25 May 2017

යන ගමන් ගෙනියන්න ඇමති ගයන්ත වැඩිපුර ඉල්ලුවේ නැහැලු



ඉඩම් අමාත්‍යවරයා ලෙස තමන් තවත් ආයතන තුනක් ඉල්ලා ඇති බවට සිදු කර තිබෙන පුවත්පත් වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

දිනපතා පුවත්පතක පළ වූ පුවතක් සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායකවරයාගේ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

මෙයින් ජනතාව අතර වැරදි මතයක් යනවා. මම ඉල්ලා තනතුරු ගත්තේ නෑ. ජනමාධ්‍ය, ඉඩම් අමාත්‍යධූර ඉල්ලා ලබාගත් ඒවා නොවේ. චිත්‍රපට සංස්ථාව ලබාගන්න ඔලුවේ අමාරුවක් නෑ.දූෂණ ගැන ලියන්න දෙයක් නැති නිසා මේවා ලියනවා යැයි ද මේ පිළිබඳව සාධාරණයක් ඉටු කරන ලෙස අමාත්‍යවරයා පවසා සිටියේ ය.

-ශ්‍රී ලංකා රජයේ නිල පුවත් සේවය-

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමක්

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි. මේ අතර අධිකරණ නියෝගයක් මගින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විදේශගත වීම ද තහනම්කර තිඛෙනවා.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයෙන් වෛරී ප්‍රකාශ සිදු කිරීම උන්වහන්සේට එරෙහි චෝදනායි. ඥානසාර හිමියන්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන දැනුම් දී තිබුණ ද උන් වහන්සේ එම දැනුම් දීම පැහැර තිබෙන බව ද පොලීසිය පවසයි.

රතුපස්වලදී වෙඩි තැබූ බ්‍රිගේඩියර් දේශප්‍රිය 31 දා තෙක් රිමාන්ඩ්

ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ යුද හමුදා කණ්ඩායම බාරව සිටි බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (25) නියෝග කළේය.

පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම,මීනීමැරීමට තැත් කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා  අද අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේය.

මංගලගෙන් රවීට හාද්දක්..!

කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක අමාත්‍යංශයට ගොස් අද (25) රාජකාරි ඇරඹූ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර ද සහභාගීව සිටියා.

නව අමාත්‍යවරයාට හිටපු මාත්‍යවරයා සුබ පැතුවේ මෙලෙස උණුසුම් හාදුවක් දීමෙනි.

වාර්තා ගත ජයක් සමගින් බංග්ලාදේශය ලංකාව අබිබවයි

 නවසීලන්ත කණ්ඩායමට එරෙහිව රටින් පිටතදී වාර්තා කළ පළමු එක්දින ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම (24දා) සමත්වූයේය. ඒ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැති තරගයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ජයක් වාර්තා කරමිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී ඔවුන් කඩුලු 8ට ලකුණු 270ක් රැස්කිරීමට සමත්විය. එම ඉලක්කය පන්දුවාර 48.2කදී කඩුලු 5ක් පමණක් වැය කර පසුකර යෑමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූහ.

තමීම් ඉක්බාල් (65), සබීර් රෙහෙමාන් (65), මුශ්ෆිකාර් රහීම් (45*) හා මහමුදුල්ලා (46*) යන පිතිකරුවන් බංග්ලාදේශ ජයග්‍රහණය තහවුරු කළේය.

කෙසේ වෙතත් අයර්ලන්තය, බංග්ලාදේශය හා නවසීලන්තය අතර පැවැති තුන්කොන් එක්දින තරගවලියේ ජය නවසීලන්තයට හිමිවිය.

මෙම ජයත් සමගින් අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව  පසුකරමින් ඉදිරියට පැමිණීමට බංග්ලාදේශයට හැකිවිය. ඒ අනුව අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය බංග්ලදේශයටත්, 7 වැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමිවෙනු ඇත. 

ඉස්ලාමීය ත්‍රස්තයන් මැඬීමට පිලිපීනයට යුද නීතිය -ජනපති



දකුණු පිලිපීනයේ මින්ඩනාඕ දූපතට පමණක් පනවා තිබූ යුද නීතිය රටටම බල පැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත්කිරීමට සිදුවනු ඇති බව පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්ටේ පවසයි.

ඉස්ලාමීය සටන්කාමීන්ගේ රජ දහනක් වී ඇති මින්ඩනාඕ දූපතේ මරාවි නගරය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට නතුව තිබියදී පිලිපීන හමුදා මෙම නගරය මුදාගැනීම ඇතුළුව ත්‍රස්තයන් මුලිනුපුටා දැමීමේ සටන් ඇරඹීය. ඒ අනුව, ඩුටාර්ටේ විසින් එම දූපතට පමණක් දින 60කට බල පැවැත්වෙන පරිදි යුද නීතිය ප්‍රකාශයට පත් කළේය.

එහිදී, ඉස්ලාමීය ත්‍රස්තයන් පොලිස් ප්‍රධානියෙකුගේ ගෙල සිඳ, කතෝලික පූජකවරයෙකු ඇතුළුව සාමාන්‍ය වැසියන් පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමත් සමග ජනාධිපතිවරයාගේ ඉවසීම තරමක් පැන තිබුණු බව විදෙස් වාර්තා පැවසීය.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන පරිදි, ඉස්ලාම් රාජ්‍යයේ IS සාමාජිකයන් හා සම්බන්ධ ත්‍රස්තයන් 100ක් පමණ කඩා වැදී හමුදා සාමාජිකයන් පස් දෙනෙකු ඝාතනය කර, කතෝලික දේවස්ථානයක සිටි ප්‍රධාන පූජක තැන ඇතුළු තවත් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි. එමෙන්ම, මෙලෙස කඩා වැදුණු ත්‍රස්තයන් ඉවක් බවක් නොමැතිව වෙඩි තබමින්, ඉස්ලාම් රාජ්‍යයේ ධජය එම පළාත තුළ එසවීමට කටයුතු කර ඇති බවද එම පුවත් වාර්තා පෙන්වා දෙයි.

පිලිපීන ජාතිකයන් ආරක්ෂා කිරීම හා සුරක්ෂිත කිරීම සඳහා ඕනෑම දෙයක් මෙන්ම, සෑම දෙයක්ම කිරීමට තමා පසුබට නොවන බව ඩුටාර්ටේ පැවසීය. ඒ අනුව, ජනතාව ආරක්ෂා කිරීම සඳහා රට පුරා යුද නීතිය ක්‍රියාත්මක කිරීමටද තමා පසුබට නොවන බව ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත්, යුද නීතිය යටතේ අපචාර සිදුකිරීමට හෝ වීමට ඉඩ නොතවන බවද පැවසූ ජනාධිපතිවරයා මෙම දූපතේ තත්ත්වය යහපත් අතට හැරුණොත් මාසයකින් වුවද යුද නීතිය ඉවත්කිරීමේ අවස්ථාවක් පවතින බවද සඳහන් කළේය.

මේ අතර සටන් පවතින ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියන් ඉවත්වෙමින් සිටින අතර, ආරක්ෂක අංශ විසින් මාර්ග බාධක යොදමින් දැඩි සෝදිසියකින් පසුව ඔවුන් නගරයෙන් පිටතට ගන්නා ආකාරයද විදෙස් වාර්තාවල දැකගත හැකිවිය.

රටේ කාලගුණය අයහපත් වෙද්දී කාලගුණයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි !



මේ දිනවල රටපුරා පවතින්නේ වර්ෂාධික කාලගුණයක්. රටපුරා මාස ගණනාවක් පැවති වියළි කාලගුණය දැන් නිමාවට පත්වී තිබෙනවා.

වියළි පොළොව තෙත් කරමින් ඇදහැලෙන වැස්ස නිසා රටේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවෙලා. ඇතැම් ප්‍රදේශවලට නාය යාම් අවධානම් නිකුත් කරලා. වැස්ස සමඟ පැමිණෙන සැඩ සුළං හේතුවෙන් නිවාස මතට සහ මාර්ගවලට ගස් කඩාවැටීම් ද දක්නට ලැබෙනවා.

රටේ කාලගුණය ඒ විදියට එකවර වෙනස් වෙද්දී වගකිවයුතු ආයතනයක් වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි දින ගැන විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිරිතදිග මෝසම් තත්වය ඉදිරි දිනවලදී දිවයින හරහා ස්ථාපිත වන ආකාරයක් දක්නට ලැබෙන (විශේෂයෙන් 25 දින සිට) බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුව නිසා දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඇතැම් ස්ථානවල (මි.මි. 100 ට වැඩි) තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිතදිග මෝසම් තත්වය ඉදිරි දිනවලදී දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ස්ථාපිත වන ආකාරයක් දක්නට ලැබේ (විශේෂයෙන් 25 දින සිට). මේ හේතුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක නාය යෑමේ තත්වයක්



අධික වර්ෂාවත් සමග කළු, නිල්වලා, ගිං සහ කැළණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා ප්‍රේමා  හෙට්ටිආරච්චි කියා සිටියේ මේ හේතුවෙන් ගංගා අවට පහත් බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි.  

රත්නපුර, කෑගල්ල, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, යන දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුළද නායයෑම් සහ ඉවුරු කඩාවැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.  

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සුළු ගං වතුර තත්ත්වයක් පවතින බවටද වාර්තා වනවා.

මේ අතර උදෑසන 5.30 ට ඉදිරි පැය 48 සඳහා බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වඩා තද වැසි ඇතිවන බවයි.

නිරත දිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවතීම මීට හේතුවයි. මේ හේතුවෙන් දිවයිනේ නිරතදිග කොටස් තද වැසි සහ සුළං තත්වයක් අපේක්ෂා කෙරෙනවා.

බස්නාහිර / සබරගමුව / දකුණු / මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

අනෙක් පළාත්වල විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

ගතවු පැය 21 ක කාලය තුලදී ගාල්ල සහ රත්නපුර කාලගුණ විද්‍යා මධ්‍යස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද වාර්තා වී තිබෙනවා.

මේ අතර මන්නාරම සිට කොළඹ / ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා වන තද සුළං ඇති විය හැකියි.

එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රලු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රලු වනවා.

මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර මඩකලපුව - එරාවුර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ධීවරයින් 67 දෙනෙකු සමග අතුරුදන්වූ බවට වාර්තාවුණු යාත්‍රා 19  නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණ ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ පවසනවා.

ඊයේ එම යාත්‍රා අතුරුදන් වී ඇති බවට ලැබුණු තොරතුරු අනුව ඒවා සොයා ඩෝරා යාත්‍රා යොදාගෙන මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

කෙසේ නමුත් මෙම ධීවර පිරිස ගොඩබිමට පැමිණ ඒ පිළිබදව එරාවුර් පොලීසියට දැනුම්දී තිබෙනවා.

පුන්නකුඩා සහ සව්කඬේ ප්‍රදේශයෙන් මුහුදු ගිය මෙම යාත්‍රා ගොඩබිමට පැමිණීමට ප්‍රමාදවී ඇත්තේ මුහුද දැඩි ලෙස රළු වී තිබීම හේතුවෙන්.

අදාළ ධීවරයින් එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

මුදල් ඇමතිකම නැතිවීමට හේතුව රවී ප්‍රසිද්ධියේ කියයි | VIDEO



මුදල් අමාත්‍ය ධුරයෙන් තමන්ව ඉවත් කිරීම පිළිබදව කණගාටුවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

බී.බී.සී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එහිදී බී.බී.සී මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම කිසියම් පාර්ශවයක බලපෑමක් මත සිදුවූයේ ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊර්ෂ්‍යාවෙන් පෙලෙන කිහිපදෙනෙකු නිසා තමන්ට මුදල් අමාත්‍ය ධුරය අහිමිවූ බවයි.

VIDEO