25 May 2017

ඉස්ලාමීය ත්‍රස්තයන් මැඬීමට පිලිපීනයට යුද නීතිය -ජනපති



දකුණු පිලිපීනයේ මින්ඩනාඕ දූපතට පමණක් පනවා තිබූ යුද නීතිය රටටම බල පැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත්කිරීමට සිදුවනු ඇති බව පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්ටේ පවසයි.

ඉස්ලාමීය සටන්කාමීන්ගේ රජ දහනක් වී ඇති මින්ඩනාඕ දූපතේ මරාවි නගරය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට නතුව තිබියදී පිලිපීන හමුදා මෙම නගරය මුදාගැනීම ඇතුළුව ත්‍රස්තයන් මුලිනුපුටා දැමීමේ සටන් ඇරඹීය. ඒ අනුව, ඩුටාර්ටේ විසින් එම දූපතට පමණක් දින 60කට බල පැවැත්වෙන පරිදි යුද නීතිය ප්‍රකාශයට පත් කළේය.

එහිදී, ඉස්ලාමීය ත්‍රස්තයන් පොලිස් ප්‍රධානියෙකුගේ ගෙල සිඳ, කතෝලික පූජකවරයෙකු ඇතුළුව සාමාන්‍ය වැසියන් පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමත් සමග ජනාධිපතිවරයාගේ ඉවසීම තරමක් පැන තිබුණු බව විදෙස් වාර්තා පැවසීය.

ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන පරිදි, ඉස්ලාම් රාජ්‍යයේ IS සාමාජිකයන් හා සම්බන්ධ ත්‍රස්තයන් 100ක් පමණ කඩා වැදී හමුදා සාමාජිකයන් පස් දෙනෙකු ඝාතනය කර, කතෝලික දේවස්ථානයක සිටි ප්‍රධාන පූජක තැන ඇතුළු තවත් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි. එමෙන්ම, මෙලෙස කඩා වැදුණු ත්‍රස්තයන් ඉවක් බවක් නොමැතිව වෙඩි තබමින්, ඉස්ලාම් රාජ්‍යයේ ධජය එම පළාත තුළ එසවීමට කටයුතු කර ඇති බවද එම පුවත් වාර්තා පෙන්වා දෙයි.

පිලිපීන ජාතිකයන් ආරක්ෂා කිරීම හා සුරක්ෂිත කිරීම සඳහා ඕනෑම දෙයක් මෙන්ම, සෑම දෙයක්ම කිරීමට තමා පසුබට නොවන බව ඩුටාර්ටේ පැවසීය. ඒ අනුව, ජනතාව ආරක්ෂා කිරීම සඳහා රට පුරා යුද නීතිය ක්‍රියාත්මක කිරීමටද තමා පසුබට නොවන බව ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත්, යුද නීතිය යටතේ අපචාර සිදුකිරීමට හෝ වීමට ඉඩ නොතවන බවද පැවසූ ජනාධිපතිවරයා මෙම දූපතේ තත්ත්වය යහපත් අතට හැරුණොත් මාසයකින් වුවද යුද නීතිය ඉවත්කිරීමේ අවස්ථාවක් පවතින බවද සඳහන් කළේය.

මේ අතර සටන් පවතින ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියන් ඉවත්වෙමින් සිටින අතර, ආරක්ෂක අංශ විසින් මාර්ග බාධක යොදමින් දැඩි සෝදිසියකින් පසුව ඔවුන් නගරයෙන් පිටතට ගන්නා ආකාරයද විදෙස් වාර්තාවල දැකගත හැකිවිය.

No comments:

Post a Comment