25 May 2017

අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක නාය යෑමේ තත්වයක්



අධික වර්ෂාවත් සමග කළු, නිල්වලා, ගිං සහ කැළණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා ප්‍රේමා  හෙට්ටිආරච්චි කියා සිටියේ මේ හේතුවෙන් ගංගා අවට පහත් බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි.  

රත්නපුර, කෑගල්ල, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, යන දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුළද නායයෑම් සහ ඉවුරු කඩාවැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.  

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සුළු ගං වතුර තත්ත්වයක් පවතින බවටද වාර්තා වනවා.

මේ අතර උදෑසන 5.30 ට ඉදිරි පැය 48 සඳහා බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වඩා තද වැසි ඇතිවන බවයි.

නිරත දිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවතීම මීට හේතුවයි. මේ හේතුවෙන් දිවයිනේ නිරතදිග කොටස් තද වැසි සහ සුළං තත්වයක් අපේක්ෂා කෙරෙනවා.

බස්නාහිර / සබරගමුව / දකුණු / මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

අනෙක් පළාත්වල විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

ගතවු පැය 21 ක කාලය තුලදී ගාල්ල සහ රත්නපුර කාලගුණ විද්‍යා මධ්‍යස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද වාර්තා වී තිබෙනවා.

මේ අතර මන්නාරම සිට කොළඹ / ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා වන තද සුළං ඇති විය හැකියි.

එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රලු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රලු වනවා.

මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර මඩකලපුව - එරාවුර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ධීවරයින් 67 දෙනෙකු සමග අතුරුදන්වූ බවට වාර්තාවුණු යාත්‍රා 19  නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණ ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ පවසනවා.

ඊයේ එම යාත්‍රා අතුරුදන් වී ඇති බවට ලැබුණු තොරතුරු අනුව ඒවා සොයා ඩෝරා යාත්‍රා යොදාගෙන මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා.

කෙසේ නමුත් මෙම ධීවර පිරිස ගොඩබිමට පැමිණ ඒ පිළිබදව එරාවුර් පොලීසියට දැනුම්දී තිබෙනවා.

පුන්නකුඩා සහ සව්කඬේ ප්‍රදේශයෙන් මුහුදු ගිය මෙම යාත්‍රා ගොඩබිමට පැමිණීමට ප්‍රමාදවී ඇත්තේ මුහුද දැඩි ලෙස රළු වී තිබීම හේතුවෙන්.

අදාළ ධීවරයින් එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

No comments:

Post a Comment