හාමුදුරුවන් ළඟ නතරවෙන්නෙම ඔහුගේ සැලැස්ම උඩ. ඒ අනුව ඔහු භික්ෂූන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා ගොඩනගනවා. එමගින් උඩරට නායකයින්ට කිට්ටු වීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ක්‍රමයෙන් රජූ පිටුවහල් කරන තත්ත්වයට පත්වනකම් මේ සැලසුම් ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණාව මගේ මේ කෘතිය තුළ ඉතාම විශ්වාස දායක මුලාශ්‍ර මගින් සනාථ කර තිබෙනවා.

මොනවද ශ්‍රී වික්‍රම රජු කළ නිර්මාණ විදියට අද අපිට දකින්න පුලුවන් ?

පෙරාදෙණියෙ තියෙන උද්‍යානය පවා රජුරුවො හදපු එකක්. ඒක රාජකීය උද්‍යානය. පස්සේ කාලේ සුද්දෝ එකට රාජකීය උද්භිද උද්‍යාන (Royal botanical Garden) කියා නම් කළා. අපේ ගොඩක් අය හිතන්නේ මේ සුද්දා හදපු උද්‍යානයක් කියලා. බෝගම්බර වැව, නුවර වැව, වලාකුළු බැම්ම, මාළිගය, සතර දේවාල ඇතුළු මුළු රාජ ගෘහයම ඔහුගේ අනුදැනුම මත නිර්මාණය වූ ඒවා. පුදුමය නම් අද මේවා ගැන කිසිවෙක් කතා නොකිරීමයි.

ඔබ මීට ප්‍රථම දුටුගැමුණු රජු පිළිබඳව කළ ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (Dutthagamini and the Buuddhist Conscience)‘ ගැන පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් වසර තිහකට පමණ පසුව පිළිතුරු කෘතියක් රචනා කර තිබෙනවා. ඒවා ලිව්වට කිසිම වරදක් නැහැ. මම සත්‍ය වචනයක් ලිව්වට ඒක පිළිගන්න ඕන නෑ මිනිස්සු. මම හිතනවා මේක ඇත්ත කියලා. එහෙමයි කියලා මේක පිළිගන්න වටින්නේ නැහැ. ඒකට තර්කයක් තියෙන්න ඕන විවාදයක් තියෙන්න ඕන. වාද විවාදවලට මේකෙන් උනන්දුවක් දෙනව නම් මට ඒ ගැන සතුටුයි. මටත් කීප දෙනෙක් ඒ බව පැවසුවා. නමුත් එය කියවන්න ඉස්පාසුවක් තිබුණේ නැහැ. ඇරත් මං කියෙව්වයි කියලා ඕවට උත්තර දෙන්න යන්නේ නැහැ. දැන් මේ පොත ගැන වුනත් කාට හරි වෙනත් මතයක් තියෙන්න පුළුවන්. එයාටත් මේකට මොකක් හරි ලියන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. කවුරුහරි බැරෑරුම්ව මේ කෘති කියවනව කියන එකනේ ඒකෙන් පේන්නේ. ඒක සතුටට කාරණයක්. මම කරන්නේ මම දකින දේ අධ්‍යයනයෙන් යුතුව පාඨකයාට ඉදිරිපත් කිරීම පමණයි. එය බාරගන්න හෝ නොගන්න එක පාඨකයා සතු කාර්යයක්. මේවා සිංහල ලේඛකයෝ තවදුරටත් විග්‍රහ කරලා පරික්ෂා කරලා බලන්න ඕන.

මේ පොත කියවන කෙනෙක් ඔබ අතීතකාමය (nostalgia) පිළිබඳව අදහස් දරන්නෙකු ලෙස හැඳින් වුවොත්? ඒක ඇත්ත නේද?

අතීතකාමයක් නැතිව කොහොමද ජීවත් වෙන්නේ. මොකක් හරි වුණොත් අපි කල්පනා කරලා බලනවා. කවුරුවක්වත් මේ ගැන කලින් ලියලා නැහැනේ කියලා. ලියලා තියෙනවා නමුත් බොහෝම දරුණු විදියට. නමුත් එහෙම සිද්ධියක් වු‍ෙණ් නැහැ. අධිරාජ්‍යවාදය (imperialism) ඇති කිරීම සඳහා ගෙනගිය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එකයි මට මේකෙන් පෙන්නන්න ඕනෑ කළේ. සිංහල පාඨකයන්ටත් නුදුරේදීම මේ පොත කියවන්න ලැබේවී. මගේ අධීක්ෂණය යටතේ එච්.ජී.දයාසිසිර මහත්තයා තමයි ඒ පොත සිංහලයට නඟන්නේ. ‘නෙරපූ රජු ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය‘ කියන නමින්.



රසික කොටුදුරගේ

(උපුටාගැනීම සිළුමිණ පුවත්පතෙනි)

පුරාවිද්‍යා එකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නඩුවක්

ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සඳහන් කළේ ගාල්ල කොටු පවුර ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බවයි.

කොටු පවුර පිහිටි කලාපයද ලෝක උරුම නගරයක් ලෙස සැලකෙන අතර එම ප්‍රදේශය තුලයි ගාල්ල ක්‍රීඩාංගනය පිහිටා ඇත්තේ.

ඒ හේතුවෙන් මෙම ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති ගොඩනැගිලි තුනක් සම්බන්ධයෙන් මීට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇති බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

අදාළ ඉදිකිරීම් සම්බන්ධයෙන් ලෝක උරුම මධ්‍යස්ථානයෙන්ද පරීක්ෂා කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම දැනුම් දීමට අනුව එක් ගොඩනැගිල්ලක් පමණක් ක්‍රිකට් ආයතනය විසින් ඉවත් කර ඇති බවද ඔහු සඳහන් කළා.

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ආදායම රුපියල්වලින් වැඩිවුණත් ඩොලර්වලින් අඩුවෙලා



2017 වසරේ ජනවාරි-මාර්තු කාර්තුව තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ගලා ආ මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 261.4 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2016 මුල් කාර්තුවේ දී වාර්තා වූ රුපියල් බිලියන 258.1 ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී සියයට 1.3 ක වර්ධනයකි.

කෙසේ වෙතත් ඩොලර් වටිනාකම අනුව මෙම අගයෙහි සියයට 3.3 ක පහළ යාමක් වාර්තා වේ.

මේ අතර 2017 මාර්තු මාසයේ දී විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ රුපියල් බිලියන 97.3 සිට රුපියල් බිලියන 89.9 දක්වා යි.

2017 මැයි 19 දිනය වන විට ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.8 කින් 2017 වසර තුළ දී අවප්‍රමාණය වී තිබේ.

වසරේ මුල් කාර්තුව තුළ දී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් ලද ආදායම රුපියල් වටිනාකමින් සියයට 11.3 කින් වර්ධනය වී තිබෙන අතර එය ඩොලර් වටිනාකමින් වර්ධනය වී ඇති ප්‍රමාණය සියයට 6.1 කි.

මේ පිළිබඳ තොරතුරු ඇතුළත් සටහනක් පහත් දැක්වේ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික විවරණයෙන් උපුටා ගනු ලැබූවකි.

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ලොකුම පරිත්‍යාගය සිදුකළ ධන කුවේරයා



පතල් හා කැණීම් ක්ෂේත්‍රයේ ඔස්ට්‍රේලියානු ධන කුවේරයෙකු වූ ඇන්ඩෘ ෆොරෙස්ට් සහ බිරිඳ වන නිකොලා විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 400ක (ඇ.ඩො.මි.298ක්/රු.මි.44,700ක්) මුදලක් පුණ්‍යායතනයක් වෙත පරිත්‍යාග කර තිබේ.

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසන පරිදි මෙය ඔස්ට්‍රේලියානු ඉතිහාසය තුළ එක් පරිත්‍යාගශීලියෙකු විසින් සිදුකර ඇති විශාලතම මුදල් පරිත්‍යාගය වන අතර, ජීවත්ව සිටින ඔස්ට්‍රේලියානුවෙකු විසින් එදාමෙදා තුර සිදුකර ඇති විශාලතම පරිත්‍යාගය ලෙසද සැලකෙයි.

මෙම ධන කුවේරයා සහ ඔහුගේ බිරිඳ විසින් ලබාදී ඇති මුදල් පිළිකා පිළිබඳ පර්යේෂණ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගාසිටුවීම සහ ස්වදේශික ජනතාවට පහසුකම් සැලසීම යන කටයුතු වෙනුවෙන් යෙදවෙන බව පැවසෙයි.

ද ෆෝර්ටෙස්ක්‍යු මෙට්ල්ස් සමාගමේ සභාපතිවරයා වන ඇන්ඩෘ ෆොරෙස්ට්ගේ ජීවිත කාලය තුළ ඔහු විසින් සිදුකර ඇති ප්‍රථම මුදල් පරිත්‍යාගය මෙය නොවන අතර, මීට පෙරද ඔහු වරින් වර තම ධනය පුණ්‍ය කටයුතු වෙනුවෙන් යොමුකර තිබේ.

"මම වගේම මගේ බිරිඳ නිකොලා ධනය රැස්කිරීමට වගේම, ඒ ධනය හැකි ඉක්මණින් පරිත්‍යාග කිරීමට වාසනාවන්ත වෙලා තියෙනවා" යැයි ෆෝබ්ස් සඟරාවට අනුව ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 5.8ක වත්කමකට හිමිකම් කියන ෆොරෙස්ට් පවසයි.

වංචනික විභාග සහතික වලක්වන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙලක්



ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහතික සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විදේශගත වන පිරිස් වෙත විභාග දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව ලබාදෙන විභාග සහතිකවලට අමතරව එම සහතිකවල පිටපත් අදාළ විදේශ තානාපති කාර්යාල වෙත ද යොමුකිරීමටයි තීරණය කර ඇත්තේ.

 විදේශගතවූවන්, ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත්කරමින් සිදුකරන අක්‍රමිකතා වැළැක්වීමත්, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ විභාග සහතික සම්බන්ධව පවත්නා පිළිගැනීම අඛණ්ඩව ආරක්ෂා කරගැනීමත් අරමුණු කරගනිමින් මේ තීරණය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විභාග සම්බන්ධයෙන් ලෝකයේ සියලු ම රටවල ඉතා ඉහළ පිළිගැනීමක් පවතිනවා. ලෝකයේ එවැනි පිළිගැනීමක් සහිත රටවල් ඇත්තේ අතළොස්සක් පමණයි. එහෙත් ඇතැම් පිරිස් විසින් වංචනික උපක්‍රම මඟින් සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විභාග සහතික ඉදිරිපත් කරමින් විදේශගත වී වෘත්තීය හා උසස් අධ්‍යාපන කටයුතු සඳහා එම සහතික යොදාගන්නා බව වාර්තා වී තිබෙනවා. මෙවැනි වංචනික ක්‍රියා හේතුවෙන් විභාග සහතිකවලට පවත්නා ජාත්‍යන්තර පිළිගැනීම නැතිකරලීමට කිසිසේත් ඉඩ නොදී මෙරට විභාග සහතිකපත්‍රවල තත්වය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් පවතින ගැටළු විසඳාගනිමින් ඉදිරියේ දී මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

මීට අමතරව, 2019 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග දෙකම වසරේ එකම කාලවකවානුවක දී පැවැත්වීම පිළිබඳව ද මෙම සාකච්ජාවේදී අවදානය යොමුකර තිබුණා.

ආයුධ ගන්න සල්ලි ලැබුණේ තමිල්නාඩුවෙන් - කේ.පීගෙන් විශේෂ හෙළිදරව්වක් | VIDEO



එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ආයුධ මිලදී ගැනීමට වැය කළ මුදලින් වැඩි කොටසක් තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ මරුදර් ගෝපාලන්  රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර් විසින් ලබාදුන් බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අංශයේ ප්‍රධානි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී පවසයි.

WION මාධ්‍ය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම කියා සිටියේ එලෙස තමිල්නාඩුවෙන් ලැබුණු මුදලින් ලෙබනනය ඇතුළු රටවල් ගණනාවකින් අවි ආයුධ මිලදී ගැනීමට තම සංවිධානය එවක කටයුතු කළ බවයි.

එම අවි ආයුධ දකුණු ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට ගෙන්වූ බවත්, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇස්වලට වැලි ගසා එම අවි ගෙන ඒම සැබවින්ම අභියෝගයක්ව නොපැවති බවත් ඔහු පවසා සිටියි.

අමෙරිකා එක්සත් ජනපද හමුදා ඇතුළු බටහිර රටවල හමුදාවන්ද තම සංවිධානයේ වර්ධනයට අවස්ථාව උදා කළ බවත්, එසේ වුවද නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ සංවිධානයට කිසිදු ජාත්‍යන්තර කැරලිකාර කණ්ඩායමක් සමග සබඳතාවක් නොතිබුණු බවත් කේ.පී අවධාරණය කරයි.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි විසින් එල්.ටී.ටී.ඊ යට සහය වන ලෙස ඉන්දීය රෝ ඔත්තු සේවයට උපදෙස් ලබාදුන් බවත්, ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික ලෙස මෙම ප්‍රශ්නයට මැදිහත්වීම ආරම්භ වූයේ එතැන් සිට බවත් හෙතෙම කියා සිටියේය.

වයස අවුරුදු 12-13 ක කාලයේදී ළමා සොල්දාදුවන් ලෙස ද්‍රවිඩ ළමුන් සංවිධානයට බඳවා ගනු ලැබුවේ ඔවුන්ගේම කැමැත්තෙන් බවත්, එහෙත් පසුකාලීනව ඔවුන් බඳවා ගනු ලැබුවේ බලහත්කාරයෙන් බවත් කේ.පී සිහිපත් කරයි.

ළමා සොල්දාදුවන් සංවිධානයට බඳවා ගැනීම සම්බන්ධයෙන් තමාට එය ඉතා වැරදි සහගත දෙයක් බව දැනුණු බවත්, පියෙකු ලෙස තමන් එම දරුවන් අධ්‍යාපනයට යොමු කළ යුතු බව විශ්වාස කළ නමුත් කිසිවෙකුත් තම අදහසට ඇහුන්කන් නොදුන් බවත්, හෙතෙම අවධාරණය කරයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන අදහස වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පැමිණියේ අයර්ලන්තයේ අයි.ආර් ඒ ගරිල්ලන් හා පලස්තීනයේ පී.එල්.ඕ කැරලිකරුවන්ගෙන් බවත්, ඔවුන්ගේ මොළසේදීමේ කටයුත්තෙන් මිස මත්ද්‍රව්‍ය යොදාගැනීමෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු නොකළ බව ඔහු සඳහන් කරයි.

සංවිධානයේ න්‍යායාචාර්යවරයා වූ ඇන්ටන් බාලසිංහම් මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩි සේ විරුද්ධ වූ නමුත් සංවිධානයක් ලෙස එම පිළිවෙත වර්ධනය වෙද්දී ඔහු නිහඬ වූ බව කේ.පී පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාව යනු අපූර්ව රටක් බවත්, සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජාතීන්ගේ වෙනස්කම් වලින් යුතු වුවද, අවශ්‍ය වන්නේ සාමකාමී විසඳුම් බවත්, එය ආයුධ සන්නද්ධ විසඳුම් නොවන බැව් තම අත්දැකීම් තුළින් පැහැදිලි වන බවත් කේ.පී වැඩිදුරටත් පවසා තිබේ.


ශ්‍රී ලංකාවේ ජාතික තලයේ ප්‍රධාන පුවත්පත් ආයතනයක ගොඩනැගිල්ලකට මුද්‍රා තබයි


මරදානේ පිහිටි ජාතික තලයේ පුවත්පත් කාර්යාලයට පොලිසිය උසාවි නියෝගයක් මත මුද්‍රා තබන බව වාර්තා වනවා.

ඒ අනුව එහි භාණ්ඩ ඉන් ඉවත් කරන බවයි වාර්තා වන්නේ.

මරදාන පොලිසිය පැවසුවේ උසාවි නියෝගයක් අනුව පොලිසිය ක්‍රියාත්මක වන බවයි.

මෙය පුවත්පතට මුද්‍රා තැබීමක් නොව උසාවි නියෝගයක් මත භාණ්ඩ ඉවත් කර කාර්යාලයට මුද්‍රා තැබීමක් පමණක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අමාත්‍ය ධූර වෙනස් කිරීම රටේ ප්‍රශ්නවලට විසඳුමක් නෙමෙයි

අමාත්‍ය ධූර වෙනස් කිරීම තුළින් රටේ පවතින ජාතික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා පවසයි.

සමාජවාදී ජනතා පෙරමුණේ  (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ආණ්ඩුව විසින් දීර්ඝ කාලයක් බලා සිටි කාර්යයක් අද දිනයේ දී මෙලෙස අමාත්‍ය ධූර වෙනස් කිරීම තුළින් සිදු කර ඇති බවත් ආණ්ඩුව ගෙනියන මුලික ආර්ථික වැඩ පිළිවෙලෙහි කිසිදු වෙනසක් මේ තුළින් අපේක්ෂා කළ නොහැකි බව ද ගජධීර මහතා වැඩි දුරටත් පැවසීය.

ඇමති මණ්ඩලය වෙනස් වීමෙන් ආර්ථිකය ඉදිරියට යන බවක් ජනතාවට හැඟවීම මෙහි අරමුණ විය හැකි වුවත් නිසි ආර්ථික ප්‍රතිපත්ති නොමැතිව කවරෙක් අමාත්‍ය ධූරයන්ට පත්වුව ද එය වැදගත් නොවන බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ ය.

මේ අතර අද දිනට ශ්‍රි ලංකා ජනරජ දිනය යෙදී ඇති වුවත් ඓතිහාසික වටිනාකම් එවැනි දිනයක් සැමරීමට හෝ වර්තමාන ආණ්ඩුවට කිසිදු උවමනාවක් නොමැති බව ද මෙම මාධ්‍ය හමුවට එක් වු ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්  තිස්ස විතාරණ මහතා පැවසීය.

උමාර් අක්මාල්ට ශූරයින්ගේ කුසලාන තරඟාවලිය අහිමි වෙයි


ශරිර යෝග්‍යතා පරික්ෂණයෙන් අසමත්වීම හේතුවෙන් පාකිස්ථාන පිතිකරු උමාර් අක්මාල්ට එළඹෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය අහිමි වී තිබේ.

එංගලන්තයේ පැවැති යෝග්‍යතා පරික්ෂණ දෙකකින් ඔහු අසමත් වී ඇති බව වාර්තා වේ.

උමාර් අක්මාල්ගේ පුරප්පාඩුව සඳහා උමාර් අමීම් සහ හැරිස් සොහෙල් කණ්ඩායමට නම් කිරීමට නියමිත බව සඳහන්වේ.

කෙසේ වෙතත් උමාර් අමීම් අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරඟයකට මුහුණදී ඇත්තේ 2014 වසරේදී වන අතර හැරිස් සොහෙල් 2015 වසරේදී අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරඟයකට මුහුණ දී තිබේ.

උමාල් අක්මාල් මේ දක්වා ජාත්‍යන්තර තරඟ 116කදී ලකුණු 3044ක් රැස්කරගෙන ඇති අතර ඊට ශතක දෙකක් සහ අර්ධ ශතක 20ක් ඇතුළත්වේ.

දූෂිතයින්ට දඬුවම්දීමේ ක්‍රමය අලුත් ඇමතිකමක් දීමයි

මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේ අරමුණ ජනතාව හෝ රට සංවර්ධනය කිරීමේ ඉදිරි වැඩපිළිවෙළවල් සකස් කිරීම නොවන බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එහෙත් මෙහි වෙනත් අරමුණු කිහිපයක් තිබෙන බව මන්ත්‍රීවරයා කියා සිටියේ  (22) බත්තරමුල්ල, පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

 ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇමති කණ්ඩායමට තව දුරටත් ආණ්ඩුවේ රැඳීසිටීමට වංක සුජාතභාවයක් හදා ගැනීම මෙහි එක් අරමුණක්. ශී‍්‍රලනිපය සහ එජාපය අතර අවබෝධතා ගිවිසුමක් ගොඩනැගුණේ වසර දෙකක ජාතික ආණ්ඩුවක් සඳහායි. නමුත් දැන් වසර දෙක හමාරක් ආණ්ඩුවේ රැඳී සිටිමින් විවිධ යෝජනාවලට ඔවුන් අත උස්සලා තිබෙනවා. මේ වංචනික ආණ්ඩුවේ තවදුරටත් 2020 දක්වා රැඳී සිටීමට සුජාතභාවයක් හදාගන්න ඔවුන් හදනවා.

මෙහි දෙවැනි අරමුණ වන්නේ අසතුටට පත්වී සිටින්නන් සතුටු කිරීමයි. තිලක් මාරපන ඇමතිවරයා ඇවන්ගාඞ් වංචනික ආයතනය ආරක්‍ෂා කරන බව හෙළිදරව් වීම නිසා ඇමතිධුරයෙන් ඉවත්වීමට සිදුවුණා. ඉන්පසු මෙතෙක් කාලයක් ඔහු
දින දෙක තුනකට වඩා පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඔහු අසතුටෙන් කාලය ගෙව්වා. ඔහු සතුටු කිරීම වෙනුවෙන් සංවර්ධන කටයුතු අමාත්‍යධුරය ලබාදීලා තිබෙනවා. මේ වනවිටත් සංවර්ධනය වෙනුවෙන් ඇමතිවරු ගණනාවක් ඉන්නවා.

උපායමාර්ගික සංවර්ධනය කටයුතු ඇමති මලික් සමරවික‍්‍රම. ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා. දකුණ වර්ධන ඇමති සාගල රත්නායක. සබරගමු සංවර්ධන ඇමති ලෙස ජෝන්ට අලූත් ඇමතිකමක්. උඩරට සංවර්ධන ඇමති එස්.බී. දිසානායක. එසේ තිබියදී සංවර්ධන කටයුතු ඇමති ලෙස තිලක් මාරපන පත්කරනවා. මේ සංවර්ධන කටයුතු ඇමතිවරු ඉන්න තරමට රටේ කොයි තරම් සංවර්ධනයක් තිබිය යුතුද? ඇත්තටම මේ රටේ සංවර්ධනය වෙනුවෙන්ද? ඒ
අයගේ සංවර්ධනය වෙනුවෙන් ඇමතිකම් දීමක් මේක.

මුදල් ඇමති මුදල් වංචාවක් කළානම් ඒ වෙනුවෙන් චෝදනා ලැබූවෙක් නම් කළ යුතුව තිබෙන්නේ පරීක්‍ෂණ කොට දඬුවම් ලබාදීමයි. මේ ආණ්ඩුවේ අලූත් දඬුවම් දීමේ ක‍්‍රමය තමයි අලූත් ඇමතිකමක් ලබාදීම. රවීට විදෙස් කටයුතු ඇමතිධුරය පමණක් නෙවෙයි වතු, බැංකු, රක්‍ෂණ සමාගම්, මහපොළ, ලොතරැුයි මණ්ඩලය ආදී ආයතන ගණනාවක් ලබාදෙන්න යනවා කියලත් ආරංචියක් තිබෙනවා. එතකොට රවී ආර්ථීක කටයුතු පිළිබඳ විදෙස් ඇමතිවරයායි. එනිසා වංචාව නිසානම් ඉවත් කරන්නේ පරීක්‍ෂා කොට දඬුවම් ලබාදීම කළ යුතුයි.

අර්ජුන රණතුංගට තෙල් ඇමතිධුරය ලබාදීලා තිබෙනවා. අපේ රටේ ආනයන වියදමින් 1/4ක් වන වැඩිම පංගුවක් වැය කරන්නේ තෙල් ආනයනය වෙනුවෙන්. ඩොලර් බිලියන 5කට ආසන්න මුදල් ගනුදෙනුවක් සිදුවන විශාල කාර්ය මණ්ඩලයක් සිටින විශාල අලෙවිසැල් ප‍්‍රමාණයක් තිබෙන අමාත්‍යාංශයක් වරාය ඇමතිවරයා ලෙස චෝදනා ලැබූ අර්ජුන රණතුංගට දෙන්නේ ඇයි?ඒ විතරක් නෙවෙයි මහාමාර්ග ඇමතිවරයා ලෙස උපදේශකයින් විශාල ප‍්‍රමාණයක්, සම්බන්ධීකරණ ලේකම්වරු විශාල ගණනක් පත්කර ගැනීම සහ ව්‍යාපෘතිවල අක‍්‍රමිකතා රැසක් තිබෙන බවට කිරිඇල්ලට චෝදනා එල්ල වෙලා තිබුණ. නමුත් ඔහු සුවසේ ඉන්නවා.

 ගල් අඟුරු ටෙන්ඩරයට චෝදනා ලැබූ සියඹලාපිටිය නිවී සැනසිල්ලේ ඉන්නවා. වී තොග විකිණීමක් මගින් අතරමැදියන්ට ලාභ ලබාගැනීමට ඉඩ සලසපු හැරිසන් නිරුපද්‍රිතව ඉන්නවා. බැඳුම්කර වංචනිකයින් ආරක්‍ෂා කළ අගමැති ඒ පුටුවේම ඉන්නවා. කෘෂි ඇමතිවරයා ලෙස මාසයකට මිලියන 24 ගානේ ගොඩනැගිල්ලකට මුදල් නාස්ති කරන දුමින්ද සුවසේ ඉන්නවා. එනිසා මෙය වංචාවට චෝදනා ලැබූවන් ඉවත් කිරීම සඳහා කළ සංශෝධනයක් නොවෙයි. රටේ සංවර්ධනය වෙනුවෙන් හෝ ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් කළ එකක් නොවේ. වරාය කටයුතු ඇමතිවරයා මාරු කළා කියලා හම්බන්තොට විකිණීමවත් නැගෙනහිර ජැටිය විකිණීමවත් වෙනස් වෙන්නේ නැහැ. තෙල් ඇමති මාරු කළා කියලා තෙල් ටැංකි විකිණීම නතර වෙන්නේ නැහැ. මේ සංශෝධනය නිසා ආණ්ඩුවේ කිසිදු ප‍්‍රතිපත්ති වෙනස්වීමක් නැහැ.

නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි

නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සඳහා සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය මූල්‍ය ආධාර පහසුකම් අඛණ්ඩව රජය ලබා දෙන බව අමාත්‍යවරයා පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් රාජිත සේනාරත්න මහතා මේ ප්‍රකාශ කර තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්ට්‍රීසියා ස්කොට්ලන්ඩ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැති අතර එය (22) දින ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්විය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය  සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට රටවල් 40ක සෞඛ්‍ය අමාත්‍යවරු එක්ව සිටි බව වාර්තා වේ.

“සියලු දෙනාටම සෞඛ්‍ය සුවය“ යන තේමාව යටතේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සෞඛ්‍ය වැඩ සටහන් මෙහිදී සාකච්ඡාවට ලක් විය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා බිම් මට්ටමේ වැඩසටහන් ද ක්‍රියාත්මක බවය.