13 May 2017

කුලී ගෙවන කෘෂී ගොඩනැගිල්ලේ ආලෝකයට ලක්ෂ 28ක්



රුපියල් මිලියන ගණනක බදු කුලී ගෙවමින් වසරකට වැඩි කාලයක් තිස්සේ භාවිතයට නොගෙන තබා ඇති රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල වෙසක් සතිය වෙනුවෙන් විදුලි ආලෝක කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රුපියල් විසිඅට ලක්ෂයක (රු. 2,800,000) මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ ප්‍රධානියෙකු මෙම කටයුත්ත භාරව කටයුතු කළ බව වාර්තා වන අතර එම විදුලි ආලෝකකරණ කටයුතු පුද්ගලික ආයතනයකට බාරදී ඇති බවද පැවසේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව ජ්‍යෙෂ්ඨ විදුලි කාර්මික ශිල්පියෙකු හා කනිෂ්ඨ විදුලි කාර්මික ශිල්පීන් දෙදෙනෙකු ඇතුළු කාර්යමණ්ඩලයක් සිටියදී එම විදුලි ආලෝකකරණ කටයුතු විශාල මුදලක් වැය කර පිටස්තර ආයතනයකට ලබාදීමද සේවකයන්ගේ විමතියට හේතු වී ඇත.

එක් මාසක කුලිය රුපියල් ලක්ෂ 245ක් බවට මේ වනවිට අනාවරණය වී ඇති එම ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් පත්‍රිකාවකට අනුව කෘෂිකර්ම අමාත්‍යාශයට ගෙන ඇති අතර ඊට කිසිදු අමාත්‍යවරයෙකු විරෝධය ප්‍රකාශ කළ බවට වාර්තා නොවේ.

සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත කෘෂිකර්ම අමාතාංශයට ලබා ගත්තද එය අමාත්‍යාංශය පවත්වාගෙන යාමට සුදුසු මට්ටමේ නොමැති බැවින් මේ වනවිට එය අවශ්‍ය මට්ටමට සකස් කරමින් පවතියි. ඒ සඳහාද විශාල මුදලක් වෙන් කර තිබේ.

වගා වන්දි ගෙවීමේදී හා පොහොර සහනාධාරයට අදාළ මුදල් ගෙවීමේදී විවිධ හේතු දක්වමින් එම මුදල් කප්පාදු කිරීමට කටයුතු කර ඇති සහ එම මුදල් ගෙවීම් පමා කරමින් සිටින ආණ්ඩුව, මෙවැනි නාස්තිකාරී වියදම් කිරීම් සම්බන්ධයෙන් ගොවි ජනතාවද  දැඩිව අප්‍රසාදය පළ කරයි.

මූලාශ්‍ර රාවය

No comments:

Post a Comment