04 April 2017

71කේ කැරැල්ල ගැන සටහනක් - යෙනුක සිසිල්චන්ද්‍ර



1971 අරගලය සිදුවී වසර 46 ක් පිරීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි. මේ ඒ පිලිබඳව තබන සටහනකි...

ඇතැම් අය මෙය දකින්නේ තනි මිනිසෙකු සිය පෞද්ගලික මානසික ආතතියක් පිට කල සන්නද්ධ අරගලයක් හැටියටය. රෝහණ විජේවීර සහෝදරයා රුසියාවේ ශිෂ්‍යත්වයක් ලබා එරට සිට නිවාඩුවකට මෙරටට පැමිණි අවස්ථාවක නැවත රුසියාවට යෑමට අවසර නොදීම නිසා ධනපති සමාජය සමගත්, ඒ වනවිට වමේ සිටි නායකයන් සමගත් ඇතිවූ වෛරය ඔහු බලය ලබාගැනීමේ මෙහෙයුමකට හරවා ගත් බවයි. මෙය ආරම්භක හේතුවක් වුවත් මින් එහා ගිය මූල බීජයක් 71 කේ කැරැල්ලට හේතුවූ බව මාගේ විශ්වාසයයි.

1948 දී අපට නාමික නිදහසක් ලැබුනි. අප රට පුරා දශක 4කට වැඩි කාලයක් අධිරාජ්‍යවාදී රටවල පාලනයට නතු වී තිබුනි. මේ වකවානුව තුල සුද්දන්ට කත් ඇඳ, තානාත්තර, ඉඩ කඩම්, නම්බු නාම ලබාගත් සිංහල සුද්දන් විසින් 48න් පසුව මෙරටේ උසස් රදල පැලැන්තිය ලෙස ඉස්මතු විය. රාජ්‍ය බලය අත්වූයේ මොවුන්ටය. ධනය සතු වූයේ මොවුන්ටය. උසස් අධ්‍යාපන අවස්ථා, ඉහල රැකියා අවස්ථා හිමිවූයේද මොවුන්ටය. නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්න සාමාන්‍ය පවුල් වල ළමුන් ඉගෙන ගත්තත් ඔවුන්ට ගැලපෙන රැකියා ලැබුනේ නැත. මේ නිසා 60ටේ දශකය වනවිට ධනපති පැලැන්ති සමග උරණව සිටින රැකියා නොමැති, උගත් තරුණ පිරිසක් බිහි විය. ඔවුන් ඒවන විට පැවති වමාංශික පක්ෂ සමග සම්බන්ධ විය. එහිදී ඔවුන් 19 වන ශත වර්ෂයේ රුසියාවේ, චීනයේ, කියුබාවේ, ඇල්බේනියාවේ විප්ලවීය ප්‍රවේශය හරහා ඒකාධිපති ධනපති පාලනයන් සාර්ථව බිඳහෙලූ ආකාරය ඉගෙන ගත්තේය. මෙලෙස සමීප විප්ලව ගැන දැනුවත්, අධිරාජ්‍යවාදී ගැති, ධනපති පාලකයන්ට විරුද්ධ සමාජ පරිනතභාවයක් සහිත තරුණ පෙලක් 60ටේ දශකය වනවිට බිහිවී තිබුනි.. විජේවීර කලේ මේ තරුණයන් රාජ්‍ය බලය ලබාගැනිමේ මෙහෙයුමකට සම්බන්ධ කරගෙන ඊට නායකත්වය ලබාදීමයි.

මේ විප්ලවය අසාර්ථක වීමට බලපෑ හේතු ගණනාවකි.

- මේ සටන නිර්ධන පංතිය වෙනුවෙන් කරන සටනක් බව සිවිල් සමාජය දැනුවත් නොකිරීම. මේ නිසා 71කේ කැරැල්ලට වැඩියෙන්ම විරුද්ධ වුනේත් ඉන් වැඩිපුරම බැට කැවේත් නිර්ධන පංතිය වීමය.

- අධිවාමවාදී අදහස් ඇතිව මූලධර්මවාදීව කටයුතු කිරීම. මොවුන් සිතුවේ සීමිත ආයුධ ප්‍රමාණයක් සහිතව සටන ඇරඹූ විගස ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහෝදරවරු ආයුධ රැගෙන ඔවුන්ගේ සටනට එක්වෙයි කියාය. එහෙත් වුනේ මේ සියලු දෙනා ඔවුන් මර්ධනට රජයට සහය වීමයි.

- අභ්‍යන්තර ගැටුම්. ධර්මසේකරගේ වෙන්වීයෑම, සනත්, සිසිල්චන්ද්‍ර, මාදුවගේ ඇතුලු ගාලු ද්‍රිස්ත්‍රික් නායකයන් සමග ගැටුම, ලොකු අතුල සමග විරසක වීම, කෑගලු කණ්ඩායම වෙන්වීම ආදිය දැක්විය හැක.

- ජාතිවාදී අදහස්. 71කේ කැරැල්ලට කිසිදු දෙමල හෝ මුස්ලිම් සහෝදරයෙක් සම්බන්ධ කරගත්තේ නැත. විජේවීර ප්‍රසිද්ධියේම වතු දෙමල ජනයා කම්කරුවන් ලෙස සැලකුය යුතු නැති බව පැවසුවේය. මේ නිසා මෙය අසහනයට පත් සිංහල තරුණයන්ගේ සටනක් ලෙස ලේබල් විය.

- ධනපති ක්‍රමයට විරුද්ධ සෙසු වමේ කණ්ඩායම් සටනට එකතු කරගැනීම වෙනුවට විජේවීර විසින් එන් එම්, කොල්වින්, කෙනමන්, වික්‍රමසිංහ ඇතුලු වමේ නායකයන් පිරිසව ප්‍රසිද්ධියේම විවේඡනය කලේය. ප්‍රභාකරන්ට වැරදුනේද ඔතනය. ඔහුද අනෙක් දෙමල විමුක්තිවාදී කණ්ඩායම් වන ටෙලෝ, ඊරෝස්, ප්ලොට් වැනි සංවිධාන මර්ධනය කලේය.

- ජයග්‍රාහි සියලු විප්ලව ක්‍රියාත්මක කලේ ඒකාධිපති පාලනයන්ට එරෙහිව වුවත් 71කේ කැරැල්ල ක්‍රියාත්මක් කලේ බහුතර මිනිසුන්ගේ කැමැත්තෙන් පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී රජයකට විරුද්ධව වේ. මෙහිදී නාමික ප්‍රජාතන්ත්‍රවාදයේ හා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස සමාජගත කිරීමට ඔවුහු අපොහොසත් විය.

- කුලවාදී ප්‍රතිපත්ති. විජේවීර වගකීම් පැවරීමේදී එක් කුලයකට විශේෂ සැලකිල්ලක් දැක්වීම සිදුවිය.

- ශක්තිමත් සංවිධානයක් නොමැතිව එක් දිනකින් සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීමෙන් විප්ලවීය මුහුණුවර වෙනුවට ත්‍රස්තවදී ලේබලයක් වැදීම.

මේ හේතූන් නිසා කැරැල්ල අසාර්ථක විය. පසුව මහනඩුවේදී විජේවීරව මහා විප්ලවවාදියකු කර සෙසු නායකයින් මෝඩයන් කිරීමට බාල තම්බො ගෙතූ බොරුව ඇතැම් අය සැබෑ සිදුවීම ලෙස දකිනවා. එහෙත් ඇත්ත එය නොවේ.

කෙසේ වුවත් මහ නඩුවෙන් මේ තරුණයන් බොහෝ දෙනා සිරගත වෙනවා. සමහරු සටන් බිමේදී මිය යනවා. ඔවුන්ගේ පවුල් වල අයට සමාජයෙන්, මාධ්‍යයෙන් හා රජයෙන් පීඩා එල්ල වෙනවා. වර්තමානයේදී සල්ලි නැතත් වට්නා ඇදුම්, වාහන, දුරකතන මිලදී ගෙන ඒවා තමන්ට තිබෙන බව පෙන්වීමට මුහුණු පොතේ ඡයාරූප දමමින්, පැලැන්තිය පෙන්වීමට බොරු වාසගම හා ඉංග්‍රීසි වචන භාවිතාකරමින්, සෝබනකාරී ජීවීතයක් ගත කරන වත්මන් තාරුණ්‍යට සාපේක්ෂව ගත්කල නිර්ධන පංතිය වෙනුවෙන් සිය ජීවිත පරදුවට තබා, විශාල කැපකිරීම් සහිතව අවංකව සටන් කල 71කේ තරුණ තරුණියන් වීරත්වයෙන් සැලකීමේ වරදක් නැත. ඔවුන් යුගයක් වෙනස් කිරීමට වෙරදැරූ යුග පුරුෂයන් වේ.

ඔවුන්ට සම්පූර්ණ කිරීමට නොහැකි වූ විප්ලවයේ අවශ්‍යතාව දැන් මතු වෙමින් පවතී. දැන් පක්ෂ 2කක ඒකාධිපති, අවස්ථාවාදී පාලනයක් නිර්මාණය වී තිබෙනවා..මේ නිසා ආයුධ රහිත,ලේ සෙලවීම් සිදුනොවන සැබෑ විප්ලවයකට ආශිර්වාදයෙන්, සම්පත් දායකත්වයෙන්, අනුගාමිකත්වයෙන් හෝ නායකත්වයෙන් සම්බන්ධ වීම දැනුවත් තරුණ පරපුරේ වගකීමයි. 71 කැරැල්ලට 46 වසරක් පිරීමට මත්තෙන් දෙවන පරපුරේ වගකීම අපි ඉටු කිරීමට අදිටන් කරගමු.

යුද අපරාධ ගැන ජනපති අගමැති ප්‍රකාශ පරස්පරයි – සම්බන්ධන්



යුද අපරාධ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. මහතාත් ජිනීවා යෝජනාවට මුළුමනින්ම පටහැනි ප්‍රකාශ කර ඇති බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

මේ ගැන පැහැදිලි පිළිතුරක් ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා(06) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත විවාදයේදී තමන් ලබා දෙන බව ද ඒ මහතා කියයි.

කිසිදු රණවිරුවකු අධිකරණයට ඉදිරිපත් කර නඩු ඇසීමට තමා සූදානම් නැති බවට ජනපතිවරයා ඉකුත් දිනක ප්‍රකාශ කළ බවත් යුද අපරාධ යාන්ත්‍රණය සදහා විදේශීය විනිසුරුවරුන් එක්කර නොගන්නා බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත් ඒ මහතා පවසයි.

රජයේ මැති ඇමතිවරුන් පවා යුද අපරාධ යාන්ත්‍රණයට විදේශීය විනිසුරුවරුන් සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායකවරයා කියයි.

කෝටි 900 කට ලංකාවේ කෝස්වේ පේන්ට්ස් අයිතිය ඉන්දියාවේ ඒෂියන් පේන්ට්ස් අත්පත් කර ගනී



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තීන්ත නිෂ්පාදන සමාගමක් වන කෝස්වේ පේන්ට්ස් ලංකා (පුද්) සමාගම සම්පූර්ණයෙන්ම තමන් විසින් මිල දී ගත් බව ඉන්දියාවේ ඒෂියන් පේන්ට්ස් සමාගම නිවේදනය කර සිටී.

බෝම්බේ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන ඒෂියන් පේන්ට්ස් විසින් සිය අනුබද්ධ සමාගමක් වන Berger International හරහා පසුගිය පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම අද දිනයේ දී අවසන් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා රුපියල් මිලියන 9,050 කට මෙම ගනුදෙනුව සිදු වී ඇති අතර ආසන්න වශයෙන් එය ඉන්දියානු රුපියල් කෝටි 386.75 කි.

ඒෂියන් පේන්ට්ස් සමාගම සිය ලාංකීය ව්‍යාපාර හස්තය වන ඒෂියන් පේන්ට්ස් (ලංකා) ලිමිටඩ් හරහා ශ්‍රී ලංකාව තුළ දැනටමත් මෙහෙයුම් කටයුතුවල නිරත අතර ඉදිරියේදී ලාංකීය වෙළෙඳපොළ තුළ සිය ස්ථානය තවදුරටත් පුළුල් කර ගැනීම මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමේ අරමුණ බව කියා සිටී.

ජේම්ස් පැකර්ට දුන් ඉඩමගැනත් විගණන වාර්තාවක් එළියට



නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොටුව ලේක්හවුස් ආයතනය ඉදිරිපිට තිබෙන ඉඩම සී/ස ලේක් ලෙෂර් හෝල්ඩින් පෞද්ගලික සමාගමට අවුරුදු 50ක බදු පදනම යටතේ ලබාදීමේදී එම අධිකාරියට ලැබිය යුතු ඉඩමේ තක්සේරු වටිනාකමින් රුපියල් කෝටි 33ක මුදලක් අඩුවෙන් අය කරගෙන ඇති බව විගණකාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට දැනුම්දීමක් කර ඇත.

මාර්තු 16දා නිකුත් කළ අංක H UD/ B / UDA / 2017 / V03 දරන දැනුම්දීමෙන් විගණකාධිපතිවරයා පවසන්නේ මේ ඉඩම ලේක් ලෙෂර් ආයතනයට දීර්ඝ කාලීන බද්දකට ලබා ගැනීම සඳහා 2008 වසරේ සිට එම සමාගමේ හිමිකරු ප්‍රයත්න දරා ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරුන් සහ නිලධාරීන් එයට සහාය දී ඇති බවත් මේ පිළිබඳව පවත්වාගෙන යන ලිපිගොනුවලින් පැහැදිලි වන බවයි.

පසුගිය රජය සමයේ බදු පදනම මත මෙම සමාගමට ඉඩම ලබාදුන්නද මුදල් ගෙවීම පැහැර හැරීම නිසා වත්මන් රජය පත් වීමෙන් පසු 2016 වසරේ නැවත එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලිපි කිහිපයකින් අදාළ සමාගමට ඉඩමේ තක්සේරු වටිනාකමින් ඉතිරි 80% එනම් රුපියල් මිලියන 2208ක මුදල සහ එයට එකතු වන අනෙකුත් බදු මුදල් ගෙවන ලෙස දැනුම් දී තිබුණද සමාගමේ හිමිකරු එයට ප්‍රතිචාර දක්වා නැත.

අදාළ සමාගම දිගින් දිගටම මුදල් ගෙවීම ප්‍රමාද කළ නමුත් නාගරික සංවර්ධන අධිකාරිය සහ සමාගම අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමට අනුව කටයුතු කළ යුතු වුවත් එලෙස කටයුතු කිරීමට හෝ 2013 සිට 2016 වසර දක්වා ඉඩම ආපසු පවරා ගැනීමට අධිකාරිය කිසිදු පියවරක් ගෙන නැතැයි විගණකාධිපති පෙන්වා දෙයි.

ලේක් ලෙෂර් සමාගම අදාළ ඉඩම සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 2220කට වැඩි ඉතිරි මුදල් නොගෙවීම නිසා වත්මන් විෂය භාර ඇමැතිවරයා එම ඉඩම රජයේ ඉඩම් සන්තකය (ආපසු ලබාගැනීමේ) පනත යටතේ ආපසු පවරා ගැනීමට ක්‍රියා කරන ලෙස නියෝග කර තිබුණද නාගරික සංවර්ධන අධිකාරිය ඉඩමේ භුක්තිය නැවත ලබා ගැනීමට කටයුතු නොකළ බවද විගණකාධිපති සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැන්වීමකින් තොරව අදාළ සමාගම සමඟ මෙලෙස බදු ගිවිසුමට අස්සන් කර ඇති බවත් ගිවිසුම අස්සන් කිරීමේදී 2016 සැප්තැම්බර් මස 6දා කළමනාකරණ මණ්ඩලය විසින් ලබාදෙන ලද උපදෙස් හා අනුගමනය කරන ලද කරුණු කෙරෙහි අවධානය යොමු කර නොතිබූ බවත් විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව අක්කර 2යි රූඩ් 1යි පර්චස් 24.1ක් වන අදාළ ඉඩම වසර 50ක දීර්ඝ කාලීන බද්දකට සී/ස ලේක් ලෙෂර් හෝල්ඩින් පෞද්ගලික සමාගමට ලබාදීමේදී රුපියල් කෝටි 33කට අධික අලාභයක් අධිකාරියට සිදුවීම සහ ගිවිසුම අස්සන් කිරීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට සියලු තොරතුරු දැන්වීමෙන් තොරව ගිවිසුමට එළඹීම සම්බන්ධයෙන් විගණකාධිපති අධිකාරියේ සභාපතිවරයාගෙන් කරුණු විමසා ඇතත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඒ සඳහා තවමත් ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා වේ.

මෙම ඉඩම ඕස්ට්‍රේලියානු ධන කුවේරයෙකු වන කැසිනෝ රජු ලෙස නම්දරා ඇති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන රවී විජේවර්ධනට ලබාදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍ර මව්බිම

විදුලිය ගාස්තු වැඩි කරන්නේ නෑ



විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පවසන්නේ විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ඉදිරියේදී ද අපේක්ෂා නොකරන බවයි.

ජලාශවල ජල මට්ටම අඩුවුව ද අඛන්ඩව විදුලි සැපයීම ලබාදීම සඳහා වැඩි පිරිවැයක් යටතේ වුව ද විදුලිය ලබාදීමට කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

EPF වලටත් බද්දක්?



සේවක අර්ථ සාධක අරමුදලෙන් බදු මුදලක් අය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

එම  පක්ෂයේ මැයි දින රැළිය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්  කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් දුමින්ද දිසානායක  මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒකාබද්ධ විපක්ෂය ගාලු මුවදොර ක්‍රිඩාංගණයේ  මැයි දින රැළිය සංවිධානය කිරීම අභියෝගයක් නොවන බවයි  අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

ආසියාවේ නැගී එන්නන්ගේ ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට



ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැති අවුරුදු 23න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේය. ඒ බංග්ලාදේශයේ පැවැති අවසන් මහ තරගයේදී පාකිස්තන කණ්ඩායම කඩලු පහකින් පරාජයට පත්කරමිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 133ට සිමා කිරිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23.5කදී කඩුලු පහක් දැවී ඉලක්කය සම්පූර්ණ කර ගත්තේය.

ශෙහාන් ජයසූරිය, වනිඳු හසරංග හා චිමික කරුණාරත්න පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දැක්වූ අතර සධීර සමරවික්‍රම, කිත්රුවන් විතානගේ හා වනිඳු හසරංග පිත්තේන් දක්ෂතා දැක්වීය.
තරගේය වීරයා ලෙස ෂෙහාන් ජයසූරියත් තරගාවලියේ වීරයා ලෙස චරිත් අසලංකත් සම්මාන ලැබීය. 

ත්‍රිරෝද රථ ගෙන්වීම වහා නතර කළ යුතුයි



මේවනවිට ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවී ඇති බැවින් ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතු යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

දේශපාලඥයන් සිය පක්ෂ, පාට මෙන්ම මැතිවරණ ජයග්‍රහණ අමතකකර තිරසර සංවර්ධනය වෙනුවෙන් දැඩි දේශපාලන තීන්දු ගතයුතු කාලය එළඹ ඇති බවද අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (03දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති තිරසර ලංකා ප්‍රදර්ශනයට එක්වෙමිනි.

එමෙන්ම ඉදිරියේදී ඉන්ධන ප්‍රවාහනය දුම්රිය මගින් පමණක් සිදුකරන අතර, රථවාහන තදබදය අවම කිරීම සඳහා තවත් පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

දුම්රිය භාවිතකරන මගීන් සංඛ්‍යාව 8% සිට 12% දක්වා වැඩිකරගැනීම රජයේ ඉලක්කය වී ඇති බවත්, ඒසඳහා සුවපහසු දුම්රිය පද්ධතියක් ඇතිකිරීමේ කටයුතු මේවනවිටත් ආරම්භකර ඇති බවත්ඔහු කීය.
කවුරුන් විරුද්ධ වුවද රටේ ඉදිරි ගමන වෙනුවෙන් දැඩි තීන්දු ගතයුතු බව පැවසූ අමාත්‍යවරයා,
“මේවනවිට රටතුළ සිදුවන අනතුරු ප්‍රමාණය සහ රථවාහනවලින් සිදුවන පරිසර දුෂණය පිළිබඳ අවධානය යොමුකරන විට ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටකට ඔරොත්තු දෙනගමනාගමන ක්‍රමයක් සකස් කළ යුතුයි කියන දැවැන්ත අභියෝගයට අපට මුහුණදීමට තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවල දුම් දමන කාර්,වෑන් වෙනුවට විදුලි වාහන ආදී පරිසර හිතකාමී වාහන භාවිතකිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා. ඒසඳහා ශ්‍රීලංකාව නැඹුරු කළ යුතුයි.

දවසකට කන්ටේනර් 94 ක් ත්‍රිකුණාමලයේ සිට පුත්තලමට ගල්අඟුරු ගෙනාවා. මුළු පරිසරයම දූෂණය වුණා. මේගැන මම කල්පනා කරලා දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා එය නැවැත්තුවා. ඒවෙනුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රියක් ලබාදුන්නා. තිරසර සංවර්ධනයට මම එක දායකත්වයක් එලෙස ලබාදුන්නා. ඉන්ධන ප්‍රවාහනය දුම්රිය ඔස්සේ පමණක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මහා මාර්ග තදබදය අවම කිරීමට දුම්රියෙන් යන මගී සංඛ්‍යාව වන 8% තවදුරටත් 12% දක්වා වැඩිකරගැනීමේ ඉලක්කයක් තිබෙනවා. ඒසඳහා සුවපහසු දුම්රිය පද්ධතියක් සැකසීමේ වැඩකටයුතු  අපි ආරම්භ කර තිබෙනවා.

ලංකාවේ ත්‍රිරෝද රථ ප්‍රමාණය වැඩියි. ලංකාවේ ත්‍රීවිල් ප්‍රමාණය ඇති. ලංකාවට ත්‍රීවිල් ගෙන්වීම නවත්තන්නට අවශ්‍යයි. එවැනි දැඩි තීන්දු ගත්තෙ නැතිනම් තිරසර සංවර්ධනයකට යන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ සිදුවන අනතුරු ප්‍රමාණය දෙස බලා අපි දඩ මුදල් වැඩිකළොත් පාර්ලිමේන්තුව වටලන්නට එයි. මහපාරට බහියි. කෝච්චිපාරවල්වල කෝච්චි යන්න බැරිවිදියේ වැඩ කරයි. එවැනි තත්ත්වයක් තුළ වුණත් අපි නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කරලා මේ සමාජය වඩා නීතිගරුක සමාජයක් නොකළොත් තිරසර සංවර්ධනය ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ.

පක්ෂ,මැතිවරණ, ඡන්ද පිළිබඳ අමතක කරමින් දේශපාලඥයන් තිරසර සංවර්ධනය වෙනුවෙන් දැඩි දේශපාලන තීන්දු ගැනීමට කාලය ඇවිත් තිබෙනවා"යනුවෙන්ද පැවසීය.

සහකාරියක් ලෙස කැන්දන් එන්න පුළුවන් කාමුක බෝනික්කියෝ | PHOTO



මෙතෙක් ලොව බිහිවූ රොබෝ බෝනික්කන් අතර වඩාත් දියුණුතම කතා කරන කාමක රෝබෝ බෝනික්කි නිපදවීමට ඇමරිකාව සමත්ව තිබෙනවා. මයික්‍රෝච්ප් ආයතනය විසින් නිපදවා ඇති මෙම බෝනික්කිගේ නම හාමනි ලෙස නම් කර තිබෙනවා.

ස්කොට්ලන්ත ජාතික පෙනුමකින් යුත් මෙම බෝනික්කිට ලැජ්ජාව සහ කාමුකත්වය සහිතව ගති ලක්ෂණ 18 ක් අඩංගු කර තිබෙන අතර දිගුකාලීනව මතකතබා ගැනීමේ හැකියාවද ඇත. එනම් තම සහකරු හෝ බාරකරු සමග පවතින සම්බන්ධතාවය කටහඩ සහ කතා කරන ස්භාවය මගින් හඳුනාගැනීමේ හැකියාවද අන්තර්ගතව ඇත.

ඇගේ වෙළඳපොළ වටිනාකම ඩොලර් දසදහසක් වෙයි.



කැබිනට් සංශෝධනයක් ගැන සාකච්ඡාවට ලක්වීම ඉතා හොද තත්ත්වයක්


 රට තුළ පවතින ගැටළුකාරී තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබද සාකච්ඡාවට ලක්වීම ඉතා හොද තත්ත්වයක් බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය එස්.බි.දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

වර්තමානය වන විට සියලු පාර්ශව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වෙමින් සිටින බව ද එස්.බි.දිසානායක අමාත්‍යවරයා මෙහිදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

ජේ.වී.පී. පොහොසත්ම පක්ෂය වෙයි



2016 වසරේ මෙරට පොහොසත්ම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා. වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය ප්‍රකාශ කළා.

ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක් විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති මූල්‍ය වාර්තා වලට අනුව 2015 වසර අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණේ ආදායම අට කෝටි 71 ලක්ෂ 96,322ක් බවයි එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

එක්සත් ජාතික පක්ෂයේ ආදායම රුපියල් තුන්කෝටි හැට තුන් ලක්ෂ 17,486ක් වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදායම එක්කෝටි අනූ හත් ලක්ෂ 96,009ක් ලෙසයි වාර්තා වන්නේ.

මහින්දගෙන් රනිල් ප්‍රශ්න තුනක් අසයි



හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතාගෙන් තමන් ප්‍රශ්න තුනක් අසන බවත් හැකිනම් ඒ සඳහා. පිළිතුරු දෙන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කිරිබත්ගොඩදී ඊයේ (03දා) පැවැති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

01 ඇයි එක්සිම් බැංකුව සමග අවුරුදු 20කින් පසුව ණය ගෙවන්න එකඟ වුණේ නැත්තේ?

02 ඇයි හම්බන්තොට වරායේ හොඳ කොටස චීන සමාගම්වලට දීලා ණය ගෙවන එක අපි බාර ගත්තේ?

03 වරාය නගරයෙන් කොටසක් සින්නකර ඔප්පුවලින් විකුණලා අනිත් කොටස අවුරුදු 99ක් බදු දුන්නේ?

යනුවෙන් අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න තුනක් විමසීය.

එසේම තමන් සිව්වැනි ප්‍රශ්නය ලෙස ‘ඇයි ලැජ්ජ නැතිව දැන් අඩන්නේ හම්බන්තොට විකුණනවා කියලා’  
මැලේසියාව තායිලන්තය මෙන් ඉදිරියට යන රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

වසර 2කට පසු මාලිංග අද ශ්‍රී ලංකාවේ විස්සයි 20 පිටියට



ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද පස්වරු 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දෙරට අතර පැවැති ටෙස්ට් හා එක්දින තරගාවලි දෙකම සම තත්ත්වයකට පත්වූ හෙයින් මෙම විස්සයි 20 තරග දෙක උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

ශ්‍රී ලංකා පිලට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැදවා ඇති අතර ඔහු ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන්නේ වසර 2කට පසුවය. දැනට ලොව විස්සයි 20 පන්දු යවන්නන් අතුරින් සිවුවැනි ස්ථානයේ සිටින මාලිංග ( විස්සයි 20 කඩුලු 84යි) අද තරගයේදී තවත් කඩුල්ලක් ලබාගතහොත් විස්සයි 20 පන්දු යවන්නන්ගේ ලේඛණයේ දෙවැනි ස්ථානයට පත් වේ. උමාර් ගුල් හා සහිඩ් අජ්මාල් කඩුලු 85 බැගින් ලබා ලොව විස්සයි 20 පන්දු යවන්නන් අතුරින් දෙවැනි ස්ථානයේ සිටින අතර සහීඩ් අෆ්රීඩි කඩුලු 97ක් ලබා පළමු තැන සිටී.

බංග්ලාදේශය සමග දෙවැනි විස්සයි 20 තරගය පැවැත්වෙන මේ 6වැනිදා අයි. පී. එල්. තරගාවලියේ මාලිංග ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පළමු තරගය යෙදී තිබුණද එයට සහභාගී නොවීමට ඔහු තීරණය කොට ඇත. “ අයි. පී. එල් වලට වඩා රට දිනවීම මට වැදගත්. අයි. පී. එල් පළමු තරගය අහිමි වුණත් ඊළඟ තරගවලට යනවා“ මාලිංග පැවැසීය.

බංග්ලාදේශය සමග එක්දින තරගාවලියේ වීරයාවූ කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිලෙන් ඉවත්කොට ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය එක්කොට ඇත. කුසල් ජනිත් හා සදුන් වීරක්කොඩි ශ්‍රී ලංකා සංචිතයට එක්කළ ද, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව යහපත්ද? නැද්ද යන්න පිළිබඳ අද තරගයට පෙර පැවැත්වෙන පරීක්ෂණයකින් තහවුරු කරගත යුතුවේ.

නිමාවූ ඔස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි 20 පිලට ක්‍රීඩා නොකළ තිසර පෙරේරා අද පැවත්වෙන තරගයට ක්‍රීඩා කරන අතර ඇන්ජලෝ මැතිව්ස්ට මෙම තරගයද අහිමිව ඇත.

බංග්ලාදේශ විස්සයි 20 සංචිතයට නවක ක්‍රීඩක 20 හැවිරිදි මො‍හොමඩ් සයිෆුඩීන් කැදවා ඇති අතර ඔහු නිමාවට පත්වූ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සොයා ගැනීමකි. දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක සයිෆුඩීන් 23න් පහළ ආසියානු නැගී එන ක්‍රීකට් කණ්ඩායම් අතර තරගාවලියේදී පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් විය. බංග්ලාදේශ එක්දින සංචිතයේ සිටි රොබේල් හොසන් හා සුවගාතා හොම් විස්සයි 20 සංචිතයෙන් ඉවත් කොට බංග්ලාදේශය බලා පිටත් කොට ඇත.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මෙතෙක් විස්සයි 20 තරග 5ක් පවත්වා ඇති අතර එයින් 4ක් ශ්‍රී ලංකාවද එක් තරගයක් බංග්ලාදේශයද ජය අත්කරගෙන සිටී. ශ්‍රී ලංකාව අවසන්වරට සහභාගීවූ දකුණු අප්‍රිකාව සමග විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස හා ඔස්ට්‍රේලියාව සමග තරගාවලිය 2-1ක් ලෙස ජය ගෙන සිටී. එබැවින් ශ්‍රී ලංකා පිලේ විශ්වාසදායී මානසිකත්වය ඉතා හොද මට්ටමක පවතී.

බංග්ලාදේශය අවසන්වරට සහභාගීවූ ආසියානු විස්සයි 20 තරගාවලිය, ලෝක කුසලාන ව්ස්සයි 20 තරගාවලිය හා නවසීලන්තයේ කළ සංචාරය අසාර්ථකත්වයට පත්ව ඇත.

ශ්‍රී ලංකා පිල:

උපුල් තරංග (නායක), දිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ලසිත් මාලිංග, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් චානක, විකුම් සංජය, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය, සඳුන් වීරක්කොඩි,

බංග්ලාදේශ පිල:

බංග්ලාදේශ සංචිතය: මෂ්රෆි මොර්ටසා (නායක), ටම්මි ඉක්බාල්, ඉම්රුල් කයිස්, සෞම්‍ය සර්කාර්, මහමුදුල්ලාහ්, මොසඩෙක් හුසේන්, මුෂ්ෆිකර් රහිම්, මුස්ටෆිසුර් රහ්මාන්, නුරුල් හසන්, සබිර් රහ්මාන්, ෂකිබ් අල් හසන්, සුබාෂිස් රෝයි, සන්ජමුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, මෙහෙදි හසන්, මොහොමඩ් සයිෆුඩීන්