29 April 2017

ජන හා සංඛ්‍යා තොරතුරු රැගත් Lanka Stat එළිදකී



ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය 'Lanka Stat' නමින් පසුගියදා එළිදැක් වූ බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.

ප්‍රථම අදියර ලෙස ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන අයුරින් මෙම මෘදුකාංගය නිමවා ඇත.

දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කෙරෙන ප්‍රජා විද්‍යාත්මක සමාජීය හා ආර්ථික දර්ශක ඍජුවම ජංගම දුරකථනයට ලබාදීම මඟින් තොරතුරු කාලීනව හා කාර්යක්‍ෂමව ජනතාවට ලබාදීම වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන නිර්මාණය කොට ඇත. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන ස්මාට් ජංගම දුරකථනයකින් 'Google Play Store' වෙත යොමුවී 'LankaStat' ලෙස සෙවීමෙන් මෙම මෘදුකාංගය දුරකථනයට ඇතුලත් කර ගත හැක.

මෙම පද්ධතිය මඟින් නව සංඛ්‍යාති ප්‍රකාශයට පත්කිරීමේදී සහ දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති සංඛ්‍යාති යාවත්කාලීන කරන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව පණිවිඩයක් 'LankaStat' මෘදුකාංගය සහිත ජංගම දුරකථනයේ දිස්වනු ඇත. මෙමඟින් දත්ත භාවිතා කරන්නන් හට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන සංඛ්‍යාති පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව මඟින් පිළියෙල කරනු ලබන ප්‍රජාවිද්‍යාත්මක සමාජීය හා ආර්ථික ක්‍ෂේත්‍රයන් පිළිබඳව සංඛ්‍යාති විවිධ පාර්ශවයන් වෙත කඩිනමින් ලබාදීමට තොරුතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදාගැනීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රමුඛත්වයක් ලබාදී ඇත.

No comments:

Post a Comment