13 May 2017

කුලී ගෙවන කෘෂී ගොඩනැගිල්ලේ ආලෝකයට ලක්ෂ 28ක්



රුපියල් මිලියන ගණනක බදු කුලී ගෙවමින් වසරකට වැඩි කාලයක් තිස්සේ භාවිතයට නොගෙන තබා ඇති රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල වෙසක් සතිය වෙනුවෙන් විදුලි ආලෝක කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රුපියල් විසිඅට ලක්ෂයක (රු. 2,800,000) මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ ප්‍රධානියෙකු මෙම කටයුත්ත භාරව කටයුතු කළ බව වාර්තා වන අතර එම විදුලි ආලෝකකරණ කටයුතු පුද්ගලික ආයතනයකට බාරදී ඇති බවද පැවසේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව ජ්‍යෙෂ්ඨ විදුලි කාර්මික ශිල්පියෙකු හා කනිෂ්ඨ විදුලි කාර්මික ශිල්පීන් දෙදෙනෙකු ඇතුළු කාර්යමණ්ඩලයක් සිටියදී එම විදුලි ආලෝකකරණ කටයුතු විශාල මුදලක් වැය කර පිටස්තර ආයතනයකට ලබාදීමද සේවකයන්ගේ විමතියට හේතු වී ඇත.

එක් මාසක කුලිය රුපියල් ලක්ෂ 245ක් බවට මේ වනවිට අනාවරණය වී ඇති එම ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් පත්‍රිකාවකට අනුව කෘෂිකර්ම අමාත්‍යාශයට ගෙන ඇති අතර ඊට කිසිදු අමාත්‍යවරයෙකු විරෝධය ප්‍රකාශ කළ බවට වාර්තා නොවේ.

සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත කෘෂිකර්ම අමාතාංශයට ලබා ගත්තද එය අමාත්‍යාංශය පවත්වාගෙන යාමට සුදුසු මට්ටමේ නොමැති බැවින් මේ වනවිට එය අවශ්‍ය මට්ටමට සකස් කරමින් පවතියි. ඒ සඳහාද විශාල මුදලක් වෙන් කර තිබේ.

වගා වන්දි ගෙවීමේදී හා පොහොර සහනාධාරයට අදාළ මුදල් ගෙවීමේදී විවිධ හේතු දක්වමින් එම මුදල් කප්පාදු කිරීමට කටයුතු කර ඇති සහ එම මුදල් ගෙවීම් පමා කරමින් සිටින ආණ්ඩුව, මෙවැනි නාස්තිකාරී වියදම් කිරීම් සම්බන්ධයෙන් ගොවි ජනතාවද  දැඩිව අප්‍රසාදය පළ කරයි.

මූලාශ්‍ර රාවය

Johnson & Johnson නිෂ්පාදනවල පිළිකා කාරක : කාන්තාවකට ඩොලර් මිලියන 110 ක වන්දියක්



ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) ඖෂධ සමාගමේ නිෂ්පාදිත ටැල්කම් පුයර (talcum powder) භාවිත කිරීමෙන් අනතුරුව ඩිම්බ කෝෂ පිළිකාවක් වැළඳුණු බවට පවසන කාන්තාවකට ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය දහයක් ගෙවන ලෙස ඇමරිකාවේ අධිකරණයක් එම සමාගමට නියෝග කොට තිබේ.

වසර හතළිහක් මුළුල්ලේ ටැල්කම් පුයර සහිත නිෂ්පාදන භාවිත කිරීමෙන් අනතුරුව තමන්ට ඩිම්බ කෝෂ පිළිකාවක් වැළඳුණු බව මිසූරි ප්‍රාන්තයේ වර්ජිනීයාහි වෙසෙන හැට දෙහැවිරිදි ලුයිස් ස්ලෙම්ප් පවසන්නීය. එම නිෂ්පාදනවලින් පිළිකා වැළඳීමේ අවදානම පිළිබඳව අදාළ සමාගම ප්‍රමාණවත් මට්ටමේ අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තර්කකොට තිබේ.

ටැල්කම් පුයර සහ ඩිම්බ කෝෂ පිළිකාව අතර සම්බන්ධයක් තිබේදැයි යන්න නිශ්චිතව සනාථ වී නොමැති බව විශේෂඥයෝ පවසති.

අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පවසයි.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ ටැල්කම් පුයර නිෂ්පාදනවලට එරෙහිව ශාන්ත ලුවිස් නගරයේ අධිකරණයේ පමණක් පැමිණිලි 2400 කට ආසන්න ප්‍රමාණයක් විභාගවන අතර, ඒ අතරින් වැඩිම වන්දියක් ප්‍රදානය කෙරුණ නඩු විභාගය මෙය බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

2012 දී ඩිම්බ කෝෂ පිළිකාවක් වැළඳී ඇති බව නිගමනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින ලුයිස් ස්ලෙම්ප් මහත්මියගේ රෝගී තත්වය අක්මාව දක්වා ව්‍යාප්ත වී තිබේ. බේබි පුයර (Baby Powder) සහ ‘Shower to Shower’ පුයර ඇතුළු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ නිෂ්පාදන තමන් භාවිත කළ බව ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

“ඩිම්බ කෝෂ පිළිකාව නිසා බලපෑම් එල්ල වූ කාන්තාවට සහ පවුල්වලට අපගේ දැඩි සංවේගය පළ කර සිටිනවා,” යනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම, කෙසේ නමුත් සිය සමාගමේ නිෂ්පාදිත බේබි පුයර ශරීරයට අහිතකර නොවන බව ඉදිරියටත් සිය සමාගමේ ස්ථාවරය බවත් සඳහන් කරයි.

විශේෂයෙන් වසර ගණනාවක් එක දිගට ජනනේන්ද්‍රීය අවට ටැල්කම් පුයර භාවිත කිරීමෙන් ඩිම්බ කෝෂ පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යාමට ඇති හැකියාව පිළිබඳව අවධානය පළ වී තිබෙන නමුත් ඒ පිළිබඳව නිශ්චිත සාක්ෂි ඉදිරිපත් වී නොමැත.

ජනනේන්ද්‍රීය අවට ටැල්කම් පුයර යෙදීම “පිළිකා කාරකයක් විය හැකි” බව ඒ සම්බන්ධයෙන් පළ වන මිශ්‍ර අදහස් සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය වර්ගීකරණය කර තිබේ.

මෝඩිට එරෙහි මඩ පෝස්ටර් කොන්ත්‍රාත්තුව ගම්මන්පිලගෙන්



ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ පැමිණීමට එරෙහිව කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය විසින් සිදුකළ මඩ පෝස්ටර් මෙහෙයුම සිදුකර ඇත්තේ කු.පා.ම. මහින්දගේම ගෝලයෙකු වන කො.පා.ම.ගම්මන්පිළ විසින් බවට අනාවරණයවේ.

කො.පා.ම. ගම්මන්පිල විසින් මෙම පෝස්ටර් ඇලවීම පෝස්ටර් කොන්ත්‍රාත්කරුවකුට භාරදී ඇති අතර ඔහු මෙම පෝස්ටර් වල අන්තර් ගත දේ දැන සිට නැත. පෝස්ටර් ඇලවීම ඔහුගේ ව්‍යාපාරය නිසාත්, ගම්මන්පිල ඇල්වතුරත් නිවලා බොන කථාවකින් සිදුකළ ඇන්දවීම නිසාත් මොහු මෙම රාජපක්ෂලාගේ මඩ උගුලට හසුව ඇතැයි වාර්තාවේ.

පොලිසිය විසින් මෙම පුද්ගලයාව අත් අඩංගුවට ගත් අවස්ථාවේ කොන්ත්‍රාත්තුව භාරදුන් ගම්මන්පිලව අමතා ඇති අතර එහිදී ගම්මන්පිල ‘තමුසෙට මම ලෝයස්ලා එවන්නම්, මාව මාට්ටු නොකර වැඩේ ගොඩදා ගන්නවා යැයි’ පවසා ඇතිබවටද වාර්තාවේ.

කෙසේ වෙතත් මේ වන විට සියල්ල අසාර්ථක වූ කු.පා.ම.මහින්දගේ පාර්ශවය මෙයින් ගැලවීම සඳහා එම පෝස්ටර් මඩ නොවන බවත්, ඒවායේ තිබූයේ එට්කා ගිවිසුමට එරෙහිව වෘත්තිකයින්ගේ සටන් පාඨ බවට ප්‍රචාරයක් යවමින් තිබෙ.

ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් මෝඩිගේ පැමිණීමට එරෙහිව කු.පා.ම. මහින්ද පාර්ශවය නියෝජනය කරන විමල් වීරවංශ නිවෙස් වල කළු කොඩි ඔසවන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් කළද අවසානයේ රටේ සමස්ත ජනතාවගෙන් එක් අයෙකු තබා විමල් වීරවංශවත් තම නිවසේ කළු කොඩි ඔසවාගෙන තිබුණේ නැත.

ඩිස්නි කතාවල තියෙන හැංගුන කුනුහරුප 10ක් | VIDEO


ඩිස්නි කතාවල තියෙන හැංගුන කුනුහරුප 10ක්...


‘චැනල් වන්” රූපවාහිනී නාලිකාව වසා දමන තීරණය එම නිවේදිකාව අඩමින් කියූ හැටි | VIDEO



ඊශ්‍රායලයේ ‘චැනල් වන්” රූපවාහිනී නාලිකාව එරට ජනාධිපති බෙන්ජමින් නෙතනියාහු පාර්ලිමේන්තුවේදී ගනු ලැබූ විශේෂ තීරණයක් මත හදිසියේ වසා දමන අවස්ථාවේ එම රූපවාහිනී නාලිකාවේ සජීවී පුවත් විකාශය කියවූ නිවේදිකාව හැඩූ කඳුලින් එය දන්වා සිටියා.

“දැන් අපි බ්‍රේකින් නිව්ස් එකක් දන්වා සිටිමු. මෙය පාර්ලිමේන්තුව විසින් කළ ප්‍රකාශයක්. ඇත්තටම..අද රාත්‍රියේ විකාශය වන මේ වැඩසටහන තමයි අපේ අවසාන වැඩසටහන.මින් ඉදිරියට තිබෙන වැඩසටහන් මොනවාද කියා පැවසීම අනවශ්‍යයි.මේ කාලය පුරාම මෙහි වැඩ කළ සියලුම දෙනාට ස්තූති කරන්නට මට උවමනායි. මේ නාලිකාව මට මගේ ගෙදර වගේ වුණා. මට අසීරු කාල තිබුණා. නමුත් මගේ හොඳම කාලය තිබුණේත් මෙහි.බොහෝ දෙනෙකුට රැකියා නැතිවෙන්න නියමිතයි. ඔවුන්ට අලුත් රැකියා සොයාගන්න ලැබේවි කියා මම ප්‍රාර්ථනා කරනවා.”


ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය දෙන බවට ඉන්දියාවෙන් සහතිකයක්

ශ්‍රී ලංකාව සඳහා ශක්තිමත් ආර්ථිකයක් උරුමකර දීමට සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට, සංවර්ධන සහකරුවෙකු වෙමින් නිරතුරුවම සහය ලබාදීමට  ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා කටයුතු කරනු ඇති බව ඉන්දියානු සාගර කලාපයේ ඒකාබද්ධ ලේකම් සංජය පන්ඩා මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද කොලඹදී පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ එහිදී ඔහු පල කළ අදහස්.

අවබෝධතා ගිවිසුම් වගේම ගිවිසුම් කියලා දේවල් තියෙනවා. නමුත් අපි අතර අද අත්සන් කිරීමට කියලා කිසිම ලිපි ලේඛනයක් නෑ. අද ශ්‍රී ලංකාවේ  නායකත්වය සමග ශ්‍රී ලංකාවේ හෙට දවස එක්ක අපි ඉන්නවා. ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් අපි අතහිත දෙනවා.

“ඉදිරියේදී දිගින් දිගටම ශ්‍රී ලංකාව සඳහා  සහය ලබා දීමට අපි අපෙක්ෂා කරනවා. අපි ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාව සඳහා ශක්තිමත් සංවර්ධන සහකරු වනු ඇති බවට සහතික වෙනවා.“

අපි ශ්‍රී ලංකාවේ වර්ධනය වන සෞභාග්‍යයට, සංවර්ධනයට දායක වෙන්න වගේම දෙරට අතර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් අපි අපේ රටවල් දෙක අතර වැඩි දියුණු අවකාශය සහයෝගය බලාපොරොත්තු වෙනවා

චීන සබ්මැරීනයකට මෙරටට පැමිණීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරලා

චීනයට අයත් සබ්මැරීනයක් කොළඹ වරායේ නවතා තැබීමට චීනය විසින් ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

චීනය විසින් සිදු කර ඇති අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇත්තේ චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින මතභේද හා ශ්‍රී ලංකා ඉන්දීය සබදතා මුල් කරගෙන බවටයි එම වාර්තා පවසන්නේ.

කොළඹ වරා‍යේ අවසන්වරට සබ්මැරීනයක් නවතා ඇත්තේ 2014 ඔක්තෝම්බර් මාසයේදීයි.

එය චීන සබ්මැරීනයක් බවට වාර්තා පලවනවා.

ඒ සඳහාද ඉන්දියාව දැඩි විරෝධයක් පළ කර ඇති බවත්, ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමීව ඉන්දීය අගමැතිගේ මෙරට සංචාරය හා ඉන්දියාව ශ්‍රී ලංකාව අතර පවත්වා සම්බන්ධතාවය පළුඳුවීම වළක්වා ගනිමින් මෙම අවස්ථාව ලබා නොදී ඇති බවයි ප්‍රකාශ වන්නේ.

ශ්‍රී ලංකන් මෙහෙයුම් ආදායම රු.බිලියන 136.68 ක් වෙයි



ශ්‍රී ලංකන් ගුවන් සමාගම විගණනය නොකළ ගිණුම් වාර්තාවලට අනුව ගුවන් සමාගමේ සමස්ත මෙහෙයුම් ආදායම ඊට පෙර වසරේ ආදායම වූ රු.බිලියන 129.48 සිට රු.බිලියන 136.68 ක් දක්වා සැලකිය යුතු වැඩිවීමක් පෙන්වා ඇති බව එම සමාගම කියයි.

කෙසේ වෙතත්, එම මූල්‍ය වසර තුළ අසීරු වෙළෙඳ පොළ තත්ත්වයන් මත රු.බිලියන 6.49 (ඇ.ඩො.මිලියන 15.12) ක විගණනය නොකළ සමූහ ශුද්ධ අලාභයක් වාර්තා කර ඇතැයිද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය මූල්‍ය කාර්ය සාධනය ඉදිරිපත් කරමින් පවසා සිටියි. එසේම මෙය ඊට පෙර පැවැති මූල්‍ය වසරට වඩා රු.බිලියන 2.90 ක අලාභයක් මේ වසර තුළ වැඩි වී ඇතත් එම වසර සඳහා අයවැයකරණය ලද අලාභයට වඩා අඩුවීමක් මෙමගින් පෙන්නුම කර ඇතැයිද එම සමාගම සඳහන් කරයි.

මෙතෙක් නොදුටු අභිරහස් ජීවියෙක් | VIDEO



මෙතෙක් නොදුටු අමුතු වර්ගයේ මුහුදු ජීවියෙක් ඉන්දුනීසියානු වෙරළට ගොඩ ගසා තිබී පසුගිය දා සොයා ගෙන තිබේ.

දිගින් මීටර් 15 පමණ වන මෙම සත්වයා කුමණ වර්ගයේ සතෙකුද යන්න මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තාවී නැති අතර, සෙවල ගතියෙන් යුත් මෙම සත්වයා සොයා ගන්නා විට මියගොස් දින තුනක්වත් වන්නට ඇති බවට වාර්තා වේ.


ප්‍රභල සයිබර් ප්‍රහාරයක්



ප්‍රබල සයිබර් ප්‍රහාරයකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඇමෙරිකානු ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින පරිගණක මෘදුකාංගයක් මගින් ලොව පුරා ස්ථාන දහස් ගණනක පරිගණක අගුළු වැටී ඇති බවත්, බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවත් සෞඛ්‍ය සේවා බලධාරීන් පවසන බව බී.බී.සී පුවත් සේවය අනාවරණය කරයි.

මේ තත්ත්වය මත හදිසි ප්‍රතිකාර සඳහා පැමිණෙන බ්‍රිතාන්‍ය රෝගීන් වෙනත් රෝහල් වෙත හරවා යැවීමට සිදු වී ඇති බවට, ස්පාඤ්ඤයේද ආයතන ගණනාවක් සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය සහ තායිවානය
ඇතුළු රටවල් 74 කට ආසන්න ප්‍රමාණයක පරිගණය පද්ධතිවලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව බී.බී.සී පුවත් සේවය කියා සිටියි.

මෙය එකිනෙකට සම්බන්ධ සිදුවීමක් බව පරිගණක ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන අතර “මේක ඉතා බරපතළ තත්වයක්,” බව පරිගණක ආරක්ෂාව පිළිබඳ අවාස්ට් (Avast) සමාගමේ ජෙකුබ් ක්‍රවුස්තෙක් පවසා ඇත.

වහාම සිය පරිගණක වසා දමන මෙන් ඇතැම් සමාගම් සිය සේවකයන්ට උපදෙස් දී ඇති අතර, ‘කප්පම් සයිබර් ප්‍රහාරය’ මගින් සිය පරිගණක එක්වරම අගුළු දමා ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ඉතාලියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විසින් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.

ජන සංහාර සතිය අද සිට ක්‍රියාත්මකයි



අද දිනයේ සිට ජන සංහාර සතිය ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවා‍ජිලිංගම් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ යුද්ධයෙන් මියගිය පිරිසක් සිහිකිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙම සතිය තුළ විශේෂ සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.

ලබන 18 වන දින ජන සංහාර සතියේ අවසන් දින සැමරුම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව එම්.කේ සිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

ආසියානු දැල්පන්දු සිහිනය බොඳවෙයි

දකුණු කොරියාවේ පැවැති ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේ ඊයේ (12 දා) පැවැති අවසන් පූර්ව තරගයෙන් සිංගප්පූරුව හමුවේ ලකුණු 58-32 ක පරාජයක්‌ ලැබු ඉකුත් ශූරියන් වන ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි සහ සිව්වැනි ස්‌ථාන සඳහා වන තරගයට පමණක්‌ සුදුසුකම් ලැබීය.

රටවල් දහයක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා “ඒ” කාණ්‌ඩයෙන් තායිලන්තය හමුවේ පමණක්‌ පරාජය වුවද හොංකොං, පකිස්‌තානය සහ මාලදිවයින පරාජය කරමින් කාණ්‌ඩයේ පළමු තැනට පත්වෙමින් අවසන් පුර්ව තරග අවස්‌ථාව හිමිකර ගත්තේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් පුර්ව තරගයේදී දැඩි දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වෙමින් ආසියානු දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි තැන පසුවු සිංගප්පුරුවට පරාජය වීම විශේෂත්වයකි.

ඊයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය මලයාසියාව සහ හොංකොං අතර පැවැති අතර එම තරයේදී හොංකොං කණ්‌ඩායම ජය ගත හොත් සිංගප්පුරුව සමග අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නියමිත විය. එම තරගයෙන් පරාජය වන කණ්‌ඩායම සමග ශ්‍රී ලංකාව තෙවැනි ස්‌ථානය සඳහා තරග වැදීමට නියමිතව තිබුණි.

තරගාවලියේදී “බී” කාණ්‌ඩයෙන් මාලයාසියාව, සිංගප්පුරුව, ඉන්දියාව, චීන තායිපේ සහ කොරියාව තරග වැදුනි.

කුරුණෑගල රෝහල ඩෙංගු අවදානම් කලාපයක්

කුරුණෑගල රෝහලේ පවතින ඩෙංගු අවදානම හේතුවෙන් රෝහල් පරිශ්‍රය හා ඒ අවට ඩෙංගු අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන හැඳගස්ගමුව මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඊට අමතරව ප්‍රතිකාර සඳහා රෝහල් කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් නොවන බැවින් අවට රෝහල්වලින් අවශ්‍ය කාර්ය මණ්ඩලය සපයා දෙන ලෙසද වෛද්‍ය හැඳගස්ගමුව මහතා ඉල්ලා ඇත.

රෝහල් කාර්ය මණ්ඩලයේ බහුතරයක් ද ඩෙංගු රෝගයට ගොදුරුව සිටින බැවින් රෝහලේ ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යාම බරපතල ගැටලුවක් බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටී.