29 April 2017

කිසිදා ඇතුල්විය නොහැකි,පුරාවිද්‍යාඥයන්ගේ මාරයන් වුන පුරාවස්තුව මෙන්න | PHOTO & VIDEO



මිසර රාජ වංශයේ ලාබාලතම රජ කෙනෙකු වූ ටූටන් කාමන් රාජ්‍යත්වයට පත්වූයේ ක්‍රි.පු. 1340 දීය.එවිට ඔහුගේ වයස අවු 12 කි.වයස අවුරුදු 18 වන විට මෙම රජු අභිරහස් ලෙස මරණයට මත් වන්නේ මිසරයම හඬවමිනි.මෙම රජුගේ මරණින් මතු ජීවිතය සඳහා විශාල පිරමිඩයක් ඉදිවිය.ඒ එතෙක් මෙතෙක් විශාලම පිරමීඩය යි.මෙම පිරමීඩය තුල ඉතා වටිනා වස්තු සම්භාරයක් ‍රැස් කරන ලදී.

මෙම පිරමීඩය සඳහා පුරාවිද්‍යා කැනීම් සිදුවූයේ 1922 දීය.1923 පෙබරවාරි 17 වසර 3400කට පසු මෙම පිරමීඩය නැවත විවෘත කරන ලදී.එහි තිබූ ගල් පුවරුවක මෙලෙස සටහන් වී තිබුණි.

“මහ රජතුමාගේ සදාකාලික නින්දට බාධා කිරීම නොකරන්න.එසේ කරන්නන්ට හිමි වන්නේ මරණයයි.”මේ පිළිබඳ එතරම් ගණනකට නොගත් ගවේශකයන් පිරිස සොහොනේ ඇතුල් ගැබට පිවිසී එහි තිබූ මහා වස්තු සම්භාරය තමන් යටතට ගත්තේය.



සොහොන විවෘත කරන්නට මොහොතකට පෙර මෙම කාර්යයට මුදල් ආයෝජනය කළ කාන්වර්ත් සාමි වරයා අභිරහස් ලෙස මරණයට පත්වනවා.මියනවිට “ටූටන්කාමන්” යන වචනය ඉතා බියකින් කිහිපවරක්ම තෙපලුවේය.එන සිදුවීමෙන් මාස කිහිපයකට පසු සාමිවරයාගේ සොහොයුරා වන මුදල් ආයෝජනය කළ අනෙක් තැනැත්තාද අභිරහස් ලෙස මියගියේය.කැනීම් භාර ලේකම් රිචඩ් බෙතල් ක්ෂණික මරණයකට ගොදුරුවිය.ඔහු හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවූවෙක් විය.මරණයට හේතුව සොයාගැනීමටවත් කිසිවෙකුට හැකියාවක් තිබුනේ නැත.දේහය අඩංගු පෙට්ටිය සොයා ගැනීමට දායක වූ කැනඩයිට් සහ පැසනෝවා යන ගවේෂකයන් දෙදෙනාද හිටි හැටියේ මරණයට පත් විය.මළ සිරුර වීඩියෝගත කල පුද්ගලයාද වීඩියෝගත කරන අවස්තාවේදී මරණයට පත්විය.

මෙම ගවේෂණයට සම්බන්ධ වූ ඇමෙරිකානු පුරාවිද්‍යඥයකු වූ ආතර් මේස් නැවත සිය රට බලා පිවිසෙද්දී නැවේදී රෝගාතුරවී මියගියේය.සොහොන් ගැබට ඇතුල් වූ විද්‍යාඥ  ආතර් වෙරිගල්ටවත් මරණයෙන් බේරීමට නොහැකිවිය.මෙලෙස මෙම කාර්ය සඳහා සහභාගී වූ 23 දෙනෙකුටම මරණය හිමිවී තිබුනේ අභිරහස් ලෙසයි.



මෙම ශාපය අදටත් ක්‍රියාත්මක වන බව බොහෝදෙනාගේ මතයයි.වරක් මෙම පිරමීඩය මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කරන විට එහි සංවිධායකයාද මරණයට පත් වී ඇත.1972 දී මෙම සොහොන සොයාගැනීමේ 50 වෙනි සංවත්සරය සඳහා මමියේ රන් ආලේපිත වෙස් මුහුණ එංගලන්තයට යැවීමට කටයුතු සූදානම් කරන ලදී.මෙයට පෙර ප්‍රංශයේ ද මෙවැනිම මෙවැනිම ප්‍රදර්ශනයක් සංවිධානය කළ සංවිධායක වරයාද මියගියේ අභිරහස් ලෙසයි.මේ ගැන එතරම් ගණනකට නොගත් ආචාර්‍ය ගමාල් පුරාවස්ත්තුව එංගලන්තයට යවන ලදී එය සිදුවූ දිනම ඔහුද මියගියේය.



මෙම සොහොන ආශ්‍රිතව විවිද රූපවාහිනී සහ චිත්‍රපට නිෂ්පාදනය සඳහා උත්සහ කල අය හිටි හැටියේම හදිසි අනතුරුවලට ලක්විය.එම නිෂ්පාදන අතරමඟ නවතා දැමීමට සිදුවිය.

මෙම අකල් මරණ සහ අනතුරු වලින් පෙනී යන එක් කරුණක් ඇත.එනම් මේවා ස්වාභාවික නොවන යම් කිසි බලවේගයක් නිසා ඇති වුනු ගුප්ත සිදුවීම් වන බවය.මෙවැනි දේ ඇත්තටම විය හැකිද?



මරණයට පත් වූ මීසර ජාතිජයෙක් ගැන සත්‍ය කතාවක් 1931 දී ඇමෙරිකාවේ රෝස් මේරි නම් දැරියකට මුහුණ දෙන්නට විය.ඇය තමන් 18 වෙනි ආමෙන්හොටෙප් නම් අධිරාජ්‍යාගේ බිසවක් බව පවසන්නට විය.ආමෙන් අධිරාජ්‍යයා ක්‍රි.පු 1460-1377 දක්වා කාලයේ විසූවෙක් බවට අනුමාන කෙරේ.එකල පැවති මිසර භාෂාවෙන්ම රෝස්මේරි දැරිය කතාකරන්නට වීම සැමටම අරුම පුදුම දෙයක් විය.



මැරුණත් සදාකල් ජීවිත් වන බව සිතමින් තම මමිය ආශ්‍රිතව පිරමීඩ තුළ හෝ ඒ අවට අවකාශයේ සැරිසරම්න් ඔවුන්ගේ නින්දට බාධා කරන අය හට බලපෑම් කරමින් මෙම ශාප ක්‍රියාත්මක වීම සත්‍ය විය හැකිද.

ලංකාවේ ඇතුන් 1500ක් පමණ මරා දැමූ මේජර් ‍තෝමස් විලියම් රොජර්ස් කළ වන විනාශය නැවතීමට කිසිවෙකුට නොහැකි විය.බදුල්ලේ එක් හිමි නමක් “උඹට හෙණ වැදිය යුතු” යැයි ඔහුට ශාප කළේය.මේජර් රොජර්ස් හපුතලේ දුර්ඝයේදී අකුණු සැර වැදී මරණයට පත්විය.අදටත් ඔහුගේ සොහොන් කොතටද කිහිප විටකම අකුණු සැර වදින බව වාර්තා වේ.


මින්පසු දේශපාලන මත හදන්න බැරිවෙන්න Facebook එකට වැටක් ගහන්න සැරසෙයි



රාජ්‍යයන් හා සංවිධානාත්මක කණ්ඩායම්  සමාජ ජාල හරහා සිදුකරන ප්‍රචාරක  කටයුතු නිරීක්ෂණය කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට  ෆේස්බුක් සමාජජාලය සූදානම් වනවා.

වැරදි පුවත් හෝ  වැරදි තොරතුරු සමාජ ගත කිරීම වැළක්වීම මෙහි අරමුණයි.

මහජන මතය මෙහෙයවීම සඳහා හේතුවන ව්‍යාජ  ගිණුම් ජාලයන් ෆේස්බුක් ජාලයේ පවතින බව ඔවුන් නිරීක්ෂණය කළ බව විශේෂ වාර්තාවකින් පෙන්වා දෙනවා.

මෙවැනි ඇතැම් ගිණුම් සංවිධානාත්මකව හා ඉතා පුළුල් ලෙස මෙහෙයවීමක් සිදුවී ඇති බවද ඔවුන් පවසනවා.
2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේදී මෙවැනි  ගිණුම් රැසක් බිහිවීමක් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

මේ අතර, ප්‍රංශයේ  මැතිවරණය පැවැත්වෙන සමයේදී එවැනි  ගිණුම් 30,000ක් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කළ බවද සඳහන්.

වරාය නගරයේ කුණුවලින් විදුලිය



කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ ව්‍යාපෘති රැසක් ක‍්‍රියාවට නංවන බව ආණ්ඩුව පවසනවා.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයේ දී මෙම කරුණු අනාවරණය වුණා.

ආන්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක් වූ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පාඨලි චම්පික රණවක මෙලෙස අඳහස් පලකළා.  අනාගතය සඳහා රට පුරාම අත්‍යවශය ස්ථාන වල විද්‍යාත්මක කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථාන නිර්මාණය කිරීම හා වරාය නගරය වගේම ගොඩනැගෙන තාක්ෂණය නගරය වැනි ඉහළ ගනයේ ස්ථාන සඳහා කසළ ප්‍රතිචක්‍රිකරණය මධ්‍යස්ථාන නිර්මාණය කරනවා.

කසල ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය අනුමත කර ගැනීම සඳහායි මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා තිබුණේ.

මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් එහි දී වාද විවාද ඇති වුණා.

මාස 06ක් ඇතුළත මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමක් සිදු නොවන බවයි එහි දී අනාවරණ වුණේ.

විවාදයට එක් වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා එහි දී පැවසුවේ මීතොටමුල්ලට තවදුරටත් කසළ බැහැර කිරීමට සිදුවන බවයි.

වෙනත් ස්ථානයක් සොයා ගන්නා තෙක් එසේ කිරීමට සිදු වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

NethFM

ජාතික සමගියේ සහ සාමයේ නිර්මාතෘ ජාතියේ නායක අතිගරු - මින් ඉදිරියට අනිවාර්යය කරයි



තජිකිස්ථානය තුළ එරට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීමේදී සියලු රාජ්‍ය මාධ්‍ය විසින් ඔහුගේ නම සඳහන් කිරීමේදී අනුගමනය කළ යුතු නව නීතියක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව, මින් ඉදිරියට ජනාධිපති 'එමොමාලි රහ්මොන්' යනුවෙන් පමණක් පැවසීම ප්‍රමාණවත් නොවන අතර, ඒ වෙනුවට, 'ජාතික සමගියේ සහ සාමයේ නිර්මාතෘ, ජාතියේ නායක, තජිකිස්තාන සමූහාණ්ඩුවේ ජනාධිපති, අතිගරු එමොමාලි රහ්මොන්' යනුවෙන් ඔහු හඳුන්වාදීම අනිවාර්යය වී තිබේ.

මේ නිසා එරට පුවත් වාර්තාවකදී ජනාධිපතිවරයාගේ නිල නාමය දැක්වීමට පමණක් තත්ත්පර 15ක ගුවන් කාලයක් වැය වන බව සඳහන් වෙයි. ඒ අනුව, එරට රජය පාලනය යටතේ පවතින පුවත් ආයතන සහ වෙබ් අඩවිවලටද අදාළ නීතිය බලපැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, තජිකිස්ථාන බලධාරීන් විසින් හඳුන්වාදුන් මේ නීතිය සමාජජාල ඔස්සේ දැඩිව හාස්‍යයට ලක්වන බවත්, මෙය හුදු විකාරයක් බවත් බොහෝ දෙනා පවසන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.



ada

2011 – 2014 සමයේත් බැදුම්කර වල අර්බුධයක් හෙළිවෙයි



2011 වසරේ සිට 2014 දක්වා කාල සීමාවේදී බැදුම්කර ගණුදෙනු වල ගැටලු හේතුවෙන් රජයට දැවැන්ත මුදලක් ඉදිරියේදී ගෙවීමට සිදුව ඇතැයි අනාවරණවී තිබෙනවා. ඒ හේතුවෙන්  2018 දී රුපියල් බිලියන හයසීයක් සහ  2019 දී රුපියල් බිලියන හාරසීයක් ණය ගෙවීමට රජයට සිදු වී තිබෙන බව නීතිඥ ශානක ද සිල්වා මහතා බැදුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වූ ඩබ්ලිව්. විජේවර්ධන මහතාගෙන් විමසීම් සිදුකරමිනුයි. නීතිඥ ශානක සිල්වා මහතාගේ ප්‍රකාශය නිවැරැදි බවයි  ඩබ්ලිව්. විජේවර්ධන එහිදී සදහන් කර තිබුණේ.

මේ වන විට රටේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන එකොළහක් බවද කොමිසම හමුවේ සදහන් කෙරුණා.

ක්‍රමවේදයක් නොමැතිව බැඳුම්කර නිකුත් කරමින් සිදුකර තිබෙන අර්බුද හමුවේ දේශීය ණය කළමනාකරණය කාර්යක්ෂම කිරීම සඳහා මහ බැංකුවට පත්වුණ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මැදිහත් වුණ බවයි එහිදී නීතීඥවරයා කරුණු දක්වා ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා සභාපතීත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී එස් ජයවර්ධන සහ වී කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම හමුවේ පැවැති විභාගයේදීයි මෙම අදහස් පල කෙරුණේ.

විදුලිය භාවිතයේදී අරපිරිමැස්මෙන් කටයුතු කරන්න



පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ විදුලි ඉල්ලුමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව දෛනික විදුලි ඉල්ලුම ගිගාවෝට් පැය 44කට අධික ප්‍රමාණයක් බව එම මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදුලිය භාවිතයේදී අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙසයි.

යතුරුපැදි ගැසට්පතට ඇතැම් පිරිස් විරෝධය පළ කරනවා


 ත්‍රීරෝද රථ හා යතුරුපැදි නියාමනය සඳහා ඉදිරිපත් කළ ගැසට් කෙටුම්පත් සඳහා ඇතැම් පිරිස් විරෝධය පළ කර ඇති බව. මාර්ග ආරකෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ආචාර්ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් වන, වාහන මීටර පද්ධති අනිවාර්ය කිරීම හා මඟියෙකු විසින් යම් භාණ්ඩයක් ත්‍රීරෝද රථය තුළ දමා ගිය අවස්ථාවකදී එය රියදුරු විසින් පොලිස් ස්ථානයක් වෙත භාරදීය යුතු වීම ආදී යෝජනා තුනකට අදාළ පිරිස විසින් විරෝධය පළ කර ඇති බව ඔහු පැවසුවේය.

යතුරුපැදිවල හිස්වැසුම් සම්බන්ධයෙන්ද අදාළ සංශෝධනයන් සිදුකර නැවත ගැසට් පත්‍රය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සිසිර කෝදාගොඩ මහතා පැවසුවේය.

මේ වසරේ දැනට ෆේස්‌බුක්‌ පැමිණිලි 850 ක්‌



මෙම වසරේ ගතවූ මාස තුනහමාරක කාලය තුළ ෆේස්‌බුක්‌ සම්බන්ධයෙන් පැමිණිලි 850 ක්‌ ලැබී ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‌ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා මාධ්‍යට (27 වැනිදා) පැවැසීය.

මෙම පැමිණිලිවලින් සියයට හැටක්‌ම කර ඇත්තේ කාන්තාවන් විසින් බවද හෙතෙම කීය.

මෙම කරන ලද පැමිණිලි අතරේ තම නම සහිත ව්‍යාජ මුහුණු පොත් සෑදීම, මුහුණු පොතේ තම ඡායාරූප ලබාගෙන විකෘති කර සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ ප්‍රසිද්ධ කිරීම වැනි පැමිණිලිද වන බව හෙතෙම කීය.

එසේම පසුගිය වසරේ (2016) ෆේස්‌බුක්‌ සම්බන්ධයෙන් පැමිණිලි 2200 ක්‌ ලැබී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

මේ අතර, ෆේස්‌බුක්‌ සම්බන්ධයෙන් පැමිණිලි 0112-691692 යන දුරකථන අංකය අමතා දැනුම් දිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

වැඩ කරන කතුන්ටත් රජයේ අනුමත ප්‍රසූත නිවාඩු



වතු කම්කරු කාන්තාවන් සහ ඇඟලුම් සේවිකාවන් ඇතුළු කය වෙහෙසා වැඩ කරන මෙරට සියලු සේවිකාවන්ට දින 84 ප්‍රසූත නිවාඩුව ලබා දීමේදී රජයේ නිවාඩු අතහැර එය ගණනය කළ යුතු බවට තම සංගමය ඉදිරිපත් කරන යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟත්වය පළ කරමින් මෙවර මැයි දිනයේදී ප්‍රකාශයක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පවසයි.

කය වෙහෙසා වැඩ නොකරන කාර්යාලීය සේවිකාවන් සඳහා දින 84 ප්‍රසූත නිවාඩුව ගණනය කිරීමේදී රජයේ නිවාඩු අතහැර ගණනය කරන නිසා ඔවුන්ට දින 100 ඉක්ම වන ප්‍රසූත නිවාඩු කාලසීමාවක් ලැබුණ ද, වතු කම්කරු කාන්තාවන් සහ ඇඟලුම් සේවිකාවන් වැනි කය වෙහෙසා වැඩ කරන සේවිකාවන්ට එම නිවාඩුව ගණනය කිරීමේදී රජයේ නිවාඩු ද එයට ඇතුළත් කිරීම නිසා දින 84 පමණක් ලැබීම නිසා ඔවුන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බවද ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පෙන්වා දෙයි. වැඩ කරන කාන්තාවන්ගේ ප්‍රසූත නිවාඩුව සමබන්ධයෙන් මෙසේ දෙයාකාරකට කටයුතු කිරීම නිසා බරපතළ විසමතාවක් ද මතුව තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තම සංවිධානය කළ දැනුම්දීමකට අනුව වහාම මෙම විසමතාව ඉවත් කරන ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය ද දන්වා ඇතැයි ද ඒ මහතා කියයි. මීට අමතරව මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 60 බවට පත් කරන ලෙසත්, සමුපකාර අංශයට පනවා ඇති බදු ඉවත් කරන ලෙසත්, වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කරන ලෙසත් මෙවර මැයි දිනයේදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කියයි.

ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් මූලස්ථානයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී ය.

IPL ක‍්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට විශිෂ්ට ජයක්



අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ රාත‍්‍රියේ පැවති තරගයකින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 26ක විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගත්තා.

ඒ, කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 03කට ලකුණු 207ක් රැස් කළා.

එහිදී මුල්පෙල පිතිකරුවන් තිදෙනාම වේගවත් අර්ධ ශතක රැස් කිරීම විශේෂත්වයක්.

ඬේව්ඞ් වෝනර් ලකුණු 51 ක්, ශිකර් ධවාන් ලකුණු 77ක් සහ කේන් විලියම්සන් නොදැවී ලකුණු 54ක් රැස් කළා.

කෙසේ වෙතත් කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී රැස්කර ගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි.

ශෝන් මාෂ් ලකුණු 84ක් රැස් කළා. මෙම ජයග‍්‍රහණයත් සමඟ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ 03වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.

ලංකාවේ උපත් පාලන ක්‍රම ගැන ඔබ දැනගත යුතුම ඇත්ත මෙන්න




උපත් පාලනය කියන්නෙ වර්තමානයේ බහුලවම සාකච්ඡා වන නමුත් එළිපිට සාකච්ඡාවට ලක්නොවන දෙයක්. පුළුල් දැනුමක් අත්කරගෙන තිබිය යුතු නමුත්, අප බොහොමයක් දෙනාට එතරම්ම දැනුමක් නැති මාතෘකාවක්.

ඉතින් මොකද්ද මේ උපත් පාලනය? මොනවද උපත් පාලන ක්‍රම? මේ බහුලවම මේ සම්බන්ධයෙන් ඇසෙන ප්‍රශ්න. මේ ලිපියේ අරමුණ වන්නේ එම ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමයි.

මොකද්ද මේ උපත් පාලනය?  

මොනවද මේ උපත් පාලන ක්‍රම? (reliablerxpharmacy.com)
මොනවද මේ උපත් පාලන ක්‍රම? (reliablerxpharmacy.com)

සරලවම, උපත් පාලනය යනු අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇතිවීම වැළැක්වීමයි. මේ සඳහා උපකරණ හෝ රසායනික හා රසායනික නොවන උපක්‍රම බහුලව භාවිතා කෙරෙනු ලබනවා. එසේම, උපත් පාලන ක්‍රම අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වාලීමටම පමණක් නොව, පවුල් සැලසුම් කිරීම සඳහා ද සුලභව භාවිතා වනවා.
උපත් පාලනය ඉතා ඈත අතීතයේ සිටම බොහොමයක් සංස්කෘතීන් වල නිරීක්ෂණය කළ හැකි වුවද, ආරක්ෂිත හා ඵලදායී ක්‍රම බොහොමයක් හඳුන්වා දෙනු ලැබුවේ ඉතා මෑත කාලයේදීයි. කෙසේ වෙතත්, සදාචාරාත්මක, ආගමික, හා වෙනත් කරුණු නිසා ඇතැම් සංස්කෘතීන් විසින් අදටත් උපත් පාලන ක්‍රම භාවිත කිරීම අධෛර්යමත් කරනු ලැබීම නම් ඉතා සුලභයි.

ක‍තෝලික වෙබ් අඩවියක් මගින් උපත් පාලක පෙති භාවිතයට විරුද්ධව පළකෙරුණු පෝස්ටරයක්. (thepracticingcatholic.com)
ක‍තෝලික වෙබ් අඩවියක් මගින් උපත් පාලක පෙති භාවිතයට විරුද්ධව පළකෙරුණු පෝස්ටරයක්. (thepracticingcatholic.com)

උපත් පාලන ක්‍රම

සමාජයේ බොහොමයක් තරුණ තරුණියන් අතරේ අලුත් සහ වඩා විශ්වාස කටයුතු උපත් පාලන ක්‍රම පිළිබඳව ක්‍රමවත් දැනුමක් නැහැ. එනමුත් සමාජයේ බොහෝ කලක පටන් කටින්කට පැවැත එන, සාර්ථක යැයි විශ්වාස කරන ක්‍රම කිහිපයක් පිළිබඳව ඕනෑම කෙනෙකුට සුළු හෝ අවබෝධයක් තිබෙනවා. මින් සුලභවම ප්‍රචලිත ක්‍රම කිහිපයක් නම්,

1. විරමණය

සාම්ප්‍රදායික ක්‍රම වලින් සාර්ථකම ක්‍රමය ලෙස සැළකිය හැකි ක්‍රමය විරමණය (Abstinence). එනම්, සංසර්ගයේ නොයෙදීම. මෙය ගැබ් ගැනීමක් වැළැක්වීමට ඉතාම ප්‍රත්‍යක්ෂ උපක්‍රමයක්.  

2. ‘ඉවත් කරගැනීම’

මේ ඉතාමත්ම ප්‍රචලිත නමුත්, සාර්ථකත්වයෙන් ඉතාම පහළ ක්‍රමයක්. මෙහිදී පුරුෂයා විසින් ශුක්‍රාණු පිට කිරීමට මොහොතකට පෙර ශිෂ්ණය යෝනි මාර්ගයෙන් ඉවත් කරගනු ලබනවා. මෙම ක්‍රමය අසාර්ථක ලෙස සැලකෙන්නේ, ඉවත් කරගැනීමේ මොහොත වන විටත් යම් ශුක්‍රාණු ප්‍රමාණයක් යෝනි මාර්ගය තුළට ඇතුළුව තිබීමේ හැකියාව නිසා පිළිසිඳගැනීමක් සිදුවීමේ අවධානම ඉතා ඉහළ වීමයි.

3. කැලැන්ඩර ක්‍රමය

මෙම ක්‍රමය පිළිපැදීමට නම් කාන්තාවකගේ ආර්ථව චක්‍රය පිළිබඳව සුළු වැටහීමක් අවශ්‍යයි. කාන්තාවකගේ දින 28ක සාමාන්‍ය ආර්තව චක්‍රය සැළකිල්ලට ගතහොත්, මාසික රුධිර වහනය ආරම්භ වූ දින පටන් දින 8 – 10 පමණ ගත වන්නේ ගර්භාෂයේ ඇතුළු බිත්තියේ (අන්තෝමාතෘකය) පටක ඉවත් වෙලා නව පටක ඇති වීමට.

නව පටක ස්ථරයක් ඇතිවූ ගර්භාෂ ඇතුල් බිත්තිය පිළිසිඳගැනීමකට සූදානම් වුණත්, සාමාන්‍යයෙන් ඩිම්බයක් නිකුත් වන්නේ 12 – 16 වන දිනයන් අතරේයි. මේ දින කීපය අතරේ ලිංගික එක්වීමක් සිදු වුවහොත් ගැබ්ගැනීමේ අවධානම ඉතාමත්ම ඉහළයි. නමුත් මේ දින කීපයෙන් පසු සංසේචනය නොවූ ඩිම්බය විනාශ වී යනවා. එම නිසා නැවතත් ඊළඟ රුධිර වහනය ආරම්භ වන 28 වන දින දක්වා ගැබ්ගැනීමේ අවධානමක් නොමැති තරම්. මේ කරුණු නිසා දින 28ක චක්‍රයෙන් රුධිර වහනය ඇරඹීමෙන් පසු පළමු දින 12ත්, අවසාන දින 12ත් ‘ආරක්ෂාකාරී’ දින ලෙස සැළකීමට අප හුරුවී සිටිනවා. කෙසේ නමුත් මෙම ක්‍රමය ආරක්ෂාකාරී වන්නේ ආර්තව චක්‍රය නිසි ලෙස සිදු වන කාන්තාවන්ට පමණයි. එමෙන්ම මෙහි සාර්ථකත්වය සැළකිය යුතු තරම් පහළ බවත් කිව යුතුයි.

සාම්ප්‍රදායික ක්‍රම බැහැර කර, නවීන සහ වඩාත් විශ්වාස කටයුතු ක්‍රම පිළිබඳව සළකා බැලුවොත් එම සියළුම උපත් පාලන උපක්‍රම, ප්‍රධාන ක්‍රමයන් කීපයක් යටතට බෙදා වෙන් කරන්න පුළුවන්.

1. හෝමෝනමය ක්‍රම

මෙහි ප්‍රධාන ක්‍රමයන් දෙකක්, එනම්, උපත් පාලක පෙති සහ එන්නත ලෙස හඳුනාගන්න පුළුවන්. මෙයිනුත් වඩාත්ම ප්‍රචලිත ක්‍රමය උපත් පාලක පෙතියි. ඊට අමතරව හෝමෝන මුදුව සහ පැච් භාවිතා වනවා.

උපත් පාලක පෙති ලෙස සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ එස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩංගු පෙති 21 හෝ 28 කින් සමන්විත මිශ්‍ර පෙති කට්ටලයි.

මෙයින් එස්ට්‍රජන් හෝමෝන පෙති වලින් මූලිකවම සිදු කරන්නේ ඩිම්බ මෝචනය වැළක්වීමයි. ඊට අමතරව සංසේචිත ඩිම්බ අධිරෝපණයෙන් වැළැක්වීම, යෝනි ස්‍රාවයන්ගේ ඝණත්වය ඉහළ දැමීම මගින් ශුක්‍ර සෛල වල චාලක බව අවම කිරීම ආදිය ද සිදු කෙරෙන බවත් සඳහන්. ප්‍රොජෙස්ටරෝන් වලින් උපත් පාලනය සඳහා සෘජු බලපෑමක් නොමැති වුවත්, එස්ට්‍රජන් ලබාගැනීම නිසා ඇති විය හැකි අතුරු ප්‍රථිඵල මැඩ පැවැත්වීම සිදු කෙරෙනවා. උපත් පාලක පෙති වල සාර්ථකත්වය 99%ත් වඩා ඉහළයි.

කෙසේ නමුත් ඔබේ වයස අවුරුදු 40ට වැඩි නම්, දුම් පානය කරන්නේ නම්, අධික රුධිර පීඩනය, ඉහළ කොලෙස්ටරෝල් අගයන්, පිළිකාමය නොවන අක්මාව හා පිත්තාශය ආශ්‍රිත ගැටළු, පියයුරු හෝ ගැබ්ගෙල පිළිකා ඇත් නම් හෝ මව්කිරි ලබා දෙන්නේ නම් පෙති භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසුයි.
දෙවනි ක්‍රමය නම් සති 12කට වරක් ලබාගත යුතු ඩිපො-ප්‍රොවිරා එන්නතයි. මේ එන්නතෙහි අඩංගු වන්නේ ප්‍රොජෙස්ටරෝන් පමණයි. මෙය එන්නත් කරනු ලබන මාංශ පේශියේ සිට ක්‍රමයෙන් රුධිරයට නිදහස් කෙරෙනු ලබනවා. මෙහි සාර්ථකත්වය 99%ට ඉහළ වන අතර, උපත් පාලක පෙති තරමට අතුරු ආබාධ ගෙන එන්නේද නැහැ.

සම යට හෝමෝන කරල් තැන්පත් කිරීමේ ක්‍රමයකුත් උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතයට ගැනෙනවා. මෙය දිගු කාලීන ක්‍රියාකාරීත්වයක් සහිත උපත් පාලකයක්. මෙම ක්‍රමය 99%ට වඩා සාර්ථක බව කියැවෙන අතර, උපත් පාලක පෙති මෙන් නොව, වයසින් වැඩි කාන්තාවකට වුවද භාවිතයට සුදුසු ක්‍රමයක්. මෙම කරල්  භාවිතය පුහුණුව ලත් සෞඛ්‍ය නිලධාරියෙකු මගින් විෂබීජහරණය කරන ලද පරිසරයකදී සිදුකරවා ගත යුතුයි.

මෙම සියළුම ක්‍රම තාවකාලික ක්‍රමයන් වන අතර, භාවිතය අත්හළ විට සරු බව නැවත ඇතිවනවා.

2. බාධක ක්‍රම

විවිධ කොන්ඩම් වර්ග (stylecaster.com)
විවිධ කොන්ඩම් වර්ග (stylecaster.com)

ලංකාව පුරා සුලභවම ප්‍රචලිත, වියදම් අවම උපත් පාලකයක් වන කොන්ඩම ඇතුලත් වන්නේ මෙම ක්‍රමයන් යටතට. ඊට අමතරව ගැබ්ගෙල කැප් (cervical caps), සහ ශුක්‍රාණු නාෂක අඩංගු ස්පොන්ජ මේ යටතට ඇතුලත් වනවා. මෙම ක්‍රමයන් මගින් බහුලවම සිදු කරන්නේ භෞතික ක්‍රම මගින් ශුක්‍රාණු ගර්භාශයට ඇතුල් වීම වැළැක්වීමයි.

අනෙකුත් උපත් පාලක ක්‍රම මගින් නොලැබෙන, කොන්ඩම පැළඳීමේ වාසියක් තමයි සමාජ රෝග වලින් ආරක්ෂාවක් ලැබීමත්, අතුරු ආබාධ නොමැති තරම් වීමත්. මෙම ක්‍රමයේ සාර්ථකබව 95%ට වඩා ඉහළයි. කොන්ඩම පිළිබඳව වැඩි විස්තර ලබාගැනීම සඳහා මෙම ලිපිය කියවන්න පුළුවන්.

3. IUD (Intrauterine devices)

'ලූප' යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ IUDයි. (usnews.com)
‘ලූප’ යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ IUDයි. (usnews.com)

‘ලූපය’ යනුවෙන් සරලවම හැඳින්වෙන මේ ක්‍රමයෙන් සිදුවන්නේ ‘T’ අකුරක හැඩැති කුඩා තඹ හෝ හෝමෝන අඩංගු උපකරණයක් ගර්භාෂය තුළත ඇතුලත් කිරීමයි. මෙම උපකරණයෙන් සංසේචනය වූ ඩිම්බය ගර්භාෂ බිත්තිය මත තැන්පත් වීම වැළැක්වීම මගින් ගැබ්ගැනීම නවතා දමනවා. හොමෝන අඩංගු නොවන තඹ උපකරණයක් අවුරුදු 10ක් දක්වාත්, හෝමෝන අඩංගු levonorgestrel IUD (Mirena යන වෙළඳ නාමයෙන් ප්‍රචලිත) උපකරණ අවුරුදු 5ක් දක්වාත් පැළඳිය හැකියි. හොමෝනමය ක්‍රම වලින් ඇති කරන සංකූලතා සහ අතුරු ආබාධ කිසිවක් තඹ ලූපයෙන් ඇති කරන්නේ නැතිවා වාගේම, සාර්ථකත්වය 99%ට වඩා ඉහළ බව තහවුරු කර තිබෙනවා. කෙසේ නමුත්, තැන්පත් කිරීමෙන් පළමු පැය 24 තුළ යටි උදරයෙහි වේදනාවක් ද, පළමු සති 3 – 4 තුළ සුළු රුධිර වහනයක් ද සිදුවීම සාමාන්‍යයි. මෙම උපකරණය තැන්පත් කිරීම පුහුණුව ලත් සෞඛ්‍ය නිලධාරියෙකු මගින් සිදු කරවා ගත යුතුයි.

මෙම ක්‍රමයන් තාවකාලික වන නිසා, භාවිතය අත්හළ වහාම සරු බව නැවත ඇතිවනවා.

4. ස්ථිර වන්ධ්‍යාකරණය

ෆැලෝපීය නාල ගැටගසා කපා දැමීම ස්ථිර උපත් පාලන ක්‍රමයකි. (invitra.com)
ෆැලෝපීය නාල ගැටගසා කපා දැමීම ස්ථිර උපත් පාලන ක්‍රමයකි. (invitra.com)

ගැබ් ගැනීමට බලාපොරොත්තුවක් නොමැති නම් හෝ දරුවන් අනවශ්‍ය නම්, ස්ථිර උපත් පාලන ක්‍රමයක් සඳහා යොමු වීමටත් පුළුවන්.

මෙහිදී කාන්තාවන් සඳහා, ඔවුන්ගේ ෆැලෝපීය නාල ගැටගසා කපා දැමීම මගින් ඩිම්බයක් ගර්භාෂය වෙත ඒම වළක්වා, ගැබ් ගැනීමක් සිදුවීමේ ඉඩකඩ අහුරා දමනවා (tubal ligation). එන්නත් හැර වෙනත් ඕනෑම උපත් පාලක ක්‍රමයක් භාවිත කළ කාන්තාවකට ඕනෑම අවස්ථාවක දී වන්ධ්‍යාකරණ සැත්කමට යොමු විය හැකියි.

පුරුෂයෙකුට වන්ධ්‍යාකරණ සැත්කමක් සිදු කිරීමේ දී ශුක්‍ර ගලා එන අපසාහී වාහිණී ගැටගසා කපා දැමීමක් සිදුවෙනවා (Vasectomy). එයින් පසු ඔහුගේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු අඩංගු නොවන නිසා, සංසර්ගයකදී කාන්තාව ගැබ් ගැනීමේ ඉඩකඩ නොමැති තරම්. කෙසේ නමුත් පුරුෂයෙකු වන්ධ්‍යාකරණ සැත්කමකින් පසු මාස 3ක් යනතුරු අන් උපත් පාලකයක් භාවිතා කළ යුතු අතර සැත්කමේ සාර්ථකභාවය පරීක්ෂා කිරීමට ශුක්‍ර තරල පරීක්ෂාවක් සිදු කළ යුතුයි.

5. හදිසි උපක්‍රම

අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසු ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට මෙම ක්‍රම භාවිතා කළ හැකියි. මේවා අවශ්‍ය වන්නේ අනාරක්ෂිත හදිසි සංසර්ගයකට පසුව හෝ, භාවිතා කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වුවහොත් පමණයි (උදා: කොන්ඩමය ඉරී යෑම). මෙම ක්‍රමයන් කිසිසේත්ම උපත් පාලනය සඳහා වන එදිනෙදා ක්‍රමයක් ලෙස භාවිතා කිරීම නොකළ යුතුයි.

හදිසි උපත් පාලක පෙති

Postinor 2. (naijaonpoint.com)
Postinor 2. (naijaonpoint.com)

කට වහරේ දී Plan B යනුවෙනුත්, වෙළඳපොළේ Postinor යන වෙළඳ නාමය යටතේත් හඳුන්වන්නේ මේවායි. ලිංගික එක්වීමකින් පැය 72ක් දක්වා Postinor 1 පෙති 1ක් හෝ Postinor 2 පෙති දෙකක් පැය 12ක පරතරයක් අතර ලබාගැනීම මගින් 80%ක් පමණ පිළිසිඳගැනීම් වළක්වා ගත හැකියි.

මෙහි අඩංගු වන Levonorgestrel හෝමෝනය මගින් ඩිම්බ සෛල පිටවීම වැළැක්වීමත්, සංසේචනය වූ සෛලයක් තැන්පත් වීමට නුසුදුසු සාධක ගර්භාෂය තුළ ඇති කිරීමත් සිදු කරනවා. කෙසේ නමුත් මෙමඟින් ගබ්සා වීමක් සිදුවන්නේ නැහැ.

උපත් පාලක පෙති අධිමාත්‍රාව (Yuzpe method)

සාමාන්‍ය උපත් පාලක පෙති අධිමාත්‍රාවක් ගැනීම මෙමගින් සිදුවෙනවා. අනාරක්ෂිත සංසර්ගයකින් පසු හැකි ඉක්මනින් උපත් පාලක පෙති 8ක් 4 බැගින් පැය 12ක පරතරයක් ඇතුලත ගැනීම සිදු කළ යුතුයි. පැය 72කට පසු ගැනීමෙන් මෙයින් ප්‍රථිඵල අත් නොවෙන්නට පුළුවන්. මෙය ක්‍රියා කරන්නේත් Levonorgestrel පෙති ක්‍රියාකරන ආකාරයටමයි.

මෙම පෙති ක්‍රමයන් දෙකෙන්ම ඇතැම්විට පැය 120 දක්වා ආරක්ෂාව සලසාගත හැකි බව ඇතැම් පර්යේෂකයින් වාර්තා කරනවා.කෙසේ නමුත් මේවායේ ඇති අධික හෝමෝන සාන්ද්‍රණය නිසා සංකූලතා ඇති වීමේ හැකියාව ඉතා ඉහළ නිසා එදිනෙදා භාවිතයට නම් ඉතාම නුසුදුසුයි.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම අනාරක්ෂිත ගැබ් ගැනීම් වළක්වාගැනීමට කටයුතු කළ යුතු වුව ද, මේ පිළිබඳව වැඩිපුරම අවධානය කළ යුතු වන්නේ ස්ත්‍රී පාර්ශවය බවට අප විශ්වාස කරනවා. මේ විශ්වාසයට ප්‍රධානතම හේතුව නම්, සංසර්ගය දෙදෙනෙකු අතර සිදු වුවද අවසන ගැබ් ගන්නේ ස්ත්‍රීය වීමයි.

උපත් පාලන ක්‍රම පිළිබඳව දැනුවත්ව සිටීම හෝ භාවිතා කිරීම කිසිසේත්ම ලැජ්ජාවට කරුණක් හෝ අපහාසයට ලක් වන කරුණක් නොවෙයි. ලැජ්ජාවට සහ අපහාසයට කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ දැනට දිනකට නීති විරෝධී ගබ්සා කිරීම් 40ක් පමණ සිදු වන බවයි. එම නිසා ගැබ් ගැනීමක් වැළැක්විය යුතු සියළු අවස්ථාවන් වලදී උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම අපගේ පුරවැසි වගකීමක් බවට සිහිතබා ගනිමු.

ජන හා සංඛ්‍යා තොරතුරු රැගත් Lanka Stat එළිදකී



ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය 'Lanka Stat' නමින් පසුගියදා එළිදැක් වූ බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.

ප්‍රථම අදියර ලෙස ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන අයුරින් මෙම මෘදුකාංගය නිමවා ඇත.

දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කෙරෙන ප්‍රජා විද්‍යාත්මක සමාජීය හා ආර්ථික දර්ශක ඍජුවම ජංගම දුරකථනයට ලබාදීම මඟින් තොරතුරු කාලීනව හා කාර්යක්‍ෂමව ජනතාවට ලබාදීම වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන නිර්මාණය කොට ඇත. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන ස්මාට් ජංගම දුරකථනයකින් 'Google Play Store' වෙත යොමුවී 'LankaStat' ලෙස සෙවීමෙන් මෙම මෘදුකාංගය දුරකථනයට ඇතුලත් කර ගත හැක.

මෙම පද්ධතිය මඟින් නව සංඛ්‍යාති ප්‍රකාශයට පත්කිරීමේදී සහ දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති සංඛ්‍යාති යාවත්කාලීන කරන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව පණිවිඩයක් 'LankaStat' මෘදුකාංගය සහිත ජංගම දුරකථනයේ දිස්වනු ඇත. මෙමඟින් දත්ත භාවිතා කරන්නන් හට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන සංඛ්‍යාති පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව මඟින් පිළියෙල කරනු ලබන ප්‍රජාවිද්‍යාත්මක සමාජීය හා ආර්ථික ක්‍ෂේත්‍රයන් පිළිබඳව සංඛ්‍යාති විවිධ පාර්ශවයන් වෙත කඩිනමින් ලබාදීමට තොරුතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදාගැනීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රමුඛත්වයක් ලබාදී ඇත.