06 May 2017

විදුලිබල මණ්ඩලයෙන් හඳුන්වාදෙන අලුත් ගාස්තු ක්‍රමය

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා ඉදිරිපත් කළ කාල පාදක ගාස්තු ක්‍රමය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

කාර්යබහුල අවස්ථාවන් හීදී විදුලි පරිභෝජනය අවම කර ගැනීම මෙහි මූලික අරමුණයි.

මෙම කාල පාදක ගාස්තු ක්‍රමය හඳුන්වාදී ඇත්තේ කාර්යබහුල කාලයේදී විදුලි පරිභෝජනය අඩුකර කාර්යබහුල නොවන කාලයේදී විදුලි පරිභෝජනය සඳහා
ජනතාව දිරිමත් කිරීමේ අරමුණින්.

ලංකා විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට අනුව ක්‍රියාත්මක වන නව ගාස්තු ක්‍රමයේදී විදුලි ඒකකයක මිල විදුලිය පරිභෝජනය කරන කාලය අනුව වෙනස්වනවා.

එම ගාස්තු ක්‍රමය අවශ්‍ය පාරිභෝගිකයින්ට පමණක් සිය කැමැත්ත පරිදි ලබාගත හැකිවීම විශේෂත්වයක්.

ඒ අනුව, රාත්‍රී 10.30 සිට උදෑසන 5.30 දක්වා වූ අරපිරිමැසුම් කාලය තුළදී විදුලි ඒකකයක් සඳහා රුපියල් 13 ක මුදලක් අය කෙරෙනවා.

එසේම උදෑසන 5.30 සිට පස්වරු 6.30 දක්වා දහවල් කාලය තුළ විදුලි ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 25 ක්.

පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා කාර්යබහුල කාලය තුළදී එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 54 ක මුදලක් අයකෙරෙනවා.

මේ සඳහා වැයවන මාසික මූලික ගාස්තුව රුපියල් 540 ක්.

පොහොර සහනාධාරය මෙතෙක් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා

ආණ්ඩුව ලබාදීමට පොරොන්දු වූ පොහොර සහනාධාරය මෙතෙක් ලැබී නොමැති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේ දින තුනක් තුළ ආණ්ඩුව එම සහනාධාරය ලබාදීමට කටයුතු නොකලහොත් ඊට අදාළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන කාර්යාලය වටලන බවයි.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් සහ මැදිරිගිරිය ප්‍රදේශයේ ගොවීන් පිරිසක් එක්ව ඊයේ(05) දිනයේ කවුඩුල්ල වෙල්යායේ විරෝධතාවකද නිරත වුණා.

SAITM රෝහලට ගෙනිච්ච ලෙඩෙක්ට වැරදි බෙහෙතක් දීලා නැවත කොළඹ ජාතික රෝහලට එවලා | PHOTO



දිවයින පුරා පැවති වෛද්‍ය වැඩවර්ජනයත් සමග අසාධාරණයට පත්වූ රෝගීන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර කිරීමට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලෙන් තීරණය කර තිබුණා.

වෛද්‍යවරුන් වැඩ වරද්දී අසරණ වන රෝගීන් වෙනුවෙන් මෙලෙස සේවය කිරීමට මැදිහත්වීම අගය කළ යුතු ක්‍රියාවක්.

නමුත් මෙලෙස පැමිණි රෝගියෙකුට දුන් ප්‍රතිකාරයක් සමාජජාල මාධ්‍යන්වල බොහෝ සෙයින් කතාබහට ලක්ව තිබෙනවා.

එනම් පොල් ගෙඩිය හිස මත වැටීම නිසා ප්‍රතිකාර සඳහා රැගෙන ආ රෝගියෙකුට ලබාදීමට සුදුසු නැති ‘ටැමඩෝල් ‘ නම් බෙහෙතක් ලබාදී නැවත එම රෝගියාව කොළඹ ජාතික රෝහලට එවීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

මෙවැනි අනතුරකට භාජනය වූ රෝගියෙක් හට කිසිසේත් ට්‍රැමඩෝල් ලබානොදෙන අතර එය ලබාදීමෙන් රෝගියා මත් ගතියට පත්වන බවත් එමගින් මොලයට වන හානිය තීරණය කරන්න බැරි බවත් මොලේ ඇතුලට ලේ යනවාද නැද්ද යන්න තීරණය කරන්න අසීරු බවත් පැවසෙනවා.

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ලොව ඉහළම සීටී ස්කෑනර් සහ එම් ආර් අයි ස්කෑන් තිබෙන බව පැවසුවත් මෙලෙස මෙම රෝගියාව මාරු කර යවා ඇත්තේ අදාළ පරීක්ෂණ වාර්තා ලබාගැනීමට බවත් වාර්තාවනවා.

මහජනතාව අපහසුතාවයට පත්වන මෙවන් අවස්ථාවක දී මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිලේ ප්‍රතිකාර කිරීම නැවත වරක් අගය කරන අතර එහෙත් මෙවැනි අත්වැරදීම් ඉදිරියේදීවත් සිදු නොවීමට වගබලා ගත යුතුයි.
n03 n02 n01

ඉදිරියේදි දැඩි ක්‍රියාමාර්ග ගන්න සූදානම්!

ආණ්ඩුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා නිසි විසඳුම් ලබා නොදෙන්නේනම් ඉදිරියේදි දැඩි ක්‍රියාමාර්ග සඳහා එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසන්නේ  මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණය කරන බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති  වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලක චැනල් සේවාවකින් වේලාවක් වෙන් කර ගත් බව රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.


එච්.අයි.වී බෝවීම ගැන සාවද්‍ය ප්‍රකාශ සමාජගතවෙලා

එච්.අයි.වී ඒඩ්ස් රෝගය බෝවීම සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ සමාජගතව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසුවේ එච්.අයි.වී වෛරස සෛල, මිනිස් ශරීරයෙන් පිටතදී සජීවීව පැවතිය හැකි කාල පරාසය ඉතා අවම බැවින් විවිධ කටු මාර්ගයෙන් එය බෝවීමේ අවධානම ඉතා අල්ප බවය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ බරවා රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශ වල රාත්‍රි කාලයේ රුධිර පටල පරීක්ෂාවක් සිදුවන අතර මෙවැනි අසත්‍ය ප්‍රචාර මඟින් එය සිදුකරගැනීමේ අපහසුතාවක් මතුවීමට ඉඩ ඇති බවය.a

මිනිසුන් 108ක් මියයන - බිලිඳුන් 258ක් බිහිවන - විවාහ 116ක් සිදුවන අපූරු මිනිත්තුවේ විස්මිත ක්‍රියා



විනාඩියක් තුළ ලෝකයේ සිදුවන සිදුවීම් ගණනාවක් ගැන asapscience වෙබ් අඩවිය’ අපූරු වීඩියෝවක් එක් කරලා තිබුණා.

මෙවැනි විස්මිත ක්‍රියා රාශියක් සිදුවන බවයි ඔවුන් පවසන්නේ.

1. ඔබේ සිරුරේ රතු රුධිරානු මිලියන 120-180ත් අතර ප්‍රමාණයක් නිපදවෙනවා.
2. මිනිසුන් google search මිලියන 2.4ක් සිදු වෙනවා.
3. කොකා කෝලා නිෂ්පාදන මිලියන 25ක් අලෙවි වෙනවා.
4. කුණු කිලෝ මිලියන 3ක් එකතු වෙනවා.
5. මිනිසුන් 108 දෙනෙක් මිය යනවා.
6. ඔබේ සිරුරේ සෛල මිලියන 96ක් මියයන අතර ස්වයං විභේදනයට ලක්වන සෛල මගින් ඒවායේ තැන ගන්නවා.
7. ලෝකයේ නව විවාහ 116ක් සිදු වෙනවා.
8. 83,300 දෙනෙක් ලිංගික ව එකතු වෙනවා.
9. දරුවන් 258ක් බිහි වෙනවා.
10. අකුණු ගැසිම් 6000ක් සිදු වෙනවා.
11. හිරුගෙන් ටෙරා වොට් 83.33ක ශක්තියක් පොළවට ලැබෙනවා.
12. කිලෝ මීටර 1800ක දුරක් පෘථිවිය ගමන් කරනවා.
13. පැය 300ක වීඩියෝ youtube වෙත අප්ලෝඩ් වෙනවා.
14. ලෝකයට සිදුවන සාමාන්‍ය වර්ෂාපතනය මයික්‍රො මීටර 1.38ක්. ඒ වුනත් ඒ ජල ප්‍රමාණය බාත් ටබ් බිලියන 4.7ක් පිරවිමට තරම් ප්‍රමාණවත්.

එම වීඩියෝව පහතින්.


වෙසක් පොහෝ දිනයේ කළු කොඩි එසවීමට දෙන්නේ නෑ – මංගල



වෙසක් පොහෝ දිනයේදී කළු කොඩි එසවීමට බංකොලොත් දේශපාලකයන්ට ඉඩ දෙන්නේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය. මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර වෙසක් දිනයක් ලෙස වෙසක් උළෙල සමරන්නට ලැබුණු මෙම අවස්ථාව ඉතා පූජනීය අවස්ථාවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එය ලබාගන්නට හැකිවූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ උත්සාහයෙන් බව කී ඇමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 ක මුදලක් වියදම් කර තිබෙන බවද ප්‍රකාශ කළේය.

අරවින්ද ක්‍රිකට් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කර අරවින්ද ද සිල්වා මහතා එම ධුරයෙන් ඉවත්වී තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත තමන් මෙම තීරණය ගත් බවද ඔහු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ නව පරිපාලනය පත්වීමෙන් පසුව අරවින්ද විවිධ තනතුරු දරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සමීපව කටයුතු කළේය.

අරවින්ද ද සිල්වා මහතා ඊයේ පස්වරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනයට යොමු කර තිබේ. 2003 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව අරවින්ද ක්‍රිකට් ආයතනය හා සමීපව කටයුතු කළ අතර ඔහු කලක් තේරීම් කමිටු සභාපති ලෙසද කටයුතු කළේය.

ගොහාගාඩ කුණු කන්ද අවදානම් තත්ත්වයක



මහනුවර ගොහාගොඩ කුණු කන්දේ කාබනික ද්‍රව්‍ය හා පොලිතින් එක්‌ වූ මිශ්‍රණයක්‌ ඇති බැවින් සහ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ගෑස්‌ නිෂ්පාදනය වීමේ ශීඝ්‍රතාවය ඉහළ ගොස්‌ තිබෙන බව. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

කාබනික ද්‍රව්‍ය දිරාපත් වීම සමඟ සවිවරතාවයෙන් යුත් කුටීර විශාල සංඛ්‍යාවක්‌ සැකසී ඇති බැවින් ඒ තුළ විශාල පීඩනයක්‌ සමඟ මෙම වායුව විදාරණය වීමක්‌ සිදුවුවහොත් පිපුරුමක ස්‌වභාවයෙන් එය දිස්‌විය හැකි බවද මහාචාර්යවරයා කීවේය.

කුණු කන්දේ ස්‌ථාන කිහිපයකින්ම වායුව පිටතට පැමිණෙන අයුරු දිස්‌ වූ බවත් මේ පිළිබඳව පර්යේෂණ සිදුකිරීම සඳහා ඊයේ (04 දා) එහි ගිය බවත් කී අතුල සේනාරත්න මහතා, මීතේන්, ඇමෝනියා හා පොටෑසියම් සල්යිෆඩ් වැනි වායු අධික ලෙස නිපදවෙන බවද කීවේය. ඒවා දැනට කුණු කන්දෙන් පිටතට පැමිණෙන බවද කියා සිටියේය.

දිල්ලි සමූහ දූෂකයන්ගේ මරණ දඬුවම ස්ථිරවෙයි



 2012 වසරේදී ඉන්දියාවේ දිල්ලි නුවරදී වෛද්‍ය සිසුවියක අමානුෂික ලෙස සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කළ චූදිතයන් සිය මරණ දඬුවම වෙනුවෙන් ඉදිරිපත් කළ ඇපෑල එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා තිබේ.

අක්ෂෙයි තකූර්, විනෙයි ෂර්මා, පවන් ගුප්තා සහ මුකේෂ් යන චූදිතයන්ට 2013 වසරේදී එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කළත් ඔවුන් අධිකරණ නියෝගයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කළහ.

කෙසේ වෙතත්, එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආර් භානුමතී එම ඇපෑල නිශ්ප්‍රභ කරමින් පවසා සිටියේ මෙම අතිශය අමානුෂික අපරාධය ඉන්දීය සමාජයේ හෘද සාක්ෂිය සෙලවූ සිදුවීමක් බවයි.

මෙම අමානුෂික සමූහ දූෂණය ඉන්දියාව පුරා කාන්තා හිංසනයට එරෙහි හඬක් ඇති කළ අතර, ස්ත්‍රී දූෂණයට එරෙහි නව නීති රට තුළ ස්ථාපිත කිරීමටද මුල්විය.

2012 දෙසැම්බර් මාසයේදී සිය මිතුරෙකු සමග චිත්‍රපටයක් නරඹා යළි නිවස බලා පැමිණෙමින් සිටියදී බස් රථයක් තුළදී ඇය මෙම අමානුෂික ඉරණමට ගොදුරු විය. එමෙන්ම, ඔහුගේ මිතුරාද දැඩි පහරදීමකට ලක්කර තිබුණි.

2015 වසරේදී මෙම වෛද්‍ය සිසුවියගේ නම මුලින්ම ඇගේ මව විසින් ප්‍රසිද්ධ කළ අතර, ජෝති සිං නම් වූ ඇය මෙම සිදුවීමෙන් දින 13කට පසුව මෙළොවින් සමුගත්තාය.

මෙම නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රසිද්ධියේ පවසන විට ජෝති සිංගේ ඥාතීන් මෙන්ම හිතවතුන් කඳුළු වගුරුවමින් සිය දියණියට වූ අසාධාරණයට එරෙහි අධිකරණයේ නැගීසිටීම ප්‍රශංසා කළ බව ඉන්දීය මාධ්‍ය පවසයි.




"මෙය සියලුම මිනිසුන්ට ඓතිහාසික තීන්දුවක්. කාන්තාවන්ට එරෙහිව අපරාධ කරන, ප්‍රචණ්ඩත්වය වපුරන යමෙකු වෙයි නම්, ඔවුන්ට මේ භූමියේ පවතින ඉහළම දඬුවමින් වන්දි ගෙවීමට සිදුවන බවට මෙම නඩු තීන්දුව සාක්ෂි සපයා තිබෙනවා" යැයි ඉන්දීය කාන්තා ක්‍රියාධරයෝ පවසති.

මෙම සමූහ දූෂණයේ තවත් චූදිතයෙකු වූ රාම් සිං නමැත්තා 2013 වසරේදී සිරභාරයේ සිටියදීම ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, මෙම තීන්දුව යළි සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලිඛිත ආයාචනයක් කිරීමට ඔවුන්ට අවස්ථාව පවතින අතර, එසේ නොමැති නම් ඔවුන්ට මෙම තීන්දුවෙන් ගැලවීමට ඇති එකම අවස්ථාව ජනාධිපතිවරයා විසින් ලබාදෙන සමාව පමණි.

2030 දී සැමට සනීපාරක්ෂක පහසුකම්



2030 දී සැමට සනීපාරක්ෂක පහසුකම් යන ගෝලීය ඉලක්කය අවුරුදු දහයකට පෙරාතුව ළඟාකර ගත හැකි බව  නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

ලෝක බැංකු දූත පිරිසක් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (04දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන පානීය ජල ව්‍යාපෘති සහ සනීපාරක්ෂක කටයුතු පිළිබඳ පැහැදිලි කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍ර‘දේශවල ආරක්ෂිත ජල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 190ක් වෙන්කර තිබෙනවා. ප්‍රජා ජල ව්‍යාපෘති ශක්තිමත් කිරීම, නාගරිකකරණය සිදුවන ප්‍රදේශවල තිබෙන පානීය ජල ගැටලු විසඳීම යනාදී කාර්යයන්ද මෙම ව්‍යාපෘතියෙන් සිදුකිරීමට නියමිතයි. කිලිනොච්චිය, මුලතිව්, කෑගල්ල, රත්නපුර, බදුල්ල, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හතක මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබෙනවා" යැයිද පවසා සිටියේය.