25 May 2017

රටේ කාලගුණය අයහපත් වෙද්දී කාලගුණයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි !



මේ දිනවල රටපුරා පවතින්නේ වර්ෂාධික කාලගුණයක්. රටපුරා මාස ගණනාවක් පැවති වියළි කාලගුණය දැන් නිමාවට පත්වී තිබෙනවා.

වියළි පොළොව තෙත් කරමින් ඇදහැලෙන වැස්ස නිසා රටේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවෙලා. ඇතැම් ප්‍රදේශවලට නාය යාම් අවධානම් නිකුත් කරලා. වැස්ස සමඟ පැමිණෙන සැඩ සුළං හේතුවෙන් නිවාස මතට සහ මාර්ගවලට ගස් කඩාවැටීම් ද දක්නට ලැබෙනවා.

රටේ කාලගුණය ඒ විදියට එකවර වෙනස් වෙද්දී වගකිවයුතු ආයතනයක් වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි දින ගැන විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිරිතදිග මෝසම් තත්වය ඉදිරි දිනවලදී දිවයින හරහා ස්ථාපිත වන ආකාරයක් දක්නට ලැබෙන (විශේෂයෙන් 25 දින සිට) බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුව නිසා දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඇතැම් ස්ථානවල (මි.මි. 100 ට වැඩි) තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිතදිග මෝසම් තත්වය ඉදිරි දිනවලදී දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ස්ථාපිත වන ආකාරයක් දක්නට ලැබේ (විශේෂයෙන් 25 දින සිට). මේ හේතුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment